Skip to content

පටුනට යන්න

ලස්සන වීමට ගොස් සිදු වන හදියක්

ලස්සන වීමට ගොස් සිදු වන හදියක්

ලස්සන වීමට ගොස් සිදු වන හදියක්

සැබෑ ලස්සන මනින මිනුම් දණ්ඩ මොකක්ද? එක් එක් පුද්ගලයා ලස්සන දකින විදිහ වෙනස්. ඇත්තෙන්ම, ලස්සන තීරණය වී තිබෙන්නේ යථාර්ථයට අනුව නොව එකිනෙකාගේ අදහස් උදහස්වලට අනුවයි. ඊට අමතරව, පෙර කී ලෙස ලස්සන පිළිබඳ තිබෙන ආකල්පයත් සංස්කෘතියෙන් සංස්කෘතියට සහ කාලයෙන් කාලයට බොහෝ සෙයින් වෙනස් වෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ කොර්නෙල් සරසවියේ පෝෂණ විද්‍යාවන් සම්බන්ධ ආචාර්ය ජෙෆ්රි සෝබල් මෙවන් දෙයක් ප්‍රකාශ කළා. “දහනවවන සියවසේදී සෑම සමාජයක්ම පාහේ උසස් තත්වයක සිටින කෙනෙකුගේ ලක්ෂණයක් හැටියට තමයි පිරිපුන් දේහයක් සැලකුවේ. පිරිපුන් දේහයක් තිබෙන කෙනෙක් පොහොසත් සහ නිරෝගී කෙනෙකු ලෙසත් කෙසඟ කෙනෙකු ආහාර ගැනීමට නොහැකි දුප්පත් කෙනෙකු ලෙසත් සලකනු ලැබුවා.” එම කාලයේ සිටි බොහෝ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ තුළින්ද එම අදහස පිළිබිඹු වුණා. ඔවුන් අඳින ලද චිත්‍ර තුළ විශේෂයෙන්ම කාන්තා රූපවල කාන්තාවන්ට තිබුණේ මහත අත් පා සහිත පිරිපුන් දේහයක්. එවකට මනා රූපයක් තිබූ අය ලෙසට සැලකුව සැබෑ පුද්ගලයන්ව තමයි ඔවුන් චිත්‍රයට නඟා තිබුණේ.

ලස්සන කෙනෙක් වෙන්න නම් මහත හෝ සිහින් සිරුරක් තිබීමට වඩා වැඩි දෙයක් තිබීම ඇතුළත් වුණත් ඒ අදහස අද දිනත් දක්නට තිබෙනවා. දකුණු පැසිෆික් දූපත්වල සමහර සංස්කෘතීන් තුළ පිරිපුන් හෙවත් මහත ඉතා උසස් දෙයක් ලෙස සලකනවා. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල විවාහ වීමට සිටින මනාලියන්ට ආකර්ෂණීය පෙනුමක් ලබා දීමට මේද සහිත ආහාර බහුල වශයෙන් දෙනු ලබනවා. රාත්‍රි සමාජ ශාලාවක අයිතිකරුවෙක් මෙසේ පැවසුවා. “සාමාන්‍ය අප්‍රිකානු කාන්තාවක් මහතයි. . . . එය තමයි ඇගේ ලස්සන. අපේ සංස්කෘතියේ ලස්සන හැටියට සලකන්නේ මහත කාන්තාවන්වයි.” පිරිපුන් දේහයක් ස්පාඤ්ඤයේ සහ එහි යටත් විජිතයන් වූ රටවල් බොහොමයක සමෘද්ධියේ සහ සාර්ථකත්වයේ ලක්ෂණයක් ලෙස සලකනවා.

