Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

යුග දිවියේ සතුට ගැන අනාවැකි

විවාහක යුවළයන් සියගණනක් මුදල් හා ලිංගික කාරණා වැනි බැරෑරුම් විෂයන් පිළිබඳව කළ සාකච්ඡාවක්, අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් සියැට්ල් නුවර පර්යේෂක කණ්ඩායමක් විසින් වීඩියෝ කළා. ඉන්පසු, “කලත්‍රයන් ජීවිතය දෙස බලන ආකාරය ගැන, එමෙන්ම කලත්‍රයෙක් අනෙක් තැනැත්තාගේ අදහස් පිළිගන්න ආකාරය හා එකිනෙකාගේ ගුණ දොස් දක්වද්දී ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය ගැන” සැලකිල්ලට ගෙන විවාහයේ සාර්ථකත්වය පිළිබඳව එම කණ්ඩායම අනාවැකි පළ කළා කියා එක් පුවත් සඟරාවක වාර්තා කරනවා. (Science News) අවුරුදු හතරකට පසු, පළ කළ එම අනාවැකි සම්මුඛ සාකච්ඡාවට ආ යුවළයන්ගෙන් සියයට 94දෙනෙකුට සැබෑ වූ බව ඔප්පු වුණා. විවාහයේ සතුටට දායක වුණේ මොනවාද? “විහිළු තහළුවෙන් සිටි අය හා උදාසීනව සිටි අයගේ අනුපාතය 5ට 1ක් වී තිබුණා. සාර්ථක විවාහයක් ගත කර තිබුණේ විහිළු තහළුවෙන් සිටි අයයි. දික්කසාදයට හේතුවක් වී තිබුණේ එක් කලත්‍රයෙක් කතා කරන විට අනෙක් කෙනා මුහුණ නරක් කරගෙන සිටීමයි” කියා ලිපියේ සඳහන් වෙනවා. එක් පර්යේෂකයෙක් සඳහන් කළේ, “අම්ලයකින් යකඩයක් ඛාදනය වන්නා සේම නින්දාවෙන් විවාහයක්ද විනාශ වන” බවයි. එම කණ්ඩායම සොයාගත් දෑ ප්‍රශ්න ගැටලු තිබෙන විවාහයන්ට උපකාර කිරීමට යොදාන්නා අතර උපදෙස් ලැබීමෙන් දින කිහිපයකට පසු තුනෙන් දෙකකගේ විවාහයන් සාර්ථක වුණා.

කුරුල්ලොත් හපන්නු

සත්ව රාජධානියේ නුවණක්කාරයෝ යන පදවි නාමය ලබාගැනීමට චිම්පන්සි සහ ඩොල්ෆින් සමඟ දැන් කුරුල්ලොත් හරි හරියට තරඟ වදින බවට මෑතක දී කළ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා කියා ලන්ඩනයේ එක් සඟරාවක සඳහන් වෙනවා. (The Sunday Times) කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විනිවිද දැකිය හැකි නලයක් ගෙන නලයේ එක් පැත්තක සිදුරක් සාදා එම සිදුර කෙළින් අතට තිබෙන නලයක විවරයට යාවෙන ලෙස හරස් අතට තැබුවා. ඉන්පසු එසේ හරස් අතට තැබූ නලයේ සිදුරට එහායින් ආහාර ස්වල්පයක් තැබුවා. මෙම ආහාරගැනීමට චිම්පන්සින් උත්සාහ කළත් ආහාර සිදුරෙන් වැටුණා. නමුත් වුඩ්පෙකර් ෆින්චර්ස් නමැති කුරුල්ලා කෝටුවක් යොදාගෙන ආහාර වැටීමට නොදී එළියට ගත්තා. ඊට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, නව කැලිඩෝනියාවේ බෙටි නම් කපුටා ගෙවත්තෙන් කමිබියක් සොයාගෙන එයින් කොක්කක් තනා එම කාර්යය කළ ආකාරය දුටුවා. චිපන්සින්ට එවැනි දෙයක් කිරීමට දැනුමක් තිබුණේ නැහැ. එම සොයාගැනීම්වලට අනුව ආම්පන්න තැනීමට හැකියාව තිබෙන්නේ චිම්පන්සින්ට පමණයි යනුවෙන් “කලින් පිළිගත් දේ ඉල්ලා අස් කරගැනීමට සිදුව ඇතැයි” කියා එම සඟරාවේ සඳහන් වෙනවා.

