Skip to content

පටුනට යන්න

මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?

මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?

“ආදරෙයි කියලා මුලින්ම කියන්න ඕනේ පිරිමි ළමයාද? ගැහැනු ළමයාද? මම ආසයි ඒ ප්‍රශ්නයට උත්තරයක් ලබාගන්න.”—ලෝරා. *

පෙම් සබඳතාවක් පටන්ගන්න ඔබ ආස කරන පිරිමි ළමයා ඊයේ පෙරේදා ඔබට මුණගැසුණු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාලයක් පුරා දන්න කෙනෙක් වෙනත් පුළුවන්. ඔහුටත් ඔබ ගැන ආදරයක් හිතිලා තියෙනවා කියා ඔබට හොඳටම විශ්වාසයි. ඒත් ඔහු භය නිසා හෝ ලජ්ජාව නිසා එය සඟවාගෙන සිටිනවා ඇතැයි කියා ඔබට සිතෙයි. ඒ නිසා මුල් පියවරගැනීම හොඳ දෙයක් විය හැකියි කියා ඔබ සිතයි. *

වැඩි විස්තර සාකච්ඡා කරන්න පෙර අපි ඔබේ පවුලේ සහ ඔබ වටා සිටින අයගේ හැඟීම් ගැන මුලින්ම සිතා බලමු. උදාහරණයකට ඔබ ජීවත්වන රටේ සිරිත හැටියට දෙමාපියන්ද ඔබට කලත්‍රයෙක් සොයා දෙන්නේ? * විවාහයට පෙර පවත්වන ඇසුර සහ විවාහය පෞද්ගලික දේවල් කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. ඒත් ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ අන් අයව කෝපයට පත් නොකර සිටීමටයි. ඒවගේම පවුල් සාමාජිකයන්ගේ හා තමන් ආදරය කරන අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීමටත් ඔවුන්ට අවශ්‍යයි.

එහෙත්, බොහෝ රටවල යුවළයන් විවාහය තීරණය කිරීමට පෙර ආශ්‍රය කර බැලීම සඳහා තම කැමැත්තට අනුව සබඳතාවක් ඇරඹීම අද සාමාන්‍ය දෙයක්. ගැහැනු ළමයා මුලින්ම ආදරෙයි කියා කීම වරදක්ද? නැවතත් කියන්න තියෙන්නේ ඔබේ පවුලේ සහ ඔබ අවට ඉන්න අයගේ හැඟීම් ගැන සිතා බැලීමට සිදු වෙන බවයි. ඔබ ගන්න ක්‍රියාමාර්ගය හුඟදෙනෙකුව කම්පනයට හෝ කෝපයට පත් කරාවිද?

තරුණියක් මුල් පියවර ගැනීම සුදුසුද නැද්ද යන්න ගැන බයිබලය තවදුරටත් ලබාදෙන්නේ කුමනාකාරයේ පුළුල් අවබෝධයක්ද? බයිබල් කාලයේ දේවභයැති රූත් නමැති කාන්තාව විවාහ වීමේ බලාපොරොත්තුව ඇතිවයි බෝවස් නමැති පුරුෂයා වෙත ගියේ. යෙහෝවා දෙවි ඇගේ වෑයමට ආශීර්වාද කළා! (රූත් 3:1-13) ඇය වැන්දඹුවක්. ඇය සිටියේ විවාහ වීමට සුදුසු වයසකයි. ඇය බෝවස් සමඟ බොරුවට ඉඟි බිඟි පෑවේ නැහැ. ඇය විවාහය සම්බන්ධ දෙවිගේ නීති පිළිපැද්දා.—ද්විතීය කතාව 25:5-10.

