Skip to content

පටුනට යන්න

ජීවිත බිලිගත් කර්මාන්තයක්

ජීවිත බිලිගත් කර්මාන්තයක්

ජීවිත බිලිගත් කර්මාන්තයක්

ජර්මනියේ පිබිදෙව්! ලේඛක විසින්

ජර්මනියේ 1940 ගණන්වල පොළොව යට මිට්ල්වර්ක් නම් කර්මාන්ත ශාලාවක් පිහිටා තිබිණ. එය පිහිටා තිබුණේ බර්ලින් නුවරට කිලෝමීටර් 260ක් නිරිත දිගින් පිහිටි හාර්ට්ස් කඳුවලය. එම කඳුවල කිලෝමීටර් 20ක් පුරා දිව ගිය උමං පද්ධතියක් ඔස්සේ විහිදී තිබූ එය පොළොව යට පිහිටි විශාලතම කර්මාන්ත ශාලාවයි. වර්ෂ 1943ත් 1945ත් අතර කාලයේදී ගාල් කඳවුරුවල සිටි සිරකරුවන් දහස්ගණන් දෙනෙකු එහි වහල් මෙහෙකාරකමට යොදවන ලදි. ඔවුන් වැඩ කළේ ඉතාමත් අසීරු තත්වයන් යටතේය. ඔවුන්ට පැවරී තිබුණු කාර්යය වූයේ නාට්සි ආණ්ඩුව වෙනුවෙන් යුධ අවි නිෂ්පාදනය කිරීමය.

ඔවුන් නිෂ්පාදනය කළේ කුමනාකාරයේ යුධ අවිද? ඒවා V-1 සහ V-2 රොකට්ටු යනුවෙන් නම් කළ මිසයිල වර්ගයකි. නිෂ්පාදනයෙන් පසු නියමිත ඉලක්කවලට පහර දීම සඳහා ඒවා මිට්ල්වර්ක් කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශයේ හා නෙදර්ලන්තයේ ප්‍රහාරක මධ්‍යස්ථානවලට ප්‍රවාහණය කරනු ලැබීය. එම මිසයිල එල්ල කරනු ලැබුවේ ප්‍රංශය, බෙල්ජියම හා බ්‍රිතාන්‍යයටය. නිෂ්පාදකයන්ගේ එක් ඉලක්කයක් වූයේ නිව් යෝර්ක් නගරයයි. අත්ලාන්තික් සාගරය හරහා යෑමට තරම් ප්‍රබල මිසයිලයක් නිෂ්පාදනය කිරීමට නාට්සිවරු අදහස් කළෝය. දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී මේවා සියගණනක් යුරෝපයට පහර දීම සඳහා භාවිත කළත් ඒවා නිෂ්පාදන ප්‍රතිශතයෙන් අල්පයක් පමණි. එහෙත් නිව් යෝර්ක්වලට පහර දීමේ සිහිනය සැබෑ වූයේ නැත.

ජීවිත රැසක් බිලිගත් මිසයිලයක්

යුද්ධය නිම වූ පසු මෙම කර්මාන්ත ශාලාවේ මිසයිල නිපදවූ ජර්මානු විද්‍යාඥයන් සහ කාර්මික ශිල්පීන් බොහෝදෙනෙක් ජර්මනිය හැර ගියෝය. ඉන්පසු ඔවුහු පදිංචි වූ රටවලදී, තම ශිල්පීය ඥානය දිගටම භාවිත කළෝය. ඉන් එක් අයෙක් නම් අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වූ විද්‍යාඥ වර්නර් ෆෝන් බ්‍රෝන්ය. මිනිසාව හඳට ගෙන ගිය සැටර්න් නම් රොකට්ටුව නිෂ්පාදනය කරනු ලැබුවේ ඔහුගේ ශිල්පීය ඥානය යොදාගෙනය.

දැන් මිට්ල්වර්ක් කර්මාන්ත ශාලාව වසා දමා ඇත. එම කර්මාන්ත ශාලාව තිබූ ස්ථානය ඉදිරිපිට ගාල් කඳවුරේ සිටි 60,000 වෙනුවෙන් ස්මාරකයක් ඉදි කර තිබේ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මෙම කර්මාන්ත ශාලාවේ ශීත සහ තෙත් සහිත උමංවල වැඩ කළා පමණක් නොව එහි ජීවත් වූහ. එසේනම් ඔවුන්ගෙන් 20,000ක් පමණ එහිදීම මියයෑම පුදුමයක් නොවේ. කෞතුකාගාරයක් බවට පත් කර ඇති මෙම කර්මාන්ත ශාලාව බැලීමට වර්තමානයේදී කටයුතු යොදා ඇත. උමං මාර්ග දිගේ ගමන් කරන විට තවමත් මිසයිලවල කොටස් එහෙ මෙහේ විසිරී ඇති අන්දම දක්නට තිබේ. මෙම කර්මාන්ත ශාලාව එක කනගාටුදායක දෙයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. “ඒවා ඉලක්කවලට එල්ල කළ විට මියගිය සංඛ්‍යාවට වඩා එය නිෂ්පාදනය කරන විට මියගිය සංඛ්‍යාව වැඩියි” කියා සඟරාවක පළ වේ.—After the Battle.

[24වන පිටුවේ පින්තූරය]

V-1 රොකට්ටු පෙන්වන 1945දී ගත් ඡායාරූපයක්

[හිමිකම් විස්තර]

Quelle: Dokumentationsstelle Mittelbau-Dora

[24වන පිටුවේ පින්තූරය]

නරඹන්නන් තවමත් මිසයිලවල කොටස් එහෙ මෙහේ විසිරී ඇති කර්මාන්ත ශාලාවේ කොටසක් නරඹමින්