Skip to content

පටුනට යන්න

අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම

අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම

බයිබලයේ දෘෂ්ටිකෝණය

අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම

ඉන්දියාවේ පිටිසරබද ගමක වෙසෙන ගොවියෙක්, අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ සෝයා බෝංචිවල මිල ගණන් පරීක්ෂා කරමින් සිටින්නේ තමන්ගේ බෝග විකුණාගැනීමට හොඳම කාලය නිශ්චය කරගන්නයි. මේ අතරතුර, විශ්‍රාම ගිය තැතැත්තියක්ද තම මුනුබුරාගෙන් ලැබුණ ඊ-මේල් පණිවිඩයක් කියවන්නේ මුවග සිනහවක් රඳවාගෙනයි. සංචාරකයෙකුද තමන් සංචාරයේ යෙදෙන්න බලාපොරොත්තු වන ස්ථානයේ කාලගුණ වාර්තාව දෙස බලමින් සිටියි. එමෙන්ම මවක් තම දරුවාගේ ගෙදර වැඩවලට අවශ්‍ය වන තොරතුරු සොයමින් සිටියි. මේ සියල්ල සිදු කෙරුණේ අන්තර්ජාලයෙනුයි. ගණන් බලා ඇති ආකාරයට, ලොව පුරා මිලියන 600ක ජනතාවක් අන්තර්ජාලය භාවිත කරනවා. එම නිසා එය ලොව වටා අදහස් හුවමාරු කරන මෙන්ම ව්‍යාපාර කටයුතු කෙරෙන මාධ්‍යයක් බවට පත් වෙලා.

මහත් උද්‍යෝගයකින් අන්තර්ජාලය භාවිත කරමින් සිටින්නේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවයි. ප්‍රවෘත්ති දැනගැනීමට සහ පර්යේෂණයන් කිරීම සඳහා පුස්තකාලයකට යනවා වෙනුවට දැන් ශිෂ්‍යයන් වැඩි වැඩියෙන් යන්නේ අන්තර්ජාලය වෙතටයි. “කොටින්ම කියනවා නම්, ඔවුන් . . . මුළුමනින්ම අන්තර්ජාලයට යොමු වෙලා” කියා ඉහළ පංතිවල ශිෂ්‍යයන් පිළිබඳ අධ්‍යාපන වැඩසටහනක අධ්‍යක්ෂිකාවක් වන ඩියෑනා එල්. ටිලිෂ් පැවසුවා. ඇත්තෙන්ම අපේ නවීන සමාජයෙහි තිබෙන වටිනා දෙයක් තමයි අන්තර්ජාලය.

යම් උපකරණයක බලය වැඩි වෙන්න වැඩි වෙන්න ඉන් සිදු වන අනතුරුත් වැඩි වෙන්න පුළුවන්. අත් කියතකට වඩා විදුලියෙන් ක්‍රියා කරන කියතකට හැකියි වැඩි වැඩ කොටසක් ඉටු කරන්න. ඒත්, ඉතා පරෙස්සමින් එය භාවිත කළ යුතුයි. එලෙසම අන්තර්ජාලයටත් ඉමහත් බලයක් තිබෙන නිසා ඉන් බොහෝ වැඩ ගත හැකියි. නමුත් ඉන් දරුණු අනතුරු සිදු විය හැකි බැවින් එයත් පාවිච්චි කළ යුත්තේ හුඟාක් පරෙස්සමින්. මෙම අනතුරු ගැන සැලකිලිමත් වීම හේතුවෙන් යුරෝපා කවුන්සලයේ සාමාජික රටවල් 40කට වඩා වැඩි ගණනකට සිදු වුණා අන්තර්ජාලය යොදාගෙන සිදු කෙරෙන අපරාධවලින් සමාජය රැකගැනීම සඳහා ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්න.

මෙලෙස සැලකිලිමත් වන්නේ ඇයි? ක්‍රිස්තියානීන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වන්නේ මොන වගේ අනතුරු ගැනද? මේවා නිසා ඔබ අන්තර්ජාලය භාවිතයෙන් වැළකිය යුතුද? බයිබලයෙන් ලැබෙන්නේ කුමන මඟ පෙන්වීමක්ද?