කෙසේවෙතත් වෙනත් රටවල් බොහොමයක පිරිපුන් දේහයක් ලස්සන හැටියට සලකන්නේ නැහැ. එයට හේතුව මොකක්ද? සමහරෙකු කියන්නේ රටවල් අතර සිදු කෙරෙන වෙළඳාම් පුළුල් වීම සහ කාර්මිකකරණය නිසා කලින් “දුප්පත් ” පංතියේ අයට කන්න බැරි වූ පොහොසත් අයට පමණක් කෑමට හැකි වූ ආහාර දැන් ඕනෑ තරම් තිබෙන අතර ඒවා පුළුල් ලෙස බෙදාහරින බවයි. එමනිසා, පිරිපුන් දේහයක් ඇති කෙනෙක් ලස්සනයි යන අදහස ටිකෙන් ටික අඩු වෙලා ගිහින්. අනෙක් අතට ස්ථූලතාව ඇති වන්නේ කෑදරකම හේතුවෙන් කියා ඇතැම් ආගම් මගින් විශ්වාස කරනවා. මෙය පිරිපුන් දේහයක් තිබීම ගැන හොඳ චිත්‍රයක් මවන්නේ නැහැ. ඒවගේම ස්ථූලතාව සෞඛ්‍යය ගැටලු ඇතිවීමට හේතු වන බව වැනි විද්‍යාත්මක සොයාගැනීම්ද ඔවුන්ගේ ආකල්ප වෙනස් වීමට බලපෑවා. මෙම හේතූන් සහ අනෙකුත් හේතූන් ලස්සන කුමක්ද කියා පිළිගත් දේ වෙනස් වීමට දායක වුණා. දැන් දශක ගණනාවක් පුරා සිහින් සිරුර තමයි නියම ලස්සන කියා ලෝකයේ බොහෝ ස්ථානවල පිළිගෙන තිබෙනවා.

මෙම අදහස ස්ථාපිත කිරීමට ජනමාධ්‍යද විශාල ලෙස උල්පන්දම් දෙනවා. රූපවාහිනියේ සහ දැන්වීම් පුවරුවල වෙළඳ දැන්වීම්වල පෙනී සිටින පුද්ගලයන්ට තිබෙන්නේ සිහින් සවිමත් සිරුරු. එම වෙළඳ දැන්වීම්වල සිටින පුද්ගලයන්ගේ පෙනුම නිසයි සුරක්ෂිතකමක් හා දියුණුවක් ලබාගෙන තිබෙන්නේ කියන හැඟීමක් අප තුළ ඇති කිරීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබෙනවා. චිත්‍රපටි හා රූපවාහිනි නළු නිළියන් තුළින්ද එම පණිවිඩයම ලබා දෙනවා.

මෙය යෞවනයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කොහොමද? මෑතකදී සිරුරේ පෙනුම පිළිබඳ පළ වූ ලිපියක මෙවන් දෙයක් සඳහන් වුණා. “අමෙරිකාවේ සාමාන්‍යයෙන් ශිෂ්‍යාවක් පාසැල් අධ්‍යාපනය නිම කරන අවස්ථාව පැමිණෙන විට, ඇය රූපවාහිනිය නැරඹීමට පැය 22,000කට වඩා වැය කර තිබෙන බව ගණනය කර තිබේ.” එම කාලයේදී “මනා රූ සපුවක් ඇති” නෙත් සිත් වශී කරන සුන්දර ලලනාවන්ගේ රූ දසුන් ගණනාවක් නරඹනවා. එම ලිපියෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “මෙම රූ දසුන් නිතර නිතර දැකීමෙන් තත්වය, සතුට, ආදරය සහ සාර්ථකත්වය වැනි දේවල් ලැබෙන්නේ මෙවැනි රූ සපුවක් තිබීමෙන් පමණක් කියලා කාන්තාවන් සිතනවා.” සඟරාවක නිරූපිකාවන්ගේ පින්තූර දෙස බැලීමෙන් පසු ගැහැනු ළමයින්ගෙන් සියයට 47දෙනෙකු තමන්ගේ බර අඩු කරගැනීම අවශ්‍යයි කියන හැඟීම ඇති කරගත් බව සමීක්ෂණයකින් හෙළි වුණා. ඇත්තටම නියමිත බරට වඩා බර වැඩි වී සිටියේ සියයට 29ක් පමණයි.

