Skip to content

පටුනට යන්න

හොඳ මිතුරෝ නරක මිතුරෝ

හොඳ මිතුරෝ නරක මිතුරෝ

හොඳ මිතුරෝ නරක මිතුරෝ

ඉමහත් දුකකින් පසු වුණ තරුණියක් ඇගේ සිතේ තිබුණ සියල්ල මෙසේ හෙළි කළා. අපි ඇයව සාරා කියලා හඳුන්වමු. ඇය මිත්‍රයෙක් කියා සිතපු කෙනෙක් මිනීමරුවෙක් බව ඇයට දැනගන්න ලැබුණා. ‘මම විශ්වාස කළ කෙනෙක්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මං කොහොමද කාවවත් විශ්වාස කරන්නේ’ කියලා ඇය ඇසුවා. ඇයට සවන් දීගෙන සිටි තැනැත්තා සාරාගෙන් ඇහැව්වා එම පුරුෂයාට තිබුණේ මොන වගේ ගුණ ධර්මද කියලා. “මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ” කියලා ඇය එවිට ඇසුවා. “ගුණ ධර්ම” යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලාවත් සාරා දැනගෙන හිටියේ නැහැ. ඉන් අදහස් කරන දේ ඔබ දන්නවාද? ඒ වගේම ඔබේ මිතුරන්ගේ ගුණ ධර්ම මොනවාද කියලාත් ඔබ දන්නවාද?

සාරාගේ අද්දැකීමෙන් පෙන්වන පරිදි එම ප්‍රශ්නයට ඔබ දෙන උත්තරයෙන් ඔබ ජීවත් වෙයිද නැත්නම් මරණය අද්දකීද යන්න තීරණය වෙයි. එක් බයිබල් හිතෝපදේශයක ඒ ගැන පවසන්නේ මෙලෙසයි. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න, එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය.” (හිතෝපදේශ 13:20) ඒත් සාරා වගේ අද හුඟදෙනෙක් මිත්‍රයන්ව තෝරගන්නේ පුද්ගලයා කවුද කියලා හරි හැටි දැනගන්න කලිනුයි. සාමාන්‍යයෙන් අපි කැමති අපිව සතුටු කරන අයත් සමඟ ඇසුරු කරන්නයි. එහෙත් මිතුරන්ව තෝරාගනිද්දී එය පමණක් මුල් කරගෙන ඔවුන්ගේ ගුණාංග ගැන එතරම් තැකීමක් නොකරනවා නම් දිනෙක අපිට සෑහෙන කලකිරීමක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. කෙනෙකුට යහපත් ගුණ ධර්ම තිබෙනවාද කියා ඔබට දැනගත හැකි වෙන්නේ කොහොමද?

උසස් ගුණ ධර්ම තිබීම වැදගත්

මුලින්ම අප තුළ යහපත් ගුණ ධර්ම තිබීම අවශ්‍යයි. හරි වැරැද්ද, හොඳ නරක කියන්නේ කුමක්ද කියා අපි දැනගෙන සිටිය යුතුයි. එමෙන්ම සැමවිටම උසස් සදාචාර ප්‍රතිපත්තිවලට ඇලී ගැලී සිටිය යුතුයි. තවත් බයිබල් හිතෝපදේශයක මෙලෙස පවසනවා. “යකඩින් යකඩ මුවහත් කළ හැකි වේ. එසේම මනුෂ්‍යයෙක් මිත්‍රයාගේ මුහුණ පැහැපත් කරයි.” (හිතෝපදේශ 27:17) උසස් ගුණ ධර්මවල පිහිටා සිටින දෙදෙනෙක් මිතුදමින් බැඳුණු විට ඔවුන් දෙදෙනාට හැකියි එකිනෙකාගේ ගති ගුණ තව තවත් ඔප්නංවාගන්න. එවිට ඔවුන් දෙදෙනා අතරේ තිබෙන බැඳීම වඩාත් ශක්තිමත් වෙයි.