සමහරවිට ඔබ විවාහ වීමට සුදුසු වයසක සිටිනවා ඇති. ඒවගේම හිත ගිය පිරිමි ළමයෙකුත් ඉන්නවා ඇති. ඒත් ඔබේ හිත ගිය කෙනාට එසේම හැඟෙන්නේ නැත්නම් හිතේ තියෙන දේ හෙළි කිරීම සිත්තැවුලට සහ අවදානමට හේතුවක් වෙන්න පුළුවන්. එය හරියට ඔබේ හදවත රැගෙන තව කෙනෙකුගේ අතේ තබනවා වගේ වැඩක්. ඔහු එය පරෙස්සමෙන් අල්ලගනියිද? බිමට අත්හරිවීද? ලජ්ජාවට හෝ මානසික බිඳ වැටීමකට පත් නොවී සිටීමට හොඳම දේ, බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.

බුද්ධිමත්ව කටයුතු කරන්න

ඔබ ආදරය කරන කෙනා ගැන දවල් සිහින මවන එක පහසුවෙන්ම වෙන්න පුළුවන් දෙයක්. සමහරවිට ඔබේ විවාහ දිනය සහ ඉන්පසුව සිදු වන දේ ගැන පවා සිහින මවන්න පුළුවන්. මෙවැනි දවල් සිහිනවලින් සතුටක් ලැබෙන්න ඉඩ තිබුණත් එය සිතුවිලි මාත්‍රයක්පමණයි. වෙනත් විදිහකින් කියනවා නම් එය සිහින ලෝකයක් විතරයි. “ප්‍රාර්ථනාව ප්‍රමාද වීමෙන් සිතට ලෙඩ පැමිණේ” යනුවෙන් බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:12) දවල් සිහින දැකීමෙන් හරි විනිශ්චයක් කිරීමේ ඔබ සතු හැකියාව බොඳ විය හැකියි. නමුත් හිතෝපදේශ 14:15හි මෙසේ පවසනවා. “බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” බුද්ධිමත් කියන වචනයේ ගැබ් වී ඇති අර්ථය නම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම සහ හොඳ තීරණ ගැනීමේ හැකියාවයි. දැන් ප්‍රශ්නේ, ආදර හැඟීම් ඇති වූ විට ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්නේ කොහොමද කියන එකයි.

මුලින්ම ‘දැනුම ඇතුව ක්‍රියා කරන්න’ උත්සාහ කරන්න. (හිතෝපදේශ 13:16) එක් තරුණියක් මේ වගේ දෙයක් ප්‍රකාශ කරනවා. “යම් පුද්ගලයෙකුව හොඳින් දැනහඳුනා ගන්නේ නැතිව ඔහුට ආදරය කරන්න කවදාවත් ඔබට බැහැ.” යම් පුද්ගලයෙකු කෙරෙහි ආලවන්ත හැඟීමක් ඇති කරගැනීමට පෙර ඔබට කරන්න වැඩක් තිබෙනවා. ඒ තමයි, ඔහු කරන කියන දේවල්වලට අවධානය දීම. ඒවගේම ඔහු මිනිසුන්ට සලකන්නේ කෙසේද කියා නිරීක්ෂණය කිරීම. “ඔහුගේ මිතුරන්ගෙන් සහ ඔහුව හොඳින් හඳුනන වැඩිහිටියන්ගෙන් ඔහු ගැන අසන්න” කියා එක් තරුණයෙක් යෝජනා කරනවා. ඔහු ඔහුගේ ක්‍රිස්තියානි සභාවේ “හොඳ සාක්ෂියක් ලැබූ” කෙනෙකුද? (ක්‍රියා 16:2) ඒ වගේම තරුණියක් වන ඉසබෙල්ද මෙවැනිම යෝජනාවක් දෙනවා. “කාණ්ඩයක් සමඟ ගමන් බිමන් යෑම සහ ඔහුගේ පවුලේ අයව දැනහඳුනා ගැනීම බොහෝ සෙයින් උපකාරයක් විය හැකියි.” එලෙස ගමන් බිමන් යෑමෙන් හැඟීම්වලට යටපත් නොවී නිදහසේ ඔහුව නිරීක්ෂණයට කිරීමට ඔබට හැකියාවක් ලැබෙනවා.

