Skip to content

පටුනට යන්න

කිසිදා මතකයෙන් නොමැකෙන සංචාරය

කිසිදා මතකයෙන් නොමැකෙන සංචාරය

කිසිදා මතකයෙන් නොමැකෙන සංචාරය

ටැන්සානියාවේ පිබිදෙව්! ලේඛක විසින්

“දේවදූතයන් ඒදන් උයනේ සිටි සතුන්ගේ ඡායාරූප ගත්තා නම්, එම ඡායාරූපත් අද අප්‍රිකාවේ ටැන්සානියාවෙහි ඟෝරොන්ගෝරොහි ගිනි කන්දක් පුපුරා යෑමෙන් ඇති වූ බෑවුම් ප්‍රදේශයේ සිටින සතුන්ගේ ඡායාරූපත් අතර වැඩි වෙනසක් තිබෙන එකක් නැහැ.” එසේ සඳහන් කර තිබුණේ ටැන්සානියාවේ මනස්කාන්ත දර්ශන පිළිබඳ රයින්හාට් කූන්චල් විසින් රචිත පොතෙයි. ඟෝරොන්ගෝරො ප්‍රදේශය ඇත්තෙන්ම සුන්දර ස්ථානයක් වන අතර එය වනසතුන් දහස් ගණනකගේද තෝතැන්නකි. ඔබත් කැමතිද අපිත් එක්ක එහි සවාරියක් යන්න?

මනස්කාන්ත දසුනක්

පැය හතරක් පුරා දුවිලි නැහැවුණු මාවත් දිගේ රථයෙන් ගමන් කර, අපි අවසානයේදී ඟෝරොන්ගෝරො බෑවුම අද්දරට පැමිණෙනවා. අප නවාතැන් ගෙන සිටි හෝටලයේ සඳලුතලයේ සිට ඒ චමත්කාරජනක දර්ශනය ඉතා හොඳින් දැකගත හැකියි. එය නෙතට දැකුම්කළු දර්ශනයක්! පරිසරවේදීන් එය “ලෝකයේ අට වන පුදුමය” ලෙස නම් කර තිබෙන්නේ ඇයි කියා අපට දැන් පැහැදිලියි.

ඟෝරොන්ගෝරො යන නාමය පටබැඳුණේ කොහොමද? එයට පිළිතුර කිසිවෙකු දන්නේ නෑ. නැඟෙනහිර අප්‍රිකාවේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම ප්‍රදේශයේ ජීවත් වූ, ගවයන්ගේ කරේ බඳින ගෙජ්ජී සෑදූ මසායි වැසියෙකුගේ නමකි එය. තවත් අය කියා සිටින්නේ එම නම පටබැඳුණේ අවුරුදු 150කට පෙර එහි ඇති වූ යුද්ධයකදී ඩොටෝගෝ රණකාමීන්ව පරාජය කළ මසායි වැසියෙකුගේ නම නිසා කියලයි. වාහන නවතා තබන තැන තණ කමින් සිටී සීබ්‍රාවුන්ව දුටු සැණින්, නමේ ඉතිහාසය සොයාගැනීමට තිබූ කුහුල පහවි ගියා. අපි අපේ වාහනයට ඇතුළු වූ විට අපි උන් සමීපයට ගියත්, උන් අපිව එතරම් මායිම් කළේ නෑ. තවත් වනසතුන් නැරඹීමට දැන් අපි බෑවුමේ පහළට යනවා.

මෙම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 2,236ක් ඉහළින්. මෙය ලෝකයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් තැනුණු ලොකුම බෑවුම් ප්‍රදේශයයි. මතුපිට ක්ෂේත්‍රඵලය වර්ග කිලෝමීටර 304ක් වන අතර හරස් අතට කිලෝමීටර 19.2ක ප්‍රමාණයක් වෙනවා. අපි මීටර් 610ක ගැඹුරට දිව යන මෙම බෑවුම දිගේ පහළට රිය පදවනවා. සෙමින් සෙමින් රිය පදවාගෙන යන අතරේ ඡායාරූප ගන්නේ කවුළුවලින් එබීගෙනයි. මෙම බෑවුමෙන් පහළට බසින්නට පෙර හිමිදිරියේ හැමු සුළං සිසිල් වූවත් එහි පහළට යද්දී පොරණුවක් වගේ රස්නය දැනෙනවා.

අපේ රියදුරා ඒ ප්‍රදේශය පුරා අපව ගෙන යද්දී විලක සැරිසරන සියක්කාරයන් රෑනක් අපි දැක්කා. අර ඈත පේන බෑවුමේ ඉහළ, නිල් අහසේ ගෑවෙන්න නොගෑවෙන්න වගෙයි තියෙන්නේ. සීබ්‍රාවුන්ගේ සහ අප්‍රිකානු ගවයන්ගේ හඬවල් මෙන්ම තවත් අමුතු අමුතු හඬවල් අපේ කනවැකෙද්දී අපිට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මේ නම් සැබෑම පාරාදීසයක්!