ප්‍රංශයේ පාකෝම් මෙවැනි දෙයක් පවසයි. “සැබෑ මිත්‍රයෙක් කියලා මම හිතන්නේ මට ඇහුම්කන් දෙන, කරුණාවෙන් කතා කරන, මම මෝඩ වැඩක් කරද්දී අවවාද කර නිවැරදි කරන කෙනෙක්ටයි.” ඇත්තෙන්ම අපේ හොඳම මිතුරන් වෙන්නේ අපිට හරි මඟේ රැඳී ඉන්න උපකාර කරන අයයි. ඔවුන් වයසින් බාල හෝ වැඩි අය වෙන්න පුළුවන්. ඒත් ඔවුන්, අපි අනුවණ දේවල් කරන්න හදනකොට අපිව ඉන් බේරාගන්න අය වෙන්න අවශ්‍යයි. බයිබලයේ පවසන්නේ මෙහෙමයි. “මිත්‍රයෙකු විසින් කරන තුවාලය හිතේසිකමින් වේ.” (හිතෝපදේශ 27:6) සදාචාරාත්මකව හා ආත්මිකව අප ශක්තිමත් වීමට නම් දෙවිට ප්‍රේම කරන හා ඔහුගේ ප්‍රතිපත්ති පිළිපදින අයව අපි ඇසුරු කළ යුතුයි. “මගේ ක්‍රිස්තියානි ගුණ ධර්ම හා විශ්වාසයන් තිබුණ එක්කෙනෙක්වත් මගේ පාසැලේ හිටියේ නැති අවස්ථාවේදී ක්‍රිස්තියානි සභාවේ සිටින අයව මගේ කල්‍යාණ මිතුරන් කරගැනීම අත්‍යවශ්‍ය බව මම දැනගත්තා. ඒ අය ප්‍රතිපත්ති රැකගන්න මට ගොඩක් උපකාර කරලා තියෙනවා” කියා ප්‍රංශයේ සේලීන් මතකයට නඟයි.

මිත්‍රත්වයක් ඇති කරගන්න කලින් සැබෑ රූපය දකින්න

ඔබට හමු වූ යම් කෙනෙක් මිතුරෙක් කරගන්න ඔබට අවශ්‍ය නම් ‘එයාගේ යාළුවෝ කවුද’ කියා ඔබෙන්ම අසාගන්න. කෙනෙකුගේ කිට්ටු මිත්‍රයන්ගේ විදිහෙන්, ඔහු හෝ ඇය ගැන බොහෝ දේ කියාපායි. ඒ වගේම, සමාජයේ දැනුම් තේරුම් ඇති අය ඒ පුද්ගලයා ගැන දරන්නේ කුමන අදහසක්ද? ඊට අමතරව මිතුරන් කරගැනීමට අපි කැමති අය අපට සලකන විදිහ විතරක් නෙවෙයි අනිත් අයට සලකන විදිහත් සලකා බැලීම නුවණට හුරුයි. විශේෂයෙන්ම තමන්ට කිසි වාසියක් ලබාගන්න බැරි අයට ඔවුන් සලකන විදිහ ගැන බැලීම අවශ්‍යයි. කෙනෙක් අවංකකම, විශ්වාසවන්තකම, ඉවසිලිවන්තකම හා සැලකිලිමත්කම වැනි යහපත් ගුණාංග සැමවිටම හා සෑම කෙනෙකුටම විදහා පාන්නේ නැත්නම්, ඔහු ඔබටත් හොඳින් සලකාවියයි ස්ථිර විය හැකිද?

කෙනෙකුගේ සැබෑ රූපය දකින්න නම්, එදිනෙදා ජීවිතයේදී ඔහු කොයි වගේ කෙනෙක්ද කියා දැකීමට ඉවසීම සහ තේරුම්ගැනීමේ හැකියාව මෙන්ම කාලය අවශ්‍යයි. බයිබලයේ මෙවැන්නක් පවසයි. මනුෂ්‍යයාගේ සිතේ මන්ත්‍රණය ගැඹුරු ජලය මෙන්ය. එහෙත් තේරුම් ඇති කෙනෙක් ඒක පිටතට ඇදගන්නේය.” (හිතෝපදේශ 20:5) මිතුරන් කරගන්නාවූ අය එක්ක අපි බැරෑරුම් විෂයන් ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ සැබෑ පෞද්ගලිකත්වය, පරමාර්ථයන් සහ ගුණ ධර්ම හෙළි කරගන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඔවුන් මොන වගේ පුද්ගලයන්ද? ඔවුන් කාරුණිකද අකාරුණිකද? ධන ආකල්පයක් තියෙන, සතුටෙන් සිටින කෙනෙක්ද, නැත්නම් ඍණ ආකල්පයක් තියෙන, හැම දේකම වරදක් දකින කෙනෙක්ද? පරාර්ථකාමීද, ආත්මාර්ථකාමීද? විශ්වාසවන්තද, අවිශ්වාසවන්තද? අන් අය ගැන විවේචනාත්මකව ඔබ සමඟ කතා කරන කෙනෙක් ඔබ නැති තැන ඔබටත් ඒ ටිකම නොකරයිද? “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 12:34) සවන් දීමෙන් තමයි ඔවුන් කොයි වගේ අයද කියා දැනගත හැකි වෙන්නේ.