මේ අයුරින් කෙනෙකුව දැනහඳුනා ගැනීමට කාලය වගේම ඉවසීමත් අවශ්‍යයි. එසේ වුවත් එමගින් ඔබට ඔහුගේ ආකල්ප හා ගති ගුණ දැකගැනීමට හැකිවන නිසා ඔහු කෙරෙහි ඔබට තිබෙන හැඟීම ස්ථිර කරගැනීමට හෝ වෙනස් කරගැනීමට හැකියාවක් ලැබෙනවා. “ළමයෙකුගේ [හෝ තරුණයෙකුගේ] ක්‍රියාව පිරිසිදු වුවත් යුතු වුවත් ඔහුගේ හැසිරීමෙන් ඔහු ඇඳිනගනු ලැබේ” කියායි හිතෝපදේශ 20:11හි සඳහන් වන්නේ. ඔව්, කවදා හෝ ඔහුගේ නියම ස්වභාවය දැකගන්න පුළුවන් වේවි.

එවැනි දේවල් සොයා බැලීමට පෙර ඉක්මනින් වී ඔබේ හැඟීම් හෙළි කිරීමට තිබෙන පෙලඹීම පාලනය කරගන්න. ඔබ කට ඉස්සර කරගෙන හදිසියේවත් ඔහු ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවොත් කාලයක් යන විට ඔහු විවාහ කලත්‍රයෙකු හැටියට සුදුසු නැහැයි කියා ඔබ තේරුම්ගැනීමට ඉඩ තිබෙනවා. * ඒවගේම ඔබ ආදරය ඉක්මනින්ම ප්‍රකාශ කර අන්තිමේදී එය නවත්වන්න සිදු වුණොත් ඔහුට එය දැඩි වේදනාවක් විය හැකියි.

ඔබ පිළිබඳව මවන චිත්‍රය

ඔබ උනන්දුව දක්වන තරුණයාත් ඔබව නිරීක්ෂණය කරනවා ඇති! ඔබ දෙවිට ප්‍රසන්න ගුණාංග දිස්වෙන ආකාරයකින් ජීවත් වෙනවාද? “හුඟාක් ගැහැනු ළමයි සුදුසු විදිහට අඳින්නේ නැහැ. ඔබට ආත්මික දේ අගයන කෙනෙකුගේ අවධානය දිනාගන්න අවශ්‍ය නම් විනීතව අඳින්න ඕනේ.” එහෙම කියන්නේ ඉසබෙල්. විලාසිතා ලෝකයේ මොන විලාසිතා තිබුණත් ඔබ “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින්” සැරසෙනවා නම් භක්තිවන්ත පුරුෂයෙකුට ඔබ ගැන පැහැදීමක් ඇති වෙයි.—1 තිමෝති 2:9.

තරුණ ක්‍රිස්තියානීන්ට බයිබලයේ දිරිගන්වන්නේ ‘කතාවෙන් ආදර්ශයක් වෙන්න’ කියායි. (1 තිමෝති 4:12) ඔබ කතා කරන විදිහෙන් ඔබ ගැන බොහෝ දේ කියාපායි. තරුණයා සමඟ කතා කිරීමට අවස්ථාවන් ලැබෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද? ඔහු ලජ්ජාකාරයෙක් නම් සමහරවිට ඔහුට යම් අපහසුතාවක් හා භයක් දැනිය හැකියි. ඇබී නමැති තරුණිය මෙහෙම දෙයක් කියනවා. “ඔහු ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියා දැනගැනීම සඳහා කතාවට මුල පුරන්න ඔබට සිදු විය හැකියි.”

කොහොමද එය කරන්නේ? ඔබ තොරතෝංචියක් නැතිව ඔබ ගැනම ඔහේ කතා කරගෙන යනවා නම් ඔබ ආත්මාර්ථකාමී සහ ටිකක් මෝඩ පහේ කෙනෙක් කියා ඔහු නිගමනය කරන්න ඉඩ තිබෙනවා. “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න” කියා බයිබලයේ නිර්දේශ කරනවා. (ෆිලිප්පි 2:4) ඔහු ගැන හෝ ඔහු උනන්දුව දක්වන දේවල් ගැන යම් යෝග්‍ය ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් ඔහුට තමන් ගැන යමක් පැවසීමට දිරියක් ලැබෙයි. දේවල් සරලව තබාගන්න. ඔහුගෙන් ප්‍රශ්න වැලක් අසන්න එපා.

