Skip to content

පටුනට යන්න

බලාපොරොත්තු සුන් වන විට මම එය දරාගන්නේ කොහොමද?

බලාපොරොත්තු සුන් වන විට මම එය දරාගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

බලාපොරොත්තු සුන් වන විට මම එය දරාගන්නේ කොහොමද?

“මගේ ප්‍රගති වාර්තාව ලැබුණා. ආයෙත් ඒ විෂයන් හතරම අසමත් වෙලා. මම හොඳට කළා. ඒත් බලන්නකෝ”—ලොරේන්, අවුරුදු 15යි.

“බලාපොරොත්තු සුන්වීමත් සමඟ ඇති වන දුක දරාගන්න හරි අමාරුයි. කලකිරෙන දේවල් තමයි හිතෙන්නේ.”—ජෙසිකා, අවුරුදු 19යි.

ඔබ බලාපොරොත්තු වන ආකාරයටම දේවල් සිදු නොවන විට එය ඔබට අමිහිරි අද්දැකීමක් විය හැකියි. නමුත් අපි හැමෝම කලින් කලට එවන් පසුබෑම්වලට ලක් වෙනවා. විභාගයකින් අසමත් වීම, අන් අය ඉදිරියේ ලජ්ජාවට පත් වන ආකාරයේ යමක් පැවසීම හෝ කිරීම, අප ආදරය කරන කෙනෙකුගේ බලාපොරොත්තු සුන් කිරීම, බරපතළ පාපයක් අප අතින් සිදුවීම වැනි ඕනෑම ආකාරයේ දෙයක් නිසා බලාපොරොත්තු සුන් තත්වයකට පත් විය හැකියි.

ඇත්තටම, මිනිසුන් හැටියට අපි කා අතිනුත් වැරදි සිදු වෙනවා. “සියල්ලෝම පව් කර දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 3:23) නමුත් අපගෙන් සමහරදෙනෙකුට එවන් බලාපොරොත්තු සුන් වූ තත්වයන් අද්දැක්ක විට එයින් ගොඩ ඒම ටිකක් අමාරු දෙයක්. ජේසන් නමැති යෞවනයා එය මෙසේ විස්තර කරනවා. “මම නිතරම මටම දොස් පවරගන්නවා. මම වරදක් කළාම මිනිසුන් මට හිනා වෙනවා. ඊට පස්සේ එයාලට ඒක අමතකයි. ඒත් මට ඒක ලෙහෙසියෙන් අමතක වෙන්නේ නැහැ. මම මගේ වැරදි ගැන හිත හිත ලත වෙනවා.”

අප අතින් යම් දුර්වලකම් සිදු වන විට එය හැමවිටම නිෂේධාත්මක දෙයකට හේතු වන්නේ නැහැ. සමහරවිට ඒක අපට අපගේ වැරදි හදාගෙන දියුණු වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒත් හැම තිස්සේම තමන්ට දොස් පවරාගැනීම නම් හොඳ දෙයක් නෙමෙයි. “මනුෂ්‍යයාගේ සිත එහි ශෝකය නිසා නැමෙයි” කියා හිතෝපදේශ 12:25හි සඳහන් වෙනවා.

බයිබලයේ සඳහන් එපෆ්‍රොදිතස්ගේ චරිතය සලකා බලන්න. ඔහුව පාවුල්ගේ පෞද්ගලික සේවකයෙකු ලෙස සේවය කරන්න රෝමයට යැව්වා. ඒත් ඔහු රෝමයට ගිය විට අසනීප වූ නිසා ඔහුට දුන් එම පැවරුම ඉටු කිරීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. පාවුල්ට සිදු වුණා ඔහුට ඇප උපස්ථාන කරන්න! ඔහු අධෛර්යයට පත්ව සිටිනවා කියාත් සභාවට දැනුම් දී පාවුල් එපෆ්‍රොදිතස්ව ඔහුගේ නිවසට යැවීමට කටයුතු කළා . ඇයි ඔහු අධෛර්යයට පත් වුණේ? “තමා අසනීපෙයන් සිටි බව ඔබට ආරංචි වූ නිසා” කියා පාවුල් පැහැදිලි කළා. (ෆිලිප්පි 2:25, 26) තමා ලෙඩින් සහ තමාගේ පැවරුම ඉටු කිරීමට බැරිව ගිය බව අනිත් අය දන්නවා කියා එපෆ්‍රොදිතස් දැනගත් විට ඔහු සමහරවිට බලාපොරොත්තු සුන් තත්වයකට පත් වෙන්න ඇති. ඇත්තටම ඔහු අධෛර්යයට පත්වීම පුදුමයක් නෙමෙයි!

