Skip to content

පටුනට යන්න

ඔහුගේ හිතේ මා ගැන ආදරයක් නැහැයි කිව්වොත්?

ඔහුගේ හිතේ මා ගැන ආදරයක් නැහැයි කිව්වොත්?

යෞවන අය අසති . . .

ඔහුගේ හිතේ මා ගැන ආදරයක් නැහැයි කිව්වොත්?

මුලින්ම ඔබ ඔහුව සැලකුවේ මිතුරෙකු ලෙසයි. නමුත් ඔබේ හිතේ ඔහු ගැන ආදරයක් ඇති වී තිබෙනවා කියා හැඟේ. ඔබට ඔහු ගැන ආදරයක් ඇති වුණේ ඔහුගේ හොඳ ගති පැවතුම් නිසා, නැතහොත් ඔහු ඔබත් සමඟ කතා කරන විට සිනාසෙන විදිහට ඔබේ සිත ඔහු කෙරෙහි ඇදි ගිය නිසා වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් කාලය ගෙවී ගොස් තිබුණත් ඔහු ඔබ ගැන කිසි උනන්දුවක් පෙන්වන්නේ නැහැ. මිත්‍රත්වයට වඩා බැඳීමක් ඇති කරගන්න කැමතිද කියා ඔහුගෙන් අහන්න ඔබ තීරණය කරනවා. ඔබේ බලාපොරොත්තු සුන් කරමින් ඔබ ගැන ආදරයක් ඔහු තුළ නැහැයි කියා ඔහු කියනවා. *

මෙය ඔබේ සිතට ඉමහත් දුකක් ඇති කරන්න පුළුවන්. ඒත් කලබල වෙන්න එපා. යථාර්ථවාදීව බලන්න. ඔබේ හිත ගිය තරුණයා ඔබ සමඟ ආදර සබඳතාවකට කැමති නැහැයි කියූ බව ඇත්ත. ඒත්, ඔහුගේ තීරණය නිසා ඔබේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒවගේම අන් අය තුළ ඔබ සඳහා තිබෙන ආදරය සහ ගෞරවය අඩු වෙලත් නැහැ. ඇත්තෙන්ම, ඔහු එවන් තීරණයක් ගන්න ඇත්තේ ඔහුට තිබෙන ඉලක්ක සහ වෙනත් පරමාර්ථයන් නිසා මිසක ඔබේ අඩු පාඩුවක් නිසා නොවෙන්න පුළුවන්.

ඔබ ක්‍රිස්තියානියෙක් නම් මේ දෙයත් මතක තබාගන්න. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10) සොන්යා * කියන තරුණිය මෙවන් අදහසක් ඉදිරිපත් කරනවා. “ඔබේ වටිනාකම අඩු වෙලා නැහැ. තනිකඩ පුද්ගලයෙක් හැටියට යෙහෝවාට ඔබව වටිනවා.” මහෝත්තම දෙවි වන යෙහෝවා සහ අනිත් අය ඔබව අගය කරනවා නම් ඔබේ ආත්ම ගෞරවය නැති වෙනවා කියලා හිතන්නේ මොකටද?

බලාපොරොත්තු සුන්වූ බවක් හෝ විවාහ වීමට සුදුසුකම් නැහැයි කියා බියක් ඔබට දැනෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඔබ මෙම තරුණයාට “ප්‍රිය” නැහැයි කියලා වෙන කෙනෙකුටත් ඔබව “ප්‍රිය” නොවන බවක් ඉන් අදහස් වෙන්නේ නැහැ. (විනිශ්චයකාරයෝ 14:3) එමනිසා ඔබ විවාහ සහකරුවෙක් සෙවීමට ගත් වෑයමෙන් බලාපොරොත්තු සුන්වීමකට පත් වුණා කියා සිතන්න එපා. එයින් යම් ප්‍රයෝජනයක් ලැබී තිබෙනවා. ඒ තමයි මෙම තරුණයා ඔබේ ස්වාමිපුරුෂයා වීමට සුදුසු නැහැයි කියන කාරණය. ඇයි අපි එහෙම කියන්නේ?

ඔහුද සුදුසුම කෙනා?