මෙය “වංචා බස් කියන” හෝ “බොරු කියන” වේලාවක් නෙමෙයි. (ගීතාවලිය 120:2) කල්පනාකාරී පුද්ගලයෙක් නම් එවැනි කතා බහක් අවංක නැහැයි කියා තේරුම්ගනියි. ඒ අතරතුර, ඔහු ඇසීමට ප්‍රිය කරයි කියා ඔබට හිතෙන දේවල් ඔහුට කීමෙන් වළකින්න. ඔබේ ආත්මික ඉලක්ක වැනි ගැඹුරු කාරණාවලට ඔබේ සාකච්ඡාව පෙරළුණොත් විශේෂයෙන් එය සිදු විය හැකියි. අවංක වීමෙන්, සත්‍යවාදී වීමෙන් හා අව්‍යාජ වීමෙන් සැමවිටම ඔබේ සැබෑ තත්වය පෙන්වන්න. එවිට පමණයි ඔබ දෙදෙනා ගමන් කරන්නේ එකම මඟකද කියා ඔබට දැනගත හැකි වන්නේ.

ප්‍රතිචාරයක් නැත්නම්

මෙසේ අවංක වෑයමක් දැරුවත් කිසිම ආලවන්ත හැඟීමක් පුබුදින්නේ නැත්නම් මොකද කරන්නේ? සමහරවිට සති හෝ මාස ගණන් ගත වුණත් ඔහු ඔබ ගැන කිසි උනන්දුවක් නොපෙන්වනවා ඇති. ඔහු ප්‍රතිචාරයක් නොදක්වන්නේ ලජ්ජාව නිසයි කියා ඔබ සිතිය යුතුද? නැත්නම් ඔබෙන්ම මෙසේ අසාගත හැකියි. ‘ඔහු ඒ තරම්ම ලජ්ජාශීලී නම් විවාහයට ඔහු සූදානම්ද? මම ඔහුව විවාහ කරගත්තොත් පවුලේ හිස ලෙස මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහුට පුළුවන් වෙයිද? නැත්නම් මගෙන් ඒ දේ බලාපොරොත්තු වෙයිද?’ (1 කොරින්ති 11:3) සිතා බැලිය යුතු තවත් ප්‍රශ්නයක් තමයි ‘ඇත්තටම ඔහු ලජ්ජාශීලීද නැත්නම් මා ගැන ආදරයක් ඔහු තුළ නැද්ද?’ මේ නිගමනයට එලඹීම හිතට දුකක් වෙන්න පුළුවන්. ඒත් එවැන්නක් පිළිගැනීමෙන් ඔබට ආදරය නොකරන කෙනෙකුට ඔබ ආදරෙයි කියා පැවසීමෙන් ඇති වන ලජ්ජාව වළක්වාගත හැකියි.

සමහරවිට ඔබ ගැන අදහසක් ඔහුටත් පහළ වී ඇතැයි කියා ඔහුගේ ක්‍රියා කලාපයෙන් ඔබට පෙනෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රකාශ කිරීමට ඔහු ප්‍රමාද වෙන අතර පොඩි තල්ලුවක් දුන්නොත් නම් හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියා ඔබට හිතෙන්න පුළුවන්. සමහරවිට එහෙම වෙන්න පුළුවන්. ඒත්, ඔබ මුල් පියවර ගැනීමට තීරණය කරනවා නම් එය අවදානම් සහිත වැඩක් කියා ඔබ තේරුම්ගත යුතුයි. ඔබ කියන්න යන දේ ගැන විතරක් නෙමෙයි එය කිව යුතු සුදුසු වේලාව මොකක්ද කියාත් හොඳට සිතා බැලිය යුතුයි.

