Skip to content

පටුනට යන්න

මිත්‍රත්වය සඳහා තිබෙන පිපාසය සන්සිඳවීම

මිත්‍රත්වය සඳහා තිබෙන පිපාසය සන්සිඳවීම

මිත්‍රත්වය සඳහා තිබෙන පිපාසය සන්සිඳවීම

‘තනිකම රෝගයක් නෙවෙයි. තනිකම දැනීම අපට මිත්‍රත්වයක් ඇති කරගැනීමට දැඩි ආශාවක් තිබෙන බව දක්වන ලකුණක්’ කියා ඉන් සර්ච් ඔෆ් ඉන්ටිමසි නම් පොතේ පවසයි. කුසගින්න අපිව පෝෂ්‍යදායී ආහාර ගන්න පොලඹවන්නා සේම තනිකමේ හැඟීම් අපිව හොඳ මිත්‍රයන් සෙවීමට පෙලඹවිය යුතුයි.

නමුත් “සමහරු අනිත් අය එක්ක කිසිම ඇසුරක් පවත්වන්නේ නැහැ” යයි ප්‍රංශයේ තරුණියක් වන යාඑල් පවසනවා. ඒත් මොනයම් හේතුවක් නිසා හෝ අපි තනිවීමට වෑයම් කරනවා නම් අපට යහපතක් වෙන්නේ නැහැ. නිසැකවම ඉන් සිදු වෙන්නේ පෙර නොවූ විරූ අන්දමින් තනිකමක් දැනීමයි. බයිබලයේ හිතෝපදේශයක් මෙසේ පවසනවා. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව සොයමින් සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙයි.” (හිතෝපදේශ 18:1) ඒ නිසා මිතුදම් ඇති කරගැනීමේ අපේ අවශ්‍යතාව අපි මුලින්ම වටහාගත යුතු අතර ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට අදිටනක් තබාගන්නත් අවශ්‍යයි.

මිත්‍රත්වයන් ඇති කරගැනීමට ප්‍රායෝගික පියවර ගන්න

ආත්ම අනුකම්පාවක් ඇති කරගන්නවා වෙනුවට හෝ හුඟදෙනෙක් සමඟ මිතුදම් පවත්වන අයට නැතහොත් හොඳින් මිතුදම් පවත්වන අයට ඊර්ෂ්‍යා කරනවා වෙනුවට ඉතාලියේ මානූඒලා කළාක් මෙන් ධනාත්මක ආකල්පයක් ඇති කර නොගන්නේ මන්ද? ඇය පවසන්නේ මෙලෙසයි. “විශේෂයෙන්ම යෞවනියකව සිටියදී මට හැඟුණේ මාව කොන් කරලා කියලයි. ඒ තත්වයෙන් ගොඩ එන්න මම හොඳ මිතුරන් ඇසුරු කරන අයව හොඳින් නිරීක්ෂණය කළා. ඊට පස්සේ ඔවුන්ට තිබුණ යහපත් ගුණාංග මා තුළත් වර්ධනය කරගෙන වඩාත් ප්‍රසන්න පුද්ගලයෙක් වෙන්න මම උත්සාහ කළා.”

එක් ප්‍රායෝගික පියවරක් වන්නේ ඔබේ ශරීරය ගැන සැලකිලිමත් වීම හා මනස රැකගැනීමයි. පෝෂ්‍යදායී ආහාර, නිසි විවේකය හා ප්‍රමාණවත් ව්‍යායාමය යනාදී සියල්ල හොඳ හැඟීමක් හා ප්‍රසන්න පෙනුමක් ඇතුව සිටින්න ඔබට උපකාරයක් වෙයි. පිළිවෙළකට, පිරිසිදුව හොඳින් ඇඳ පැළඳ සිටිනවා නම් අනිත් අය ඔබ සමඟ ඇසුරු කිරීමට කැමැත්තක් දක්වනවා පමණක් නොව ඔබේ ආත්ම අභිමානයත් යම් දුරකට වැඩි වෙනවා. කෙසේනමුත්, පිටත පෙනුම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වීමේ උගුලට වැටෙන්න එපා. “නවීන පන්නයේ ඇඳුම් ඇන්දයි කියලා කල්‍යාණ මිතුරන් සොයාගන්න ලැබෙන්නේ නැහැ. මොකද යහපත් මිනිසුන් බලන්නේ පුද්ගලයෙකුගේ ඇතුළාන්ත අලංකාරය දෙසයි” කියා ප්‍රංශයේ ගාඑල් පවසනවා.

