Skip to content

පටුනට යන්න

ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!

ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!

ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!

මලාවි රටේ ලිලොංවේ නගරයේ වෙළඳ පොළක නවීන පන්නයේ සපත්තු විකුණන ග්‍රේස් බැලූ බැල්මට නිරෝගී සුවයෙන් හා සතුටෙන් ඉන්න බවයි පෙනෙන්නේ. ඒත් ඇගේ සිනා පිරි මුව මඬල පිටුපස සැඟව තිබෙන්නේ දුක්ඛිත කතාවක්.

වර්ෂ 1993දී, ග්‍රේස් සහ ඇගේ සැමියා, ඔවුන්ගේ පුංචි කැදැල්ලට එකතු වූ ටයාන්ජේන් දුව නිසා අපමණ ප්‍රීතියක් අද්දැක්කා. මුලදී ටයාන්ජේන් නිරෝගී දරුවෙක් සේ සිටියත් පසුව ඇගේ බර අඩුවීමට පටන්ගත් අතර නොයෙකුත් රෝගවලට ගොදුරු වුණා. ඇයට අවුරුදු තුනක් වන විට ඒඩ්ස් රෝගය (මානව ප්‍රතිශක්ති ඌනතා රෝගය) නිසා මිය ගියා.

අවුරුදු කිහිපයකට පසු ග්‍රේස්ගේ සැමියාත් ලෙඩ වෙන්න පටන්ගත්තා. දිනක් ඔහු සිහිසුන්ව ඇදගෙන වැටුණ නිසා ඔහුව රෝහලට රැගෙන ගියා. ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. විවාහ වී අවුරුදු අටකින් පසු ග්‍රේස්ගේ සැමියා ඒඩ්ස් රෝගය හේතුවෙන් ඇති වූ ආබාධ නිසා මිය ගියා.

දැන් ග්‍රේස් ලිලොංවේ නගරයට ආසන්නයේ පිහිටි කුඩා නිවසක තනිව ජීවත් වෙනවා. තිස් හැවිරිදි වියේ පසුවන ඇය නැවතත් අලුත් ජීවිතයක් පටන්ගනිවී කියා යමෙකුට සිතිය හැකියි. ඒත් ඇය මෙහෙම කියනවා. “මගේ ඇඟේ HIV වයිරසය තියෙනවා. ඒනිසා මම විවාහ වෙන්නෙවත් දරුවෝ හදන්නෙවත් නැහැ.” *

මලාවි රටට මෙවන් අද්දැකීම් තිබීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. එම රටේ ජනගහනයෙන් සියයට 15ක් HIV ආසාදනයෙන් පෙළෙන බවට ගණන් බලා තිබෙනවා. එක් ගම්බද රෝහලක් පිළිබඳව එක් පුවත්පතක (The Globe and Mail) වාර්තා කරන්නේ මෙවන් දෙයක්. “රෝහලේ තිබෙන්නේ ඇඳන් 100යි. නමුත් රෝගීන් 150ක් ඇතුල් වෙලා. ඒවගේම එහි කාර්යය මණ්ඩලයේ සේවකයන්ගෙන් අඩකට ඒඩ්ස් රෝගය වැලඳී තිබෙන නිසා ඔවුන්ට සේවය කිරීමට හැකියාවක් නැහැ.” HIV වයිරසය අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි රටවල් තුළත් ශීඝ්‍රයෙන් පැතිර යනවා. වර්ෂ 2002 එක්සත් ජාතීන්ගේ HIVAIDS මර්දන සාමූහික වැඩසටහන (UNAIDS) මෙසේ වාර්තා කළා. “සහරාවට දකුණින් පිහිටි රටවල අපේක්ෂිත ආයු කාලය අවුරුදු 47යි. ඒඩ්ස් නොමැති නම් එම ආයු කාලය අවුරුදු 62ක් වීමට තිබුණා.”