බලාපොරොත්තු සුන්වීම නිසා ඇති වන වේදනාකාරී හැඟීම් වළක්වාගන්න ක්‍රමයක් තිබෙනවාද?

ඔබේ සීමාවන් දැනගන්න

බලාපොරොත්තු සුන්වීම වළක්වාගැනීමට එක් ක්‍රමයක් නම් සාධාරණ ඉලක්ක තබාගැනීමයි. “යටහතුන්ට ප්‍රඥාව ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 11:2; 16:18) යටහත් පුද්ගලයෙක් තමන්ගේ සීමාවන් ගැන දන්නවා. ඔබේ දස්කම් සහ හැකියාවන් දියුණු කිරීමට යම් අවස්ථාවල ඔබව පරීක්ෂා කර බැලීම හොඳ දෙයක් බව ඇත්ත. ඒත් සාධාරණ වෙන්න. ඔබ ගණිතයට දක්ෂයෙකුවත් මලල ක්‍රීඩකයෙකු මෙන් දස්කම් පාන කෙනෙකුවත් නොවන්න පුළුවන්. මයිකල් නමැති යෞවනයා මෙවන් අදහසක් පළ කළා. “මම දන්නවා මම ක්‍රීඩාවට දක්ෂ නැහැයි කියලා. සෙල්ලම් කරනවා. ඒත් ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. තමාට අත්කර ගන්න පුළුවන් ඉලක්ක තබාගන්න ඕනේ.”

සුෂුම්නාව හා මොළය ආශ්‍රිත රෝගයකින් පෙළෙන 14 හැවිරිදි ඉවොන්ගේ ආකල්පය සලකා බලන්න. “මට අනිත් අය වගේ ඇවිදින්නවත්, නටන්නවත් දුවන්නවත් බැහැ. අනිත් අය කරන දේවල් මට කරන්න බැරි කොට කලකිරීමක් ඇති වෙනවා. මට දැනෙන කලකිරීම හුඟාක් අයට තේරුම්ගන්න බැහැ. ඒත් මට පුළුවන් ඒකට මුහුණ දෙන්න.” බලාපොරොත්තු සුන්වීම නිසා කලකිරීමට පත් වුණ අයට ඇය උපදෙසක් දෙනවා. “උත්සාහය අත් අරින්න එපා. යම් දේවල් කරගන්න බැරිව ගියත් උත්සාහය අත් අරින්න එපා. ඔබට පුළුවන් උපරිමය කරන්න.”

ඒවගේම ඔබව අන් අය සමඟ සන්සන්දනය කිරීමෙන් වළකින්න. පහළොස්වන වියේ පසුවන ඇන්ඩෲ මෙහෙම කියනවා. “මම තවත් අය සමඟ මාව සන්සන්දනය කරන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. මොකද අපි හැමෝටම තියෙන්නේ වෙනස් වෙනස් හැකියාවන්.” ඇන්ඩෲ කියූ දේ ගලාති 6:4හි සඳහන් දේට සමානයි. “නමුත් එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”