අපි කතා කරන දේවලින් හා අපේ පෙනුමෙන් අපේ සිතුවිලි සහ හැඟීම් කියාපානවා. ඔබ ජීවිතය දෙස බලන්නේ ස්ථිරත්වයකින්ද? ඔබේ මුහුණේ ප්‍රීතිමත් ස්වභාවයක් තබාගන්න මෙය ඔබට උපකාර කරයි. ඔබට පැළඳිය හැකි අලංකාරම ආභරණය අව්‍යාජ සිනහවයි. “එය මුළු ලෝකෙටම පොදු දෙයක්. මද සිනහවක් පාද්දී කවුරුත් එය වරදවා වටහාගන්නේ නැති තරම්” යයි ශරීර භාෂා පිළිබඳ ප්‍රවීණයෙකු වන රොජර් ඊ. ඇක්ස්ටල් පැහැදිලි කරනවා. * ඔබ සිනාමුසු මුහුණෙන් සිටිනවාට අමතරව විහිළු තහළු කරන අයෙක් නම් අන් අය ඉබේම ඔබ වෙත ඇදී ඒවි.

එවැනි යහපත් ගුණාංග මතු වන්නේ ඇතුළතින් බව මතක තබාගන්න. එනිසා සුවදායී, ධනාත්මක සිතුවිලිවලින් හා හැඟීම්වලින් ඔබේ මනස හා සිත පුරවන්න. වත්මන් සිද්ධීන්, විවිධ සංස්කෘතීන්, සොබාදහමේ ඇති දේවල් සම්බන්ධයෙන් තිබෙන සිත්ගන්නා මෙන්ම අර්ථවත් විෂයන් ගැන කියවන්න. සිත ප්‍රබෝධවත් වන සංගීතයට සවන් දෙන්න. එහෙත් කිසි වැඩක් පලක් නොකර රූපවාහිනිය, චිත්‍රපට සහ නවකතා බලමින් ඔබේ මනස හා හැඟීම්වලට සිහින ලෝකයෙහි සැරිසරන්න ඉඩ දෙන්න එපා. තිරයේ දිස් වෙන ළබැඳියාවන් සැබෑ ජීවිතයේදී සිදු නොවෙයි. එමෙන්ම ඒවා සැබෑ මිතුදම්ද නොවෙයි. ඇත්තෙන්ම ඒවා යමෙකුගේ සිතේ ඇඳුණ මනඃකල්පිතයන් පමණයි.

සිතේ ඇති දේ නොසඟවා පවසන්න!

ඉතාලියේ වෙසෙන සූලේකා මෙසේ මතකයට නඟයි. “කුඩා සන්දියේදී මං හරිම ලැජ්ජයි. මිතුරන් ඇති කරගන්න අමාරු වුණා. මිතුරන් සොයාගන්න නම් අපි අපිවම හඳුන්වලා දෙන්නත්, අනිත් අයව දැන හඳුනා ගන්නත් මුල් පියවර ගන්න ඕන බව මම දැනගෙන හිටියා.” ඇත්තෙන්ම කල්‍යාණ මිතුරන් සොයාගන්න නම් අපේ සිතුම් පැතුම් නොසඟවා අන් අයට පවසා අපේ සැබෑ තත්වය දැනගන්න ඔවුන්ට සලස්වන්න ඕනේ. සැබෑ මිතුදම් ඇති කරගන්න නම් හොඳ පෙනුමක් සහ ආකර්ෂණීය පෞද්ගලිකත්වයක් තිබෙනවාට වඩා අත්‍යවශ්‍ය වන්නේ එවැනි අදහස් හුවමාරුවක් කරමින් සිතේ ඇති දේ පැවසීමයි. “ශක්තිමත් හා කල්පවතින මිතුදම් පවත්වාගන්න අය සමහර විට ලජ්ජාශීලී සමාජශීලී, බාල මහලු, දක්ෂ අදක්ෂ, ලස්සන අවලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ සිතේ තිබෙන දේ දැකගන්න ඔවුන් අනිත් අයට ඉඩහරිනවා” කියා උපදේශකයෙකු වන ආචාර්ය ඇලන් ලෝයි මගිනස් පවසනවා.

