Skip to content

පටුනට යන්න

තරබාරුකම මට්ටු කරන්න දරන වෑයම වටීද?

තරබාරුකම මට්ටු කරන්න දරන වෑයම වටීද?

තරබාරුකම මට්ටු කරන්න දරන වෑයම වටීද?

තරබාරුකමේ ගැටලුවලින් ගොඩ ඒමට මහත් වෑයමක් දරා ඇති කීපදෙනෙකුව පිබිදෙව්! විසින් සම්මුඛ සාකච්ඡාවකට කැඳවන ලදි. ඔවුන් හොඳ ප්‍රතිඵල ලැබුවාද? මේ තත්වයට ගොදුරු වී සිටින අනිත් අයට ඔවුන් පවසන්නේ කුමක්ද?

▪ අපි මයික්ගෙන් අසා බලමු. ඔහුගේ වයස අවුරුදු 46යි, උස අඩි හයයි, වත්මන් බර රාත්තල් 285යි. මයික්ගේ උපරිම බර රාත්තල් 347 නැඟලා තියෙනවා.

මයික්: යෞවන කාලේදීත් මගේ බර වැඩියි. මේක ආරෙට එන එකක්. මගේ අයියගෙයි, අක්කගෙයි, නංගිගෙයි බරත් වැඩියි. බඩ පිරිලා තිබුණත් පිඟානේ මුකුත්ම ඉතුරු නොකරන්නයි අපි පුරුදු වෙලා තිබුණේ. මම කන විදිහ වෙනස් කරන්න හේතු වුණේ මොකක්ද දන්නවාද? මට දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා කියලා දොස්තර මහත්තයා කිව්ව නිසයි! මුළු ජීවිත කාලයේදීම මට ඉන්සියුලින් ගන්න වෙයි කියලා භය හිතුණා. මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් හුඟක් වැඩි වෙලා තිබුණ නිසා බේත් ගන්න සිද්ධ වුණා.

“මම කාලයක් තිස්සේ ඉඳලා කරන්නේ ඇඟපත වෙහෙසන රස්සාවක් නෙවෙයි. ඒ නිසා ව්‍යායාම් කරන යන්ත්‍රයකින් සතියකට තුන් වතාවක් පැය භාගයක් නිතිපතා ව්‍යායාම් කරනවා. ඊළඟට මම කන දේ හැම දවසකම ලිව්වා. හැම සතියකම මගේ පෝෂණවේදිණිය ඒක සෝදිසි කරන බව දන්න නිසා කෑම පාලනය කරන්න එය මට උපකාරයක් වුණා. හොඳ අදහසක් පහළ වුණා, ‘කෑවේ නැත්නම් හරිනේ, එතකොට ලියන්න ඕනෙත් නැහැනේ!’

“ප්‍රතිඵලයක් හැටියට ගෙවුණු මාස 15වේදී මගේ බර රාත්තල් 62කින් අඩු වුණා. ඒත් තව ටිකක් අඩු කරගන්න ඕන. මොකද මට ඕනේ රාත්තල් 225කට බර අඩු කරගන්න. ප්‍රධාන ආහාරවලට අමතරව සුළු ආහාර, අල බැදපුවා කන එක අත්ඇරියා. මං කලින් කවදාවත් කාලා නොතිබුණ විදිහට මේ මාස කීපයේදී මම සලාදයි, එළවළුයි වැඩියෙන් කෑවා!