බයිබලයේ ස්වාමිපුරුෂයන්ට මෙවන් උපදෙසක් දී තිබෙනවා. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය.” (එෆීස 5:28) ඒවගේම භාර්යාවන්ට “ගෞරවය දෙන්න” කියාත් ස්වාමිපුරුෂයන්ට අවවාද කරනවා. (1 පේතෘස් 3:7) ඔබේ හිත ගිය තරුණයා ඔබව මිතුරියක් හැටියට ඇසුරු කරන්න කැමති ඇති. නමුත් ඔහු ඔබේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කළේ ඔබව ඔහුගේ භාර්යාව වශයෙන් ආදරය කිරීමට හා ගෞරවය කිරීමට ඔහු සූදානම් නැති බවයි. එවන් දෙයක් තීරණය කිරීමට ඔහුට අයිතිය තිබෙනවා. මේ ගැන සිතා බලන්න. ඔහුට ඔබ ගැන හැඟෙන්නේ එලෙස නම් ඔහු ඔබේ ස්වාමිපුරුෂයා වීමට සුදුසුද? ශුද්ධ බයිබලය පෙන්වන විදිහට ඔබට ආදරය නොකරන කෙනෙකුව විවාහ කරගත් විට ඔබ අද්දකින අසතුට ගැන කල්පනා කර බලන්න.

ඔබට දැන් තවත් කාරණා ගැනත් හිතන්න පුළුවන්. සමහරවිට අන් අය කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ හෝ ආත්මික ජීවිතයේ දකින දුර්වලකම් ඔබ තුළ තිබෙන බලවත් ආදර හැඟීම් නිසා ඔබට නොපෙනෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මෙහෙම සිතමු. ඔබට ඔහු ගැන ආලවන්ත හැඟීම් ඇති වෙනවා කියා ඔහු දන්නේ නැද්ද? නැතිනම් දැන දැනම ඔබ සමඟ ඇසුරු කිරීමෙන් එවන් හැඟීම් ඇතිවීමට දිරිගන්වනවාද? අවසානයට සඳහන් කළ දේ ඔබේ සිද්ධියට ගැළපේ නම් ඔහු සැලකිලිමත්, සංවේදී ක්‍රිස්තියානි පුරුෂයෙක් වීමට තවම සූදානම් නැහැයි කියන එක පැහැදිලියි නේද? එහෙම නම් සැබෑ තත්වය දැනගැනීමට ලැබීම වේදනාකාරී දෙයක් වුණත් එය ප්‍රයෝජනවත් වෙයි.

තරුණයෙක් තමා ගැන විශේෂ උනන්දුවක් පෙන්වන විට මාසියා නමැති තරුණියගේ හිතේ හැඟීම් පිබිදුණා. ඇය ඔහුගේ අදහස මොකක්ද කියා ඇසූ විට ඇය සමඟ පෙම් සබඳතාවක් පටන්ගැනීමට අදහසක් නැති බව ඔහු ඇයට පැවසුවා. බලාපොරොත්තු සුන්වූ මෙම අවස්ථාවේ ඇය කටයුතු කළේ කොහොමද? ඇය මෙහෙම කියනවා. “මෙම කාරණය දිහා හැඟීම්වලින් බලන්නේ නැතිව බුද්ධියෙන් බැලුව නිසා මගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් වුණා.” බයිබලයේ ස්වාමිපුරුෂයෙකුට තිබිය යුතුයි කියා පෙන්වන සුදුසුකම් ගැන කල්පනා කර බැලීමෙන් ඇය තේරුම්ගත්තා ඔහුට එම සුදුසුකම් නැති බව. ඇයට දැනුණ සෝතැවුලෙන් ගොඩ ඒමට එය උපකාරවත් වුණා.

