Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාව නිසි ලෙස ඇති දැඩි කිරීමේ වැදගත්කම

ඔබේ දරුවාව නිසි ලෙස ඇති දැඩි කිරීමේ වැදගත්කම

ඔබේ දරුවාව නිසි ලෙස ඇති දැඩි කිරීමේ වැදගත්කම

පුද්ගලයෙක් ළමා වියේදී ලබන අද්දැකීම් තමයි ඔහුගේ ඉදිරි අනාගතය ආලෝක වීමට හෝ අඳුරු වීමට බලපාන්නේ. එහෙමනම් හැම අතින්ම සාර්ථක වැඩිහිටියෙක් වීමට දරුවන්ට තම දෙමාපියන්ගෙන් අවශ්‍ය කරන්නේ මොනවාද? මෑත දශකයන්වලදී කළා වූ පර්යේෂණවලින් සමහරෙකු පැමිණි නිගමන සලකා බලන්න.

මොළයේ ක්‍රියාකාරිත්වය

පරිගණක ආධාරයෙන් මොළයේ රූපසටහන් ගැනීමේ තාක්ෂණය දියුණු වී තිබෙන නිසා විද්‍යාඥයන්ට පෙරට වඩා මොළයේ වර්ධනය පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකියාවක් තිබෙනවා. එම අධ්‍යයනවලින් පෙන්නුම් කළේ තොරතුරු නිසි පරිදි ලබාගැනීම, හැඟීම් සාමාන්‍ය ලෙස ප්‍රකාශ කිරීම හා භාෂා හැකියාව ප්‍රගුණ කිරීම වැනි ක්ෂේත්‍ර තුළ මොළයේ ක්‍රියාකාරිත්වය දියුණු කිරීමට ළදරු විය තීරණාත්මක අවදියක් බවයි. “දරුවෙකු උපතින්ම උරුම කරගෙන එන හැකියාවන්, මොහොතින් මොහොත තම අවට පරිසරයෙන් ලැබෙන තොරතුරු හා එකතු වන විට මොළයේ සැකැස්ම හැඩගැසෙන බැවින්, මෙම මුල් වසරවල මොළයේ පණිවිඩ හුවමාරු කිරීමට දායක වන ස්නායු සෛල අතර තිබෙන සම්බන්ධක ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන බව” නේෂන් සඟරාවේ වාර්තා වෙනවා.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ උපාගම [synapses] ලෙස හඳුන්වන ස්නායු සෛල සම්බන්ධකවල වර්ධනය දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය තුළ සිදු වන බවයි. “ළදරුවෙකුගේ අනාගත බුද්ධි වර්ධනය, ඔහු තම ආත්ම විශ්වාසය, අන් අයව විශ්වාස කිරීම, ඉගෙනගැනීමට තිබෙන පෙලඹීම වැනි ක්ෂේත්‍ර සඳහා අඩිතාලම වැටෙන්නේ” මෙම කාලයේදී කියා ළමා වර්ධනය පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය ටී. බෙරි බ්‍රෙසල්ටන් පවසනවා.

දරුවෙකුගේ මොළයේ ප්‍රමාණය, ප්‍රමාණය හා ක්‍රියාකාරිත්වය ළදරු විය හෙවත් මුල් අවුරුදු කිහිපයේදී විස්මිත අයුරින් වර්ධනය වෙනවා. දරුවා මොළයේ ක්‍රියාකාරිත්වය අවදි කරවන පරිසරයක හැදී වැඩෙනවා නම් ඒ වගේම එම පරිසරය තුළින් නොයෙකුත් අද්දැකීම් ලබාගැනීමට ඔහුට හැකියාවක් තිබෙනවා නම් ඔහුගේ මොළය තුළ තිබෙන ස්නායු සෛල අතර ඇති සම්බන්ධකවල වර්ධනය ඉතා ශීඝ්‍ර ලෙස සිදු වෙයි. මෙම සම්බන්ධක මගින් සිතීමේ හැකියාව, ඉගෙනීමේ හැකියාව, තර්කානුකූලව නිගමනවලට එළඹීමේ හැකියාව වර්ධනය වෙනවා.

ළදරුවාගේ මොළය හොඳින් අවදිවන විට ස්නායු සෛල අතර සම්බන්ධක වර්ධනය වන අතර එම ස්නායු අතර හොඳ පණිවුඩ හුවමාරුවක්ද සිදු වෙනවා. හැබැයි, මොළයේ ක්‍රියාකාරිත්වය අවදිවන්නේ තොරතුරු හෝ භාෂාව වැනි දේවල් නිසාම නෙමෙයි. විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා හැඟීම් අවදි කරන ක්‍රියාවන්ද ඒ සඳහා අවශ්‍ය බව. පර්යේෂකයන් කියන්නේ සිප වැලඳගෙන සුරතල් නොකරන, සෙල්ලම් නොකරන ළදරුවන්ගේ මෙම ස්නායු සම්බන්ධක අඩාළ වන බවයි.

