Skip to content

පටුනට යන්න

ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල

ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල

ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල

“මිනිස් ඉතිහාසයේ වෙන කවර රෝගයකටත් වඩා ඉතාමත් සංකීර්ණ රෝගයක් වන මෙම රෝගය පිළිබඳව ඉතා කෙටි කලක් තුළ තොරතුරු රාශියක් සොයාගෙන තිබෙනවා. ඒවගේම විද්‍යාත්මක දියුණුව නිසා HIV/AIDS රෝගය පිළිබඳව විශිෂ්ට සොයාගැනීම් රාශියක් අත් කරගෙන තිබෙනවා” කියා ආචාර්ය ජෙරල්ඩ් ජේ. ස්ටයින් විසින් ලියූ පොතක සඳහන් කරනවා. (AIDS Update 2003) අත් කරගෙන තිබෙන්නේ මොන වගේ සාර්ථකත්වයක්ද?

නවීන වෛද්‍ය දැනුම හා විශේෂඥ දක්ෂකම් නිසා පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා ඖෂධ සංයෝගයන් නිපදවීමට. එම ඖෂධ සංයෝග නිසා HIV ආසාදිත පුද්ගලයන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඊට අමතරව, ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් සමහර රටවල හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. නමුත් ලැබී තිබෙන එවන් සාර්ථක ප්‍රතිඵලවලින් මෙම වසංගතයෙන් සමුගන්න කාලය ඇවිත් තිබෙනවා කියා අදහස් කරනවාද? ලබා තිබෙන විද්‍යාත්මක හා අධ්‍යාපනික දියුණුවෙන් ඒඩ්ස් මාරයාගේ ගමන නැවැත්විය හැකිද? පහත සඳහන් දේ සලකා බලන්න.

ඖෂධ ප්‍රතිකාර

“ඒඩ්ස් රෝගය නමැති අඳුරු වලා අතරින් රිදී රේඛාවක් පෑයුවා” කියා 1986 සැප්තැම්බර් 29වනදා ටයිම්ස් සඟරාවේ ශීර්ෂ පාඨයේ සඳහන් වුණා. “රිදී රේඛාවක්” පෑයුවා කියා පවසන්න හේතු වූයේ HIV ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා HIV වයිරසයේ ක්‍රියාකාරිත්වය මර්දනය කරන ඖෂධයක් සොයාගැනීමයි. සායනවලදී පර්යේෂණයන්ට නතු කළ එම ඖෂධය නම් ඇසිඩෝතයිමිඩීන්. (azidothymidine) ඇසිඩෝතයිමිඩීන් ලබාගත් HIV ආසාදිත රෝගීන් වැඩි කාලයක් ජීවත් වුණා. එවක් පටන් මෙම HIV මර්දන ඖෂධ, රෝගීන් දසදහස් ගණනකගේ ජීවිත දිගු කර තිබෙනවා. (“HIV මර්දන ඖෂධ හඳුනාගනිමු” යන 21වන පිටුවේ ඇති කොටුව බලන්න.) HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධ කොතෙක් දුරට උපකාරවත් වී තිබෙනවාද?