අනිත් අයගේ බලාපොරොත්තු

සමහරවිට ඔබේ දෙමාපියන්, ගුරුවරුන් සහ වෙනත් අය ඔබ ගැන ලොකු ලොකු බලාපොරොත්තු තබාගෙන සිටිනවා ඇති. මොනවා කරලාවත් ඔවුන්ව සතුටු කරන්න බැහැයි කියා ඔබට වැටහෙනවා ඇති. ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වූ දේ නොලැබෙන විට ඔබව කෝපයට හා අන්ත කලකිරීමට පත් වෙන දේවල් ඔවුන් පැවසිය හැකියි. එයින් වෙන්නේ ඔබ තව තවත් කලකිරීමට පත්වීමයි. (යෝබ් 19:2) ඔබේ දෙමාපියන් සහ වෙනත් අය හිතාමතාම ඔබව රිදවන්නේ නැහැයි කියා සමහරවිට ඔබ තේරුම්ගනීවි. ජෙසිකා එය තේරුම්ගත්තා. “එයාලා දන්නේ නැහැ එයාලා අපිට කියන දේවල් මොනතරම් බලපානවාද කියලා. සමහර වෙලාවට තියෙන්නේ වැරදි වැටහීමක් විතරයි.”

අනෙක් අතට ඔබ දකින්නේ නැති දෙයක් ඔවුන් දකිනවා වෙන්න පුළුවන්ද? උදාහරණයකට සමහරවිට ඔබ ඇත්තටම ඔබේ හැකියාවන් ගැන අවතක්සේරු කරනවා ඇති. ඔබ ඔවුන්ගේ යෝජනා ගණන් නොගෙන සිටිනවාට වඩා බුද්ධිමත්ව ‘ඉගැන්වීම අසන්න.’ (හිතෝපදේශ 8:33) මයිකල් මෙසේ පැහැදිලි කරනවා. “එකෙන් යහපතක් වෙන්නේ ඔබටමයි. ඒගොල්ලන්ට ඕනේ ඔබ දියුණු වෙනවා දකින්නයි. එය අභියෝගයක් ලෙස භාරගන්න.”

ඔබේ දෙමාපියන් සහ වෙනත් අය ඔබෙන් බලාපොරොත්තු වන දේවල් අසාධාරණයි කියා ඔබට හැඟෙනවාද? එය ඔබව බලාපොරොත්තු සුන් තත්වයකට පත් කරනවාද? එහෙමනම් ඔවුන් සමඟ ගෞරවනීයව සහ සුහදශීලීව ඔබට හැඟෙන දේ කතා කිරීම තමයි සුදුසු වන්නේ. ඔවුන් සමඟ එකතු වී සාධාරණ ඉලක්ක තබන්න ඔබට හැකි වේවි.

ඔබේ ආත්මික ක්‍රියාකාරකම්වලදී “බලාපොරොත්තු සුන්වීම”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයන්ට දෙවිගේ සේවකයන් වශයෙන් තමන්ට තිබෙන වගකීම් ඉටු කිරීම අභියෝගයක්. (2 තිමෝති 4:5) ඔබ යෞවන ක්‍රිස්තියානියෙක් නම් ඔබට සුදුසුකම් නැහැයි කියා සමහරවිට හැඟෙනවා ඇති. රැස්වීමේදී හොඳින් උත්තර දෙන්නේ නැහැයි කියාත් හැඟෙනවා ඇති. එසේ නැතහොත් බයිබලයේ තිබෙන පණිවිඩය අන් අයට පැහැදිලි කිරීමට ඔබට අමාරු ඇති. උදාහරණයක් බලමු. ජෙසිකා තවත් යෞවනියකට බයිබල් දැනුම ලබා දුන්නා. ටික කාලයකදී ඇගේ බයිබල් ශිෂ්‍යාව ප්‍රගතියක් ලැබුවා. හදිසියේම එම ගැහැනු ළමයා දෙවිට සේවය කිරීම නවතා දැමීමට තීරණය කළා. “මගේ බලාපොරොත්තු සුන් වුණා වගේයි දැනුණේ” කියා ජෙසිකා පැවසුවා.