HIV/AIDS, මාරාන්තික වසංගතය අප්‍රිකානු මහාද්වීපයට පමණක් සීමා වී නැහැ. UNAIDS තක්සේරු කරන ආකාරයට ඉන්දියාවේ වැඩිහිටියන් මිලියන හතරකට පමණ HIV ආසාදනය වී තිබෙනවා. “මෙම දශකයේදී වැඩිහිටියන් විශාල පිරිසකගේ මරුවා ලෙස මෙම රෝගය හිස ඔසවයි” කියා එය තවදුරටත් කියා සිටියා. මෙම වසංගතය සෝවියට් සමාජවාදී ජනරජ සමූහාණ්ඩුවට අයත් රටවල් තුළත් ශීඝ්‍රයෙන් පැතිර යනවා. උස්බෙකිස්ථානයේ තත්වය පිළිබඳව එක් වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “කලින් දශකය පුරා වාර්තා වූ මුළු සංඛ්‍යාවට වඩා වැඩි HIV ආසාදිතයන් සංඛ්‍යාවක් 2002දී වාර්තා වී තිබෙනවා.” එක්සත් ජනපදයේ වයස අවුරුදු 25ත් 44ත් අතර සිටින අමෙරිකානුවන්ගේ මරණයට මූලිකම හේතුව HIV වයිරසයයි.

පිබිදෙව්! සඟරාවේ ඒඩ්ස් රෝගය පිළිබඳව ලිපි මාලාවක් මුල් වතාවට පළ වුණේ 1986දීයි. එම වසරේදී මිනිසුන් මිලියන 10කටවත් HIV වයිරසය ආසාදනය වී ඇතැයි කියා එවකට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂක වෛද්‍ය එච්. මාලර් අනතුරු ඇඟෙව්වා. දශක දෙකකට පමණ පසු ලොව පුරා HIV ආසාදිතයන් ගණන මිලියන 42ක් වී තිබෙන අතර රෝගය පැතිර යෑමේ වේගය ජනගහන වර්ධන වේගයට වඩා දස ගුණයකටත් වඩා වැඩියි! * අනාගත තත්වය මීට වඩා දරුණු විය හැකි බවයි ප්‍රවීණයන්ගේ අදහස. “මෙම රෝගය දරුණු ලෙස පැතිර පවතින රටවල් 45 තුළ වසර 2000ත් 2020ත් අතරතුර කාලයේදී ඒඩ්ස් රෝගය නිසා මිලියන 68ක් අකාලයේ මරණයට පත් වේවි කියා” UNAIDS වාර්තා කරනවා.

තැතිගන්වන ආකාරයකින් රෝගය ආසාදනය වීම නිසා වෙන කවරදාකටත් වඩා ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂකයන් HIV වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී තිබෙනවා. මෙම මාරාන්තික වසංගතයට එරෙහිව කරන සටනේදී ඔවුන් ලබා තිබෙන්නේ කිනම් සාර්ථකත්වයක්ද? ඒඩ්ස් රෝගයට අවසානයක් ගෙන ඒමට හැකියි කියා බලාපොරොත්තුවක් තබාගැනීම සාධාරණද?

[පාදසටහන]

^ 5 ඡේ. HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය ඒඩ්ස් රෝගය වැලඳීමට හේතු වන බව සොයාගෙන තිබෙනවා.

^ 8 ඡේ. ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් 552ක් සිටින බව වාර්තා වේ.

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලොව පුරා මිලියන 42කට HIV/AIDS රෝගය තිබෙන අතර ඉන් මිලියන 2.5ක් දරුවන් බවට තක්සේරු කර තිබෙනවා

[18වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ ස්වේච්ඡා සේවිකාවන් ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් වෙමින්

[හිමිකම් විස්තර]

© Peter Barker/Panos Pictures

[18වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලයේ සමාජ සේවිකාවක් ඒඩ්ස් රෝගයෙන් පෙළෙන කාන්තාවක් සනසමින්

[හිමිකම් විස්තර]

© Sean Sprague/Panos Pictures

[18වන පිටුවේ පින්තූරය]

තායිලන්තයේ ස්වේච්ඡා සේවකයෙක් HIV රෝගය සමඟ උපන් දරුවෙකුව රැකබලා ගනිමින්

[හිමිකම් විස්තර]

© Ian Teh/Panos Pictures