මෙම ඇසිඩෝතයිමිඩීන් නම් ඖෂධය වෙළඳ පොළට හඳුන්වා දුන් විගස උද්‍යෝගයක් ඇති වුණත් “ඒඩ්ස් රෝගය සඳහා එකම විසඳුම එය නොවන” බව පර්යේෂකයන් ස්ථිරවම කියා සිටියායයි ටයිම්ස් සඟරාව වාර්තා කළා. ඔවුන් නිවැරදියි. සමහර රෝගීන්ට එම ඖෂධය ඔරොත්තු දුන්නේ නැහැ. එම නිසා, වෙනත් HIV මර්දන ඖෂධ නිපදවනු ලැබුවා. පසුව අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් බරපතළ ලෙස ආසාදිත වී සිටින රෝගීන්ට ඖෂධ වර්ග කිහිපයක් එකට සංයෝග කර දීමට අනුමැතිය ලබා දුන්නා. ඖෂධ සංයෝගය සඳහා, මර්දන ඖෂධ වර්ග තුනක් හෝ ඊට වැඩි ගණනක් අනුමත කළ විට ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන් ඒ ගැන විශාල බලාපොරොත්තුවක් තැබුවා. කොතරම් බලාපොරොත්තුවක් තිබුණාද කිවහොත් වර්ෂ 1996දී ඒඩ්ස් පිළිබඳව පැවති ජාත්‍යන්තර සමුළුවකදී එක් වෛද්‍යවරයෙක් කියා සිටියේ මෙම ඖෂධ මගින් රෝගියෙකුගේ ශරීරයෙන් HIV වයිරසය මුළුමනින්ම ඉවත් කර දමන්න පුළුවන් බවයි!

කනගාටුවට කාරණයක් වන්නේ අවුරුද්දක් ඇතුළත එම ඖෂධ වර්ග තුනක සංයෝගය නොවරදවා ගනු ලැබුවත් එමගින් සම්පූර්ණයෙන්ම HIV වයිරසය සුව කරන්න බැරි බව පෙනී යෑමයි. එසේ වුවත් UNAIDS වාර්තා කරන්නේ “HIV මර්දන ඖෂධ සංයෝගය මගින් ආසාදිතයන්ට දිගු කලක් නිරෝගීව හා ක්‍රියාශීලීව ජීවත් වීමට හැකියාවක් ලබා දී තිබෙන බවයි.” නිදසුනකට එක්සත් ජනපදයේ හා යුරෝපයේ මෙම මර්දන ඖෂධ මගින් ඒඩ්ස් රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 70කට වඩා අවම කර තිබෙනවා. ඊට අමතරව බොහෝ අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ මෙම මර්දන ඖෂධ සංයෝගවලින් එකක් ඒඩ්ස් වැලඳී ඇති ගර්භිණි මවකට දීමෙන් ඇගේ දරුවාට HIV ආසාදනය වීම බොහෝ සෙයින් වළක්වාගත හැකි බවයි.

ඒත්, HIV ආසාදිත රෝගීන් මිලියන ගණනකට මෙම ඖෂධ ලැබෙන්නේ නැහැ. එයට හේතුව කුමක්ද?

“දුප්පතුන් බැට කන රෝගයක්”

HIV මර්දන ඖෂධ ප්‍රතිකාරය පුළුල් ලෙස දෙනු ලබන්නේ වැඩි ආදායම් ලබන රටවලයි. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරන ආකාරයට සංවර්ධනය වෙමින් පවතින සමහර රටවල එම ඖෂධ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන්ගෙන් සියයට 5කට පමණයි එය ලබාගැනීමට හැකියාවක් තිබෙන්නේ. සිදු වෙන මෙම අසමානතාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හැඳින්වූයේ “දරුණු අසාධාරණයක් මෙන්ම නූතන ලෝකයේ සිදු වන ම්ලේච්ඡ ක්‍රියාවක්” ලෙසයි.

