මෘදුකම දුර්වලකමක්ද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
මෘදුකම දුර්වලකමක්ද?
“ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය.”—2 තිමෝති 2:24.
සමේ සංවේදීතාව වර්ධනය වන්නේ අප ඉපදෙන්නත් පෙරය. මව් සෙනෙහස ලැබීමට අපි උපතේ සිටම ආශාවක් දක්වන්නෙමු. අප සිනාසීමට පෙලඹෙන්නෙත් අපට හොඳ කල්පනා ශක්තියක් ඇති වන්නෙත් අප අන් අය සමඟ හොඳින් කතා බහ කිරීමට වැඩි මනාපයක් දක්වන්නෙත් අප ළමා වියේදී මාපියන්ගෙන් ලබන සෙනෙහසේ ප්‍රමාණය අනුවයි.
කෙසේවුවත් අන්තිම දවස්වලදී ජනයා “දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය” වනු ඇතැයි කියා බයිබලයේ පුරෝකථනය කර තිබේ. මිනිසුන් “තමුන්ටම ප්‍රේම කරන” එමෙන්ම “දරුණු, යහපතට ප්‍රේම නොකරන” අය වන නිසා කරුණාවන්තකම සහ අනුකම්පාව වැනි මෘදු ගුණාංග බෙහෙවින් අඩු වී යනු ඇත.—2 තිමෝති 3:1-3.
අද දින බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන් දරුණු හා හිතක් පපුවක් නැති අයවලුන් විය යුතු බවයි. මෘදුකම දුර්වලකමේ ලක්ෂණයක් කියා ඔවුහු පවසති. එහෙත් එය එසේද?
මෘදු වුවත් බලවත්
යෙහෝවා දෙවිව ‘යුද්ධ දක්ෂයෙක්’ යනුවෙන් විස්තර කර ඇත. (නික්මයාම 15:3) සියලු බලයේ උල්පත ඔහුයි. (ගීතාවලිය 62:11; රෝම 1:20) යෙහෝවා බලවත් කෙනෙකු වුවත් ඇදහිලිවන්ත යෝබ්ට විපාක දීමේදී “ස්නේහයෙන් ඉතා මුදු මොළොක් වූ දයාවන්ත” කෙනෙකු නොවී නොසිටියේය. (යාකොබ් 5:11) යෙහෝවා ඊශ්‍රායෙල්වරු සමඟ කටයුතු කරද්දී තමාගේ හැඟීම් කිරි මවකගේ ස්නේහයට සමාන කළේය. “ඇගේම කුසේ උපන් පුත්‍රයා” කෙරෙහි අනුකම්පාවක් දක්වන්නාක් මෙන් ඔහු ඔවුන් සමඟ බොහෝ සෙයින් මෘදු ලෙස කටයුතු කළේය.—යෙසායා 49:15.
එලෙසම යේසුස් මෘදුකම ශක්තිමත්කම සමඟ සම්බන්ධ කළේය. ඔහු ඔහුගේ කාලයේ සිටි කුහක ආගමික නායකයන්ව තදින් හෙළාදැක්කේය. (මතෙව් 23:1-33) එමෙන්ම ඔහු ගිජු ලෙස මිල මාරුකරන්නන්ව දේවමාලිගාවෙන් එළවා දැම්මේය. (මතෙව් 21:12, 13) එහෙත් යේසුස් දූෂණය හා ගිජුකම කෙරෙහි දැක්වූ ද්වේෂය නිසා ඔහු රළු කෙනෙකු වූවාද? කිසිසේත් නැත! යේසුස් ප්‍රසිද්ධව සිටියේ අන්‍යයන් සමඟ මෘදු ලෙස කටයුතු කළ කෙනෙකු ලෙසටය. සැබවින්ම ඔහු තමාව “පැටවුන් රංචුව තම පියාපත් යටට එකතු කරගන්නා” කිකිළියකට පවා සමාන කරගත්තේය.—ලූක් 13:34.
රළු ස්වභාවයද නැතහොත් ඇතුළාන්ත ශක්තියද?
“දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන යේසුස්ව ආදර්ශයට ගන්න කියා සැබෑ ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබේ. (එෆීස 4:20-24) සර්පයෙකු හැව අරින්නාක් මෙන් සාමාන්‍යයෙන් කකුළුවෙකුද උගේ වැඩීම සඳහා පිටත කටුව ඉවත් කරයි. එලෙසම අපටද “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර” දමන්න කියා පවසා තිබේ. (කොලොස්සි 3:9) කෙසේවුවත් කකුළුවාගේ පරණ කටුව ඉවත් කළ පසු නැවත එන කටුව දැඩි වේ. එහෙත් අපිට අණ කර තිබෙන්නේ “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, . . . බොහෝ ඉවසිලිවන්තකමද” දිගටම පැළඳ සිටින්න කියායි. (කොලොස්සි 3:12) එසේනම් මෘදුකම අප තුළ තිබෙන කැපීපෙනෙන ගුණාංගයක් විය යුතුයි.