උදාහරණයකට, ඔබ “ආදරෙයි” කියා කිය-න්න ඉක්මන් වෙනවාට වඩා ඔහු දක්වන උනන්දුවට ඔබේ අකමැත්තක් නැති බව ඇඟවීමට ඔබ තීරණය කළ හැකියි. නිස්කලංක සුදුසු වේලාවක් බලා ඔහුව දැනහඳුනා ගන්න ඔබ කැමති බව පවසන්න ඔබට පුළුවන්. ඔබ එය ප්‍රකාශ කරද්දී වචන පැටලුණත් ඒ ගැන කරදර වෙන්න එපා. ඔබ පැවසූ වචනවල පිටුපස තිබෙන අවංක හැඟීම් ඔබේ වචනවලට වඩා ගැඹුරු අර්ථයක් තිබෙනවා. තවත් දෙයක් මතක තියාගන්න. ඔබ නිකම් ආශ්‍රයක් පමණයි පටන්ගන්නේ. විවාහ යෝජනාවක් කරනවා නෙමෙයි. මේ දේට වුණත් ඔහු තිගැස්සෙන්න පුළුවන්. ඒනිසා ඔබ කියූ දේ තේරුම්ගැනීමට ඔහුට කල් දෙන්න.

ඔබට ඔහුව දැනහඳුනා ගැනීමට අවස්ථාව ලැබී ඇත්නම්, ඒවගේම ඔහු කරුණාවන්ත සහ සැලකිලිමත් කෙනෙක් කියා ඔබේ ඇස් දෙකටම දැක ඇත්නම්, නපුරු විදිහට ඔහු ප්‍රතිචාරය දක්වයි කියා හෝ ලජ්ජා කරයි කියා භයවීමට හේතුවක් නැහැ. ඒත් ඔහු කාරුණිකව එය ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොමද? ඒවගේම තරුණයෙක් එවන් අවස්ථාවක ක්‍රියා කළ යුත්තේ කොහොමද? මෙම ප්‍රශ්නවලට මතු ලිපියක පිළිතුරු දෙයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 4 ඡේ. මෙම ලිපිය තරුණියන්ට මූලිකව යොමු කළත් විවාහ වීමට පෙර පවත්වන ඇසුරක් ඇරඹීමට අදහසක් තිබෙන තරුණයන්ටද මෙම ශුද්ධ ලියවිලිමය උපදෙස් උපකාරවත් වෙයි.

^ 5 ඡේ. යෝජිත විවාහයන් තුළ අනිවාර්යයෙන්ම ප්‍රීතිය නොතිබෙන බවක් අදහස් කරන්නේ නැහැ. උදාහරණයකට, බයිබල් කාලයේ ඊසාක් සහ රෙබෙකාගේ විවාහය යෝජනාවකින් සිදු වුණ අතර ඊසාක් ‘ඇයට ප්‍රේම කළා.’ (උත්පත්ති 24:67) මෙයින් ඉගෙනගත හැකි පාඩම නම් රටේ චාරිත්‍ර වාරිත්‍ර දෙවිගේ නීතියට පටහැනි නොවන තාක් කල් ඒවා නොසලකා හැරීමට ඉක්මන් වෙන්න එපා යන්නයි.—ක්‍රියා 5:29.

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ පරිච්ඡේද 28 සිට 31 තුළින් යම් කෙනෙක් විවාහ කලත්‍රයෙක් ලෙස සුදුසුද කියා තීරණය කිරීමට යම් උපකාර ලබාගත හැක.

[14වන පිටුවේ පින්තූරය]

ඔහු හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඔහු ගැන තිබෙන ඔබේ හැඟීම් වෙනස් වීමට පුළුවන්

[14වන පිටුවේ පින්තූරය]

ඔබට යම් කෙනෙක් ගැන ආදරයක් සිතුණි නම් ඔහුව දැනහඳුනන වැඩිහිටියන් සමඟ කතා කරන්න