මේකෙන් අදහස් කරන්නේ නැහැ එතරම් බැඳීමක් නැති අයට පවා හිතේ තියෙන හැම දෙයක්ම වක්කඩේ ඇරියා වගේ කියාගෙන කියාගෙන යන්න ඕන කියලා. ඇත්තෙන්ම ඒකෙන් අදහස් කරන්නේ සුදුසු අයට පමණක් ඔබේ සිතුවිලි හා හැඟීම් ක්‍රමක්‍රමයෙන් හෙළි කළ යුතු බවයි. ඉතාලියේ මිකේලා මෙසේ පවසනවා. “මගේ හැඟීම් හෙළි කරන්න බැරි ගැටලුවක් මට කලින් තිබුණා. මට සිද්ධ වුණා වෙනස් වෙන්න. මට හැඟෙන විදිහ මගේ යාළුවෝ තේරුම්ගන්නත්, ඒගොල්ලන්ව මට තවත් කිට්ටු කරගන්නත් ඕනෙ නං ඒගොල්ලන්ට මගේ හැඟීම් හෙළි කරන්න ඕන බව මම තේරුම්ගත්තා.”

ඔබ මිත්‍රත්වයට කැමති කෙනෙක් වුවත්, මිත්‍රයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැඟෙන්නේ යම් කාලයක් ගත වෙද්දී සහ එකිනෙකාට පොදු අද්දැකීම් ලබාගනිද්දීයි. අනිත් අතට ඔබ ගැන අන් අය මොනවා හිතයිද කියන එක ගැනත් ඕනෑවට වඩා කනස්සලු වෙන්න එපා. ඉතාලියේ එලීසා තම අතීතය මතකයට නඟන්නේ මෙලෙසයි. “මගේ ප්‍රශ්නේ වෙලා තිබුණේ මට මොකක්හරි දෙයක් කියන්න ඕන වෙනකොට ඒක හරියට කියාගන්න පුළුවන් වෙයිද කියන එක ගැන තිබුණ භයයි. ඒත් මම මෙහෙම හිතුවා. ‘ඒගොල්ලෝ ඇත්තටම මගේ මිත්‍රයන් නම් ඒගොල්ලෝ මාව තේරුම්ගනියි.’ ඉතින් මට වැරදුණ වෙලාවට මං කළේ මටම හිනා වෙන එකයි. එතකොට අනිත් අයත් මාත් එක්කම හිනා වුණා.”

ඒ නිසා, ඔබ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව සාමාන්‍ය විදිහට ඉන්න! අමුතු ස්වභාවයක් ආරූඪ කරගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. “කෙනෙකුගේ සැබෑ ලස්සන දකින්න පුළුවන් වෙන්නේ ඔහු අවංකව තමන්ගේ නියම ස්වභාවයෙන් සිටිනවා නම් පමණයි” කියා පවුල් උපදේශකයෙකු වූ එෆ්. ඇලෙක්සැන්ඩර් මගූන් ලිව්වා. ඇත්තටම සතුටෙන් ඉන්න අයට ආයි අමුතුවෙන් ඒ බව පෙන්නන්න දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවංක මිතුදම් භුක්ති විඳිය හැක්කේ අපි අවංක වෙනවා නම් පමණයි. එලෙසම අපි අනිත් අයටත් ඔවුන්ගේ නියම ස්වභාවයේ ඉන්න ඉඩහරින්න ඕනේ. සතුටෙන් සිටින අය අනිත් අයගේ සුළු සුළු දෝෂයන් ලොකුවට ගණන් ගන්නේ නැහැ. තමන්ගේ මත අනුව තමන්ගේ මිත්‍රයන්ව නම්මාගැනීමට අවශ්‍ය බවක් ඔවුන්ට හැඟෙන්නේ නැහැ. සතුටෙන් ඉන්නත් විවේචනාත්මක නොවන්නත් වෑයමක් දරන්න.