පරෙස්සම් වන්න

‘නපුර කිරීමට උපා යොදන්නන්’ ලෙස විස්තර කර තිබෙන නපුරු මනුෂ්‍යයන් ගෙනෙන අනතුරු පිළිබඳව සියවස් ගණනකට පෙර බයිබලයේ අනතුරු ඇඟෙව්වා. (හිතෝපදේශ 24:8) යෙරෙමියා අනාගතවක්තෘ ඔවුන්ව විස්තර කළේ ‘දුෂ්ටයන්’ කියායි. එමෙන්ම ඔවුන්ගේ ‘ගෙවල් රැවටිල්ලෙන් පිරී තිබෙන’ බවත් පැවසුවා. පක්ෂීන් අල්ලන්නන් මෙන් ඔවුන් මිනිසුන්ව ඇල්ලීමට “මලපතක්” තබන්නේ “පොහොසත්” වීමටයි. (යෙරෙමියා 5:26, 27) තාක්ෂණයේ දියුණුව නිසා අද දිනත් ‘දුෂ්ටයන්ට’ නව මාදිලියේ මුළා කරවනසුලු මලපතක් හෙවත් උගුලක් ඇටවීමට මං සැලසී ඇත. ක්‍රිස්තියානීන්ට දරුණු අනතුරු සිදු විය හැකි ක්‍රම කීපයක් ගැන දැන් අපි සලකා බලමු.

අන්තර්ජාලයේ කාමුක දර්ශන වසරකට ඩොලර් බිලියන 2.5ක් උපයන කර්මාන්තයක් බවට පත් වෙලා. ඉකුත් වසර පහ තුළදී කාමුක දර්ශන සහිත වෙබ් අඩවිවල සංඛ්‍යාව සියයට 1,800කින් වැඩි වෙලා තියෙන්නේ පුදුම විදිහටයි. දැනට එවැනි අඩවි මිලියන 260කට වඩා තිබෙන බවට තක්සේරු කර ඇති අතර බලාගෙන ඉන්නකොට එම ගණන වැඩි වෙනවා. “අන්තර්ජාලයේ කාමුක දර්ශන මොන තරම් වැඩි වෙනවාද කියනවා නම් එයට නිරාවරණය නොවී සිටීම නම් පහසු කාර්යයක් නොවෙයි. එම නිසා පරිගණකය මගින් ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වීමේ සංඛ්‍යාවත් වැඩි විය හැකියි” කියා අන්තර්ජාලීය ඇබ්බැහි වීම් පිළිබඳව සොයා බලන මධ්‍යස්ථානයක විධායක අධ්‍යක්ෂකවරියක් වන වෛද්‍ය කිම්බර්ලී එස්. යංග් පැවසුවා.

“එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. (යාකොබ් 1:14) පරිගණකයක් තිබෙන ඕනෑම කෙනෙකුව ගොදුරක් කරගත හැකියි යන අදහසින් කාමුක දර්ශන නිපදවන්නන් එකිනෙකාගේ ‘ආශාවට’ අනුව ඔවුන්ගේ “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්” පිනවීමට නොයෙක් උපක්‍රම යොදනවා. (1 යොහන් 2:16) ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙන්නේ අන්තර්ජාලයේ අනතුරක් ඇතැයි සැක නොකරන අයව ‘පොලඹවාගැනීමයි.’—හිතෝපදේශ 1:10.