“බර අඩු කරගන්න මම පෙලඹුණ තවත් හේතුවක් තමයි, ට්‍රක් රථ රියදුරෙක් හැටියට මට හැම අවුරුද්දකම මගේ වාහන බලපත්‍රය අලුත් කරගන්න වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණ එක. දියවැඩියාව හැදුණොත් මගේ බලපත්‍රය අවලංගු වෙන්න ඉඩ තිබුණා. කොහොමවුණත් දැන් තත්වය වෙනස් වෙලා. කොලෙස්ටරෝල් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමේ තියාගන්න දැන් මට බෙහෙත් අවශ්‍ය නැහැ. මගේ රුධිර පීඩනයත් අඩු වෙලා තියෙන නිසා දැන් ඒකට බෙහෙත් ගන්නේ අඩුවෙන්. මගේ ශක්තියත් වැඩි වෙලා. දරුණු කොන්දේ අමාරුවත් අඩු වෙලා. ඒ වගේම මට ටික ටික තරබාරු ගණයෙන් අයින් වෙන්නත් පුළුවන් වේගෙන එනවා!”

පිබිදෙව්!: “බර අඩු කිරීමට දායක වෙන්න බිරිඳකට හැකි වේද?”

මයික්: “අධික බර නැති කරගන්න උත්සාහ කරද්දී අත දෙන්න කෙනෙක් ඉන්න ඕන. මට හිතේ හැටියට කන්න දේවල් හදලා දෙද්දී මගේ බිරිඳ හිතුවේ මට ආදරේ නිසයි එහෙම කරන්නේ කියලා. ඒත් දැන් එයා මට උදව් කරනවා අවශ්‍ය ප්‍රමාණය විතරක් බෙදාගන්න. උත්සාහය අත්හරින්න බැහැ. මොකද එහෙම කළොත් මගේ බර වැඩි වෙන බව මම දන්නවා.”

▪ අමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස්හි මයික් නමැති තවත් අයෙක් ගැන සලකා බලන්න. හතළිස් තුන් හැවිරිදි ඔහු අඩි පහයි අඟල් අටක් උසය. ඔහුගේ බර කෙතරම් ඉහළට නැඟ තිබේද, බර වැඩිවීමට හේතුව කුමක්දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.

මයික්: “මගේ බර රාත්තල් 300කට විතර වැඩි වුණා. නිතරම මහන්සි ගතියක් දැනුණා. ඇඟට කිසි පණක් තිබුණෙත් නැහැ. හුස්ම ගැනීමේ අමාරුවක් තිබුණ හින්දා මට හරියට නින්ද ගියේත් නැහැ. ඒක නිසා මම දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගියා. මගේ බර වැඩි වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ නින්දේදී මගේ ස්වසන මාර්ගය අවහිර වෙන හින්දයි කියලා ඔහු නිර්ණය කළා. * මට රුධිර පීඩනයත් වැඩි වෙලා තියෙන බව ඔහු කිව්වා.”

පිබිදෙව්!: “ඔබේ ගැටලුවලට විසඳුමක් තිබුණාද?”

මයික්: “නිදාගෙන ඉන්නකොට නින්ද පහසු කරවන උපකරණයක් පාවිච්චි කරන්න කියලා ඔහු මට කිව්වා. ඒක පාවිච්චි කළහම මගේ උගුරේ තිබුණ හිර වෙන ගතිය නැති වෙලා සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට දවල් කාලේදී ඇඟපත වෙහෙසලා වැඩ කරන්න පුළුවන් වුණ හින්දා මගේ බර අඩු වෙන්න පටන්ගත්තා. ව්‍යායාම් යන්ත්‍රයකින් සතියකට තුන් වරක් ව්‍යායාම් කරන්නත් මම පටන්ගත්තා. හුඟක් කන එක අඩු කළා විතරක් නෙවෙයි දෙවෙනි පාරට බෙදාගන්න එකත් නතර කළා. අවුරුද්දක් ඇතුළත දැන් මගේ බර රාත්තල් 50කින් අඩු වෙලා. තව 50ක් අඩු කරගන්න ඕනෙ. ඉක්මනින්ම බර අඩු වෙන්නේ නැති වුණත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා මං දන්නවා.”

පිබිදෙව්!: “බර අඩු කරගන්න ඔයාට තිබුණේ වෙන මොන චේතනාවක්ද?”