මිතුරෙක් ලබන්න නම් මිතුරෙක් වෙන්න

මේ හැම දේටම වඩා වැදගත් හේතුවක් තියෙනවා. හැම මිනිස් සබඳතාවක්ම සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍යම දෙය පරාර්ථකාමී ප්‍රේමය බව වසර 2000කට පමණ පෙර යේසුස් පෙන්වා දුන්නා. ඔහු මෙසේ ඉගැන්නුවා. “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.” (ලූක් 6:31) මෙම ඉගැන්වීම සුප්‍රකට වී තිබෙන්නේ රන් අණ හැටියටයි. ඇත්තෙන්ම කල්‍යාණ මිතුරන් සොයාගැනීමට නම් ඔබ පරාර්ථකාමී පරිත්‍යාගශීලී කෙනෙක් වීම අත්‍යවශ්‍යයි. වෙනත් විදිහකින් කියනවා නම් මිතුරෙක් ලබන්න නම් මිතුරෙක් වෙන්න. මිතුදමක් ඇති කරගන්න නම් ලැබීමට වඩා දීමට කැමති කෙනෙක් විය යුතුයි. අපේ කැමැත්ත සහ අපේ පහසුවට වඩා මිතුරාගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න අපි සූදානම්ව සිටිය යුතුයි.

කලින් සඳහන් කළ මානූඒලා මෙවැන්නක් පවසනවා. “යේසුස් කිව්ව විදිහටම වැඩි සන්තෝෂයක් ඇති වෙන්නේ දීමෙනුයි. ලබන තැනැත්තා සතුටු වන නමුත් දෙන තැනැත්තාට ඊටත් වඩා සතුටක් ලැබෙනවා. අපේ මිතුරන්ගේ සැප දුක් විමසීමෙන්, ඔවුන්ගේ ගැටලු තේරුම්ගැනීමට වෑයම් කිරීමෙන් හා ඔවුන් උදව් ඉල්ලන තුරු නොඉඳ අපිට හැකි හැම දෙයක්ම කිරීමෙන් අපිට එසේ දීමට හැකියි.” ඒ නිසා දැනටමත් ඔබට සිටින මිතුරන් ඇතුළු අන් අය කෙරෙහි උනන්දුවක් දක්වන්න මුලපුරන්න. ඔබේ බැඳීම් ශක්තිමත් කරගන්න. එතරම් වැදගත්කමක් නැති දේවල් වෙනුවෙන් අගනා මිතුදම් හිලව් කරන්න එපා. මිතුරන් වෙනුවෙන් කාලය මිඩංගු කළ යුතුයි. ඔවුන්ට වැඩි අවධානයක් දිය යුතුයි. ඉතාලියේ රූබන් මෙලෙස පවසයි. “මිතුරන්ව සොයාගැනීමට හා මිත්‍රත්වයන් දිගටම තබාගැනීමට කාලය ගත කිරීම ඉතා වැදගත්. ඇත්තෙන්ම හොඳ සවන් දෙන්නෙක් වෙන්න නම් කාලයක් ගත වෙනවා. අන්‍යයන් යමක් පවසද්දී ඊට බාධා නොකර හොඳින් සවන් දීමට සහ ඔවුන් පවසන දේ ගැන වැඩි උනන්දුවක් දැක්වීමට අපිට පුරුදු වෙන්න පුළුවන්.”

අන් අයට ගරු කරන්න

සන්තෝෂවත් දිගුකාලීන මිතුදම් ඇති කරගැනීමට තවත් වැදගත් දෙයක් වන්නේ අන්‍යෝන්‍ය ගෞරවයයි. අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීමත් මීට ඇතුළත් වෙනවා. ඔබට වඩා ඔබේ මිතුරන්ගේ රුචි අරුචිකම් හා අදහස් උදහස් වෙනස් වෙන අවස්ථාවලදී ඔබ අපේක්ෂා කරන්නේ ඔවුන් උපායශීලීව දූරදර්ශීව කටයුතු කරයි කියා නොවෙයිද? එසේනම් ඔබත් කරන්න ඕන ඒ ටිකම නේද?—රෝම 12:10.