බයිබල් කාලවල සිටි දුෂ්ට මනුෂ්‍යයන් මෙන් කාමුක දර්ශන නිපදවන්නන් නිතර රැවටීමේ උපක්‍රමය යොදාගන්නවා. මෙලෙස අලුත් අයව ඊට ගොදුරු කරගැනීමේ අරමුණින් ඔවුන් වෙහෙස නොබලා කාමුක දර්ශන සහිත ඊ-මේල් පණිවිඩ බිලියන දෙකක් පමණ දවසකට යවන බවට ගණන් බලා තිබෙනවා. බොහෝවිට බලාපොරොත්තු නොවුණ විදිහට එම ඊ-මේල් පණිවිඩ පැමිණෙන්නේ අනතුරක් නැති බව අඟවන විෂයන් යටතේයි. කෙසේවුවත්, මෙයින් එකක් හෝ ඇරියොත් සිදු වන්නේ අශික්ෂිත රූප සහිත පණිවිඩ නොනැවතී ගලා එන්නට පටන්ගැනීමයි. මෙම ඊ-මේල් ලැයිස්තුවෙන් තමන්ගේ නම වහාම ඉවත් කරන්න කියා ඉල්ලා සිටියොත් සිදු වන්නේ කාමුක දර්ශන සහිත පණිවිඩ රැසකට නිරාවරණය වීමට සිදුවීමයි.

පක්ෂීන් අල්ලන්නෙක්, පාරක් දිගේ තැනින් තැන ධාන්‍ය බීජ දමා බලා සිටිනවා. මේ ගැන හාන්කවිසියක්වත් නොදන්න පක්ෂියා පැමිණ රසවත් බීජ එකිනෙක බුදිමින් සිටියි. සැණෙකින් ඌ උගුලට අසු වෙනවා. එලෙසම කුතුහලය නිසා සමහරු ලිංගික හැඟීම් අවුස්සන රූප වෙත යන්තම් නෙත් යොමු කිරීමට පෙලඹෙයි. තමන් දිහා කවුරුත් බලාගෙන ඉන්නෙත් නැහැනේ කියා ඔවුන් සිතනවා. ඉන් වින්දනයක් ලබන සමහරු එම රූපවලට වශී වී නිතර නිතර ඒවා බලන්න පටන්ගන්නවා. මුලදී ඔවුන්ට ලැජ්ජාවක් මෙන්ම වරදකාරී බවක් දැනෙන්න පුළුවන්. ටික කාලයක් ගියාට පස්සේ, මුලින් පිළිකුල් කල දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි. කාමුක දර්ශන නැරඹීමට පෙලඹීමක් තිබෙන අයගේ ආශාවන් වැඩි කරගන්න අන්තර්ජාලය උල්පන්දම් දෙනවා. ඉන්පසු පාපතර ක්‍රියාවන්වල නියැලෙන තරමටම දුර දිග යන්න පෙලඹෙනවා. (යාකොබ් 1:15) අන්තිමේදී එවැනි පුද්ගලයන් “සාරධර්ම ඉවත ලා තම ලිංගික ආශාවන් තනිවම සන්තර්පණය කරගැනීමේ ‘අඳුරු ආගාධයකට ඇද වැටෙන්න’ ඉඩ තිබෙනවා” කියා වෛද්‍ය වික්ටර් ක්ලයින් පවසයි. ඔහු මෙම උගුලට හසු වූ රෝගීන් සියදහස් ගණනකට ප්‍රතිකාර කර තිබෙන මනෝවිද්‍යාඥයෙක්.

කතා කුටි මගින් ගෙනෙන අනතුරු

අන්තර්ජාලයේ කතා කුටි (chat rooms) කාලය කා දමන්නක් විය හැකි අතර පවුල් සබඳතා බිඳ හෙළීමේ හේතුකාරකයක් බවටද පත් වෙමින් තිබෙනවා. තම බිරිඳ අන්තර්ජාලය වෙනුවෙන් අධික කාලයක් ගත කරන බව කලකිරීමෙන් යුතුව පවසන එක් තැනැත්තෙක් මෙවැනි දෙයක් ලිව්වා. “එයා වැඩ ඇරිලා ගෙදර ආව ගමන් යන්නේ පරිගණකය ළඟටයි. ඊට පස්සේ පැය පහ හයක් එතන ඉන්නවා. මේ හින්දා දැන් අපේ විවාහ ජීවිතයත් දෙදරන්න පටන් අරං.” අන්තර්ජාලය ළඟ ඔබ යම් කාලයක් ගත කරන්නේ නම්, එම කාලය තුළ ඔබ ඔබේ කලත්‍රයාගෙන් හා පවුලෙන් ඈත් වී සිටිනවා.

