Skip to content

පටුනට යන්න

ඒඩ්ස් රෝගයට නැවතීමේ තිත කවදාද?

ඒඩ්ස් රෝගයට නැවතීමේ තිත කවදාද?

ඒඩ්ස් රෝගයට නැවතීමේ තිත කවදාද?

තරුණයන්ට බාල වියේ පටන්ම දුරාචාරයට පොලඹවන දේවල් තමයි අහන්න දකින්න ලැබෙන්නේ. එම නිසා ඔවුන් දුරාචාරයේ නියැලෙනවා. මත්ද්‍රව්‍ය නහරගත කිරීමත් HIV වයිරසය ශරීරගත වීමට ප්‍රධාන මඟක්. මත්ද්‍රව්‍ය භාවිතයත් ප්‍රචලිතව පවතිනවා. දසත පැතිර පවතින මෙවැනි අසංවර හැසිරීම් සලකා බලන කල ඒඩ්ස් රෝගයට නැවතීමේ තිත තබන්න හැකියාවක් ලැබෙයිද කියා ඔබ කල්පනා කරනවා ඇති.

ඒඩ්ස් රෝගය වළක්වාගැනීමට නම් අසංවර හැසිරීම් රටා වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවයේ නියුතු වූවන් පෙන්වා දෙනවා. “සෑම පරම්පරාවකම සිටින තරුණයන් තම ජීවිත කාලය පුරාවටම HIV ආසාදනය වීමට මඟ පාදන හැසිරීමකින් වැළකී සිටීම සඳහා යම් කිසිවෙකු මැදිහත් වී චරිතවත් ජීවන රටාවක් පිළිබඳ හරි අවබෝධයක් ලබා දීමට ක්‍රියා කළ යුතුයි. එවැනි අවබෝධයක් ලබා දීමේ වැඩසටහන්වලට දෙමාපියන්ව මෙන්ම විද්වතුන්වද සහභාගි කරගත යුතුයි” කියා රෝග මර්දන හා වළක්වන ආයතන මගින් ප්‍රකාශ කළ වාර්තාවක සඳහන් වෙනවා.

දරුවන්ට තම මිතුරන් හෝ වෙනත් අය විසින් වැරදි තොරතුරු ලබාදීමට පෙර දෙමාපියන් ඔවුන්ව දැනුවත් කළ යුතු බව පැහැදිලියි. මෙය පහසු දෙයක් නෙමෙයි. නමුත් එය කිරීමෙන් රැකෙන්නේ ඔවුන්ගේ ජීවිතයයි. දරුවන් නොමඟ යෑමට පෙර ඔවුන්ව ලිංගික කාරණා හා මත්ද්‍රව්‍ය ගැන දැනුවත් කිරීමෙන් මල් වැනි ඔවුන්ගේ ජීවිත රැකගත හැකියි.

දෙමාපියන්ගේ පුහුණුව අත්‍යවශ්‍යයි

අතීතයේදී දෙවිට නමස්කාර කළ අය අතර සිටි දෙමාපියන්ගෙන්, තම දරුවන්ට ලිංගික සම්බන්ධකම් පිළිබඳවත් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳවත් ඉගැන්වීම අපේක්ෂා කළා. පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිවල සදාචාරය පිළිබඳ පැහැදිලි මඟ පෙන්වීම් වගේම ආසාදනවලින් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ගත් පෙන්වා තිබීම සැලකිල්ලට ගත යුත්තක්. (ලෙවී කතාව 18:22, 23; 19:29; ද්විතීය කතාව 23:12, 13) මෙම නීති මනුෂ්‍යයන්ට උගන්වනු ලැබුවේ කොහොමද? යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසුවා. “මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය.” මෙම නීති අනුගමනය කිරීමෙන් තිබෙන ප්‍රයෝජන සහ ඒවා කඩ කිරීමෙන් ඇති වන ප්‍රතිවිපාක ගැන දෙමාපියන් පළමුකොට තේරුම් ගත යුතුව තිබුණා. ඉන්පසු ඔවුන්ට උපදෙස් දුන්නේ, “ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න” කියායි.—ද්විතීය කතාව 6:6, 7.