ඇන්ඩ්‍රියා නමැති තරුණියගේ අද්දැකීමත් ඊට සමානයි. පසුව ඇය තේරුම්ගත් දෙයක් තමයි ඇය සමඟ ඔහු කටයුතු කළ ආකාරයෙන් ඔහු මේරූ පුරුෂයෙක් නෙමෙයි කියන කාරණය. ඔහු විවාහයට සූදානම් නැති බව ඇය තේරුම් ගත් අතර එම කාරණය සම්බන්ධයෙන් යෙහෝවා ඇගේ දෑස් විවෘත කිරීම ගැන ඇය ස්තුතිවන්ත වෙනවා. ඇය මෙහෙම කියනවා. “ඔබට වේදනාවක් ඇති වෙන්න තිබෙන තත්වයකින් බේරාගන්න යෙහෝවා දෙවිට පුළුවන් කියන එක මට විශ්වාසයි. එහෙම වෙන්න නම් දෙවිව විශ්වාස කරන්න ඕනේ.” එනමුත් බොහෝ අවස්ථාවල තරුණයෙකු ක්‍රියා කරන ආකාරයේ වරදක් නොතිබෙන්න පුළුවන්. එමනිසා යම් යෝජනාවකට අකමැත්ත පළ කරන්න හොඳ හේතු තිබෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඇති වූ වේදනාව සමනය කරගන්නේ කොහොමද?

ඔබට ඇති වූ හැඟීම්වලට මොනවාද කරන්නේ?

ඔහු ඔබේ අදහස ප්‍රතික්ෂේප කළා කියන කාරණය පිළිගැනීමට කාලය අවශ්‍ය වේවි. ඔහු කෙරෙහි ඔබට ආදරයක් ඇති වුණේ එක රැයකින් නෙමෙයි. ඒවගේම තමයි ඒ හැඟීම් නිවී යන්නත් කල් යාවී. විදුලි බල්බයක් නිවා දමනවා වගේ ආදර හැඟීම් නිවා දමන්න පුළුවන් වන්නේ කලාතුරකින්. සමහර දවස්වලට ආදර හැඟීම්වලින් හදවත බර වෙන්න පුළුවන්. ඉවසන්න. කාලයත් සමඟම ඔබේ හැඟීම් නිවී යයි. ඔබේ හැඟීම් ඉක්මනින්ම නිවා දමන්න ඔබට අවශ්‍ය නම් එවැනි දේට උල්පන්දම් දෙන දේවල් මඟහරින්න.

උදාහරණයකට ඔබේ හැඟීම් තරුණයාට පවසන විට කියූ සෑම වචනයක්ම හා සිදු වූ හැම දෙයක්ම ගැන නැවත නැවත හිතන්න එපා. ඔබ එසේ හිතන්න ගියොත් ඔබ වැරදි නිගමනයකට එළඹෙන්න පුළුවන්. එනම් ඔහු ඇත්තටම පැවසූ දේ හිතලා බලලා කියන්න නැතුව ඇති කියා හෝ වෙනත් ක්‍රමයක් අත්හදා බැලුවොත් හරියයි කියා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට හැඟෙන ආකාරය වෙනස් කරන්න ඔබට බැරි බව ඔබ පිළිගත යුතුයි. බොහෝදුරට ඔබ මොන ක්‍රමයක් අත්හදා බැලුවත් ඔහුගේ උත්තරය වෙනස් නොවෙන්න පුළුවන්.

දවල් සිහින දැකීමත් තවත් පරෙස්සම් විය යුතු පැත්තක්. ඔබ ඔහු සමඟ විවාහ වෙලා ලස්සන යුග දිවියක් ගත කරන හැටි සිහින මවනවා ඇති. එවැනි දවල් සිහිනවලින් හිතට සතුටක් දැනුණත් ඒවා සැබෑ දේවල් නෙමෙයි. සිහින දැකලා ඉවර වෙනකොට ආයෙත් දුක තනිකම දැනෙන්න පටන්ගන්නවා. දවල් සිහින දැකීම නතර කරන්න උත්සාහ කළේ නැත්නම් හිතේ දුක නිවාගන්න අමාරු වේවි.

දවල් සිහින දැකීම නතර කිරීමට උත්සාහ කරන්න. එවන් සිතුවිල්ලක් ආ විගස නැඟිටලා ටිකක් ඇවිදින්න. ඔබේ මනස වෙනත් දෙයකට යොමු කරන වැඩක් පලක් කරන්න. ඔබව මානසික පීඩාවට ලක් කරන දේවල් නොව ගොඩනංවන දේවල් ගැන කල්පනා කරන්න. (ෆිලිප්පි 4:8) මෙය මුලින් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් කාලයත් සමඟ ඔබට ජයගන්න පුළුවන් වන අතර මානසික සුවයක්ද ලැබේවි.