හැමෝටම එක සමානව ඖෂධ නොලැබී යෑම එකම රටක ජීවත් වන වැසියන් අතර පවා සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳව එක් පුවත්පතක් (The Globe and Mail) වාර්තා කළේ මෙවැන්නක්. කැනඩාවේ ඒඩ්ස් රෝගයෙන් මිය යන තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම මර්දන ඖෂධ ප්‍රතිකාරය ලැබී නැහැ. කැනඩාවේ ඖෂධ නොමිලයේ දෙනු ලැබුවත්, එහි සමහරුන්ව නොසලකාහැර තිබෙනවා. “එම ඖෂධය අවශ්‍යම වන එහි වෙසෙන ආදී වාසීන්ට, කාන්තාවන්ට සහ දුප්පතුන්ට නිසි ඖෂධ ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැයි” කියා එම පුවත්පතේ සඳහන් වෙනවා. HIV ආසාදනයෙන් පෙළෙන එක් අප්‍රිකානු මවක් කියූ දෙයක් තවත් පුවත්පතක (The Guardian) සඳහන් වන්නේ මෙසේයි. “සමලිංගික සේවනයේ යෙදෙන සුදු මිනිස්සුන්ට ජීවත් වෙන්නත්, මට මැරෙන්නත් සිද්ධ වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.” ඇගේ ප්‍රශ්නයට පිළිතුර ඖෂධ නිෂ්පාදනයට හා බෙදාහැරීමට යන වියදම මතයි රැඳී තිබෙන්නේ.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ මෙම HIV මර්දන ඖෂධ තුනක සංයෝගය නොකඩවා ගැනීම සඳහා රෝගියෙකුට වසරකට ඩොලර් 10,000ත් 15,000ත් අතර මුදලක් වැය වෙනවා. මෙම ඖෂධ මහා පරිමාණයේ ඖෂධ සමාගම්වලින් නොගෙන ප්‍රසිද්ධ වෙළඳ නාමයක් නැති සුළු ඖෂධ සමාගම්වලින් අඩු මිලකට ලබාගැනීමටද හැකියාවක් තිබෙනවා. ප්‍රසිද්ධ වෙළඳ නාමයක් නැති එම ඖෂධ ගැනීමට පවා වසරකට රෝගියෙකු විසින් ඩොලර් 300ක් හෝ ඊට වඩා අඩු මුදලක් වැය කළ යුතුයි. දියුණු වෙමින් පවතින ඇතැම් රටවල එම ඖෂධ බෙදාහරිනු ලැබුවත්, එහි සිටින HIV ආසාදිත රෝගීන්ගෙන් වැඩිදෙනෙකුට එයද දැරිය නොහැකි මුදලක්. “ඒඩ්ස් කියන්නේ දුප්පතුන් බැට කන රෝගයක්” කියා වෛද්‍ය ස්ටයින් විස්තර කරයි.

ඖෂධ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් නැති ඖෂධ නිපදවීම හා එම ඖෂධ අඩු මිලකට බෙදාහැරීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඖෂධ නිපදවීමේ හිමිකම් නීති බොහෝ රටවල දැඩි ලෙස ක්‍රියාත්මක වන නිසා ප්‍රසිද්ධ වෙළඳ නාමයක් නැති ඖෂධ නිපදවීම තහනම් කර තිබෙනවා. “මෙය ආර්ථික යුද්ධයක්” කියා මහා පරිමාණයේ ඖෂධ සමාගමක ප්‍රධානියෙක් කියා සිටිනවා. ඔහු පවසන්නේ, ප්‍රසිද්ධ වෙළඳ නාමයක් නොමැතිව ඖෂධ නිපදවා ඒවා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලාභයක් තබාගෙන විකිණීම “එම ඖෂධ සොයාගත් තැනැත්තන්ට කරන අසාධාරණයක්” කියායි. ප්‍රසිද්ධ වෙළඳ නාම තිබෙන ඖෂධ සමාගම් තවදුරටත් කියා සිටින්නේ, ඔවුන්ගේ ආදායම අඩුවීම නිසා වෛද්‍ය පර්යේෂණ හා නව ඖෂධ නිපදවීමට යොදවන මුදල් අඩු විය හැකි බවයි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නිපදවා ඇති මිල අඩු HIV මර්ධන ඖෂධ සංවර්ධිත රටවල සිටින කළු කඩ මුදලාලිලාගේ අතට යාවීද කියා තවත් අය බියෙන් පසු වෙනවා.