ගරු කරන්න අපිට පුළුවන් තවත් ක්‍රමයක් තමයි අපේ යාළුවන්ව කොටු කර නොගැනීම. කල්‍යාණ මිතුරන් එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නේ හෝ එකිනෙකාව පාලනය කරන්නේ නැහැ. බයිබලයේ 1 කොරින්ති 13:4 මෙසේ පවසයි. “ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත.” ඒ නිසා ඔබේ යාළුවන් ඔබ සමඟ විතරක්ම සිටිය යුතුයි යන හැඟීම ඇති කරගන්න එපා. ඔවුන් වෙනත් යාළුවන් ඇසුරු කරනවා නම් ඔවුන් සමඟ අමනාප වෙන්නවත්, ඔවුන්ව ඈත් කරන්නවත් එපා. අපි හැමෝටම මිත්‍රයන් කීපදෙනෙක්ම ඉන්න ඕන. ඒ නිසා ඔබේ මිතුරන්ට වෙනත් අය එක්කත් යාළු වෙන්න ඉඩ දෙන්න.

ඔබේ මිතුරන්ගේ නිදහසට බාධා නොකරන්නත් වග බලාගන්න. තනිකඩ අයට තමන්ටම කියලා කාලයක් තියෙන්න ඕන වගේම විවාහක යුවළකටත් එකට ගත කරන්න වෙනම කාලයක් තියෙන්න ඕන. අනිත් අයව මිතුරන් කරගන්න ඔබ භය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමබර වෙන්න. සැලකිලිමත් වෙන්න. ඔබේ මිතුරන්ට වදයක් වෙන්න එපා. බයිබලය මෙවැනි අනතුරු ඇඟවීමක් කරනවා. “ඔබේ අසල්වාසියා ඔබ ගැන වෙහෙසව ඔබට ද්වේෂ නොකරන පිණිස ඔහුගේ ගෙට කලාතුරකින් යන්න.”—හිතෝපදේශ 25:17.

හොඳ නරක දෙකම භාරගන්න

එකිනෙකාව දැන හඳුනා ගන්න ලැබෙන විට එකිනෙකාගේ හොඳ පැති මෙන්ම දුර්වල පැතිත් දකින්න ලැබෙනවා. ඒත් මිතුරන්ව සොයාගැනීමට අපි එය බාධාවක් කරගත යුතු නැහැ. “සමහරු කැමති නැහැ මිතුරන්ට දුර්වලකම් තියෙනවාට. ඔවුන්ට ඕනෙ මිතුරන් කරගන්න අයගේ හොඳ ගුණාංග විතරක් තියෙනවා දකින්නයි. ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්” කියා ප්‍රංශයේ පාකෝම් පවසනවා. අපි කවුරුත් පරිපූර්ණ නැහැ. එහෙමනම් අනිත් අයගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න අපිට අයිතියකුත් නැහැ. අපේ අසම්පූර්ණකම් තිබුණත් අපේ මිතුරන් අපිව පිළිගනියි, අපෙන් වරදක් සිදු වුණත් ඔවුන් අපි එක්ක තරහා නොවෙයි කියලායි අපි බලාපොරොත්තු වෙන්නේ. අපත් අපේ මිතුරන්ට ඒ දේම කිරීමට උත්සාහ කළ යුතු නැද්ද? ඩෙනිස් ප්‍රාගර් නම් කර්තෘවරයා අපට මෙසේ සිහිගන්වයි. “(කිසිවිටක දොසක් නොකියන, සැමවිටම ප්‍රේමණීයව සිටින, හැම තිස්සේම සතුටෙන් ඉන්න, අපෙන් තොර ලෝකයක් නැති, කවදාවත් අපේ හිත නොරිදවන) පරිපූර්ණ මිතුරන් ඉඳියි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ අය මිනිසුන් අතර නැහැ. ඒ වගේ ඉන්නේ සුරතල් සතුන් විතරයි.” අපේ කිට්ටුම මිතුරන් සුරතල් සතුන් වෙනවාට අපි අකමැති නම් ‘ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය’ යන ප්‍රේරිත පේතෘස්ගේ උපදෙසට අපි අවනත වෙන්න ඕනෙ.—1 පේතෘස් 4:8.