ලස්සන පිළිබඳව මිනිසුන්ට තිබෙන අදහස්වලට විලාසිතා කර්මාන්තද විශාල බලපෑමක් කරනවා. මෙක්සිකෝ නගරයේ සේවය කරන වෙනිසුවෙලා රටේ නිරූපිකාවක් වන ජෙනිෆර් මෙසේ පැවසුවා. “නිරූපිකාවකගේ රාජකාරිය ලස්සනට ඉන්න එක. අද ලස්සන කියන්නේ සිහින් සිරුරක් තියෙන එක.” වනෙසා නමැති ප්‍රංශ නිරූපිකාව මෙවන් දෙයක් කියනවා. “නිරූපිකාවක් ඇඟ සිහින් කරගන්න ඕනේ යන හැඟීම පිට අයගේ බලපෑමක් නිසා සිදු වන දෙයක් කියලම කියන්න බැහැ. නිරූපිකාවක් තමයි සිතන්නේ සිහින් සිරුරක් තිබිය යුතුයි කියලා. ඒක තමයි ලෝකේ පුරාම තියෙන නවීන විලාසිතාව.” තරුණ ගැහැනු ළමයි පිළිබඳව කළ සමීක්ෂණයකදී සියයට 69ක් කියා සිටියේ සඟරාවල පෙනී සිටින නිරූපිකාවන් ලස්සන රූ සපුවක් පිළිබඳ තමන් දරන අදහසට විශාල බලපෑමක් කරන බවයි.

“ලස්සන රූපයක්” ලබාගැනීමේ බලපෑමට හසු වෙලා තියෙන්නේ කාන්තාවන් පමණක්ම නෙමෙයි. එක් මෙක්සිකානු පුවත්පතක මෙසේ සඳහන් වුණා. (El Universal) “වෙන කවරදාකටත් වඩා පුරුෂයන්ගේ රූපය හැඩගන්වන නිෂ්පාදනයන් වෙළඳ පොළේ දක්නට තිබෙනවා.”

“නියම රූපයට” නියම ප්‍රතිඵල ලැබෙයිද?

“නියම රූපය” හෝ හොඳ පෙනුමක් ලබාගැනීම සඳහා බොහෝදෙනෙක් රුව වඩවන සැත්කම්වල පිහිට පතනවා. මෙම ප්‍රතිකර්ම දැන් විවිධ ක්‍රමවලින් අඩු වියදමකට කරගැනීමට හැකියාවක් තිබෙනවා. රුව වඩවන සැත්කම් හෝ ප්ලාස්ටික් සැත්කම් ක්‍රමය ආරම්භ වුණේ කොහොමද?

එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා නම් විශ්වකෝෂයට අනුව ප්ලාස්ටික් සැත්කම් ආරම්භ වී තිබෙන්නේ පළමු ලෝක මහ යුද්ධයට පසුවයි. ඒ සැත්කම් කළේ යුද්ධයෙන් සිදු වූ තුවාල නිසා ඇති වූ විරූපි වීම් සකස් කරගැනීම සඳහායි. පිළිස්සුම්, දරුණු තුවාල, ජන්ම විකලාංග වැනි දේ නිසා ඇති වන දරුණු ශාරීරික ආබාධ සකසාගැනීමට මෙම සැත්කම ප්‍රයෝජනවත් බව එදා පටන් පෙනී ගියා. බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් කරන ලෙස ප්ලාස්ටික් සැත්කම් බොහෝවිට “සිදු කරන්නේ නිරෝගී පුද්ගලයන්ගේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහායි.” උදාහරණ පෙන්වනවා නම්, දැන් නාසය නැවත සකස් කළ හැකියි. මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ එල්ලා වැටෙන සම ඉවත් කළ හැකියි. කනේ ප්‍රමාණය කුඩා කළ හැකියි. උදරයේ සහ උකුළ ප්‍රදේශයේ තිබෙන මේද තට්ටු ඉවත් කළ හැකියි. ශරීරයේ සමහර කොටස් ලොකු කළ හැකියි. ඒවගේම නාභියට “ආකර්ෂණීය” පෙනුමක්ද ලබා දිය හැකියි.