කෙසේවෙතත්, අඩු මිලට එම ඖෂධ බෙදාහැරීමට උනන්දු වන අය කියා සිටින්නේ ඖෂධ සමාගම් යෝජනා කර තිබෙන මිලට වඩා දහ ගුණයකට හෝ විසි ගුණයකට වඩා අඩුවෙන් අලුත් ඖෂධ නිපදවිය හැකි බවයි. ඔවුන් තවදුරටත් පෙන්වන්නේ මෙම මහා පරිමාණයේ පෞද්ගලික ඖෂධ සමාගම් දුප්පත් රටවල පැතිර තිබෙන රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම සඳහා යම් පර්යේෂණ කිරීමට හෝ නව ඖෂධ නිපදවීමට උනන්දුවක් නොදක්වන බවයි. එම නිසා සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩසටහනේ ප්‍රධානියා වන ඩැනියෙල් බර්මන් මෙවන් ප්‍රකාශයක් කරනවා. “අලුත නිපදවන ඖෂධ සංවර්ධනය වෙමින් පවතින රටවලටද මිල දී ගත හැකි වන ලෙස ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි.”

HIV මර්දන ඖෂධ සඳහා ලෝකය පුරා තිබෙන අවශ්‍යතාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2005 නිම වන විට HIV/AIDS රෝගයෙන් පෙළෙන මිලියන 3කට HIV මර්දන ඖෂධ ලබා දීමේ අරමුණින් වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා. “මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ තවත් අසාර්ථක වෑයමක් නොවිය යුතුයි. මිලියන තුනක් කියන්නේ දැනටමත් ප්‍රතිකාර අවශ්‍ය කරන රෝගීන් සංඛ්‍යාවෙන් අඩක් පමණයි. එම සංඛ්‍යාව 2005 වන විට තවත් වැඩි වෙයි” කියා දේශ සීමා නොබලා ඖෂධ ලබා දීම පිළිබඳ වැඩසටහනේ සාමාජිකයෙක් වන නේදන් ෆෝඩ් අවධාරණයෙන් කියා සිටිනවා.

වෙනත් වැට කඩුලු

සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම HIV මර්දන ඖෂධ ප්‍රමාණවත් ලෙස බෙදාහැරියත් වෙනත් බාධක ඇති වී තිබෙනවා. සමහර ඖෂධ ආහාර සහ පිරිසිදු ජලය සමඟින් ගත යුතුයි. ඒත් සමහර රටවල ජීවත් වන මිනිසුන් බහුතරයකගේ කුසට ආහාරයක් වැටෙන්නේ දින දෙකකට වතාවක්. HIV මර්දන ඖෂධ (දිනකට පෙති 20ක් හෝ ඊට වඩා) සෑම දිනයකම නියමිත වේලාවකදී ගත යුතුයි. නමුත් රෝගීන් බොහෝදෙනෙකුට ඔරලෝසුවක් නැහැ. ඒවගේම ඖෂධ සංයෝගය රෝගියාගේ තත්වය අනුව සැකසිය යුතුයි. ඒත් එයද අසීරු කාර්යයක් වී තිබෙන්නේ රටවල් බොහෝමයක වෛද්‍යවරුන්ගේ හිඟය දැවෙන ප්‍රශ්නයක් වී තිබෙන නිසයි. එක් දෙයක් පැහැදිලියි. HIV මර්දන ඖෂධ ප්‍රතිකාරය සංවර්ධනය වෙමින් පවතින රටවලට සැපයීම පැනීමට පහසු වැට කඩුල්ලක් නම් නෙවෙයි.

සංවර්ධිත රටවල රෝගීන් පවා මෙම ප්‍රතිකාරය ගැනීමේදී ගැටලු අද්දකිනවා. පර්යේෂකයන් පවසන්නේ නියමිත ඖෂධ මාත්‍රාව නියමිත වේලාවට ගැනීමට අසමත් වීම සෑම තැනම දක්නට තිබෙන ගැටලුවක් කියායි. එම නිසා වයිරසය තුළ ඖෂධයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙනවා. වයිරසය ඖෂධයට ඔරොත්තු දීම නිසා අන් අයට HIV ආසාදනය වීමට එය හේතුවක් වෙයි.