මයික්: “මහත හින්දා විහිළු කරනකොට, එක එක නම් දානකොට ඒක අහගෙන ඉන්න එක සතුටක් නෙවෙයි. හරි කම්මැලි කෙනෙක් කියලායි අනිත් අය හිතන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මහත් වෙන්න හුඟක් හේතු බලපානවා කියලා. මං හිතන විදිහට මගේ ඇඟමහත් වීමට ආරේත් හේතු වෙන්න ඇති. මගේ පවුලේ හුඟදෙනෙක්ට බර වැඩිවීමේ ගැටලුව තියෙනවා.

“කොහොමවුණත්, බර අඩු කරගන්න නම් ඇඟ වෙහෙසන්නත්, කෑම බීම ගැන පරෙස්සම් වෙන්නත් ඕන.”

පිබිදෙව්! විසින් ඔරිගන්හි 38-හැවිරිදි වේන්වද සම්මුඛ සාකච්ඡාවකට කැඳවන ලදි. ඔහුට වයස අවුරුදු 31 වෙද්දී ඔහුගේ බර රාත්තල් 246ක් වුණා.

වේන්: මගේ බර එච්චර වැඩි වුණේ ඇයි කියලා දන්නවාද? මම කළේ ඇඟ පත වෙහෙසන්නේ නැති රැකියාවක්. මගේ දොස්තරව හම්බ වෙන්න ගිය වෙලාවේ, මගේ රුධිර පීඩනය වැඩි වෙලා තියෙන බව දැනගත්තහම මට පුදුම හිතුණා. මට හෘදයාබාධ ඇතිවීමේ අවදානමකුත් තිබුණා. ඔහු මාව පෝෂණවේදිණියක් ළඟට යැව්වා. නොවරදවාම ව්‍යායාම් කරන්නත්, කෑම ගන්න ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු කරන්නත් අවශ්‍ය බව ඈ මට කිව්වා. නොවරදවාම හැමදාම හැතැප්ම තුනක් ඇවිදින්න පටන්ගත්තා. හැම උදේකම පාන්දරින් නැඟිට්ටා ව්‍යායාම් කරන්න. කෑම බීම ගැනීමේ පුරුදු සම්බන්ධයෙන් ආපහු මාවම දැනුවත් කරගන්න මට සිද්ධ වුණා. පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගන්න එක නතර කළා. පාන් කෑමත්, සිසිල් බීම පානයත් අඩු කළා. ඒ වෙනුවට වැඩි පුර පලතුරු සහ එළවළු ගත්තා. දැන් මගේ බර රාත්තල් 175යි!”

පිබිදෙව්!: “මොන වගේ ප්‍රයෝජනද ඔබට ලැබිලා තියෙන්නේ?”

වේන්: “ඉස්සරට වඩා දැන් මගේ ශක්තිය වැඩි වෙලා දැන් මට නව පණක් ලැබිලා තියෙනවා. කලින් මට දැනුණේ මම මැරිලා වගෙයි. තවත් ප්‍රයෝජනයක් තමයි අධික රුධිර පීඩනයට ගන්න බෙහෙතුත් නවත්වන්න පුළුවන් වෙලා තියෙන එක. දැන් අනිත් අය මාව විහිළුවකට ගන්න එකක් නැහැයි කියලා දන්න නිසා ඒගොල්ලෝ දිහා කෙළින් බලාගෙන කතා කරන්න දැන් මට පුළුවන්.”

▪ චාල්ස්ගේ (සැබෑ නම නෙවෙයි) උස අඩි හයයි අඟල් පහයි. ඔහුගේ උපරිම බර රාත්තල් 370කට නැඟලා තියෙනවා.