ඔබේ සමීප මිත්‍රයන්ගේ දිරිගැන්වීම්ද සහනයක් විය හැකියි. (හිතෝපදේශ 17:17) ඒත් සොන්යා පරෙස්සම් වීමට උපදෙසක් දෙනවා. “තනිකඩ, එකම වයස් මට්ටමක සිටින, ඒවගේම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය පමණක් ඔබේ මිතුරන් වීම සුදුසු නැහැ. දේවල් දිහා පුළුල්ව බැලීමට ඔබට වඩා වයසින් වැඩි මිතුරන් ඔබට අවශ්‍යයි.” ඒවගේම ඔබේ දුක නිවාගන්න උපකාර කිරීමට විශේෂ කෙනෙක් සිටින බව අමතක කරන්න එපා.

යෙහෝවා ඔබේ මිතුරා සහ ඔබේ උපකාරය

පුරාණයේ සිටි විශ්වාසවන්ත පුද්ගලයෙක් අධෛර්යයට පත් වූ අවස්ථාවේදී ඔහු උපකාර පතා යෙහෝවාට යාච්ඤා කළා. එසේ කිරීමෙන් මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබුණේ? ඔහු මෙහෙම ලිව්වා. “මා තුළ මාගේ සිතිවිලි බොහෝ වූ කල ඔබගේ සැනසීමෙන් මාගේ ආත්මය ප්‍රීති වේ.” (ගීතාවලිය 94:19) ඔබ යෙහෝවාට විශ්වාසවන්තව යාච්ඤා කරනවා නම් ඔහු ඔබව සනසා රැකගනියි. ඇන්ඩ්‍රියා එසේ කළා. ඇය මෙහෙම කියනවා. “වේදනාව නිවාගෙන වෙනත් දෙයකට හිත යොමු කරන්න යාච්ඤාව අවශ්‍ය දෙයක්.” සොන්යාත් යාච්ඤාව සම්බන්ධයෙන් ඇගේ අදහස ගැන මෙසේ සඳහන් කරනවා. “අනිත් අය තමන්ට කැමති වුණත් නැතත් තමන් ගැන හොඳ හැඟීමක් ඇතිව ඉන්න යාච්ඤාව විශාල උපකාරයක් වෙනවා.”

කාටවත් ඔබේ හිතේ තියෙන හැඟීම් තේරුම්ගන්න බැහැ. ඒත් යෙහෝවා දෙවිට පුළුවන්. ඔහු මිනිසා මැව්වේ විවාහය තුළ ආදරය ලැබීමේ ආශාව ඇතුවයි. ආදර හැඟුම් කොතරම් බලවත්ද කියාත් ඒවා පාලනය කරන්නේ කොහොමද කියාත් යෙහෝවා දෙවි දන්නවා. හදවතේ තියෙන ඉමහත් වේදනාව නිවාගන්න ඔබට උපකාර කරන්න ඔහුට පුළුවන්. “දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය” යනුවෙන් 1 යොහන් 3:20හි සඳහන් වෙනවා.