වෛද්‍ය ස්ටයින් HIV රෝගීන් මුහුණ දෙන තවත් අභියෝගයක් පෙන්වා දෙයි. “ප්‍රතිකාර කිරීමේදී සමහරවිට සිදු වන්නේ රෝගියාට සුවයක් දැනීමට වඩා දැඩි අපහසුතාවක් දැනීමයි. විශේෂයෙන්ම එසේ වෙන්නේ රෝග ලක්ෂණ ආරම්භ වීමට පෙර ප්‍රතිකාර කිරීමේදීයි.” HIV වයිරසය මර්දනය කිරීමේ ඖෂධ ලබාගන්න රෝගීන් අතුරු ආබාධවලින් පෙළීම සාමාන්‍ය දෙයක්. දියවැඩියාව, අනවශ්‍ය ස්ථානවල මේදය තැන්පත් වීම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, අස්ථි ක්ෂය වීම වැනි රෝගාබාධ අද්දකිනවා. සමහර අතුරු ආබාධ ජීවිතයට තර්ජනයක් විය හැකියි.

වැළැක්වීමට පියවර

ඒඩ්ස් ව්‍යාප්තිය අඩාළ කිරීමට හා රෝගය බෝවීමට දායක වන හැසිරීම වෙනස් කිරීමට ගෙන තිබෙන පියවරවලින් කොතරම් සාර්ථකත්වයක් අද්දැක තිබෙනවාද? වර්ෂ 1990 ගණන්වලදී උගන්ඩාවේ පුළුල් ලෙස සිදු කෙරුණ, ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන නිසා HIV වයිරසය පැතිර යෑමේ වේගය සියයට 14 සිට වසර 2000 වන විට සියයට 8ට ආසන්න ප්‍රමාණයකට පමණ පහත වැටී ඇතැයි කියා ගණන් බලා තිබෙනවා. ඒ හා සමානව සෙනිගාල්වල මහජනයාට HIV වයිරසයේ තිබෙන බරපතළකම පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගැනීම නිසා එම රට තුළ HIV වයිරසය වැඩිහිටි ජනගහනය අතර පැතිර යෑම සියයට එකකට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. එවන් ප්‍රතිඵල බලාපොරොත්තු දල්වාලයි.

ඒත් වෙනත් රටවල ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබී නැහැ. වර්ෂ 2002දී කැනඩාවේ නවවන ශ්‍රේණියේ සිටින ළමුන් 11,000ක් පමණ යොදාගෙන කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ඔවුන්ගෙන් සියයට 50ක්ම ඒඩ්ස් සුව කළ හැකි රෝගයක් ලෙසට විශ්වාස කළ බවයි. එම වසරේදීම බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකට අනුව අවුරුදු 10ත් 11ත් අතර සිටි පිරිමි ළමුන්ගෙන් සියයට 42ක් HIV වයිරසය හෝ ඒඩ්ස් රෝගය පිළිබඳව කිසිවක් දැන සිටියේ නැහැ. HIV සහ ඒඩ්ස් රෝගය ගැනත් එයට ප්‍රතිකාරයක් නැති බවත් දැන සිටි යෞවනයන් පවා ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. “හුඟාක් යෞවනයන්ට HIV කියන්නේ ඔවුන්ට තිබෙන නොයෙකුත් ගැටලුවලින් තවත් එකක් විතරයි. හොඳ ආහාර වේලක් ලැබෙයිද, කා සමඟ ජීවත් වෙන්න වෙයිද, පාසැල් යනවාද නැද්ද යන ගැටලු වගේ ඒකත් ඔවුන්ට තිබෙන සාමාන්‍ය ගැටලුවක්.” එක් වෛද්‍යවරයෙක් එසේ පැවසුවා.