දරුවාගේ ඉදිරි වර්ධනය

දරුවෙකු ටිකෙන් ටික වැඩි වියට පත් වන විට ඇතැම් ස්නායු සෛල අතර තිබෙන සම්බන්ධක නැති වෙලා යනවා. මෙය දරුවාගේ ඉදිරි වර්ධනයට විශාල ලෙස බලපෑමක් ඇති කළ හැකියි. “දරුවෙකුගේ නිසි වයසේදී ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස අවදි වුණේ නැත්නම් ස්නායු සෛල අතර තිබෙන සම්බන්ධක හරියාකාරව වර්ධනය වන්නේ නැහැ” කියා මොළය පිළිබඳ පර්යේෂණ කරන මැක්ස් කනේඩර් පවසනවා. වෛද්‍ය ජේ. ෆ්‍රේසර් මස්ටඩ්ට අනුව මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අඩු බුද්ධි මට්ටමත්, කතික හා ගණිත හැකියාවන් මොට වීමත්, වැඩිහිටියෙකු වූ පසු සෞඛ්‍ය ගැටලු අද්දැකීමත්, තැනට සුදුසු ලෙස හැසිරෙන ආකාරය පිළිබඳ ගැටලු ඉස්මතු වීමත් සිදු විය හැකියි.

මෙයින් එක් දෙයක් පෙනෙනවා. එනම්, පුද්ගලයෙකු ළදරු වියේ ලබන අද්දැකීම් ඔහුගේ වැඩිහිටි ජීවිතයට අනිවාර්යෙන්ම බලපානවා යන්නයි. යම් පුද්ගලයෙක් ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන කෙනෙක්ද නැත්නම් ඉක්මනින්ම සැලෙන කෙනෙක්ද, යම් දෙයක් අවබෝධ කරගැනීමට හා කාරණා දෙස පුළුල්ව බැලීමට හැකි කෙනෙක්ද, අන් අයට අනුකම්පාව දක්වන කෙනෙක්ද වැනි කාරණා සියල්ල රඳා පවතින්නේ ඔහු ළදරු වියේ ලබන අද්දැකීම් මතයි. එමනිසා දෙමාපියෙකුගේ වගකීම ඉතාමත් වැදගත්. එක් ළමා රෝග වෛද්‍යවරයෙක් කියා සිටින්නේ “ළදරු කාලයේ ලබන අද්දැකීම් ඉතා වැදගත් නිසා දරුවන්ව තේරුම්ගෙන හොඳ අවධානයක් දෙන දෙමාපියෙක් සිටිය යුතු” බවයි.

ඔබේ දරුවන්ව නිසියාකාරව ඇති දැඩි කරමින් රැකබලා ගන්නවා නම් දරුවන් සාර්ථක වෙයි. එය සුළු දෙයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් දෙමාපියන් දන්නවා නිසි ලෙස දරුවන්ව රැකබලා ගන්නා ආකාරය වටහාගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව. ඕනෑම මාපියෙක් ඉබේටම සාර්ථක මාපියෙක් වෙන්නේ නැහැ.

මේ ගැන කළ සමීක්ෂණයකදී මාපියන් සියයට 25දෙනෙක් කියා සිටියේ මෙවන් දෙයක්. එනම් ඔවුන් දරුවන්ට කළ දේවල් දරුවන්ගේ බුද්ධි වර්ධනයට, ආත්ම විශ්වාසයක් ඇති කිරීමට සහ ඉගෙනීමට රුචිකත්වයක් දැක්වීමට දායක වෙනවාද නැද්ද කියා තමන් නොදන්න බවයි. මේ නිසා ප්‍රශ්න කීපයක් පැනනඟී. එහෙමනම් දරුවාගේ ඉදිරි වර්ධනය සඳහා තිබෙන හොඳම ක්‍රමය කුමක්ද? ඒ සඳහා සුදුසු වාතාවරණයක් සකසා දෙන්නේ කොහොමද? යන ප්‍රශ්න පැන නඟිනවා. අපි ඒ සඳහා විසඳුම් සොයමු.

[6වන පිටුවේ පින්තූරය]

මොළය අවදි කරන ක්‍රියාකාරකම්වලට නිරාවරණය නොවූ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වන්නේ නැහැ