පොදුවේ තිබිය යුතු වැදගත්ම දේවල්

තමන් කැමති දේවලටම තමන්ගේ මිතුරනුත් කැමති විය යුතුයි කියා සමහරු සිතනවා. පුංචි පිරිමි ළමයෙක් තරයේ කියා සිටියේ “මගේ යාළුවෙක් මම කන්න කැමති දේම කන්න ඕන. එහෙම නැත්නම් එයා මගේ යාළුවෙක් නෙවෙයි” කියලයි. මිතුරන් එකිනෙකාව තේරුම්ගන්න නම් ඔවුන් අතරේ පොදු දේවල් තියෙන්න ඕන බව ඇත්තයි. ඒත් වඩාත් වැදගත් වෙන්නේ එක සමාන ගුණ ධර්ම සහ ආත්මික ප්‍රතිපත්ති තිබීමයි. ඒත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ පසුබිම එක සමාන වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තවශයෙන්ම, එකිනෙකට වෙනස් අද්දැකීම් ලබා තිබෙන විට මිතුදම තවත් ශක්තිමත් කරගැනීමට දෙදෙනාටම ඒවා ප්‍රයෝජනවත් වේවි.

බයිබලයෙහි සඳහන් යොනාතාන් සහ දාවිත්ගේ මෙන්ම රූත් සහ නායොමිගේ මිත්‍රත්වයන් පිළිබඳ ආදර්ශය එදා මෙන්ම අදටත් යෝග්‍යයි. දේවභක්තිය සහ දෙවිගේ ප්‍රතිපත්ති මතයි ඔවුන්ගේ බැඳීම ගොඩනැඟී තිබුණේ. * මේ බැඳීම් දෙකම ඇති වී තිබුණේ වයස් මට්ටම්වල සහ පසුබිම්වල විශාල පරතරයක් තිබියදී වීම මෙහිදී කැපීපෙනෙන දෙයක්. එයින් අපට මිතුදම පිළිබඳව තවත් දෙයක් ඉගෙනගත හැකියි. එනම් වයස් පරතරයක් ඇති විට බොහෝ පැතිවලින් එකිනෙකාට අත හිත දෙන්න පුළුවන් බවයි.

වයස් පරතරයෙන් ප්‍රයෝජන ලැබීම

අපට වඩා වයසින් වැඩි හෝ අඩු අයව මිතුරන් කරගැනීමෙන් දෙපාර්ශ්වයටම මහඟු ප්‍රයෝජන ලබාගත හැකියි. තමන්ගේම අද්දැකීම් ගැන පවසන තරුණියන් ගැන දැන් සලකා බලන්න.

මානූඒලා (ඉතාලියේ): “ටික දවසකට කලින් මම වැඩිහිටි යුවළක් මගේ මිතුරන් කරගත්තා. අවංකවම මගේ වතගොත ඔවුන්ට පැවසුවාම ඔවුනුත් ඒ දේම කළා. මම තරුණයෙක්ව සිටි නිසා ඔවුන් මාව අඩුවෙන් තක්සේරු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ට කිට්ටු වෙන්න මම පෙලඹුණා. මං නොයෙකුත් ප්‍රශ්නවලට මූණ දෙනකොට ඔවුන්ගේ මිතුදම මට ලොකු උපකාරයක්. මගේම වයසේ අය එක්ක විශේෂයෙන්ම ගෑනු ළමයි එක්ක මගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඔවුන් උපදෙස් දෙන්නේ හොඳට හිතන්නේ බලන්නේ නැතුවයි. ඒත් වයසින් වැඩි යාළුවන්ට අද්දැකීම්, දුරදිග බැලීමේ සහ සමබර ලෙස කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. තරුණයන් හැටියට අපි තාම ඒ තත්වයට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ උපකාරයෙන් නැණවත් තීරණ ගන්න මට පුළුවන් වෙනවා.”