මිතුදම්වලින් අපේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වන අතර අපේ දුක තුනී වී සැනසීමක් ලැබෙනවා කියා කිව්වොත් එය නිවැරදියි. ඒත්, අපේ සියලුම අවශ්‍යතාවන් ඉටු කරයි කියා හෝ අපේ සියලුම ගැටලු අපේ මිතුරන් විසඳයි කියාබලාපොරොත්තු වීම සාධාරණ නැහැ. ඒක මිතුදම දෙස ආත්මාර්ථකාමී ආකල්පයකින් බැලීමක් වෙනවා.

දුකේදීත් සැපේදීත් විශ්වාසවන්ත මිතුරෝ

අපි මිතුරෙක් හෝ මිතුරියක් සොයාගත් විට ඔහුගේ හෝ ඇගේ මිතුදම දිගටම තබාගන්න වෑයම් කළ යුතුයි. යම් කාලයකට ඈත් වෙන්න සිදු වුණත් මිතුරන් එකිනෙකා ගැන හිතනවා, ඒ වගේම එකිනෙකා ගැන යාච්ඤා කරනවා. ඔවුන්ට මුණගැහෙන්න ලැබෙන්නේ කලාතුරකින් වුණත්, එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ බැඳීම විගස අලුත් වෙනවා. විශේෂයෙන්ම කරදරේකදී හෝ අත්‍යවශ්‍යම අවස්ථාවකදී හෝ අපේ මිතුරන් වෙනුවෙන් අපි කාලය කැප කිරීම අත්‍යවශ්‍යයි. මිත්‍රයන්ට ගැටලු තිබෙන අවස්ථාවලදී අපි ඔවුන්ව මඟහරින්න සුදුසු නැහැ. ඔවුන්ට අපිව වැඩියෙන්ම ඕන කරන්නේ ඒ වගේ අවස්ථාවලදීයි. “මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි; සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය.” (හිතෝපදේශ 17:17) සැබෑ මිතුරන් අතරේ වරදවා වටහාගැනීම් ඇති වන විට ඔවුන් ඉක්මනින්ම ඒවා සමතයකට පත් කරගන්නා අතර එකිනෙකාට සමාව දෙනවා. කල්‍යාණ මිතුරන් නම්, එකිනෙකා අතර ඉඳ හිට ඇති වන ප්‍රශ්න නිසා තම මිත්‍රත්වය පලුදු කරගන්නේ නැහැ.

අන් අය දෙස පරාර්ථකාමී හැඟීමෙන් හා ධනාත්මක ආකල්පයකින් බැලීමෙන් ඔබට හැකියි මිතුරන්ව ඇති කරගන්න. ඒත් ඔබේ මිතුරන් කොයි වගේ අය වෙන්න ඕනද කියන එකත් වැදගත්. හොඳ මිතුරන් තෝරගන්න ඔබට පුළුවන් වෙන්නේ කොහොමද? ඊළඟ ලිපියේ ඒ ගැන සාකච්ඡා කරයි.

[පාදසටහන]

^ 7 ඡේ. වර්ෂ 2000 ජූලි 8 පිබිදෙව්! කලාපයේ “සිතට සුවයක් ගෙන දෙන සිනහව!” යන ලිපියද බලන්න.

[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූර]

ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට “හුදෙක් මිතුරන්ව” සිටිය හැකිද?