“මනාකොට උගන්වා” යන ප්‍රකාශය එක් ශබ්දකෝෂයක නිර්වචනය කරන්නේ “නැවත නැවත කීම හෝ අවවාද කිරීම මගින් ඉගැන්වීම හා සිතට කාවැද්දවීම ලෙසයි.” මේ සඳහා කාලය අවශ්‍යයි. දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිතයේ හා තහනම් ලිංගික ක්‍රියාවල යෙදීමේ තිබෙන අනතුරු ගැන තම දු පුතුන්ට ඉගැන්වීමට කාලය වැය කරනවා නම් ඔවුන් තම දරුවන්ව HIV සහ වෙනත් රෝග වැලඳීමට මඟ පාදන හැසිරීමකින් ගලවා ගන්නවා. *

HIV/AIDSවලින් පීඩා විඳින්නන්ට සැනසිල්ල

HIV/AIDS රෝගය වැලඳී තිබෙන මිලියන ගණන් අයට, වළක්වා ගැනීමේ පියවරවලින් එතරම් සහනයක් ලැබෙන්නේ නැහැ. රෝගය නිසා ඇති වන ශාරීරික ආබාධවලින් වේදනා විඳිනවාට අමතරව ඔවුන් සිටින තත්වය නිසාත් ඔවුන්ව පිළිකුල් කර, කොන් කරනවා. ඇයි එසේ කරන්නේ? සාමාන්‍ය ස්පර්ශයෙන් පවා HIV ආසාදනය වන බවට බොහෝදෙනා අතර වැරදි මතයක් තිබෙනවා. HIV/AIDS ඉක්මනින්ම බෝ වෙන නිසාත් මාරාන්තික රෝගයක් නිසාත් එයට බියවීම සාධාරණයි. ඒත් සමහරු හුඹස් බියක් ඇති කරගෙන තිබෙනවා. එම නිසා, මෙම රෝගයෙන් පීඩා විඳින අයට ප්‍රතිකාර නොදී සිටිනවා. ආගමික ස්ථානවලින් ඔවුන්ව පන්නා දමනවා. අමානුෂික ලෙස පහර කෑම්වලට පවා ඔවුන් ලක් වෙනවා.

සමහරෙකු කියා සිටින්නේ ඒඩ්ස් නපුරු මිනිසුන්ට දෙවියන්ගෙන් ලැබුණු සාපයක් කියලයි. ලිංගික සදාචාරය, මත්ද්‍රව්‍ය භාවිතය, රුධිරය වැනි කාරණා සම්බන්ධයෙන් තිබෙන බයිබල් ප්‍රමිති පිළිපැදීමෙන් බොහෝදෙනෙකුට එම රෝගයෙන් බේරෙන්නට හැකි බව පිළිගත යුතුයි. (ක්‍රියා 15:28, 29; 2 කොරින්ති 7:1) ඒත්, අසනීප යම් පාපයක් සඳහා දෙවි විසින් දෙන දඬුවමක් නොවෙයි කියා ශුද්ධ ලියවිලි පෙන්වා දෙනවා. එහි පවසන්නේ, “නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත” යනුවෙන්. (යාකොබ් 1:13; යොහන් 9:1-3) ශුද්ධ ලියවිල්ලේ ප්‍රමිතිවලට අවනත නොවීමෙන් යම් පුද්ගලයෙකුට HIV/AIDS වැලඳුණත් ඔහු තම හැසිරීම වෙනස් කර තිබේ නම් ඔහුව දෙවි අත් හැර නැහැයි කියා ඔහුට ස්ථිර විය හැකියි.