සූලේකා (ඉතාලියේ): “අපි කීපදෙනෙක් එකට එකතු වෙද්දී, තරුණ අයව විතරක් නෙවෙයි අපිට වඩා වයසින් වැඩි අයවත් සහභාගි කරගන්නවා. ඒ වගේ අවස්ථාවක් අවසන් කරද්දී බාල මහලු දෙගොල්ලන්ම ඇත්තෙන්ම එකිනෙකාව දිරිගන්වාගෙන තියෙන ආකාරය මම දැකලා තියෙනවා. අපි හැමෝම එකම විදිහට දේවල් දිහා බලන්නේ නැති එකෙනුත් අපිට ප්‍රීතියක් ලැබෙනවා.”

වැඩිහිටියෙනි, ඔබටත් පුළුවන් තරුණයන් ගැන උනන්දුවක් පෙන්වන්න. කලින් පෙන්වූ අදහස්වලට අනුව වයසින් බාල අයගෙන් හුඟදෙනෙක් ඔබේ අද්දැකීම් සම්භාරය ඉමහත් සේ අගය කරන අතර ඔබේ ඇසුරෙන් ප්‍රීතියක්ද ලබනවා. අසූගණන්වල පසු වෙන අමීලියා මෙහෙම කියනවා. “බාලයන් එක්ක සබඳකමක් තියාගන්න මම මුල් පියවර ගන්නවා. ඔවුන්ගේ ජවය හා ශක්තිය මාව ශක්තිමත් කරනවා!” එවැනි අන්‍යෝන්‍ය දිරිගැන්වීමකින් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. සතුටෙන් සිටින තරුණ වැඩිහිටියන් බොහෝදෙනෙක් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රශංසා කරන්නේ ඔවුන්ගේ තරුණ වියේදී ඔවුන්ගේ මිතුරන්ව සිටි අයටයි. ඔවුන් තමන්ට වඩා ටිකක් හෝ වයසින් වැඩි අය වූ අතර හොඳ ආදර්ශයන් මෙන්ම තමන්ට හොඳ උපදෙස් දුන් අයයි.

ඔබේ මිතුදම් ශක්තිමත් කරගන්න

හොඳ මිත්‍රත්වයන් සොයා ගැනීමට අනිවාර්යයෙන්ම අලුත් මිතුරන් සොයාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටමත් ඔබට හොඳ යාළුවෝ ඉන්නවා නම්, ඔවුන් සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඔබට කළ හැකි දේ ගැන කල්පනා කර නොබලන්නේ මන්ද? දිගු කලක් පුරා සිටින මිතුරන් අගනා දායාදයක් වන අතර අප එය රැකගත යුතුයි. ඔවුන්ගේ විශ්වාසවන්තභාවය අගේ කොට සලකන්න.

සියල්ලටම වඩා සැබෑ සන්තෝෂයක් සහ සැබෑ මිතුරන් ලැබෙන්නේ ඔබේ කාලය, ශ්‍රමය සහ ධනය දීමෙන් බව මතක තබාගන්න. දරන වෑයමට හා කරන පරිත්‍යාගයන්ට වඩා ලැබෙන ආශීර්වාද බොහෝයි. කොහොමවුණත්, මිතුරන්ව තෝරාගනිද්දී ඔබ ගැන පමණක්ම ඔබ සිතනවා නම් ඔබට මිතුරන් ඇති කරගැනීමට අපහසු වෙයි. ඒ නිසා මිතුරන් කරගත හැකි අය ගැන කල්පනා කරද්දී, උසස්යයි සිතන අයව හෝ වාසි ලබාගත හැකි අයව පමණක් මිතුරන් කර නොගන්න. අනිත් අය විසින් නොසලකාහැර තිබෙන අයව හෝ මිතුරන් සොයාගැනීමට අපහසුවෙන් සිටින අයව මිතුරන් කරගන්න. ප්‍රංශයේ ගාඑල් මේ වගේ දෙයක් කියනවා. “මොනවාහරි දෙයක් කරන්න අපි කට්ටියක් එකට එකතු වෙන අවස්ථාවලදී තනි වෙලා ඉන්න තරුණයන්ටත් අපි ආරාධනා කරනවා. ‘ඇයි ඔයා තනියෙන් ගෙදරටම වෙලා ඉන්නේ? එන්න අපිත් එක්ක. අපි එක් එක්කෙනාව අඳුරගමු’ කියලා අපි එයාට කියනවා.”—ලූක් 14:12-14.