රූපවාහිනිය සහ ළදරු මනසේ වර්ධනය

දිගු වේලාවක් රූපවාහිනිය නරඹන දරුවන්ට අදහස් හුවමාරු කිරීමේ අපහසුතා ඇති වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන බවට ජපානයේ ළමා විශේෂඥයන්ගේ සංගමයේ වෛද්‍යවරුන් පවසනවා කියා පුවත් පතක සඳහන් වෙනවා. (Mainichi Daily News) එම ගැටලුවලට වචන මතක තබාගැනීමේ හැකියාව අඩුවීම, දෙමාපියන් සමඟ දෘෂ්ටි සම්බන්ධයක් තබාගැනීමට සහ අන්තර් පුද්ගල සබඳතා පැවැත්වීමට නොහැකි වීම වැනි දේත් ඇතුළත් වෙනවා. “දරුවන් දෙමාපියන් සමඟත්, එළිමහනෙත් සෙල්ලම් කරන කාලය අඩුවීම නිසා දරුවන්ගේ මනස නිරෝගි ලෙස වර්ධනය වන්නේ නැහැයි” කියා එම සංගමයේ සාමාජිකයෙක් වූ හිරෝමි උට්සුමි පැවසුවා. “දරුවන් කෑම කන වේලාවේ සහ ළදරුවන්ට මව්කිරි දෙන වේලාවේ රූපවාහිනිය නිවා දමන්න කියාත්, දරුවන්ගේ කාමර තුළ රූපවාහිනි, වීඩියෝ යන්ත්‍ර සහ පරිගණක නොතබන්න කියාත් දෙමාපියන්ට” එම සංගමයෙන් නිර්දේශ කරනවා කියා පුවත්පතේ සඳහන් වෙනවා. “දෙමාපියන් වෛද්‍යවරුන්ගේ අවවාදය පිළිගෙන රූපවාහිනිය සහ වීඩියෝ නැරඹීම දරුවන්ට තහනම් කිරීමෙන් පසු” අදහස් හුවමාරු කිරීමේ හැකියාව දියුණු වී තිබෙන බවද තවදුරටත් එහි සඳහන් කරයි.

“උමං දුම්රිය ස්ථානවල” පුස්තකාලයක්

කියවීමට රුචිකත්වයක් වර්ධනය කිරීම සඳහා මෙක්සිකෝ නගරයේ පිහිටි උමං දුම්රිය ප්‍රවාහන පද්ධතියෙහි පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මඟියෙකුට තම ගමන අරඹන දුම්රිය පොළේදී ලොකු අකුරින් මුද්‍රිත මෙක්සිකානු පොත් පත් ලබාගත හැකියි. පසුව මඟියා දුම්රියේ ගමන් කරන විට කියවා ගමනාන්තයේදී පොත නැවත භාර දීමට හැකියි. “මෙයට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. වැඩක් කිරීමට නොහැකි කාලය ඉගෙනීමට සහ විනෝදයක් ලැබීමට යෙදවිය හැකියි” කියා එම වැඩසටහනේ අධ්‍යක්ෂක ඒරන් ලොපෙස් බ්‍රාවෝ පැවසුවා. එම අරමුණ සඳහා සාදා තිබූ වෙළඳ කුටිවල පළමු මාසය තුළ පොත් 1,30,000ක් බෙදාහැරියා කියා ජාත්‍යන්තර පුවත්පතක සඳහන් වෙනවා. (The Miami Herald) මෙම වැඩසටහන එක් දුම්රිය මාර්ගයක පිහිටි දුම්රිය පොළවල් 21ක පමණයි ආරම්භ කර තිබෙන්නේ. මඟීන් මිලියන 5ක් පමණ ගමන් කරන මුළු උමං දුම්රිය පද්ධතියටම වැඩසටහන ව්‍යාප්ත කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙනවා.

