Skip to content

පටුනට යන්න

උන්ගේ අනාගතය අඳුරු මන්ද?

උන්ගේ අනාගතය අඳුරු මන්ද?

උන්ගේ අනාගතය අඳුරු මන්ද?

ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්

තේජවත් බෙංගාලි ව්‍යාඝ්‍රයන්, කැලෑ බල්ලන්, සාරුස් නම් වර්ගයේ කොකුන්, කැස්බෑවන් සහ ආසියානු ඇතුන් ඉන්දියාවේ අඳුරු අනාගතයක් උරුම සතුන් අතරෙන් කිහිපදෙනෙක්. මින් ගොඩබිමේ සද්දන්තයා වන ඇතා ගැන ටිකක් සලකා බලමු.

ඇත් දළවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ජපානයේ තමයි ඇත් දළ වැඩියෙන්ම භාවිතයට ගැනෙන්නේ. ඇත් දළවලින් තැනූ ආහාර කූරු තවමත් ජනප්‍රිය චීනයේද එවැනිම ඉල්ලුමක් තිබෙනවා. ඇත් දළවලට ඇති ඉල්ලුම හේතුවෙන් විශේෂයෙන්ම ආසියාතික ඇතුන්ට කුමනාකාරයේ අහිතකර ප්‍රතිවිපාකද ඇති වී තිබෙන්නේ?

“අප්‍රිකානු ඇතුන් මෙන් නොව ආසියාතික ඇතුන්ගෙන් කිහිපදෙනෙකුට පමණයි දළ තිබෙන්නේ. හොඳින් වැඩුණු දළ ඇති ඇතුන් තමයි දඩයක්කරුවන්ගේ ඉලක්කයට හසුවන්නේ. එක් නිල සංඛ්‍යා ලේඛනයකට අනුව ඉන්දියාවේ සෑම වසරකම ඇතුන් සියදෙනෙකු පමණ මරා දමනවා. එමනිසා ඇතුන්ට වඩා ඇතින්නියන්ගේ ගණන වැඩි වී තිබෙනවා” කියා ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සඟරාවේ කලකට පෙර වාර්තා කළා. මෙසේ මරා දැමීම එම සතුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබෙනවා.

මේ පුංචි අඟ නිසානේ

දැනට ජීවතුන් අතර සිටින ගොඩබිම් ක්ෂීරපායි සතුන්ගෙන් දෙවෙනි තැනට දැවැන්තයා වන රයිනෝසරයා ගැනත් සලකා බලමු. ඉන්දියාවේ සහ නේපාලයේ එක අඟක් ඇති රයිනෝසරයන්ව ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒත් ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තිබෙන පොබිතාරා අභය භූමියට අයත් වන්නේ වර්ග කිලෝමීටර 38ක කුඩා බිම් ප්‍රමාණයක් පමණයි. එය රයිනෝසරයන්ට ප්‍රමාණවත් නැහැ. එමනිසා උන් අසල වගා බිම්වලට යනවා. එහිදී උන්ට වෙඩි වැදීමට හෝ වස විෂ කැවීමට ඉඩ කඩ තිබෙනවා.

මිනිසා මෙම දැවැන්ත රයිනෝව මැරීමට කපටි ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. පොබිතාරා අභය භූමියට ඉහළින් අධි වෝල්ටීයතාවකින් යුත් විදුලි රැහැන් දෙකක් දිව යනවා. නීති විරෝධී දඩයක්කරුවන් උණ බටයක් ආධාරයෙන් කම්බියක් විදුලි රැහැනේ රඳවන්නේ එය බිමට එල්ලා වැටෙන අයුරින්. මෙම කම්බිය රයිනෝගේ ඇඟේ වැදෙන විට සිදු වන්නේ කුමක්ද කියා ජීව විද්‍යාඥයෙක් වන විවේක් මෙනොන් විස්තර කරනවා. “උගේ ඇඟට අධි විදුලි ධාරාව වැදුණ විට ඌ දෙවතාවක් හුස්ම ඉහළට ඇද සැණෙකින් ඇදගෙන වැටුණා. . . . මෙම දැවැන්තයා තත්පරයක් ගත වීමටත් පෙර මරු දුටුවා.”

මෙම දැවැන්ත සතාව මරන්නේ කිලෝග්‍රෑමයටත් වඩා බර අඩු උගේ පුංචි අඟ ලබාගැනීමටයි! මිනිසුන්ගේ නිය පොත්තට බොහෝ සමානකම් ඇති මෙම අඟට ඉතා විශාල වෙළඳ වටිනාකමක් තියෙනවා. උගේ විනාශයට හේතුවත් එයයි.

ෂාටූෂ් සාළුවට දක්වන කැමැත්ත නිසා

ටිබේටයේ මුව වර්ගයක් වන චිරු මුවාගේ ලොම් හඳුන්වන්නේ ෂාටූෂ් යන නමින්. උගේ ලොම් කොතරම් සිනිඳුද කිවහොත් එයින් නිමවන සාළුවක් දබර ඇඟිල්ලට දමන මුද්දකින් රිංගවන්නට හැකියි. එම සාළුවක මිල රුපියල් 16,00,000ක් පමණ වෙනවා. එය ලෝකයේ වඩාත් මිල අධික සාළුවලින් එකක්. නමුත් මෙම ලෝම් නිපදවන මුවාට මෙයින් සිදු වන්නේ කුමක්ද?