අවිවාහක ස්ත්‍රීන්ට හා අවිවාහක පුරුෂයන්ට මිතුරන් වී සිටිය හැකිද? ඒක තීරණය වෙන්නේ “මිතුරා” යන වචනයෙන් අප අදහස් කරන දේ අනුවයි. බෙතානියේ මරියා සහ මාර්තා යන තනිකඩ ස්ත්‍රීන් දෙදෙනාම යේසුස්ගේ කිට්ටු මිතුරියන්ව සිටියා. (යොහන් 11:1, 5) ප්‍රේරිත පාවුල් ප්‍රිසිලා සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ අකිලාගේ කිට්ටු මිත්‍රයෙක්. (ක්‍රියා 18:2, 3) මේ හැමෝම අතරේ කිට්ටු මිතුදමක් තිබුණ බවට නිසැක වෙන්න අපට පුළුවන්. කෙසේවෙතත්, යේසුස්වත්, පාවුල්වත් මෙම මිතුදම් කොයි මොහොතකවත් ආලවන්ත හැඟීම්වලට පෙරළෙන්න ඉඩහැරියාය කියා සිතිය නොහැකියි.

නවීන සමාජයේ පවතින තත්වය නිසා වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම එකට දේවල් කිරීමට සිදු වී තිබෙනවා. එකිනෙකා සමඟ සුදුසු මිත්‍රත්වයක් පවත්වාගන්නේ කෙසේදැයි දැනගෙන සිටීම දෙපාර්ශ්වයටම අත්‍යවශ්‍ය කරුණක් වෙමින් පවතිනවා. විවාහක යුවළකට වුණත් වෙනත් යුවළක් එක්ක හෝ තනිකඩයන් එක්ක හිතකර මිත්‍රත්වයන් පැවැත්වීමෙන් ප්‍රයෝජන ලැබිය හැකියි.

කෙසේවුවත් “මිතුදමක් තුළ තිබෙන මිත්‍ර හැඟීම් සහ ආලවන්ත හැඟීම් අතර වෙනස හඳුනාගැනීම හුඟක් අමාරු වෙන්න පුළුවන්. නොසිතූ ලෙස ආලවන්ත හැඟීමක් ඇති විය හැකියි යන කාරණයද සුළුකොට නොසිතන්න. ආලවන්ත හැඟීමකින් තොරව සිදු කෙරෙන සිප වැලඳගැනීමක් පවා හදිසියේම ආලවන්ත හැඟීමකට පෙරළිය හැකියි” කියා සයිකොලජි ටුඩේ සඟරාව අනතුරු අඟවනවා.

විවාහක යුවළක් මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම විශේෂයෙන්ම වැදගත්. “අන් අය සමඟ පවත්වන කුලුපග හාදකම් සියල්ල විවාහයකට තර්ජනයක් විය හැකියි. සමීප මිත්‍රත්වයක් සීමා වන්නේ ලිංගික කාරණාවලදී විතරක් නොවේ. ඔබ ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ කිට්ටුම මිත්‍රයා වීම අපේක්ෂා කිරීමට ඔහුට හෝ ඇයට අයිතියක් තිබෙනවා” කියා ඩෙනිස් ප්‍රාගර් නම් ලේඛකයා ලියූ පොතෙහි පවසනවා. (Happiness Is a Serious Problem) සදාචාරමය පවිත්‍රත්වය රැකගැනීම සිත තුළින්ම සිදු වන්නක් බව යේසුස් පෙන්වා දුන්නා. (මතෙව් 5:28) එම නිසා මිත්‍රශීලීව සිටියත් ඔබේ සිත ආරක්ෂා කරගන්න. එමෙන්ම විරුද්ධ ලිංගයේ ඕනෑම කෙනෙකු කෙරෙහි නුසුදුසු සිතුවිලි හා නුසුදුසු හැඟීම්වලට හෝ ක්‍රියාවන්වලට මඟ පෑදිය හැකි තත්වයන්වලින් කල්පනාකාරීව වැළකී සිටින්න.

[7වන පිටුවේ පින්තූර]

ශරීරය ගැන සැලකිලිමත් වීමෙන් හා මනස රැකගැනීමෙන් ඔබේ අලංකාරය වැඩි වෙනවා

[8වන පිටුවේ පින්තූර]

මිතුරන් අතර අවංක අදහස් හුවමාරුවක් තියෙනවා