“දරුණු ලෙස මෙම රෝගය පැතිර තිබෙන රටවල එය වළක්වාගැනීමට තිබෙන හොඳම ක්‍රමය තරුණයන්ව දැනුවත් කිරීමයි” කියා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කිරීම පුදුමයට හේතුවක් නොවෙයි. ඒඩ්ස් පිළිබඳව තමන්ට ලැබී ඇති අනතුරු ඇඟවීම්වලට එකඟව ක්‍රියා කිරීමට යෞවනයන්ට උපකාර කරන්නේ කොහොමද? සුවයක් බලාපොරොත්තු වීම සාධාරණද?

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පසුගිය වසරේ අමෙරිකාවේ HIV මර්දන ඖෂධ ලබාගැනීමේ අවශ්‍යතාව තිබූ රෝගීන්ගෙන් සියයට 84දෙනෙකුට එම ඖෂධය ලබාගැනීමට හැකි වෙද්දී අප්‍රිකාවේ රොගීන්ගෙන් සියයට දෙකකට පමණයි එය ලැබුණේ

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

HIV මර්දන ඖෂධ හඳුනාගනිමු *

නිරෝගී පුද්ගලයෙකුට යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය මර්දනය කිරීම සඳහා ඔහුගේ ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක කරවන්නේ සුදු රුධිරාණුයි. HIV වයිරසය විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ සුදු රුධිරාණු සෛලයි. සුදු රුධිරාණු අතකොළුවක් කරගනිමින් එය සිරුර පුරා පැතිර යනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට සුදු රුධිරාණු දුර්වල වෙමින් විනාශ වී යෑම නිසා ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු වෙයි. වයිරසය මෙලෙස බෝවීමේ ක්‍රියාවලියට බාධා කිරීමටයි මෙම HIV මර්දන ඖෂධ ලබා දෙන්නේ.

දැනට ප්‍රධාන වශයෙන් HIV මර්දන ඖෂධ වර්ග හතරක් රෝගීන්ට ලබා දෙයි. ඉන් වර්ග දෙකක් මගින් HIV වයිරසය පුද්ගලයෙකුගේ DNA තුළට ඇතුල් වීම වළක්වාලයි. (Nucleoside analogues සහ non-nucleoside analogues) සාමාන්‍යයෙන් සෛලයක් HIVවලින් ආසාදිත වූ පසු එක්තරා ප්‍රෝටීන ජීරණ එන්සයිමයක් මගින් වයිරසය තව තවත් නිෂ්පාදනය කරනවා. මේ නිසා HIV වයිරසය තව බෝ වෙනවා. තුන්වන HIV මර්දන ඖෂධයෙන් එම ක්‍රියාවලිය අවහිර කරනවා. (Protease inhibitors) හතරවන ඖෂධයෙන් HIV වයිරසය සෛලවලට ඇතුල් වීම වළක්වනවා. (Fusion inhibitors) HIV මර්දන ඖෂධ ලබා දීමෙන් එම වයිරසයේ වර්ධනය අඩාළ වන නිසා HIV ආසාදනයේ සිට එම රෝගකාරක තත්වයේ අවසන් ප්‍රතිඵලය වන දරුණු ඒඩ්ස් රෝගය දක්වා වර්ධනය වීමේ වේගය අඩු කළ හැකියි.

[පාදසටහන]

^ 28 ඡේ. HIV රෝගය වැලඳි ඇති සියලුදෙනාට HIV මර්දන ඖෂධ නිර්දේශ කරන්නේ නැහැ. HIV වයිරසය ඇති අය හෝ තමාට එම රෝගය වැලඳි ඇතැයි කියා සැක කරන අය යම් නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගැනීමට පෙරාතුව වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. පිබිදෙව්! යම් විශේෂිත වෛද්‍ය ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැහැ.

