Skip to content

පටුනට යන්න

අපි සැමට මිතුරන් අවශ්‍යයි

අපි සැමට මිතුරන් අවශ්‍යයි

අපි සැමට මිතුරන් අවශ්‍යයි

“ඔයාට භය නැතුව ඕනෑම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි මිතුරෙක් කියන්නේ. දවසේ ඕනෑම වෙලාවක එයත් එක්ක දුරකථනයෙන් කතා කරන්න ඔයාට පුළුවන්.”—ප්‍රංශයේ යාඑල්

“ඔයාගේ හිත රිදිලා තියෙනවා නම් මිතුරෙකුට ඒක දැනෙනවා. ඔයාට දැනෙන වේදනාවම එයාටත් දැනෙනවා.”—ප්‍රංශයේ ගාඑල්

“සහෝදරයෙකුට වඩා ඇලුම් වූ මිත්‍රයෙක් ඇත.” (හිතෝපදේශ 18:24) මෙම වචන වසර 3,000කට පමණ පෙරයි බයිබලයේ ලියැවුණේ. එදා පටන් මේ දක්වා මිනිස් අවශ්‍යතාවන්වල වෙනසක් සිදු වෙලා නැහැ. ආහාර සහ ජලය මිනිස් සිරුරට නැතුවම බැරි දෙයක් වන්නා සේම මිතුදමද මිනිසාට තවමත් අවශ්‍ය දෙයක්ව පවතිනවා. ඒත් හුඟදෙනෙකුට මිතුදමක් ඇති කරගැනීමේ මෙම මූලික අවශ්‍යතාව සපුරාගැනීම අසීරු කාර්යයක්. අද දින තනිකම දසත පැතිරිලා. “එයට හේතු සාධක සොයන්න අපිට වැඩි ඈතකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ” කියා කැරන් රූබන්ස්ටයින් සහ ෆිලිප් ෂේවර් විසින් ලියූ පොතක පවසනවා. (ඉන් සර්ච් ඔෆ් ඉන්ටිමසි) ඊට හේතු සාධක වශයෙන් ඔවුන් මෙවැනි දේවල් දක්වනවා. ‘ජනයා නිතර පදිංචිය වෙනස් කිරීම නිසා සංක්‍රමණයන් වැඩිවීම, ආශ්‍රයෙන් වැළකී සිටීම, නගරවල අපරාධ වැඩිවීම හා එකිනෙකා අතරේ අදහස් හුවමාරු කරගන්නවා වෙනුවට රූපවාහිනිය සහ නිවසේදීම වීඩියෝ පට නැරඹීමයි.’

නවීන ජීවන රටාවත් අපේ කාලය සහ ශ්‍රමය සොරාගන්නවා. “දාහත්වන සියවසේ විසූ ගැමියෙකුට වසරකදී හෝ ඔහුගේ මුළු ජීවිත කාලයේදීම ඇසුරු කරන්න ලැබුණු සෙනඟක්, අද දින නගර වැසියෙකුට සතියකදී ඇසුරු කිරීමට ලැබෙනවා” කියා ලෙටී පෝග්‍රෙබන් විසින් ලියූ පොතෙහි පවසනවා. (Among Friends) මෙසේ සියදහස් ගණන්දෙනෙකුව දැන හඳුනාගන්න අපට ලැබෙන නිසා ඔවුන් එක් එක්කෙනා සමඟ පෞද්ගලික මිතුදමක් ඇති කරගැනීමට සහ පවත්වාගැනීමට ප්‍රමාණවත් කාලයක් සොයාගැනීම අපහසු විය හැකියි.

මෑතක් වන තුරු එතරම් කලබලකාරී දිවි පෙවෙතක් නොතිබුණු ස්ථානවල පවා දැන් ශීඝ්‍රයෙන් තත්වයන් වෙනස් වෙමින් පවතිනවා. “අපේ මිතුරන්ට හුඟාක් කිට්ටු බවක් දැනුණ කාලයක් අපිට තිබුණා. ඒත් දැන් හුඟදෙනෙක් ඉන්නේ තමන්ගේ වැඩ රාජකාරිවල සහ පෞද්ගලික දේවල ඇලී ගැලීයි. හැමෝම ඉන්නේ කාර්ය බහුලවයි. දැන් අපේ පරණ මිතුදම් ටිකෙන් ටික ලිහීගෙන යනවා වගෙයි අපිට දැනෙන්නේ” කියා නැඟෙනහිර යුරෝපයේ වෙසෙන උලා නම් තැනැත්තිය පවසනවා. කාර්ය බහුල දිවි පෙවෙතක් ගෙවන නිසා මිතුදම්වලට ලැබිලා තිබෙන්නේ නොවැදගත් ස්ථානයක්.

ඒත් මිතුරන් සිටීමේ අවශ්‍යතාව අප තුළ තවමත් බලවත්ව තිබෙනවා. විශේෂයෙන්ම තරුණ අයටයි මේ අවශ්‍යතාව දැනෙන්නේ. ඉහත සඳහන් කළ යාඑල් පැහැදිලි කරන්නේ, “තරුණ කෙනෙක්ට ඕන කරන්නේ අනිත් අයගේ පිළිගැනීම ලබාගන්න සහ කාට හරි කිට්ටුව ඉන්නයි” කියායි. බාල මහලු කොයි කාටත් ඕන කරන්නේ ප්‍රීතිමත් සමීප මිතුදම් ගොඩනඟාගෙන සිටින්නයි. අභියෝගයන් තිබුණත් කල්‍යාණ මිතුරන් සොයාගැනීම හා මිතුදම් දිගටම තබාගැනීම සඳහා කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. ඊළඟ ලිපිවල මේ ගැන සාකච්ඡා කරයි.