විවාහ උපදේශක සේවා සංවිධානයක ප්‍රධාන විධායක ඇන්ජලා සිබ්සන් මෙසේ පවසයි. අන්තර්ජාලය “වෙනත් සබඳතාවලට දොර කවුළු විවර කරන්නක් වන නිසා එයින් ඉතා ප්‍රබල සබඳතා ඇති විය හැකියි. ඒවගේම පවතින සබඳතා බිඳ දැමීමටද අන්තර්ජාලයෙන් ඇති වන සබඳතාවලට පුළුවන්.” අන්තර්ජාලයේ කතා කුටියකින් සුළුවෙන් ඇරඹෙන මිත්‍රත්වය වඩාත් දැඩි මිත්‍රත්වයකට පෙරළිය හැකියි. “රැවටිලි සිත් ඇති” අය තම ‘දිවේ ඉච්චාවෙන්’ තමන්ට සවන් දෙන අය ඇසීමට ප්‍රිය කරන දේවල් පවසනවා. (හිතෝපදේශ 6:24; 7:10) එක්සත් රාජධානියේ 26-හැවිරිදි නීකෝලා මෙලෙස පවසයි. “එයා මට ආදරේ කරන බව නිතර නිතර කිව්වා. මාව හැම තිස්සේම වර්ණනා කළා. මම රැවටුණා.” පොතක කර්තෘවරයෙකු වන ආචාර්ය ඇල් කූපර් මෙසේ පවසයි. ‘අන්තර්ජාලයෙන් ආලවන්ත හැඟීම් පෑම හරියට අබිං කනවා වගේ වැඩක් කියලා අපි ජනයාට අනතුරු අඟවන්න ඕන. බොහෝවිට එවැනි අයගේ විවාහයන් කෙළවර වෙන්නේ දික්කසාදයෙන්.’—Sex and the Internet: A Guidebook for Clinicians.

“පරිගණකයෙන් එබිකම් කරන කාමාතුරයන්ගේ” අපයෝජනයට වැඩියෙන් ගොදුරු වීමේ අවදානමක් සිටින්නේ දරුවනුයි. “හිතුවක්කාර මුඛය” සහ “මුරණ්ඩු තොල්” යොදාගනිමින් ලිංගික අපයෝජනයට ළමුන්ව ගොදුරු කරගන්නන්ගේ කුරුමානම වී තිබෙන්නේ නොදරුවන්ව අල්ලාගැනීමයි. (හිතෝපදේශ 4:24; 7:7) ළමයාව නම්මාගැනීමේ අදහසින් ඔවුන් දරුවා කෙරෙහි අමුතු ඇල්මක්, ස්නේහයක්, කරුණාවක් දක්වන්නේ මෙයාට මට වඩා කෙනෙක් නැතැයි යන හැඟීම ඇති කිරීමටයි. දරුවා ආස කරන හැම දෙයක් ගැනම, ඔහු ප්‍රිය කරන සංගීතය හා ඔහුගේ විනෝදාංශ ගැන පවා දන්න බව ඔවුන් පෙන්වනවා. ගෙදරදී ඇති වෙන සුළු සුළු ප්‍රශ්න පවා ලොකු කරලා පෙන්වන්නේ දරුවා සහ ඔහුගේ පවුලේ අනිත් අය අතර භේදයක් ඇති කරන්නයි. මෙම කාමාතුරයන් විසින් ගොදුරු කරගන්න මාන බලන දරුවාට රට වටේ සංචාරයක යෙදෙන්න ටිකට් පතක් පවා එවීමට ඉඩ තිබෙනවා. අවසානය භයානකයි.

