Skip to content

පටුනට යන්න

එදා මෙදා තුර ජනප්‍රිය ලූනු

එදා මෙදා තුර ජනප්‍රිය ලූනු

එදා මෙදා තුර ජනප්‍රිය ලූනු

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

ලූනු ගෙඩියක් නැති මුළුතැන් ගෙයක් සොයාගන්න පුළුවන්ද? ලූනු විවිධ දේ සඳහා යොදාගන්නවා. සුප්, සලාද, ව්‍යාංජන මෙන්ම බෙහෙත් හේත්වලටත් යොදාගැනේ. අපව ටිකක් ඇඬවීමටත් එයට පුළුවන්.

ලූනු පවුලේ මල් හටගන්නා පැළෑටි වර්ග කිහිපයක් තියෙනවා. ආහාරයට ගන්නා ලූනුවලද අලංකාර මල් හටගන්නා නිසා මල් පිපෙන ශාකවලට එයද නෑකම් කියයි. සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි දකින්ට තිබෙන්නේ ලූනු ගසේ බල්බය ලෙස හැඳින්වෙන කොටසයි. පොළොව යට පිහිටන එය පළල් වූ පත්‍රවල එකතුවකින් සෑදී ඇති නිසා බල්බයක හැඩය ගනියි.

මිනිසාගේ වගාවන් අතුරින් ලූනු වගාව ඉපැරණි එකක්. ඒ ගැන බයිබල් වාර්තාවෙන්ද සොයාගත හැකියි. ක්‍රිස්තු පූර්ව 1513දී පමණ ඊශ්‍රායෙල්වරු මිසරයේ වහල්භාවයේ සිටියදී කෑවාවූ ලූනුවලට දැඩි ආශාවක් දැක්වූවා.—ගණන් කථාව 11:5.

විවිධ සංස්කෘතීන්වලට අයිති අය ලූනු රසයට එතරම් ආශාවක් දක්වන්නේ ඇයි? ඊට ආවේණික වූ සුවඳක් හා සැරක් ලැබී තිබෙන්නේ සල්ෆර් සංයෝග නිසයි. කවුරුත් දන්නා පරිදි ගලන කඳුළුවලට හේතුව, සල්ෆෙනික් අම්ලයයි.

ප්‍රණීත ආහාරයකට වඩා යමක්

ලූනු මිනිසාගේ සෞඛ්‍යයටද දායක වෙනවා. එහි කැල්සියම්, ෆොස්ෆරස් සහ සී විටමිනය හෙවත් ඇස්කොබික් අම්ලය වැනි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරියි. විශේෂයෙන් එහි ඖෂධීය වටිනාකම නිසා බොහෝ කලක් පුරා එය අගය කෙරෙනවා. වර්තමානයේ පවා සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආබාධ, හෘද රෝග, දියවැඩියාව සහ ඇදුම ඇතුළු ලෙඩ රෝග ගණනාවක් සඳහා ලූනු භාවිත වෙනවා. එමෙන්ම විෂබීජ නැසීමේ, ඉදිමුම් බැස්සවීමේ, දැවිල්ල මැඩලීමේ, ලේ කැටි සිරවීම වැළැක්වීමේ මෙන්ම පිළිකා සෛල නැසීමේ ගුණයක්ද ඒවාවල තියෙනවා.

සුදු, කහ, දුඹුරු, කොළ, රතු සහ දම් පාටින් යුක්ත ලූනු වර්ග දක්නට තිබෙනවා. ලූනු අමුවෙන් කන්න පුළුවන්, උයලත්, අච්චාරු දාලත් කන්න පුළුවන්. ටින් කරපුවත් තියෙනවා. වේලලාත්, කුඩු වශයෙනුත්, පෙති ආකාරයට හෝ කැට වශයෙනුත් ලබාගන්න පුළුවන්. ඔබව ටිකක් ඇඬෙව්වත්, ලූනු වටිනා එළවළුවක් නොවේද?