චාල්ස්: “මට දරුණු ලෙඩ කීපයක්ම තිබුණා. එන්න එන්නම තත්වය නරක අතට හැරුණා. පඩි නඟින්න බැරි වුණා. හරි හැටි ශක්තියක් තිබුණේ නැති නිසා වැඩ පළ කරගන්නත් බැරි වුණා. මම කරන්නේ එක තැන ඉඳගෙන කරන රැකියාවක්. පර්යේෂණයන් කිරීමෙයි, වගකීම් ඉසිලීමෙයි රාජකාරියක් මට තියෙන්නේ. විශේෂයෙන්ම මගේ දොස්තරව මුණගැහුණාට පස්සේ මම දැනගත්තා මොනවා හරි කරලා මගේ බර අඩු කරගන්න ඕන බව. ඔහොම ගියොත් ඔයාට ස්ට්‍රෝක් (ආඝාතයක්) හැදිලා තමයි නවතින්නේ කියලා ඔහු අනතුරු ඇඟෙව්වා. එහෙම වුණ අයට වෙන දේ මම දැකලා තියෙනවා. ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන බව මට වැටහුණා. නිර්දේශ කළ විදිහටම මම වරද්දන්නේ නැතුව නිතිපතා ව්‍යායාම් කරනවාද කියලා මගේ දොස්තර සොයා බැලුවා. ගත යුතු හා නොගත යුතු ආහාර සම්බන්ධයෙන් පවසමින් දැඩි පාලනයක් ඇතුව ආහාර ගැනීම අවශ්‍ය බවත් ඔහු මට පෙන්වා දුන්නා. දැන් අවුරුද්දක් විතර ගෙවිලා තියෙනවා. මගේ බර රාත්තල් 300කට බැහැලා. ඒත් තවත් බර අඩු කරගන්න ඕන බව මම දන්නවා. මේ වෙනකොටත් ලැබිලා තියෙන ප්‍රයෝජන දිහා බලද්දී කැප කිරීම් කිරීම හා වෑයම අපතේ ගිහින් නැති බව වැටහෙනවා. දැන් මට පඩි නඟින්න පුළුවන්. වැඩි ශක්තියකුත් තියෙනවා.”

▪ එල් සැල්වදෝරයේ කෙනෙකු වන මාර්තාගේ බර රාත්තල් 182 දක්වා වැඩි වී තිබිණ. උස අඩි පහයි, අඟල් පහක් වූ ඇය තරබාරු ගණයට වැටී තිබිණ.

මාර්තා: “දොස්තරවරයෙකුව මුණගැහෙන්න මම ගියා. බර අඩු කරගන්න එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කියලා ඔහු මට කිව්වා. ඔහුගේ පළපුරුදු වෛද්‍ය උපදෙස්වලට මම ගරු කළා. උපදෙස් ලබාගන්න ඔහු මාව පෝෂණවේදිණියක් ළඟට යැව්වා. ගත යුතු ආහාර සම්බන්ධයෙන් පෝෂණවේදිණිය මට පැහැදිලි කළා. ආහාර සීමා කරන අන්දම සහ කන කෑම ගැන සෝදිසියෙන් සිටිය යුතු අන්දම ඇය මට පෙන්නා දුන්නා. මුලින් හැම සතියකම ඇයට වාර්තාවක් දෙන්නත්, ඊට පස්සේ මාසෙකට වරක් මගේ දියුණුව පෙන්නන්නත් මට සිද්ධ වුණා. වෛද්‍යවරයා මෙන්ම පෝෂණවේදිණිය යන දෙදෙනාම මාව දිරිගැන්නුවා දිගටම එහෙම කරන්න. එතකොට මගේ බර රාත්තල් 27කින් අඩු වුණා. රාත්තල් 150 ඒ විදිහටම තියාගන්න දැන් මම උත්සාහ කරනවා.”

පිබිදෙව්!: “ව්‍යායාම් කිරීමයි, බෙහෙත් ගැනීමයි ගැන මොකක්ද කියන්න තියෙන්නේ?”