ජෙසිකා එම හැඟීම් ජයගත්තේ කොහොමද? ඇගේ ශිෂ්‍යාව ප්‍රතික්ෂේප කළේ ඇයව නොව දෙවිව බව ඇයට තේරුම්ගන්න සිදු වුණා. ඒවගේම බයිබලයේ සඳහන්, අඩුපාඩුකම් ගණනාවක් තිබූ දේවභයැති පේතෘස්ගේ ආදර්ශය සැලකිල්ලට ගැනීමද ඇයට උපකාරයක් වුණා. ඇය මෙසේ පැහැදිලි කරනවා. “පේතෘස් ඔහුගේ දුර්වලකම්වලින් ගොඩ ආ බවත් රාජ්‍ය කටයුතු සඳහා යෙහෝවා දෙවි ඔහුව නොයෙකුත් ක්‍රමවලින් යොදාගත් බවත් බයිබලයේ සඳහන් වෙනවා.” (ලූක් 22:31-34, 60-62) ගුරුවරියක් ලෙස ඔබේ ඉගැන්වීමේ කලාව දියුණු කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ නම් ඒ සඳහා කටයුතු නොකරන්නේ මන්ද? (1 තිමෝති 4:13) ඔබට ඉගැන්වීමට සහ ඔබව පුහුණු කිරීමට හැකි සභාවේ සිටින මේරූ අයගෙන් උපකාරය ලබාගැනීමට උත්සාහ කරන්න.

සමහරවිට ඔබට අභියෝගයක් වී තිබෙන්නේ ගෙයින් ගෙට සේවය විය හැකියි. “නිවැසියා මට ඇහුම්කන් දෙන්නේ නැති වේලාවට මට හිතෙනවා එහෙම කරන්නේ මං නිසා කියලා.” එසේ පැවසුවේ ජේසන්. එවන් හැඟීම් අහක් කිරීමට ඔහු මොනවාද කළේ? “සම්පූර්ණයෙන් බලාපොරොත්තු සුන් කරගෙන කලකිරීමට පත් වෙන්න අවශ්‍ය නැහැයි කියන එක මම දන්නවා.” ඔව්, දෙවි දේශනා කරන්න කියා අණ කළ දෙය කිරීමෙන් ඔහු සාර්ථක වුණා! මිනිසුන් බයිබල් පණිවිඩය ප්‍රතික්ෂේප කළාම එය දරාගැනීමට අමාරු වුණත් හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. “සවන් දෙන කෙනෙක් මුණ ගැසුණාම, මට හිතෙනවා මම කරන වැඩය වතුරේ ගිහිල්ලා නැහැයි කියලා.” එය ජේසන්ගේ අදහසයි.

බරපතළ වැරදි

ඔබ අතින් බරපතළ වරදක්, එහෙම නැත්නම් දරුණු පාපයක් සිදු වුණොත් . . .? දහනවවන වියේ පසුවන ආනා අතින් එවන් වරදක් සිදු වුණා. * ඇය මෙසේ පිළිගත්තා. “සභාවේ අය, මගේ පවුලේ සහ විශේෂයෙන් යෙහෝවා දෙවි මගෙන් බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්න මට බැරිව ගියා.” නැවත යථා තත්වයට ඒමට නම් ඔබ පසුතැවිලි වී සභාවේ සිටින ආත්මිකව මේරූ වැඩිමහල්ලන්ගේ උපකාරය පැතිය යුතුයි. (යාකොබ් 5:14-16) එක් වැඩිමහල්ලෙකු කියූ දෙයක් ආනා මෙසේ මතකයට නඟනවා. “දාවිත් රජ මොන වැරදි කළත් යෙහෝවා ඔහුට සමාව දීමට කැමති වුණා. දාවිත් නැවත යථා තත්වයට ආවා කියා ඔහු කිව්වා. ඒ වචන ටික මට ලොකු සැනසීමක් වුණා.” (2 සාමුවෙල් 12:9, 13; ගීතාවලිය 32:5) ආත්මිකව ශක්තිමත් වීමට ඔබට කළ හැකි දේ කිරීමත් අවශ්‍යයි. “මම කිහිප වතාවක්ම ගීතාවලිය පොත කියෙව්වා. දිරිගන්වනසුලු බයිබල් පද ලියා තබන්න මා ගාව පොතක් තියෙනවා” කියා ආනා පවසයි. යම් කෙනෙකු අතින් බරපතළ පාපයක් සිදු වූ විට පවා කාලයක් යද්දී කෙනෙකුට එයින් ගොඩ ආ හැකියි. “ධර්මිෂ්ඨයා හත් වරක් වැටී නැවත නැඟිටින්නේය” කියා හිතෝපදේශ 24:16හි සඳහන් වෙනවා.