බයිබල් ප්‍රතිපත්ති ඔබව රැකගනියි

සිදු වන අනතුරු ගැන සලකා බැලූ ඇතැමුන් අන්තර්ජාලය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම සුදුසු බව නිගමනය කර තිබෙනවා. කෙසේනමුත්, අන්තර්ජාලයේ වෙබ් අඩවි ස්වල්පයක් පමණයි යම් අනතුරක් සිදු කරන්නේ යන කාරණය පිළිගත යුතුයි. අන්තර්ජාලය භාවිත කරන වැඩිදෙනෙක් බරපතළ ගැටලු අද්දැක නැහැ.

අපව අනතුරුවලින් ‘ආරක්ෂා කිරීමට’ ශුද්ධ ලියවිල්ලේ මඟ පෙන්වීම් සපයා තිබීම භාග්‍යයක්. දැනුම, ඥානය හා සිතීමේ හැකියාව ලබාගැනීමට එහි අපට දිරිගන්වා තිබෙනවා. මේවා ‘නපුරු මාර්ගයෙන් ගලවා අපව රැකවල් කරයි.’ (හිතෝපදේශ 2:10-12) “ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද” කියා දෙවිගේ පුරාණ සේවකයෙකු වන යෝබ් ඇසුවා. පිළිතුර මොකක්ද? “ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය.”—යෝබ් 28:20, 28.

“යෙහෝවාට භයවීමට” නම් “නපුරට ද්වේෂ කිරීම” අවශ්‍යයි. එය දේවගුණාංග වර්ධනය කරගැනීමට පදනමයි. (හිතෝපදේශ 1:7; 8:13; 9:10) දෙවිගේ බලයට හා අධිකාරියට ගරු කරමින් ඔහුට ප්‍රේමය හා ගෞරවය දක්වද්දී ඔහු ද්වේෂ කරන නරක දේවලට ද්වේෂ කිරීමට හා ඒවායින් වැළකී සිටීමට අපට හැකි වෙනවා. නිරවුල්ව සිතීමේ හැකියාව සමඟ දේවප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් තිබීම, අපේ මනස, සිත හා ආත්මිකත්වයට හානි කරන අනතුරු වටහාගන්න අපිට උපකාරයක්. අපේ පවුල් කඩාකප්පල් කර, දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව විනාශ කර දැමිය හැකි ආත්මාර්ථකාමී හා ගිජු ආකල්ප පිළිකුල් කරන්න අපි පෙලඹෙනවා.

එම නිසා ඔබ අන්තර්ජාලය භාවිත කරනවා නම් අනතුරු ගැන සාවධානව සිටින්න. දෙවිගේ ආඥා පැවැත්වීමට අදිටන් කරගන්න. කරදරවලට මඟ පාදන දේවල් සමඟ සෙල්ලම් නොකරන්න. (1 ලේකම් 28:7) එවිට, හදිසියෙන්වත් ඔබ ඉදිරියේ අන්තර්ජාලයෙන් විය හැකි අනතුරක් දිස් වුණොත් ඔබ නැණවත්ව ඉන් පලා යාවි.—1 කොරින්ති 6:18.

[27වන පිටුවේ කොටුව]

කාමුක දර්ශනවලින් සම්පූර්ණයෙන්ම ඈත් වන්න!

වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම හෝ ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.”—එෆීස 5:3.

“එබැවින්, වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න.”—කොලොස්සි 3:5.

“දෙවි කැමති වන්නේ, ඔබ ශුද්ධව සිටිනවාටය. . . . එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය. දෙවිව නොහඳුනන ජාතීන් මෙන් අධික ලිංගික තෘෂ්ණාවෙන් යුක්තව නොසිටිය යුතුය.”—1 තෙසලෝනික 4:3-5.

[28, 29වන පිටුවේ කොටුව⁄පින්තූර]

අන්තර්ජාලයේ කතා කුටිවලින් පරෙස්සම් වන්න!