අනික් අතට හොඳ අය ඔබ සමඟ මිතුරු වෙන්න බලනකොට එය ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් නොවන්න. ඉතාලියේ එලීසා මෙහෙම කියනවා. “කලින් ඔබව ගණන්ගත්තෙවත් නැහැ කියලා ඔබ තුළ සමහරවිට සුළු තරහක් ඇති වෙන්න පුළුවන්. ‘අනිත් එක මට යාළුවෝ ඕනෙත් නැහැ’ කියා ඔබ සිතිය හැකියි. එවිට ඔබ පැත්තකට වී ඔබේම ලෝකයේ තනි වෙයි. එසේ කිරීමෙන් ඔබ මිතුරන් ඇති කරගැනීමට තිබෙන මඟ අහුරා දමයි.” අලුත් මිත්‍රයන්ව ඇති කරගැනීමෙන් වැළැක්වීමට, පදනමක් නැති භය හෝ ආත්මාර්ථකාමී දේවලට ඉඩ දෙනවා වෙනුවට මිත්‍රත්වයන් ඇති කරගන්න. අපේ මිතුරන් වීමට කැමැත්තෙන් අප ගැන සැලකිල්ලක් දක්වන අයට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙන්න.

ඔබට සැබෑ මිතුරන් සොයාගත හැකියි

සැබෑ මිතුරන් සොයාගැනීමට කැමැත්තක් තිබීම, ඒ සඳහා ආශාවෙන් බලා සිටීම සහ මෙවැනි ලිපි කියවීම වගේ දේවල් කිරීමට වඩා වැඩි දෙයක් කිරීමට අවශ්‍යයි. මිතුරන් සොයාගැනීමට ඉගෙනගැනීම බයිසිකලයක් පැදීමට ඉගෙනගන්නවා වගෙයි. පොත් කියවීමෙන් පමණක්ම මේ කලාවන් දෙකම ඉගෙනගන්න අපිට බැහැ. කීප විටක් අසාර්ථක වුණත් අපිට සිද්ධ වෙනවා පුහුණුවක් ලබන්න. මිතුදම් ස්ථිර ලෙස බැඳී පවතින්නේ දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති අය මිතුරන් වීමෙන් බව බයිබලයේ පෙන්වනවා. ඒත් අපි එම උත්සාහයන් නොදරනවා නම් මිතුරන් සොයාගැනීමට අප දරන වෑයමට ආශීර්වාද කරන්න දෙවිට නොහැකියි. කල්‍යාණ මිතුරන් සොයාගැනීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද? උත්සාහය අතහරින්න එපා! දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න. පරාර්ථකාමීව මුල් පියවර තබා මිතුරෙක් වන්න.

[පාදසටහන]

^ 12 ඡේ. මෙම මිත්‍රත්වයන් ගැන බයිබලයේ රූත්, පළමුවන සහ දෙවන සාමුවෙල් යන පොත්වලින් ඔබට කියවිය හැකියි.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙමාපියන්ට වදනක්

වෙනත් පාඩම් බොහොමයක් සේම මිතුදම් ගැන ඉගෙනගැනීමත් පටන්ගන්නේ නිවසේදීමයි. කුඩා දරුවෙකුට මිත්‍රත්වයක් සඳහා තිබෙන අවශ්‍යතාවන්ගෙන් වැඩි හරියක් සැපයෙන්නේ එහිදීයි. එවැනි වාතාවරණයක සිටිද්දී පවා පවුලෙන් පිට අය එක්ක ඇති වන සබඳතා දරුවෙකුගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීමට ප්‍රබල ලෙස බලපායි. උදාහරණයකට, කුඩා දරුවන් බොහෝදෙනෙක් වෙනත් රටකට ගිය විට වෙනත් දරුවන් එක්ක ඇති වන සබඳතාවලින් පමණක්ම අලුත් භාෂාවක් කතා කරන්න ඉක්මනින්ම ඉගෙනගන්නවා.