සිදු වූ දේ අමතක කරන්න

ඇත්තෙන්ම පුංචි බලාපොරොත්තු සුන්වීමක් පවා ඔබ තුළ වේදනාවක් ඇති කළ හැකියි. කොහොමද සිදු වූ දේවල් අමතක කරන්නේ? පළමුවෙන් ඔබ අතින් සිදු වූ වැරදි දෙස යථාර්ථවාදීව බලන්න. මයිකල් මෙවන් දෙයක් යෝජනා කරනවා. “ඔබට මොනම දෙයක්වත් හරියට කරගන්න බැහැයි කියා සිතනවාට වඩා ඔබට වැරදුණේ කොතැනද කියා කල්පනා කර බලන්න. ඒවගේම ඇයි එහෙම වුණේ කියාත් බලන්න. මෙසේ කිරීමෙන් අනෙක් වතාවේ හොඳින් දේවල් කළ හැකියි.”

ඒවගේම ඔබ ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා. “සිනාසෙන්ට කාලයක්” තිබෙනවා. ඒනිසා ඔබේ අතින් සිදු වෙන අඩු පාඩු සිනහවකින් භාරගන්න. (දේශනාකාරයා 3:4) ඔබට කලකිරීමක් ඇති වෙනවා නම් ඔබට හොඳින් කළ හැකි විනෝදාංශයක හෝ ක්‍රීඩාවක නියැලෙන්න. ඔබේ ඇදහිල්ල අන් අයට පැවසීම වැනි “යහපත් ක්‍රියාවලින් පොහොසත්” වීමෙන් ඔබ ගැන ධනාත්මක හැඟීමක් තබාගත හැකියි.—1 තිමෝති 6:18.

අවසාන වශයෙන් මතක තබාගන්න, “යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් සම්පූර්ණය. . . . දෙවි නිතර තරවටු නොකරන්නේය [ඔහු සදහටම වරද සිහි නොකරන්නේය, NW]” කියන කාරණය. (ගීතාවලිය 103:8, 9) ජෙසිකා මෙහෙම කියනවා. “මම යෙහෝවා දෙවිට ළං වෙනකොට මම අද්දකින ඕනෑම දෙයකදී ඔහුගේ උපකාරය ලැබෙනවා කියන එක මට සහතිකයි.” ඔබ අතින් යම් පසුබෑමකට ලක්වන දෙයක් සිදු වුණත් ඔබේ ස්වර්ගික පියාට ඔබව අගෙයි කියන කාරණය ඇත්තෙන්ම අස්වැසිල්ලක් නොවෙයිද?

[පාදසටහන]

^ 23 ඡේ. ඇගේ සැබෑ නම නොවෙයි.

[14වන පිටුවේ පින්තූරය]

ඔබට කළ නොහැකි දේවල් ඔබෙන් බලාපොරොත්තු වන බව ඔබට හැඟේ නම් ඒ ගැන ගෞරවාන්විතව කතා කිරීමට මං සොයන්න

[15වන පිටුවේ පින්තූරය]

ඔබට හොඳින් කළ හැකි දේවල් කිරීමෙන් බලාපොරොත්තු සුන්වීම නිසා ඇති වන හැඟීම් පලවාහැරිය හැකියි