අන්තර්ජාලයෙන් සිදු කෙරෙන අපරාධ පිළිබඳ විමර්ශනයක නියැලෙන පොලිස් කාන්තාවක් අන්තර්ජාලයේ කතා කුටිවලින් සිදු වන අනතුරු දැක බලාගැනීමට පිබිදෙව්! වාර්තාකරුට ආරාධනා කළා. වයස අවුරුදු 14ක ගැහැනු ළමයෙකු ලෙස මවාපාමින් ඈ කතා කුටියකට ඇතුල් වුණා. තත්පර කීපයක් තුළදී පුද්ගලයන් කීපදෙනෙක්ම කතා කුටිය හරහා ඇගෙන් ප්‍රශ්න වැලක් අහන්න පටන්ගත්තා. එම අමුත්තන් ඇහැව්වේ මෙවැනි ප්‍රශ්නයි. “ඔයා ඉන්නේ කොයි රටේද?” “ඔයා ගෑනු ළමයෙක්ද නැත්නම් පිරිමි ළමයෙක්ද?” “අපි ටිකක් කතා කරමුද?” පොලිසිය මගින් සොයමින් සිටි කාමාතුරයන් බවට සැක කළ පුද්ගලයන් කීපදෙනෙක් ඒ අතරේ සිටියා. මෙයින් පෙන්වන්නේ දරුවන්ව ලිංගික අතවරයට ලක් කරන්නන්ට මෙලෙස ඔබේ දරුවා සමඟ එකම කතා කුටියකට ඇතුල් වීම කෙතරම් පහසුද කියායි!

කතා කුටියක් තුළ සිදු වන සංවාදයක් සැමට දැකගත හැකි බැවින් තම දරුවන් කතා කුටිවලට පිවිසීම ඔවුන්ට ආරක්ෂාවක් බවයි ඇතැම් දෙමාපියන් සිතන්නේ. කෙසේවෙතත්, කතා කුටියක් තුළ සිටියදී දෙදෙනෙකු අතර පමණක් සිදු වන සංවාදයකට ඔබට ආරාධනාවක් ලැබිය හැකියි. එක්සත් රාජධානියේ ළමා ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාල කාර්ය බලකාය මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි. “මේ වගේ දෙයක් හරියට සෙනඟගෙන් පිරුණු සාදයක් පැවැත්වෙන අතරතුරේදී එහි සිටින කෙනෙකුව තවත් නාඳුනන කෙනෙක් පෞද්ගලිකව කාමරයකට කැඳවාගෙන ගොස් සංවාදයක නියැලෙනවා හා සමානයි.”

දරුවන්ව ලිංගික අතවරයට ලක් කරන්නන්ගෙන් වැඩිදෙනෙකුට වුවමනා වන්නේ දරුවෙකු සමඟ පොඩි කතා බහක යෙදෙනවාට වඩා වැඩි දෙයක් කරන්න බව දෙමාපියන් තේරුම්ගැනීමත් වැදගත්. අන්තර්ජාලයේ අපරාධ විමර්ශන කණ්ඩායම විසින් සූදානම් කළ ලියවිල්ලක මෙසේ වාර්තා වෙයි. “ඔවුන් විසින් කතා කුටි හරහා දරුවෙකු සමඟ පටන්ගැනෙන කතා බහ, ඊ-මේල් සහ (ජංගම) දුරකථන වැනි වෙනත් මාධ්‍යයන් මගින් කතා බහ කිරීම දක්වා දුරදිග යන්න පුළුවන්.” අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මෙසේ පවසයි. “දරුවෙකුව අන්තර්ජාලය මගින් ගොදුරක් කරගැනීම පරිගණකය හරහා පිවිසෙන කාමාතුරයෙකුට ප්‍රීතියක් වන අතර එය දරුවාට නම් කරදර රාශියකට අත වැනීමක් විය හැකියි. දරුවන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට වුවමනා වෙයි. දරුවන්ගේ ලිංගික හැඟීම් අවුස්සන ආකාරයෙන් ඔවුන් බොහෝවිට දුරකථනයෙන් කතා කරන්නේ පුද්ගලිකව හමු වී ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේ යටි අරමුණ ඇතුවයි.”