දෙමාපියන් ලෙස ඔබට ප්‍රස්තාවක් තිබෙනවා ඔබේ දරුවන්ට නැණවත්ව මිතුරන් තෝරාගැනීමට උපකාර කරන්න. කුඩා දරුවන්ට සහ නව යොවුන් වියේ දරුවන්ට දෙමාපියන්ගේ මඟ පෙන්වීම නැතුව තෝරා බේරා මිතුදම් ඇති කරගැනීමේ හැකියාවක් නැහැ. කොහොමවුණත් ගැටලුවක් තියෙනවා. බොහෝ යෞවනයන්ට දැනෙන්නේ තම දෙමාපියන්ට හෝ වයසින් මුහුකුරාගිය වෙනත් අයට වඩා තමන් සෙසු යෞවනයන්ට කිට්ටු බවයි.

දෙමාපියන් වෙත යොමු වෙනවාට වඩා දරුවන් තම මිතුරන් වෙත යොමු වෙන්න එක හේතුවක් වන්නේ, දරුවන්ට හරි වැරැද්ද පෙන්වා දීම සඳහා තමන්ට තිබෙන අයිතිය ගැන ඇතැම් දෙමාපියන්ට ස්ථිරත්වයක් නැති නිසයි කියා ප්‍රවීණයන් පවසනවා. දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම දීමට සහ ඔවුන් ගැන සැලකිලිමත් වීමට දෙවි දී තිබෙන වගකීම දෙමාපියන් විසින් දැරිය යුතුයි. (එෆීස 6:1-4) එහෙත් එය කරන්නේ කොහොමද? නව යොවුන් වියේ පසුවෙන තම දරුවන් එක්ක කටයුතු කළ යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැති දෙමාපියන් හුඟදෙනෙකුව පවුල් උපදේශක වෛද්‍ය රොන් ටැෆල්ට මුණගැසෙනවා. බොහෝදෙනෙක් “දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන මතිමතාන්තරවලට යට වෙන” නිසා දෙමාපියන් වශයෙන් ඇති දැඩි කිරීම සඳහා තමන්ට තිබෙන කාර්ය භාරය නිසි ලෙස ඉටු කිරීමට ඔවුන්ට නොහැකි වෙනවා කියා ඔහු ලියනවා. ඔවුන් එවැනි දේවලින් පිළියම් සොයන්නේ මන්ද? “තම දරුවන් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන නැති හින්දා ඔවුන් එක්ක හොඳ සබඳතාවක් පවත්වන්න ඔවුන්ට නොහැකි නිසයි.”

එය එසේ විය යුතු නැහැ. දරුවන්ට නිවසෙන් ලැබෙන්න ඕන දේවල් නොලැබෙනවා නම් ඔවුන් තමන්ගේ මිතුරන්ගෙන් එම අවශ්‍යතා සපුරාගන්න බව දෙමාපියන් අවබෝධ කරගත යුතුයි. ඒවා මොනවාද? “යෞවනයන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය දේවල් ඔවුන්ට දීම අවශ්‍යයි. ඒවා නම් පුහුණුව, අගය කිරීම, ආරක්ෂාව, පැහැදිලි නීති, ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ, තමන්ව පිටස්තරයන් මෙන් නොසැලකීම” යනාදියයි කියා ටැෆල් පවසනවා. “අපේ කාලයේ පවතින ඛේදවාචකය වී තිබෙන්නේ නව යොවුන් වියේ දරුවන්ගේ මෙම මූලික අවශ්‍යතා වැඩිහිටියන් විසින් සපුරාලන්නේ නැති එකයි. එමෙන්ම ඔවුන් සිටින්නේ ඔවුන්ගේම ‘නිවස තුළ’ පිටස්තරයන් වෙලා.”