සමබරව හිතන්න උත්සාහ කරන්න

විවාහය නිසා සන්තෝෂය භුක්ති විඳින්න පුළුවන්. නමුත් එය ලැබෙන්නේ විවාහයෙන් විතරක් නෙමෙයි. යෙහෝවාට සේවය කරන සෑම කෙනෙකුම ජීවත් වන්නේ ප්‍රීතියෙන්. විවාහ වූ අයට විතරක් ප්‍රීතිය ලැබෙනවා කියා කියන්න බැහැ. සමහර පැතිවලින් විවාහ වුණු අයට වඩා තනිකඩ අයට වාසි තියෙනවා. පළමුවෙනි කොරින්ති 7:28හි කියන විදිහට විවාහක අයට මෙන් ඔවුන්ට “මාංසයෙහි දුක් ඇති වන්නේ” නැහැ. මාංසයෙහි දුක් හැටියට යොමු දක්වන්නේ විවාහ වූ සෑම කෙනෙකුම අද්දකින මානසික පීඩන සහ වෙහෙසයි. තනිකඩ අයට වැඩි පෞද්ගලික නිදහසක් තිබෙන අතර පහසුවෙන්ම තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් යෙහෝවාගේ සේවය සඳහා යෙදවිය හැකියි. බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “විවාහ වන තැනැත්තාට ශුභසිද්ධ වන නමුත්, විවාහ නොවී සිටින තැනැත්තාට ඊට වඩා ශුභසිද්ධ වන්නේය.” (1 කොරින්ති 7:38) ඔබට විවාහ වීමට ලොකු ආශාවක් තිබුණද මෙම බයිබල් උපදෙස් ගැන මෙනෙහි කිරීම හා සමබරව හිතන්න උත්සාහ කිරීම ප්‍රීතියෙන් කල් ගෙවන්න උපකාරයක් වේවි.

සමහර මිතුරන් හිත හොඳින් මෙහෙම කියන්න පුළුවන්. “දුක් වෙන්න එපා. කවදා හරි හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි.” එක් පුද්ගලයෙක් අකමැති වුණා කියලා හැමදාම ඔබට තනියෙන් ඉන්න වෙයි කියන එක අදහස් වෙන්නේ නැහැ. කැන්ඩෙස් නමැති ක්‍රිස්තියානි තරුණිය මේ විදිහට කල්පනා කළා. “මම යෙහෝවාව විශ්වාස කරනවා. ඒත් මාව සතුටු කරන්න යෙහෝවා අනිවාර්යයෙන්ම මට ස්වාමිපුරුෂයෙක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට ප්‍රීතියෙන් සිටින්න අවශ්‍ය දේ යෙහෝවා දෙයි කියලා මම දන්නවා.” මෙසේ ධනාත්මකව සිතීම, ඇගේ ආදර හැඟීම් නිවා දැමීමට ඇයට උපකාර වුණා.

මෙම වර්තමාන ලෝකයේ ආදර සබඳතාවක් ඇරඹීමට දරන උත්සාහය නිතරම පාහේ අසාර්ථක වෙනවා. ඒවගේම විවාහයන් බොහොමයක් පවා අසාර්ථක වෙනවා. ඔබ යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ උපදෙස්වලට කීකරු වෙනවා නම් ඔහුට පුළුවන් ඔබේ හිතේ දුක නිවා නැවත ඔබේ ජීවිතයට ප්‍රීතිය ලබාදෙන්න. දාවිත් රජගේ අද්දැකීම ඔබේ අද්දැකීම කරගන්න ඔබට පුළුවන්. ඔහු මෙසේ ලිව්වා. “යෙහෝවා, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය. මාගේ සුසුම්ලෑම ඔබගෙන් සැඟවී නැත. මක්නිසාද යෙහෝවා, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවි වූ යෙහෝවා, ඔබ උත්තර දෙන්නේය.”—ගීතාවලිය 38:9, 15.

[පාදසටහන්වල]

^ 3 ඡේ. “යෞවන අය අසති . . . මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?” (2004 නොවැම්බර් 8) යන ලිපියෙහි ගැහැනු ළමයා ආදර සබඳතාවක් පටන්ගැනීමට මුල් පියවරගැනීම සමහර රටවල සංස්කෘතියට අනුව විනීත දෙයක් නොවෙයි. බයිබලයේ මෙවැනි ක්‍රියාවක් වැරදි දෙයක් ලෙස හැඳින්වූයේ නැතත් අන් අයව බාධාවට පත් කිරීමෙන් වළකින්න කියා උපදෙස් දෙයි. දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට කැමති කෙනෙක් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර බයිබලයේ තිබෙන මෙම උපදෙස සලකා බැලිය යුතුයි.—මතෙව් 18:6; රෝම 14:13; 1 කොරින්ති 8:13.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[12වන පිටුවේ පින්තූර]

දෙවි දෙන සෑම උපකාරයකින්ම ප්‍රයෝජන ගන්න