මෙම අභිප්‍රාය ඉටු කරගැනීමේ අදහසින් පරිගණකය හරහා පිවිසෙන කාමාතුරයන් තම දුරකථන අංකය දෙනවා. ඔබේ දරුවා ඔවුන්ව ඇමතුවොත් ඔවුන්ගේ දුරකථනයේ ඔබේ දරුවාගේ දුරකථන අංකය සටහන් වෙනවා. වෙනත් කාමාතුරයන්ට නොමිලේ දුරකථන ඇමතුම් ගත හැකියි. එහෙමත් නැත්නම් ඔවුන් දරුවාගේ බිල ගෙවීමට ඉදිරිපත් වෙනවා. සමහරු දරුවාට ජංගම දුරකථනයක් පවා දී තිබෙනවා. ඔවුන් දරුවන්ට ලිපි, ඡායාරූප සහ තෑගි පවා එවිය හැකියි.

කතා කුටි හරහා අනතුරට ලක් වන්නේ ළමයින් පමණක්ම නොවෙයි. කාන්තාවන් ඇසීමට ප්‍රිය කරන මිහිරි වචන යොදාගනිමින් එක් තැනැත්තෙක් මෑතකදී, එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවන් හයදෙනෙක් එක්ක එකම වෙලාවේ පෙම් සබඳතා පවත්වලා තියෙනවා. ඔහුට ගොදුරු වූ 27-හැවිරිදි උපාධිධාරිණියක් වන ෂෙරිල් මෙහෙම කිව්වා. “මට තේරෙන්නේ නෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා. එයාගේ ලෝකේ තනි වුණ මට වෙන ජීවිතයක් තිබුණේ නැහැ.”

“තමන්ගේ පෙනුමෙන් තමන්ව මනින්න නොලැබෙන නිසා පරිගණකය හරහා සබඳතා ඇති කරගැනීම කාන්තාවන්ට සැනසීමක්. ඒ වුණත් කතා කුටි හරහා තමන් ගැන සියල්ල හෙළි කිරීමට ඔවුන් නැඹුරු වෙන හින්දා ඔවුන්ව ආත්මාර්ථකාමී ලෙස යොදාගැනීමට තිබෙන ඉඩ කඩත් වැඩියි” කියා මේ විෂය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන සංවිධානයක පුරෝගාමියක වන ජෙනී මැඩන් පැවසුවා.

“මට කරන්න තියෙන්නේ පරිගණකයේ බොත්තම ඔබන එක විතරයි. මගේ හිතේ හැටියට තෝරගන්න කාන්තාවන් දහස් ගණනක් ඉන්නවා” කියා එක් තැනැත්තෙක් පැවසුවා. ඔහුගෙන් ප්‍රශ්න කළේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල පර්යේෂණ අධ්‍යයනයක් සඳහා බියාට්‍රිස් ආවීලා මයිලෑම් විසින්. ඇය මෙසේ පැවසුවා. “වැඩි කල් යන්න ඉස්සෙල්ලා විවාහක කලත්‍රයාට ද්‍රෝහිවීම වැඩියෙන්ම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා වේවි.” එක් පොතක සංස්කාරක ආචාර්ය ඇල් කූපර් මෙවැන්නක් පැවසුවා. “රට පුරා ඇති වී තිබෙන විවාහ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන උපදේශකයන් වාර්තා කරන්නේ, ඒවාවලට ප්‍රධානතම හේතු සාධකය වී තිබෙන්නේ පරිගණකයෙන් සිදු වන ලිංගික ක්‍රියාවන් කියලයි.”—Sex and the Internet: A Guidebook for Clinicians.

මෙම පැහැදිලි හේතු සාධක සලකා බලන කල, අන්තර්ජාලය භාවිත කරන විට පූර්ව ආරක්ෂිත පියවර ගැනීම නුවණට හුරුයි. ඔබේ දරුවන් එක්ක කතා කර අනතුරුවලින් ආරක්ෂා වෙන ආකාරය ඔවුන්ට උගන්වන්න. මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමෙන් අන්තර්ජාලයෙන් සිදු වන අනතුරුවලින් වැළකීමට ඔබට හැකියි.—දේශනාකාරයා 7:12.