දස දෙසින්
දස දෙසින්
මෝරුන්ගෙන් බේරීමට උපකරණයක්
මුහුදේ නාන්න කැමති බොහෝදෙනෙකු මෝරෙක් ගිලියි කියා බිය වන නිසා මුහුදට නොබැස සිටිනවා. ඒ වුණත් දකුණු අප්‍රිකාවේ නටාල්හි මෝරුන් පිළිබඳ පර්යේෂණ මඬුල්ල මෝරුන්ගෙන් බේරීමට උපකරණයක් නිපදවා තිබෙනවා. ‘මෝරුන්ගේ හොම්බ වටා තිබෙන සංවේදක නාළවලට විශේෂ විද්‍යුත් තරංගවලින් යම් බලපෑමක් කළ හැකි බව ඔවුන් සොයාගත්තා’ කියා ක්වාසුලු නටාල්හි විකෙන්ඩ් විට්නස් පුවත්පතෙහි වාර්තා වෙනවා. එම මඬුල්ල විසින් මුහුදේදී ආරක්ෂා වීමට සම්ප්‍රේෂණ උපකරණයක් නිර්මාණය කළා. මෝරෙකු එම උපකරණයට ළං වෙන විට ඌට අපහසුතාවක් දැනෙනවා. ඉන්පසු එම අපහසුතාව එන්න එන්නම වැඩි වෙන විට “ඌට එය දරාගත නොහැකිව එම ස්ථානයෙන් පලා යනවා.” ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් පිහිනුම්කරුවන්ට සහ රළ මත ලිස්සා යන අය සඳහා එම සම්ප්‍රේෂණ උපකරණ නිපදවයි. පිහිනුම්කරු එම උපකරණය තම පාදයේ පහළ කොටසේ පැළඳ සිටින විට ‘ඔහු වටා ඇති ජල තීරයට මෝරුන්ට ළඟාවීමට බැරි වෙනවා.’ ඒත් එම උපකරණය නිෂ්පාදනය කරන්නන් මෙවන් අනතුරු ඇඟවීමක් කරනවා. “සෑම අවස්ථාවකදීම හැම මෝරෙක්ම පසුබා යයි කියා සහතික කළ නොහැකියි.”
විෂවීමේ වැඩි ඉඩ කඩ වැඩිහිටියන්ට
“විෂ ශරීරගත වීම වළක්වාගැනීම ගැන සිතද්දී බොහෝවිට මිනිසුන් කල්පනා කරන්නේ කුඩා දරුවන් ගැනයි” එසේ පැවසුවේ බ්‍රිතාන්‍ය කොලම්බියාවේ ඖෂධ හා වස විෂ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ ඩෙබ්රා කෙන්ට්. ඇය තවදුරටත් මෙසේ පවසනවා. “විස ශරීරගත වීමෙන් සිදු වන මරණ වැඩි හරියක් සිදු වන්නේ තරුණයන්ට හා වැඩිහිටියන්ටයි.” එක් පුවත්පතකට අනුව වැඩිහිටියන්ගෙන් වැඩිදෙනෙකු විෂ ශරීරගත වීමෙන් හදිසි අනතුරුවලට ලක් වන්නේ “ලේබලයක් නැති භාජනයකට එනම් ප්ලාස්ටික් වතුර බෝතලයක් වැනි දෙයකට යමෙකු විෂ සහිත දේවල් දමා තිබීම නිසයි.” (The Vancouver Sun) ඔවුන් යම් ද්‍රව්‍යයක් භාවිත කිරීමට පෙර විදුලි පහන දල්වා ලේබලය කියවා බැලුවා නම් තවත් එවැනි අවස්ථා වළක්වාගත හැකිව තිබුණා. එම පුවත්පතට අනුව “වැඩිහිටියන්ට සිදු වන අනතුරුවලින් වැඩියෙන්ම මරණයට හේතු වන කාරණා 10 අතුරින් විෂ ශරීරගත වීම හතරවන ස්ථානයට පැමිණ තිබෙනවා.”
රූපවාහිනිය පොඩිත්තන්ට හානිකරද?