[පින්තූරය]

කෙන්යාව වෛද්‍යවරයෙක් ඒඩ්ස් රෝගියෙකුට HIV මර්දන ඖෂධ ගැන උපදෙස් ලබා දෙනවා

[හිමිකම් විස්තර]

© Sven Torfinn/Panos Pictures

[පින්තූරය]

කෙන්යාව ඒඩ්ස් රෝගියෙක් රෝහලෙන් HIV මර්දන ඖෂධ ලබාගන්නවා

[හිමිකම් විස්තර]

© Sven Torfinn/Panos Pictures

[22වන පිටුවේ කොටුව⁄පින්තූර]

කාන්තාවෝ සහ ඒඩ්ස්

දැන් ලොව පුරා HIV/AIDS රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් සියයට 50ක් කාන්තාවන්

වර්ෂ 1982දී කාන්තාවන්ට ඒඩ්ස් වැලඳී ඇති බව සොයාගත් විට, ඔවුන්ට එය වැලඳී ඇත්තේ අපිරිසිදු එන්නත් කටුවලින් විය යුතුයි කියා සැක කළා. නමුත් වැඩි කල් නොගොස් කාන්තාවන්ට ලිංගික සංසර්ගයේදී රෝගය ආසාදනය විය හැකි බවත් HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් ඔවුන්ට තිබෙන බවත් සොයාගත්තා. දැන් ලොව පුරා HIV/AIDS රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් සියයට 50ක් කාන්තාවන්. “ඕනෑම සමාජයක, සංස්කෘතියක, ඕනෑම මට්ටමක සිටින කාන්තාවන් සහ නව යොවුන් දැරියන් වැඩි වශයෙන් මෙම වසංගතයට ගොදුරු විය හැකියි. ඒවගේම මෙම රෝගය වැලඳී අසාධ්‍ය තත්වයෙන් ඉන්න අයට ඇප උපස්ථාන කරන අයත් ඉන්නේ අවදානම් තත්වයක” කියා UNAIDS වාර්තා කරනවා.

ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය නිලධාරීන් කාන්තාවන් අතර රෝගය පැතිර යෑම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇයි? විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල HIV ආසාදිත කාන්තාවන් පුරුෂයන්ට වඩා අසාධාරණකම්වලට ලක්වන නිසයි. කාන්තාවක් ගර්භිණි නම්, ඇගේ දරුවාගේ සෞඛ්‍යය අවදානමට ලක් වෙනවා. ඇයට දරුවන් සිටි නම් ඒවගේම ඇයට තනියෙන් වගකීම්වලට උර දීමට සිදු වී ඇත්නම් දරුවන්ව රැකබලා ගැනීම අභියෝගයක් වෙයි. ඊට අමතරව HIV ආසාදනයට ලක් වූ කාන්තාවන්ට ආවේණික ලක්ෂණ හා ඔවුන්ට ලැබෙන ප්‍රතිකාර ගැන තිබෙන්නේ සීමිත දැනුමක්.

සමහර සංස්කෘතික බලපෑම් නිසාත් කාන්තාවන්ට දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. බොහෝ රටවල ලිංගික දේවල් ගැන කතා කිරීම කාන්තාවන්ට සුදුසු නැහැයි කියා සිතනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කළොත් නොයෙකුත් අඩන්තේට්ටම්වලට ලක්වීමේ අවදානම තිබෙනවා. පුරුෂයන්ට ලිංගික හැසිරීමේ යෙදෙන්න සහකාරියන් කිහිපදෙනෙකු සිටින අතර ඔවුන් නොදැනුවත්වම HIV වයිරසය සෑම කෙනෙකුටම බෝ කරනවා. සමහර අප්‍රිකානු පුරුෂයන් HIV ආසාදනය නොවී සිටීමට හෝ කන්‍යාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඒඩ්ස් රෝගය සුව වෙන බවට තිබෙන මිථ්‍යා විශ්වාසය නිසා හෝ ලා බාල යුවතියන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වනවා. එසේනම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවන් දෙයක් ප්‍රකාශ කිරීම පුදුමයට කාරණයක් නෙමෙයි. “කාන්තාවන්ව රැකගන්න නම් පුරුෂයන්ව (මෙන්ම කාන්තාවන්වද) දැනුවත් කිරීමට මැදිහත් වෙන්න අවශ්‍යයයි.”

