“යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!”
“යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!”
උසස් පෙළ හැදෑරූ පසු බොහෝ යෞවනයන්ගේ අධිෂ්ඨානය වන්නේ අත මිට සරු කරගැනීම වුණත් ඩේවිඩ්ට තිබුණේ වෙන අධිෂ්ඨානයක්. වර්ෂ 2003 සැප්තැම්බර්වලදී ඔහු තවත් මිතුරෙකු සමඟ එක්සත් ජනපදයේ ඉලිනොයිවලින් ඩොමිනිකන් ජනරජයේ පදිංචියට ගියා. * මිතුරන් සහ පවුලේ අය ඔහුට ආදරේට කිව්වේ ඩේවි කියලයි. ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්නත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඩොමිනිකන්හි නාවාස් සභාවට හවුල් වී බයිබලය ඉගැන්වීමේ කාර්යයෙහි යෙදෙන්නත් ඔහු තීරණය කළා. එම සභාවට ගියහම ඔවුන් ඔහුව සාදරයෙන් පිළිගත්තා. “කියන ඕනෑම දෙයක් ඩේවි කැමැත්තෙන්ම කළා. ඔහු නිතරම එයාගේ කාලය මිඩංගු කළේ අනිත් අය වෙනුවෙන්. ඒවගේම සහෝදරයනුත් ඔහුට හුඟක් ආදරය කළා” කියා ඒ සභාවේ හිටි එකම වැඩිමහල්ලා වූ ච්වාන් පවසනවා.
ඩේවි තම අලුත් පැවරුම ඉටු කළේ ආශාවෙන්. “මං මෙහෙ ඉන්නේ හුඟක් සතුටෙන්. සේවයෙන් අපි ලොකු ප්‍රීතියක් ලබනවා. එක ගෙදරක අපිට මිනිත්තු 20ක් විතර කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අපි කොච්චර දේවල් කිව්වත් අහගෙන ඉන්න ඒ අය කැමතියි. දැනටමත් මට බයිබල් පාඩම් හයක් තියෙනවා. ඒත් අපිට තවත් උපකාර අවශ්‍යයි. රාජ්‍ය ප්‍රචාරකයන් 30ක් ඉන්න අපේ සභාවේ එක රැස්වීමකට 103දෙනෙක් ඇවිල්ලා හිටියා” කියා ඔහු එක්සත් ජනපදයේ සිටි ඔහුගේ මිතුරෙකුට ලියා යැව්වා.
වර්ෂ 2004 අප්‍රියෙල් 24වෙනිදා සිදු වූ රිය අනතුරකින් ඩේවි සහ ඔහුගේ සභාවේ තවත් තරුණයෙකු මිය යෑම කනගාටුදායක සිද්ධියක්. මිය යන තෙක්ම ඔහු උද්යෝගයෙන් තම සේවය කරගෙන ගිය අතර ඔහුගේ රටේ සිටින යෞවනයන්ටත් ඔහු සමඟ එක් වෙන්න කියා ඔවුන්ව දිරිගැන්වුවා. “මෙහේ ආවොත් ඔයා හිතන විදිහ වෙනස් වෙයි” කියා ඔහු එක් යෞවන සාක්ෂිකරුවෙකුට පැවසුවා.
සුඛෝපභෝගි දේවල් ගැන ඩේවි තම ආකල්පය වෙනස් කරගෙන තිබුණා. ඔහුගේ පියා ඒ ගැන පැවසුවේ මෙවන් දෙයක්. “ගෙදර ආපු වෙලාවක ඩේවිට අඬගැහැව්වා හිම මත ලිස්සා යන ක්‍රීඩාවට සහභාගි වෙන්න කියලා. එතකොට එයා ඇහැව්වා ඒකට කොච්චර විතර වියදමක් යයිද කියලා. ගාන කිව්වාම එයා කිව්වා එච්චර ගානක් නම් වියදම් කරන්න බැහැ. මොකද ඒ ගානට ඩොමිනිකන් ජනරජයේ මාස ගණනක් ජීවත් වෙන්න පුළුවන්.”
ඩේවිගේ උද්යෝගයෙන් අනිත් අය තුළත් පෙලඹීමක් ඇති වුණා. ඔහුගේ රටේ සිටි යෞවනියක් මෙහෙම කිව්වා. “ඩේවි කරන දේවල් සහ ඔහු තුළ තිබුණ සතුට මට දැනගන්න ලැබුණහම මටත් ඒවගේ කරන්න පුළුවන්නේ කියලා මට තේරුණා. ඩේවිගේ මරණය ගැන කල්පනා කරද්දී, මම මැරුණොත් මිනිස්සු මා ගැන මොනවා කතා කරයිද කියලා හිතන්න මං පෙලඹුණා. ඒවගේම මටත් අන් අයගේ ජීවිත තුළ හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙයිද කියලත් හිතුණා.”
ධර්මිෂ්ඨ නව ලොවට ඩේවිව දෙවි නැවත නැඟිටුවයි කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඩේවිගේ දෙමාපියන්ට සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට නොසැලෙන විශ්වාසයක් තිබෙනවා. (යොහන් 5:28, 29; එළිදරව් 21:1-4) ඩේවි තම මැවුම්කරුට සේවය කරන්න තම මුළු ජීවිතයම යෙදෙව්වා කියන හැඟීම තුළිනුත් ඔවුන් සහනයක් ලබනවා. (දේශනාකාරයා 12:1) අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට තමා ගත් තීරණය ගැන ඩේවි එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “හැම යෞවනයෙක්ම මේ වගේ කරනවා නම්, මම ලබන තෘප්තියම ඔවුනුත් ලබනවා නම් කොයි තරම් දෙයක්ද කියලා මම හිතනවා. අපේ උපරිමයෙන් යෙහෝවාට සේවය කරනවාට වඩා වටින වෙන කිසිවක් නැහැ. යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!”
[පාදසටහන]
^ 2 ඡේ. ඩේවිඩ් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු රාජ්‍ය ප්‍රකාශකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තිබෙන ප්‍රදේශයක පදිංචියට යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබෙනවා. දෙවිගේ වචනයෙහි ඇති සත්‍යය අනිත් අයට ඉගැන්වීම සඳහා වෙනත් භාෂාවක් ඉගෙනගන්නත් සමහරු කැමැත්තක් දක්වනවා. උදාහරණයකට ඩොමිනිකන් ජනරජයේ 400කට වඩා වැඩි ස්වේච්ඡා සේවක පිරිසක් දැන් සේවය කරනවා.