“රූපවාහිනිය නරඹන කුඩා දරුවන් පාසැල් යන අවදිය වන විට යමකට අවධානය යොමු කිරීමේ ඌනතාවක් ඇතිවීමේ තත්වය දැන් ඉහළ යමින් තිබෙනවා” කියා මෙක්සිකෝ නගරයේ ද හෙරල්ඩ් පුවත්පත වාර්තා කළා. මෙම පුවත්පතෙහි වාර්තා වුණේ එක් වෛද්‍ය සඟරාවක පළ වූ සමීක්ෂණයක්. (Pediatrics) සමීක්ෂණය සඳහා ළමුන් 1,345දෙනෙක් යොදාගත්තා. අවුරුද්දේ ළමුන්ගේ කණ්ඩායමක් සහ අවුරුදු තුනේ ළමුන්ගේ කණ්ඩායමක් වශයෙන් ඔවුන්ව කණ්ඩායම් දෙකකට බෙදුවා. එම අධ්‍යයනයට අනුව, දරුවන්ට වයස අවුරුදු හත වන විට ඔවුන්ගේ අවධානය යොමු කිරීමේ ගැටලුව සියයට 10කින් වැඩි වී තිබුණා. එම වැඩිවීම සිදු වුණේ ඔවුන් දවසකට රූපවාහිනිය නැරඹූ සෑම පැයකටම අනුවයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ “රූපවාහිනි වැඩසටහන් වැඩි හරියකට ආවේණික අසාමාන්‍ය ලෙස වේගයෙන් මාරු වන රූප නිසා පොඩිත්තන්ගේ මොළයේ වර්ධනයට යම් බලපෑමක් ඇති කරන බවයි.” සමීක්ෂණය සිදු කළ ප්‍රධානියා වන වෛද්‍ය දිමිත්‍රි ක්‍රිස්ටාකිස් මෙසේ පැවසුවා. “දරුවන් රූපවාහිනිය නැරඹීම නුසුදුසු වීමට බොහෝ හේතු තිබෙනවා. ඒවගේම [රූපවාහිනිය නැරඹීම] පොඩිත්තන් තරබාරු වීමට සහ කලහාකාරී වීමට දායක වනවා කියා තවත් සමීක්ෂණවලින් පෙන්වනවා.”
හොඳම බෙහෙත සිනාවයි
“මොළයේ ප්‍රීති ප්‍රබෝධය ඇති කරන කොටසක් තිබෙනවා. කෙනෙක් උත්තේජක ඖෂධ ගන්නා විටත් ඔහුට ප්‍රීතියක් දැනෙන්නේ ඒනිසයි. සිනාසීමෙන්ද අපට එවැනිම ප්‍රීතියක් ලැබෙනවා කියා ස්ටැන්ෆඩ් සරසවියේ ස්නායු විශේෂඥයන් සොයාගත්තා. හාස්‍යජනක කාටුන් කියවන අයගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඔවුන් නිරීක්ෂණය කළ අතර ඔවුන් සොයාගත්තේ ඔවුන්ගේ හාස්‍ය හා සිනාව නිසා කෙනෙකු තුළ ප්‍රීතිය ඇති කිරීමට මොළය උත්තේජනය කරන බවයි. සිනාවීමෙන් මානසික පීඩනය අඩුවෙන බවත් සිත සන්සුන් වන බවත් වාර්තා වෙනවා. සිනාව නිසා අපගේ හෝමෝන ක්‍රියාකාරිත්වය, හෘද ස්පන්දන වේගය වර්ධනය වන අතර එය හොඳ රුධිර සංසරණයකටත් පේෂී ශක්තිමත් වීමටත් හේතු වෙනවා. “ඇත්තෙන්ම හොඳින් සිනාසීම හොඳ ව්‍යායාමයක් වගෙයි. නමුත් එයින් කැලරි දහනය වෙයි කියා නම් සිතිය නොහැකියි. හොඳට සිනාසෙන්න. හැබැයි කෙට්ටු වෙයි කියලා නම් හිතන්න එපා.”—UC Berkeley Wellness Letter.
බිම් බෝම්බ සොයාගන්න පැළයක්
“පුපුරන ද්‍රව්‍ය වළලා ඇති ස්ථානයක පැළ කළ විට, පත්‍ර රතු පැහැයට හැරෙන පැළයක් ගැන ඩෙන්මාර්කයේ ජෛව ඉන්ජිනේරු සමාගමක් විසින් සොයාගෙන තිබෙනවා” කියා ස්පාඤ්ඤ පුවත්පතක වාර්තා වෙයි. (El País) මෙම පැළය (Arabidopsis thaliana) “බිම් බෝම්බවලින් කාන්දු” වන නයිට්‍රජන් ඩයොක්සයිඩ්වලට නිරාවරණය වන විට එහි පත්‍රවල වර්ණය වෙනස් වෙනවා කියා එම පුවත්පතේ පැහැදිලි කරයි. එහි තවදුරටත් විස්තර කරන්නේ “එහි මුල් එම මූලද්‍රව්‍ය උරාගන්නා විට එහි සිදු වන ජෛව රසායනික ක්‍රියාවලිය නිසා ස්වාභාවික ශාක වර්ණකයක් වන ඇන්තොසයනින් නිෂ්පාදනය වන” බවයි. ජෛව තාක්ෂණ සමාගමක සභාපතිවරයෙකු වූ සයිමන් ඌස්ටර්ගෝර් පවසන්නේ “බිම් බෝම්බ තිබෙන ප්‍රදේශවල එම බීජ වපුරා සති පහක් ගත වූ පසු බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය කළ හැකි බවයි.” මෙම පැළය බෝ කිරීමෙන් සෑම වසරකම ජීවිත දහස් ගණනක් රැකගත හැකියි කියා ඌස්ටර්ගෝර් පවසයි. විසිවන සියවසේ සිදු වූ යුද්ධවලදී, රටවල් 75ක බිම් බෝම්බ මිලියන 100ක් පමණ වළලා තිබෙනවා.