බ්‍රිතාන්‍ය දරු උපත්

“බ්‍රිතාන්‍ය වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාව අඩු වී තිබෙනවා” කියා ලන්ඩනයේ එක් පුවත්පතක වාර්තා කරනවා. (The Independent) බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2001-2002 වර්ෂ සඳහා ප්‍රකාශ කළ සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ, තම දරුවන් බිහි කරන විට වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමක් නොමැතිව දරු උපත සාමාන්‍ය ලෙස සිදු කරන්නේ මව්වරුන්ගෙන් සියයට 45ක් පමණක් බවයි. වර්ෂ 1980දී සියයට 9ක් වූ සිසේරියන් සැත්කම් ප්‍රමාණය 2001-2002 වන විට 22.3ක් දක්වා වැඩි වී තිබෙනවා. එක් රෝහලක මාතෘ ඒකකයේ මෙම සංඛ්‍යාව සියයට 56ක් දක්වා ඉහළ ගියා. “සිසේරියන් සැත්කම් සඳහා ස්ත්‍රීන් තුළ තිබෙන කැමැත්ත දිනෙන් දින වැඩි වෙනවා” කියා බ්‍රිතාන්‍ය ප්‍රසවවේදීන්ගේ රාජකීය විද්‍යාලයේ පීටර් බොඑන් සිම්ප්කින්ස් පවසනවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “රැකියාවන්වල නියුතු . . . කාන්තාවන්ට අවශ්‍ය වන්නේ තමන් කැමති දිනයක පැමිණ දරුවා ප්‍රසුත කරන්නයි. . . . සිසේරියන් සැත්කම් ආරක්ෂාකාරී දෙයක් ලෙසයි පෙනෙන්න තිබෙන්නේ. එහෙත් සැබෑව වන්නේ එයින් රෝගවලට නිරාවරණය වීමට තිබෙන ඉඩ කඩ නිසැකවම වැඩිවීමයි.” පර්යේෂකයන් තවදුරටත් අනතුරු අඟවන්නේ තම පළමු දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කළොත් නැවත ගැබ්ගැනීම දුෂ්කර වන අතර දෙවෙනි දරුවා සාමාන්‍ය දරු ප්‍රසුතියක් වීමට තිබෙන ඉඩ කඩ අඩු වන බවයි.

නහඹරයන්ගේ ආහාර පාලනය හා බර වැඩිවීම

“නහඹරයන් බර අඩු කරගැනීමට ආහාර පාලනය කිරීම නිසා ඔවුන්ගේ බර වැඩි වෙන්න පුළුවන්. එය තරබාරුවට මුල පිරීමක්” කියා එක් සඟරාවක සඳහන් වෙනවා. (U.S. News & World Report) අවුරුදු 9ත් 14ත් අතර වයස් මට්ටම්වල සිටින යෞවනයන් 15,000ක් පමණ යොදාගෙන අවුරුදු තුනක් පුරා කළ අධ්‍යයනයකින් පෙනී ගියේ “ආහාර පාලනය කළ ගැහැනු ළමයින් හා පිරිමි ළමයින්ගේ බර ආහාර පාලනය නොකළ අයගේ බරට වඩා වැඩි වූ බවයි. දේහ ස්කන්ධ දර්ශකයේ අගය වැඩි වී තිබුණා. ඒ අනුව ඔවුන් සිටියේ තරබාරු ගනයෙයි.” පර්යේෂකයන් මෙසේ පවසන බව වාර්තාවේ සඳහන් වෙනවා. “ආහාර පාලනය කිරීමෙන් අධික ලෙස ආහාරගැනීමට පෙලඹිය හැකියි.” නිතර ආහාර පාලනය කළ ගැහැනු ළමයි අනෙක් අයට වඩා “12 ගුණයක් වැඩියෙන් ආහාර ගත් බව පිළිගත්තා.”

පූජකයන්ගේ හිඟයක්

කතෝලික පූජක පදවිය සඳහා අයදුම් නොකිරීම නිසා “ස්පාඤ්ඤයේ සෙමනේරි සියයට 50කටත් වඩා වසා දැමීමේ තර්ජනයකට ලක් වී” තිබෙන බව ස්පාඤ්ඤ පුවත්පතක් වාර්තා කරනවා. (ABC) පසුගිය වසරේදී “සෙමනේරි 14කට නව පූජකයන් සඳහා කිසිදු අයදුම්පතක් නොලැබුණ අතර තවත් සෙමනේරි 18ට එක අයදුම්කරුවෙකු පමණයි සිටියේ” කියා තවදුරටත් පවසනවා. හිඟයට හේතුව කුමක්ද? මැඩ්‍රිඩ් නගරයේ සෙමනේරියක දේවගැතියෙක් මෙසේ පැවසුවා. “යුරෝපය, ලෞකික දේවල්වල දැඩි ලෙස ගැලී සිටීම, ඇදහිල්ල සහ ක්‍රිස්තියානි ධර්මය පිරිහීමට හේතුවක්.” ඔහු තවදුරටත් පැවසුවේ, “නවීන සමාජයට [කතෝලික] පල්ලිය සහ එහි කෙරෙන ක්‍රියාකාරකම් ගැන එතරම් පැහැදීමක් නැහැ” කියායි.