Skip to content

පටුනට යන්න

සුදු කබර කියන්නේ මොනවාද?

සුදු කබර කියන්නේ මොනවාද?

සුදු කබර කියන්නේ මොනවාද?

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ සමහර අවස්ථාවලදී සිබෝන්ජිලි එයාගේ සමේ තත්වය ගැන කතා කරන්නේ සිනා උපදවන ආකාරයකිනුයි. ඇය මද සිනහවක් පාමින් මෙහෙම කියනවා. “මම ඉපදෙනකොට කලුයි, ඊටපස්සේ සුදු වුණා. දැන් මං කලුද නැත්නම් සුදුද කියලා හිතාගන්න බැහැ.” ඇයට හැදිලා තියෙන්නේ සුදු කබර රෝගයයි.

සුදු කබර ඇති වන්නේ සමෙහි ඇති මෙලනින් වර්ණක නිපදවන සෛල හීන වී යෑම නිසායි. මේ හේතුවෙන් සමේ සුදු ලප හා පැල්ලම් හැදෙනවා. සමහර රෝගීන්ට හටගන්නේ එක පැල්ලමක් විතරයි. කෙසේවුවත්, තවත් අයගේ ශරීරය පුරාම එය විගස පැතිරෙනවා. සමහරෙකුගේ ශරීරයේ එය පැතිරී යන්නේ වසර ගණනාවක් පුරා ක්‍රමක්‍රමයෙන්. සුදු කබර ශරීරයෙහි වේදනාවක් ඇති කරවන්නක් හෝ බෝ වෙන රෝගයක් නෙවෙයි.

සුදු කබර ගොඩක් කැපිලා පේන්නේ කලු පැහැති සමක් තිබෙන අයට එය වැලඳුණහමයි. සිබෝන්ජිලිගේ සුදු කබර පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ ඒ නිසයි. හැමෝගේම ඒ වගේ පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. එහෙත් මොනයම් ප්‍රමාණයකට හෝ සුදු කබර සෑදී ඇති හුඟදෙනෙක් සිටිනවා. සංඛ්‍යා ලේඛන මගින් පෙන්වන්නේ ජනගහනයෙන් සියයට එකත් දෙකත් අතර ප්‍රමාණයක් මෙයින් පෙළෙන බවයි. ඕනෑම ජාතියක කෙනෙකුට මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම එක සමානව මෙම රෝගය වැලඳෙනවා. ඒවා හටගැනීමට හේතුව තවමත් සොයාගෙන නැහැ.

සුදු කබර නිට්ටාවට සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැතත් ඒ සඳහා යම් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. උදාහරණයකට, සුදු පැහැති සමක් තිබෙන රෝගීන්ගේ මෙය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ රෝගය හටගෙන නැති කොටස් හිරු එළියට පිලිස්සී ඇති විටයි. මෙබැවින් හිරු එළියට නිරාවරණය නොවී සිටීමෙන් එම තත්වය වළක්වාගත හැකියි. කලු පැහැති සමක් තිබෙන අයට සමේ වර්ණයෙහි පැහැදිලි වෙනසක් නොපෙනෙන සේ විශේෂ රූපලාවණ්‍ය වර්ග පාවිච්චි කරන්න පුළුවන්. සමහර රෝගීන් වර්ණ ගැන්වීමේ ප්‍රතිකාරය මගින් සතුටුදායක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී, මාස ගණනාවක් පුරා බෙහෙත් කරන අතර විශේෂ පාරජම්බුල ආලෝක කිරණ පතිත කරවන උපකරණයක්ද භාවිත කරනු ලබනවා. සමහරුන්ට මෙම ප්‍රතිකාර ලබා දීමෙන්, සුදු කබර සෑදී තිබුණු තැන්වල යළිත් සාමාන්‍ය වර්ණය ඇති වී තිබෙනවා. වෙනත් රෝගීන් තෝරාගන්නේ අවර්ණ කිරීමේ ප්‍රතිකාරයයි. මෙම ප්‍රතිකාරයේ අරමුණ වන්නේ මෙලනින් වර්ණක නිපදවන ඉතිරි සෛල බෙහෙත්වලින් විනාශ කර සමේ ස්වභාවය රෝගී වූ කොටස්වල වර්ණයට ගෙන ඒමයි.

සුදු කබර හැදෙන අය මානසික පීඩාවකටද ලක් විය හැකියි. විශේෂයෙන්ම එසේ වන්නේ එය මුහුණ පුරා පැතිර යෑමට පටන්ගන්නා විටයි. සිබෝන්ජිලි මෙවැන්නක් පවසනවා. “මෑතකදී ළමයි දෙන්නෙක් මාව දැකලා බය වෙලා කෑගහගෙන දිව්වා. මට තියෙන්නේ බෝ වෙන රෝගයක්, එහෙමත් නැත්නම් මට ශාපයක් වැදිලා කියලා හිතලා සමහර අය මාත් එක්ක කතා කරන්න අදිමදි කරනවා. මට පුළුවන් නම් මේ ගැන තේරුම්ගන්න අනිත් අයට උපකාර කරන්න මම ඔවුන්ට කියන්නේ මේ තත්වයේ ඉන්න අය ගැන ඔවුන් භය විය යුතු නැහැයි කියලායි. ඇඟේ ගෑවීමෙන් හෝ සුළඟින් සුදු කබර බෝ වෙන්නේ නැහැ.”

යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන සිබෝන්ජිලි බයිබලය ඉගැන්වීමේ වැඩයෙහි නිරත වෙන්නේ ඉමහත් ආශාවකින්. ගෙවල්වලට ගොස් මිනිසුන්ව හමු වෙලා ඔවුන් එක්ක මුහුණට මුහුණ ලා කතා කිරීමත් ඊට ඇතුළත්. එය නතර කරන්න ඈ ඇගේ තත්වයට ඉඩහරින්නේ නැහැ. ඈ මෙසේ පවසනවා. “මම මගේ පෙනුම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඒක මට කරදරයක් නෙවෙයි. මම ඉපදෙනකොට මට තිබුණ පාට, යෙහෝවා දෙවි පොරොන්දු කරලා තියෙන පාරාදීස පොළොවේදී ආපහු මට ලැබෙන තුරු මම බලාගෙන ඉන්නවා.”—එළිදරව් 21:3-5.

[30වන පිටුවේ පින්තූරය]

රෝගය වැලඳෙන්න කලින් 1967දී