මෘදු ගුණාංග ඇතුව සිටීම දුර්වලකමේ ලක්ෂණයක් නොවේ. ඊට වෙනස්ව, අප “[යෙහෝවාගේ] ආත්මය මාර්ගයෙන් [අපේ] ඇතුළාන්ත මිනිසාව ශක්ති සම්පන්න” කරගැනීම අවශ්‍ය වේ. (එෆීස 3:16) නිදසුනකට ලී නම් තැනැත්තා මෙසේ කියයි. “ටික කලකට ඉස්සෙල්ලා මම මහා දුෂ්ටයෙක්. මාව දැක්කාමත් භය වෙනවා. ඒකට හේතුව මම ශරීරය විදගෙන එහි ආභරණ ඔබ්බවා තිබුණ හින්දයි. මම ගොඩක් මුදල් හම්බ කරන්න හිතාගෙන හිටියා. ඒ නිසා මට ඕන දේ ලබාගන්න මම අසභ්‍ය වචන පාවිච්චි කළා වගේම දරුණු දේවල්ද කළා. මා ළඟ අනුකම්පාව කියන එක ගෑවිලාවත් තිබුණේ නෑ.” කෙසේනමුත් තම රැකියා ස්ථානයේ සෙසු සේවකයෙකු සමඟ බයිබලය පාඩම් කිරීමට ලී පටන්ගත්තේය. ඉන්පසු යෙහෝවා දෙවිව දැනගන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ලීට හැකි විය. ඔහු පරණ පෞද්ගලිකත්වය අහක දමා ආත්ම දමනයෙන් ක්‍රියා කරන්න ඉගෙනගෙන ගත්තේය. දැන් ඔහු ජනයාට බයිබලය පාඩම් කිරීමට උපකාර කිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම තම කාලය වැය කරමින් ඔහුගේ ප්‍රේම පෙන්වයි.
එක් වකවානුවක ප්‍රේරිත පාවුල්ද “නින්දා කරන්නෙකුව” සිටියේය. තම අභිමතාර්ථයන් ඉටු කරගැනීමට ඔහු සැහැසික ලෙස කටයුතු කළේය. (1 තිමෝති 1:13; ක්‍රියා 9:1, 2) එහෙත්, යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් තමාට දැක්වූ දයාව සහ ප්‍රේමය අගය කිරීමට පාවුල් පටන්ගත් විට එම ගුණාංග අනුකරණය කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරුවේය. (1 කොරින්ති 11:1) පාවුල් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පිළිපැදීමේදී ස්ථිරව සිටියත් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී මෘදුවීමට ඉගෙනගත්තේය. සැබවින්ම, පාවුල් මැළි නොවී තම සහෝදරයන්ට මුදු මොළොක් සෙනෙහස පෙන්නුවේය.—ක්‍රියා 20:31, 36-38; ෆිලෙමොන් 12.
මෘදුවීමට ශක්තිය උපදවාගැනීම
ලීගේ සහ ප්‍රේරිත පාවුල්ගේ අද්දැකීම්වලින් පෙන්වන ආකාරයට, අන්‍යයන් සමඟ මෘදු ලෙස කටයුතු කිරීමට ඉගෙනගැනීම සඳහා කෙනෙකු තුළ දුර්වලකමේ ගතිලක්ෂණයක් තිබීම අවශ්‍ය නැත. ඇත්තවශයෙන්ම, සැබෑව වන්නේ එහි අනික් පැත්තය. කෙනෙකුගේ සිතුවිලි සහ ක්‍රියාවන් වෙනස් කිරීමට හා “නපුරට නපුර” කිරීමට තිබෙන පෙලඹීමට එරෙහි වීමට බලවත් ශක්තියක් වුවමනා කෙරේ.—රෝම 12:2, 17.
නිතිපතා දේවවචනය කියවීමෙන් සහ යෙහෝවා දෙවි මෙන්ම ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් දැනටමත් අප වෙනුවෙන් පෙන්වා ඇති ප්‍රේමය හා දයාව ගැන මෙනෙහි කිරීමෙන් මුදු මොළොක් දයාව පෙන්වීමට අපටත් ඉගෙනගත හැකියි. එසේ කිරීමෙන්, අපේ සිත් මොළොක් කිරීමට දේවවචනයේ බලයට අප ඉඩහරිනු ඇත. (2 ලේකම් 34:26, 27; හෙබ්‍රෙව් 4:12) අපේ පවුල් පසුබිම කුමක් වුවත්, අප ලබන අද්දැකීම් කෙතරම් කටුක වුවත් “සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු” කිරීමට ඉගෙනගැනීමට අපට හැකියි.—2 තිමෝති 2:24.
[22වන පිටුවේ පින්තූරය]
හොඳ පියෙකු තම දරුවන් සමඟ මෘදු ලෙස කටයුතු කරයි