Skip to content

පටුනට යන්න

සෙල්ලම් බඩු නැති පෙර පාසැල්

සෙල්ලම් බඩු නැති පෙර පාසැල්

සෙල්ලම් බඩු නැති පෙර පාසැල්

ජර්මනියේ පිබිදෙව්! ලේඛක විසින්

එක් උදෑසනක දරුවන් පෙර පාසැලට යද්දී එහි ලී බඩු ඇරෙන්න වෙන කිසිවක් තිබුණේ නැහැ. ඔවුන් දැක්කේ ඔක්කොම කාමර හිස් වෙලා තියෙන බවයි. සෙල්ලම් බඩු තියෙනවාද කියලා බැලුවත් එක සෙල්ලම් බඩුවක්වත් හොයාගන්න බැරි වුණා. පොත්වත්, බිල්ඩිං බ්ලොක්ස්වත් තිබුණේ නැහැ. අඩු තරමින් කොළ හා කතුරුත් තිබුණේ නැහැ. මාස තුනකට සෙල්ලම් බඩු හැම එකක්ම අයින් කරලා. සිද්ධ වෙලා තිබුණේ මොකක්ද?

මෙම පෙර පාසැල් ඕස්ට්‍රියාවේ, ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ ජනප්‍රිය වෙමින් තිබෙන ඒවායි. ඒවා සෙල්ලම් බඩු නැති පෙර පාසැල් නමින් විශේෂිත මෙන්ම අලුත් වැඩසටහනකට සම්බන්ධ වී තිබෙනවා. මෙය අමුතු ක්‍රමයක් වගේ පෙනෙන්න තිබුණත්, සෙල්ලම් බඩුවලට වහල් වීම වළක්වාගැනීමේ අරමුණෙන් අරඹා ඇති මේ වැඩසටහන යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයන්ගේ ඉමහත් පැසසුමට ලක් වී තිබෙනවා. මෑතකදී පර්යේෂකයන් අවබෝධ කරගෙන තිබෙන්නේ, දරුවන් පුංචි කාලයේදීම අනිත් අය එක්ක හොඳ සබඳතාවක් පවත්වනවා නම් ඔවුන් එතරම් පහසුවෙන් ඕනෑම දේකට ඇබ්බැහි නොවන බවයි. “අදහස් හුවමාරු කිරීමේ කුසලතා මෙන්ම පහසුවෙන් සංවාදයක් ඇරඹීමේ හැකියාව, එකඟ නොවීම් නිරාකරණය කරගැනීම, තමන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් වගකීම භාරගැනීම, ඉලක්ක තබාගැනීම, ගැටලු තේරුම්ගැනීම, උපකාර පැතීම හා විසඳුමක් සොයාගැනීම” යනාදී සියල්ල ඊට ඇතුළත් වන බව පුවත්පත් වාර්තාවක සඳහන් වෙනවා. මෙම වැඩසටහන දියත් කළ අය පවසන පරිදි, එවැනි කුසලතා වර්ධනය කළ යුත්තේ ළදරු කාලයේ සිටයි. සෙල්ලම් බඩු නැති කාල පරිච්ඡේදයෙන් එම කාර්යය මනා සේ ඉටු වෙයි. එමගින් දරුවන් තුළ නිර්මාණශීලීත්වයක් හා ආත්ම විශ්වාසයක් ගොඩනැංවෙයි.

දෙමාපියන් හා දරුවන් එක්ක සාකච්ඡා කර ඉතා හොඳින් සැලසුම් කළ පසුවයි මාස තුනකට සෙල්ලම් බඩු අයින් කරලා තියෙන්නේ. සෙල්ලම් බඩු නැති බව දැක්ක ගමන් සමහර දරුවන්ට හිතාගන්න බැරි වුණා මොනවද කරන්නේ කියලා. “මුල් සති හතරේදී දරුවන්ව පාලනය කරගැනීමට නොහැකි පෙර පාසැල්” තිබෙන අතර එම තත්වය සාර්ථකව පාලනය කරගැනීමට ඒවායෙහි පාලකයන්ට හැකියාවක් නැතැයි වාර්තා වෙනවා. එහෙත් එහිදී දරුවන් තත්වයට අනුව හැඩගැහෙන්නත්, නිර්මාණශීලී වෙන්නත් ඉගෙනගන්නවා. සෙල්ලම් කරන්න දේවල් නැති වුණහම දරුවන් සාකච්ඡා කරනවා; සැලසුම් කරනවා; වෙනදාට වඩා එකට සෙල්ලම් කරනවා. මේ ආකාරයෙන් සමාජ හා භාෂා කුසලතා වැඩි දියුණු වෙනවා. කලක් සෙල්ලම් බඩු එක්කම හිටිය අය දැන් යාළුවන් ඇති කරගෙන ඉන්නවා. මේ නිසා දෙමාපියන්ටත් දැකගන්න පුළුවන් වෙලා තියෙන්නේ, ප්‍රයෝජනදායක වෙනස්කම් ඇති වෙලා තිබෙන බවයි. ඔවුන් පැවසුවේ දරුවන් දැන් සෙල්ලම් කරනකොට පෙරට වඩා හොඳින් හැසිරෙන අතර වැඩි නිර්මාණශීලීත්වයක් දක්වන බවයි.