නිදන්ගත රෝගාබාධයෙන් පෙළන අය සඳහා දෙවිගේ සංවේදනය සහ ප්‍රේමය දැකගත හැකි වූයේ ඔහුගේ පුත් යේසුස් පොළොවට ආ විටයි. යේසුස් සංචාරය කරන විට ලාදුරු රෝගියෙක් මුණ ගැසුණු අවස්ථාවක “අනුකම්පාවෙන් පෙලඹී, තම අත දිගු කොට ඔහුව ස්පර්ශ කර” තම ආශ්චර්යවත් බලය යොදාගෙන ලාදුරු රෝගියාව සුව කළා. (මාක් 1:40-42) යේසුස් රෝගවලින් පෙළුණු අයව පහත් කොට සැලකුවේ නැහැ. ඔහු රෝගීන් සඳහා පෙන්වූ ප්‍රේමය මගින් ස්වර්ගික පියා කොතරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද යන්න මනාව පිළිබිඹු කළා.—ලූක් 10:22.

ඒඩ්ස්වලට සුවයක් ළඟදීම!

යේසුස්ගේ ආශ්චර්යවත් සුව කිරීම් දෙවිගේ ප්‍රේමය පිළිබඳව සහතිකයක් ලබා දෙනවාට වඩා වැඩි යමක් ප්‍රකාශ කරනවා. යේසුස් දැන් ස්වර්ගයේ රජ කෙනෙක් ලෙස පාලනය කරනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 11:15) ඔහු පොළොවේදී සිදු කළ සේවය තුළින් පෙන්වන්නේ මිනිසා අද්දකින සියලුම රෝග සුව කිරීමට බලයක් හා කැමැත්තක් ඔහුට තිබෙන බවයි. ඇත්තෙන්ම ඔහු අනාගතයේදී කරන්නේ ඒ දෙයයි.

ඉතා ළඟදීම ‘මම රෝගාතුර වී සිටියි කියා එහි වැසියා නොකියන’ බව බයිබල් අනාවැකිය අපට සහතික කරයි. (යෙසායා 33:24) මිනිසුන්ට ඒඩ්ස් රෝගය පැතිර යෑම නවත්වන්නවත් ඊට නිසි ප්‍රතිකාරයක් ලබා දීමටවත් නොහැකි වුණත් ඒඩ්ස් මුළුමනින්ම තුරන් වන බව අපට විශ්වාසයි. දාවිත් රජ මෙසේ ගායනා කළා. “මාගේ ආත්මය, යෙහෝවාට ආශීර්වාද කරන්න. ඔහුගේ උපකාර සියල්ල මතක නැති නොකරන්න. ඔහු ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේය. සියලු රෝග සුව කරන්නේය.”—ගීතාවලිය 103:2, 3.

මෙය සැබෑවක් වන්නේ කවදාද? එවන් ආශීර්වාද භුක්ති විඳීමට නම් දෙවි අපෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? බයිබලයේ සඳහන් මෙම ලස්සන පොරොන්දු ගැන වැඩිමනත් තොරතුරු දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසෙන්න කියා අප ඔබට ආරාධනා කරනවා.

[පාදසටහන]

^ 7 ඡේ. බාල වියේ සිටින තම දූ දරුවන්ට ලිංගික සහ මූලික සදාචාර ප්‍රතිපත්ති ඉගැන්වීම සඳහා දෙමාපියන් හුඟදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති ප්‍රකාශනය උපකාරවත් වන බව සොයාගෙන තිබෙනවා.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඉතා ළඟදීම ‘මම රෝගාතුර වී සිටියි කියා එහි වැසියා නොකියන’ බව බයිබල් අනාවැකිය අපට සහතික කරයි

[24වන පිටුවේ පින්තූරය]

ලිංගික කාරණා සහ මත්ද්‍රව්‍ය ගැන ඔබේ දරුවන්ව දැනුවත් කිරීමෙන් ඔවුන්ව ආරක්ෂා කරගත හැකියි

[24වන පිටුවේ පින්තූරය]

රෝගී අයව සුව කිරීමට යේසුස්ට තිබුණු හැකියාව සහ කැමැත්ත අනාගතයේදී ඔහු කිරීමට යන දේ පෙන්වයි