“එක ෂාටූෂ් සාළුවක් නිපදවීමට අඩුම තරමින් මුවන් පස්දෙනෙකුවත් මැරිය යුතුයි” කියා දි ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පතෙහි සඳහන් වෙනවා. සෑම වසරකම ටිබේට් සානු ප්‍රදේශයේ වෙසෙන මුවන් 20,000ක් පමණ මරා දමනවා. වඳ වී ගෙන යන සත්ව විශේෂ රැකගැනීමට යම් නීති රීති පනවා තිබියදීත් මෙම සතුන්ව විනාශ කිරීම තවමත් සිදු වෙනවා. වර්ෂ 1979 ෂාටූෂ් ලොම් වෙළඳාම තහනම් කළත් චිරු මුවන් අඩු වී යෑම නතර වී නැහැ.

සම සහ අස්ථි සඳහා

ඉන්දියාවේ සිටින ව්‍යාඝ්‍රයන්ගේ සහ බළල් පවුලේ අනෙක් සාමාජිකයන්ගේ පැවැත්මටත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. වෙනත් ප්‍රදේශවල කැස්පියන්, ජාවා සහ බාලි යන ව්‍යාඝ්‍රයන්ගේ උපවිශේෂ දැනටමත් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති බවට සැලකේ. විසිවන සියවස ආරම්භයේදී ඉන්දියානු වනාන්තරවල ව්‍යාඝ්‍රයන් 40,000ක් පමණ සැරිසැරුවා. පසුගිය කාලය අතරතුර එම සංඛ්‍යාව අඩු වී තිබෙනවා. මෙයට හේතු වන්නේ, උන්ගේ ස්වාභාවික වාස භූමි දිගින් දිගටම විනාශ කර දැමීමත්, උන්ගේ සම ලබාගැනීමට උන්ව දඩයම් කිරීමත්, චීන වෛද්‍ය ක්‍රමයට අනුව උන්ගේ සමහර අස්ථිවල රෝග සුව කිරීමේ බලයක් තිබෙන බවට ඇති විශ්වාසය නිසා ඒවා ලබාගැනීමට උන්ව මරා දැමීමත් නිසයි.

ව්‍යාඝ්‍රයන්ට ප්‍රමාණවත් වාස භූමියක් නොමැතිකම නිසා ඇති වී තිබෙන ප්‍රතිවිපාක ගැන පොතක මෙසේ සඳහන් වෙනවා. “ව්‍යාඝ්‍ර ගහනය වර්ධනය කළ හැක්කේ උන් සිටින වනාන්තර පෙදෙස් පුළුල් කිරීමෙන් පමණයි. මෙය සිදු නොවන විට උන්ගේ ආහාර සහ වැයික්කිය රැකගැනීමට උන් උන්ව මරාගනිමින් තම වර්ගයාව පාලනය කරගන්නවා.”—ද සීක්‍රට් ලයිෆ් ඔෆ් ටයිගර්ස්.

ඉන්දියාවේ සිටින අනෙක් බළල් පවුල ගැන කුමක් කිව හැකිද? ගුජරාට් ප්‍රාන්තයේ ජුනාගාද් ප්‍රදේශයේ සත්ව උද්‍යානයක් බැලීමට ගිය අයෙක් හිස් කූඩුවක් අසලට පැමිණියා. එම කූඩුවේ එල්ලා තිබූ පුවරුවේ ආසියානු චීටාවෙකුගේ පින්තූරයක් දමා තිබූ අතර ඊට පහළින් ගුජරාටි භාෂාවෙන් මෙසේ ලියා තිබුණා. “ඉන්දියාවේ චීටා නම් බළල් වර්ගය වඳ වී ගියේ 1950 ගණන්වලදීයි.”

අනාගතය මොන වගේද?

ඉන්දියාවේ වඳ වී ගෙන යන සතුන්ගේ අනාගතය අඳුරු බවයි පෙනෙන්න තිබෙන්නේ. මිනිසා, පොළොව සහ එහි අසිරිමත් වනජීවීන් බොහොමයක් ආත්මාර්ථකාමී ලෙස විනාශ කරනවා කියා කීමට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. මෙයට විසඳුම කුමක්ද? “ජාතීහු උදහස් වූහ. ඔබේ [දෙවිගේ] උදහසද පැමිණියේය. . . . පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමටත් නියමිත කාලය පැමිණියේය” යන අනාවැකිය ඉටුවීමේ කාලය ඉතා ළඟ බව දෙවිගේ බලයෙන් ලියා ඇති ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා.—එළිදරව් 11:18.

පොළොවත් එහි සිටින අරුම පුදුම වනජීවීන්වත් කොල්ලකන අයව, සම්පූර්ණයෙන්ම විනාශ කර පොළොව පිරිසිදු කළ විට පොළොව කොයි ආකාරයෙන් තිබේවිද? එය මොනතරම් ලස්සන කාලයක් වේවිද! එවිට මොනයම් හෝ සත්වයෙකුගේ පැවැත්මට මිනිසා තර්ජනයක් වන්නේ නැහැ. මෙය සිදු වන්නේ යේසුස් මනුෂ්‍යයන්ට යාච්ඤා කරන්න කියා ඉගැන්වූ දෙවිගේ රාජ්‍යය යටතේදීයි.—යෙසායා 11:6-9; මතෙව් 6:10.

[28වන පිටුවේ පින්තූර]

ඉන්දියාවේ වඳ වී යෑමේ තර්ජනයට හසු වී සිටින සතුන් කිහිපයක්

සාරුස් වර්ගයේ කොකා

බෙංගාලි ව්‍යාඝ්‍රයා

ආසියානු ඇතා

එක් අඟක් ඇති රයිනෝසරයා

ටිබේටියානු මුව වර්ගයක්

[හිමිකම් විස්තර]

කොකා: Cortesía del Zoo de la Casa de Campo, Madrid; මුව වර්ගය: © Xi Zhi Nong/naturepl.com