බෑවුමේ වනසතුන්

අපි ඟෝරොන්ගෝරොට ගියේ මී හරක්, අලි ඇතුන්, සීබ්‍රාවන්, අප්‍රිකානු ගවයන්, ඇන්ටිලෝප් වර්ගයට අයත් මුවන්, කලු රයිනෝසිරසයන්, අළු පැහැති වඳුරෝ ආදි හැම එකෙක්ම අපිට දැකගන්නට පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒක ඒ විදියටම ඉෂ්ට වුණා. ගොදුරු අල්ලා කන චීටාවුන්, කැලෑ බල්ලන්, නරියන් සහ කලු සිංහයන් නිදැල්ලේ සැරිසරනවා. පුංචි පොකුණක හිපෝලා සිසිල විඳිමින් ඉන්නවා. අපි ඡායාරූප ගන්න කොට උන්ට ගාණක්වත් නෑ.

රියදුරු මහතා එකවරම නැවතෙනවා! අපිට යාර කිහිපයකට ඉස්සරහින් කලු රයිනෝසිරසයෙක් පාර හරහා යනවා කියලා ඔහු අපිට පෙන්නනවා. කලු රයිනෝට මේ ප්‍රදේශය උන්ගේම රජ දහන වගෙයි. උන් නිදැල්ලේ සැරිසරද්දී මෙතරම් කිට්ටුවෙන් උන්ව දැකගන්න ලැබීම විරල අවස්ථාවක්. මේ භයානක වනමෘගයන් වඳ වී යන්න ඉතාමත් ආසන්නයි. මෙහි ජීවත් වන්නේ මිනිසුන් විසිදෙනෙක් තරම් කුඩා සංඛ්‍යාවක්. දඩයක්කරුවෝ උන්ව මරා උන්ගේ අං ලබා ගන්නවා. මේවා ආයුධ මිටවල් තැනීමට හා ඖෂධ තැනීමට නීති විරෝධී ලෙස විකුණනවා. දඩයක්කරුවන්ගෙන් ප්‍රදේශය බේරාගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් නිතර දෙවේලේ සිටින්නේ සෝදිසියෙන්.

කුරුල්ලන්ට ආසා කරන කෙනෙක්ට මෙහිදී නොයෙක් මාදිලියේ කුරුල්ලන්ව දැකගන්න පුළුවන්. ඒ අතර පැස්බරුන්, විවිධ කොක්කු විශේෂයන්, ලිහිණීන්, කුඩා රතු හොටැති වෙනත් සතුන්ගේ පරපෝෂිතයන් කන කුරුල්ලන් සහ රෝස පැහැති අසංඛ්‍යාත සියක්කාරයන් දැකගත හැකියි. මෙම ප්‍රදේශයේ දැකගත හැකි සියගණන් කුරුළු විශේෂ මීට යාබදව තිබෙන සෙරෙන්ගෙටි ජාතික වන උද්‍යානයේ නම් දැකගන්න නැහැ. රැවුල් කෑරලා, කහ ළය ඇති ඉරි පවන් දැරියා, බ්රූබ්රූස් කොවුලැස් පැටියා සහ සුදු රෙදි හොරා වැනි කුරුල්ලන්ගෙනුත් මේ ප්‍රදේශය පිරී තිබෙනවා. රෝස ළයැති ගොමරිට්ටා දිගු තණගස් අතර දැකගත හැකියි. කලාතුරකින් දකින අප්‍රිකානු කපුටු විශේෂයක්ද මෙහිදී අපිට දකින්න පුළුවන්.

සතුන් බොහොමයක් අපිව ගණනකට නොගත්තත් අපිට වාහනය ඇතුළටම වෙලා ඉන්න සිදු වෙනවා. ගිනිකඳු විවරය පිටතින් ඇති පිදුරු සෙවිලි කළ මැටි ගෙවල්වල සිටින මසායි වැසියන්ට නම් මෙම ප්‍රදේශයේ තම සතුන් රැළ දක්කාගෙන එහා මෙහා යන්න පුළුවන්. ඒක හරියට මේ වනසතුන් ඒ සඳහා අවසර දීලා වගෙයි.

ඟෝරොන්ගෝරො ප්‍රදේශයේ තිබෙන කියා නිම කළ නොහැකි සුන්දරත්වය හා නිසංසල බව අපේ හද තුළ ඇති කරන්නේ විස්මයක්. ඇත්තෙන්ම එය කිසිදා මතකයෙන් නොමැකෙන සංචාරයකි.

[25වන පිටුවේ පින්තූරය]

රයිනෝ

[25වන පිටුවේ පින්තූරය]

ප්‍රදේශයේ ගැවසෙන මසායි එඬේරෙක්

[25වන පිටුවේ පින්තූරය]

මසායි කතක්

[26වන පිටුවේ පින්තූරය]

චීටාවන්

[26වන පිටුවේ පින්තූරය]

කොකෙක්

[26වන පිටුවේ පින්තූරය]

සියක්කාරයන්

[26වන පිටුවේ පින්තූරය]

හිපෝ

[26, 27වන පිටුවේ පින්තූරය]

ඟෝරොන්ගෝරො ප්‍රදේශය

[27වන පිටුවේ පින්තූරය]

සීබ්‍රාවන්

[27වන පිටුවේ පින්තූරය]

මී හරකා

[27වන පිටුවේ පින්තූරය]

අලි ඇතුන්

[27වන පිටුවේ පින්තූරය]

අළු පැහැති වඳුරෝ