තුරිතයන්ගේ පියැඹීමේ කුසලතා
තුරිතයන් (swifts) “අප්‍රියෙල් මාසයේ අග භාගයේදී අප්‍රිකාවේ සිට එංගලන්තය දක්වා සංක්‍රමණය කරනවා කියා එංගලන්තයේ පුවත්පතක සඳහන් වෙනවා. (The Sunday Telegraph) උන්ට “චන්ද්‍රිකා තොරතුරු සැපයෙන මධ්‍යස්ථානයක්වත්, ගුවන් පථ පාලකයන්වත්, ගුවන් නියමුවන්වත් නැති” වුණත් උන් රාත්‍රියේදී මීටර් 3,000ක ඉහළින් නොකඩවාම පියාසර කරනවා. නවීනතම ගුවන් යානයකට තිබෙන හැකියාවට වඩා උන්ට පියැඹීමේ කුසලතා තිබෙනවා. නියමිත මාර්ගයෙන් වෙනත් පැත්තකට ගසාගෙන යෑමෙන් වැළකීමට ඔවුන් තම ගමන සකස් කරගන්නේ සුළං හමන දිශාව අනුවයි. කලින් සිතා සිටියේ උන් භූමියේ තිබෙන සංඥාවන් අනුව පියාසර කරන බවයි. කුරුල්ලන් 225ක ගමන් මාර්ගය සටහන් කරගැනීමට රේඩාර් යන්ත්‍ර යොදාගත් ස්වීඩනයේ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය යූහාන් බෙක්මන් පවසන්නේ “පියාසර කිරීමේ තාක්ෂණය දියුණු කර තිබෙන සුපිරි ගුවන් යානාවලට පවා කුරුල්ලන්ට මෙන් සුළං හමන දිශාව අනුව පියාසර කිරීමේ හැකියාවක් නැහැ” කියායි. රාත්‍රියේ පියාසර කරද්දී කුරුල්ලන් තම මොළයෙන් අඩක් පමණයි ක්‍රියා කරවන්නේ කියා ඇතැම් සමීක්ෂණවලින් පෙන්වා තිබීම පුදුමය දනවන්නක්. ඒත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න තිබෙනවා කියා බ්‍රිතාන්‍යයේ කුරුල්ලන් සුරකින සංවිධානයක සාමාජිකයෙක් වන ග්‍රැහැම් මාජ් පවසයි. ඉන් එකක් නම්, “උන් පියාසර කරද්දී මොනවාද කන්නේ?”
හිරිකිත වැසිකිළි
ප්‍රංශයේ පාසැල් වැසිකිළි තිබෙන්නේ පහත් තත්වයකයි. ඒවාවල “බිම තෙතයි. වතුරත් ඉතා සීතලයි. සබන් නැහැ. දොරගුල් කැඩී” ඇති නිසා නිදහසකුත් නැහැ. තියෙන්නෙත් “කොට තාප්ප.” ඒනිසා පාසැල් දරුවන් වැසිකිළිවලට යෑමෙන් වැළකෙනවා කියා ප්‍රංශ පුවත්පතක වාර්තා වෙයි. (L’Express) සිසුන්ගේ දෙමාපියන් විසින් පිහිටුවා තිබෙන සංගමයක් මගින් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ “සිසුන්ගෙන් සියයට 48කට වඩා තම පාසැල්වල වැසිකිළිවලට නොයන බවයි.” මෙයින් දරුවන්ගේ සෞඛ්‍යයට හානි සිදු වෙනවා. එම අධ්‍යයනයට අනුව “ඔවුන්ගෙන් හතරෙන් එකකට බඩවැල්වල සහ මුත්‍රා මාර්ගයේ රෝග හටගෙන තිබෙනවා.” මෞත්‍රික රෝග චිකිත්සාව පිළිබඳ ළමා රෝග විශේෂඥ මිශෙල් අවෙරූ මෙසේ පවසයි. “දරුවන් දවසකට පස් හය වතාවක් වැසිකිළියට යා යුතුයි. අවශ්‍ය වන අවස්ථාවලදී මුත්‍රාශය හිස් කළේ නැත්නම් එහි ආසාදන ඇති වීමට ඉඩ කඩ තිබෙනවා.”