මාර්තා: “මට කොලෙස්ටරෝල් ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඒ නිසා බෙහෙත් ගන්න වුණේ නැහැ. කඩිනමින් ඇවිදීම මගේ දෛනික චර්යාවට ඇතුළත් කළා.”

පිබිදෙව්!: “යාළුවන්ගේ ගෙවල්වලට ගියහම සාමාන්‍යය ප්‍රමාණයට වඩා කන්න කියලා බල කළහම ඔබ මොනවද කළේ?”

මාර්තා: “මම ඒගොල්ලන්ට කියනවා, ‘මගේ දොස්තරවරයා මට කියලා තියෙන්නේ මගේ සෞඛ්‍ය තත්වය හොඳට තියාගන්න නම් ආහාර පාලනය කරන්න ඕන කියලා.’ ඊට පස්සේ ඒගොල්ලෝ බල කරන්නේ නැහැ.”

එමනිසා ඔබේ බර වැඩි නම් හෝ ඔබ තරබාරු නම් ඒ ගැන ඔබට කුමක් කළ හැකිද? “හිත ඇත්නම් පත කුඩාද” යන පැරණි කියමන සැබෑවකි. ඒ ගැන යමක් කිරීමට වුවමනාවක් හා ආත්ම ශක්තියක් ඔබට තිබේද? බර වැඩි දරුවෙකු හෝ බර වැඩි වැඩිහිටියෙකු වශයෙන් ඔබ තෝරන්නේ කුමක්ද? බර අඩු කරගැනීමද, ජීවිතය කෙටි කරගැනීමද? ක්‍රියාශීලී ජීවන රටාවක් අනුගමනය කරන්න. දැරූ වෑයමෙන් තෘප්තියක් ලබන්න. පුංචි පුංචි දේවල් ගැන සැලකිලිමත් වීමෙන් පුංචි ඇඳුමක් ඇඟ ලා ගැනීමේ ප්‍රීතිය ලබන්න!

[පාදසටහන]

^ 11 ඡේ. නින්දේදී ස්වසන මාර්ගය අවහිර වීම පිළිබඳව වැඩි විස්තර සඳහා 2004 පෙබරවාරි 8 පිබිදෙව්! 10-12වන පිටු බලන්න. (සිංහලෙන් නැත.)

[23වන පිටුවේ කොටුව]

අතිරික්ත මේදය ඉවත් කිරීමද පිළිතුර?

අතිරික්ත මේදය ඉවත් කිරීම (Liposuction) යනු කුමක්ද? එක් ශබ්දකෝෂයක එය නිර්වචනය කරන්නේ මෙසේය. “එය මේදය වැඩියෙන් තියෙන කලවා හෝ උදරය වැනි ස්ථානවල තිබෙන මේදය ඉවතට ඇදගැනීමේ ක්‍රියාවලිය මගින් සිදු කරනු ලබන රුව හැඩගැන්වීමේ සැත්කමකි.” කෙසේවෙතත් මෙය තරබාරුකම නැති කරගැනීමට පිළියමක් වේද?

අතිරික්ත මේදය ඉවත් කිරීම රුව හැඩගන්වන සැත්කමක් බව සුදුසු බර පිළිබඳ මේයෝ සායනය පවසයි. එය බර අඩු කිරීමට විසඳුම නොවේ. සම යටට සිහින් බටයක් ඇතුල් කර මේද සෛල ශරීරයෙන් පිටතට ඇදීමකි. එකවර රාත්තල් කීපයක් අඩු කළ හැකියි. කෙසේවෙතත් “මෙම සැත්කම තරබාරුවට ප්‍රතිකර්මයක් නොවේ.” එය හානියක් නොවන සැත්කමක්ද? “බර හේතුවෙන් දියවැඩියාව හා හෘදයාබාධ වැනි රෝග සෑදී ඇති අය එම සැත්කමට භාජනය වීමෙන් වැඩි අවදානමකට ලක් වේ.”