හොඳ මිතුරන් ඇති කරගැනීම සඳහා ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද? මුල් පියවර වන්නේ ඔබ ඔබේම ජීවිතය ගත කරන ආකාරයත් ඔබේ මිතුදම් ගැනත් සලකා බැලීමයි. ඔබ සහ ඔබේ මිතුරන්ගේ ජීවන රටාවන් හා ඉලක්ක අගනා මෙන්ම පරාර්ථකාමී ඒවාද? ආත්මිකද නැත්නම් ද්‍රව්‍යවාදයට බරද? “අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඒ නිසා ඔබේ, ඔබේ මිතුරන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් ඔබේ දරුවන්ගේ ඇස්වලින් වැසිය නොහැකියි” කියා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු මෙන්ම පියෙකු වන ඩග්ලස් පවසයි.

සත්වයන් බොහෝදෙනෙක් ඉවෙන් හා දරුණු ලෙස සටන් වැදී තම පැටවුන්ව වෙනත් නපුරු සතුන්ගෙන් බේරගන්නවා. වලසුන් පිළිබඳ ප්‍රවීණයෙකු මෙසේ වාර්තා කරයි. “තම පැටවුන්ට අනතුරක් කියා සිතෙන ඕනෑම දෙයකින් තම පැටවුන්ව බේරගත්ත වලස් අම්මලා ගැන කතන්දර ගොඩක් තියෙනවා.” දෙමාපියන්ද කළ යුත්තේ එවැනි දෙයක්ම නොවෙයිද? ඉතාලියේ රූබන් මෙහෙම කියනවා. “මගේ දෙමාපියන් ශුද්ධ ලියවිලිවලින් මට නොයෙක් දේවල් පහදලා දුන්නා. සමහර අයව ආශ්‍රය කිරීමෙන් වළකින එක හොඳ බව තේරුම්ගන්න ඒගොල්ලෝ මට උපකාර කළා. ඒ වගේ අවස්ථාවල එක පාරටම මම කිව්වේ ‘මාර වැඩක්නේ, මට යාළුවෝ ආශ්‍රය කරන්නත් බැරිද!’ කියලයි. ඒත් කාලයක් ගියාට පස්සේ ඔවුන් හරි බව ඔප්පු වුණා. මම බේරුණේ ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ නිසයි. ඇත්තෙන්ම ඒ ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.”

තම දරුවන්ට හොඳ ඉලක්ක තබාගන්න උපකාර කරන ආදර්ශවත් අය එක්ක ආශ්‍රය කිරීමට ඔබේ දරුවන්ට සලස්වන්න. සාර්ථක දිවි පෙවෙතක් ගෙවමින් සතුටෙන් කල් යවන තරුණයෙක් වූ ෆ්‍රැන්සිස්ට තවමත් මෙය මතකයි. “අපි කුඩා කාලේදී යාළුවෝ එක්ක ආශ්‍රයට ගියේ නැහැ. මේක දැක්ක මගේ අම්මා අපිට උපකාර කරන්න හිතාගෙන, ක්‍රිස්තියානි පූර්ණ-කාලීන දේවසේවයේ කඩිසරව යෙදිලා හිටිය අයට අපේ ගෙදරට එන්න කියලා නිතරම ආරාධනා කළා. ඒ ක්‍රමයෙන් අපි ඔවුන්ව හොඳට අඳුනගත්තා. අපිට පුළුවන් වුණා අපේ නිවසේදීම යාළුවෝ සොයාගන්න.” ඔබේ පැත්තෙන් ඔබ එවැනි වෑයමක් දරනවා නම්, ඔබේ දරුවන්ට ඔබේ නිවස මිත්‍රත්වයන් සාරවත්ව වැඩෙන තෝතැන්නක් කරලා දෙන්න ඔබට හැකියි.

[9වන පිටුවේ පින්තූරය]

මිතුරන් කරගැනීමට පෙර ඔවුන්ගේ හැසිරීම ගැන විමසිලිමත් වන්න

[10වන පිටුවේ පින්තූරය]

වයස් පරතරයන් හා පසුබිම්වල වෙනස්කම් තිබුණත් පරාර්ථකාමී මිතුදම් සඵල වෙයි