[පින්තූරය]

පෙරූ HIV ආසාදිත මවක් සහ ඇගේ නිරෝගී දුව සමඟින්

[හිමිකම් විස්තර]

© Annie Bungeroth/Panos Pictures

[පින්තූරය]

තායිලන්තය ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙස ශිෂ්‍යයන් ඒඩ්ස් රෝගියෙකුව මුණගැසී

[හිමිකම් විස්තර]

© Ian Teh/Panos Pictures

[පින්තූරය]

කෙන්යාව ඒඩ්ස් සමඟ ජීවත් වන කාන්තාවන් යන සංවිධානයේ සාමාජිකයන් සමඟ රැස්වීමක්

[හිමිකම් විස්තර]

© Sven Torfinn/Panos Pictures

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඒඩ්ස් පිළිබඳව තිබෙන මිථ්‍යා මත

▪ HIV ආසාදිත පුද්ගලයන් පෙනුමෙන් දුර්වලයි. “යම් පුද්ගලයෙකුට HIV වයිරසය ආසාදිත වූ පසු ඒඩ්ස් රෝගය දක්වා එය වර්ධනය වීමට සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 12ක් ගත වෙනවා. මෙම කාලය අතරතුර ආසාදිත පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ පෙනෙන්න පටන්ගන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඒත් ඔවුන්ට පුළුවන් HIV වයිරසය තව කෙනෙකුට බෝ කරන්න” කියා වෛද්‍ය ජෙරල්ඩ් ජේ. ස්ටයින් පවසනවා.

ඒඩ්ස්, සමලිංගිකයන්ට වැලඳෙන රෝගයක්. එක්දාස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේදී ඒඩ්ස් සමලිංගිකයන්ට වැලඳෙන රෝගයක් ලෙසයි හඳුනාගනු ලැබුවේ. විරුද්ධ ලිංගයේ අය සමඟ සම්බන්ධකම් පැවැත්වීම HIV වයිරසය ආසාදනය වීමට ප්‍රධාන ලෙස හේතු වන බව අද සොයාගෙන තිබෙනවා.

මුඛ සංවාසය “ආරක්ෂාකාරීයි.” රෝග මර්දන හා වළක්වන ආයතනවලට අනුව “මුඛ සංවාසය මගින් HIV සහ ලිංගිකව බෝවෙන වෙනත් රෝග වැලඳිය හැකි බව බොහෝ අධ්‍යයනයන්වලින් පෙනී ගොස් තිබෙනවා.” මුඛ සංවාසය මගින් HIV ආසාදනය වීම වෙනත් ලිංගික එක්වීම් තරම් අවදානම් නැහැ. නමුත් මුඛ සංවාසය පුළුල් ලෙස පැතිර තිබෙන නිසා HIV වයිරසය පැතිරීමට එය ප්‍රධාන හේතුවක් වෙයි කියා සමහර වෛද්‍යවරු සිතනවා.

ඒඩ්ස් සුව කළ හැකියි. HIV මර්දන ඖෂධය මගින් ඇතැම් HIV ආසාදිතයන්ව ඒඩ්ස් රෝග තත්වය දක්වා වර්ධනය වීම ප්‍රමාද කළත් තවමත් මෙම වසංගතය සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් නැහැ.

[පින්තූරය]

චෙක් ජනරජය ඒඩ්ස් රෝගය සඳහා කරන රුධිර පරීක්ෂාව, ඒඩ්ස් රෝගයට ප්‍රතිකාර කළ හැකියි, ඒත් සුව කළ නොහැකියි

[හිමිකම් විස්තර]

© Liba Taylor/Panos Pictures

[20වන පිටුවේ පින්තූරය]

සැම්බියාව HIV ආසාදනයෙන් පෙළෙන තරුණ ගැහැණු ළමයි දෙදෙනෙක් ඖෂධ ලැබෙන තුරු බලා සිටිනවා

[හිමිකම් විස්තර]

© Pep Bonet/Panos Pictures