කෙසේවෙතත් නිරෝගි පුද්ගලයෙක් පෙනුම වැඩි කරගැනීමට ගොස් තම ජීවිතය අනතුරේ හෙළාගන්නේ මන්ද? ඔවුන් මුහුණ දෙන්නේ කුමනාකාරයේ අන්තරාවන්ටද? මෙක්සිකෝවේ රුව වඩවන සහ විකලාංග සැත්කම් සිදු කරන සංගමයක ලේකම් ලෙස කටයුතු කරන ආන්කෙල් පාපාඩොපුලස් කියන්නේ, නිසි පුහුණුව නොලත් අය විසින් මෙම සැත්කම් කිරීමෙන් විශාල හානියක් සිදු විය හැකි බවයි. සමහර සායනවල රෝගීන්ට ඔවුන්ගේ සිරුරට මනා හැඩයක් ලබා දීම සඳහා අනතුරුදායක බෙහෙත් ලබා දෙනවා. වර්ෂ 2003 ආරම්භයේදී කැනරි දූපත්වල මහත් ආන්දෝලනයක් හටගත්තා. ඒ බාල තත්වයෙන් පවත්වාගෙන යන රූපලාවණ්‍යාගාර නිසා එහි සිටි කාන්තාවන් බොහෝදෙනෙකු අනාරක්ෂිත සැත්කම්වලට භාජනය වීමෙන් නොයෙකුත් විපත්වලට මුහුණ දීමට සිදුවීමයි. *

“පිරිපුන් දේහයක්” ලබාගැනීමේ වෑයමට පුරුෂයන් පවා හසු වෙන්න පුළුවන්. සමහරුන් තමන්ගේ ශරීරය හැඩ කරගැනීමට සහ සවිමත් කරගැනීමට ශරීර සුවතා මධ්‍යස්ථානවල පැය ගණනක් ගත කරනවා. සමහරවිට තමන්ගේ මුළු විවේක කාලයම එයට කැප කරනවා. මෙයින් සිදු වන අවසන් ප්‍රතිඵලය ගැන එක් සඟරාවක (Milenio) මෙවන් දෙයක් සඳහන් කර තිබුණා. “ව්‍යායාම් කිරීමට අනවශ්‍ය ලෙස කරදර වීම නිසා ඔවුන්ට අන් අය සමඟ තිබෙන බැඳීම් ශක්තිමත් කරගැනීමට සහ එකට එක් වී කරන දේවල් සඳහා කාලයක් නැතිව යනවා.” මාංස පේශීන් සහිත සවිමත් සිරුරක් ලබාගැනීමට තිබෙන දැඩි ආශාව නිසා ශරීරයට හානි කරන ස්ටිරොයිඩ ඇතුළු නොයෙක් ඖෂධ ලබාගැනීමට පවා බොහෝදෙනෙකු පෙලඹෙනවා.

පෙනුම ගැන අනවශ්‍ය ලෙස කරදර වීම නිසා සමහර තරුණියන් අක්‍රමවත් ලෙස ආහාර ගැනීමේ පුරුදු ඇති බුලිමියා සහ ඇනරෙක්සියා වැනි රෝගවලට ගොදුරු වී තිබෙනවා. සමහරුන් කෙටි කාලයකින් විස්මිත ප්‍රතිඵල ලැබෙන බවට පොරොන්දු කරන ශරීරය කෙට්ටු කරන ඖෂධ පවා පාවිච්චි කරනවා. සමහරවිට මෙම ඖෂධ, පිළිගත් සෞඛ්‍ය ආයතනවලින් නිපදවන ඖෂධ නෙමෙයි. එවැනි ඖෂධ භාවිතය නිසා නොයෙකුත් අනතුරු සිදු විය හැකියි.

පෙනුම ගැන අනවශ්‍ය ලෙස කරදර වීමෙන් ඇති වන්නේ ශාරීරික අනතුරු පමණක් නොවෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කැත්රින් ෆිලිප්ස් කියන්නේ පුද්ගලයන් අනවශ්‍ය ලෙස පෙනුම ගැන සැලකිලිමත් වීමට යෑම මානසික රෝගයක් (body dysmorphic disorder) විය හැකි බවයි. මෙම රෝගයෙන් පෙළෙන්නන් තමන්ගේ පෙනුමේ යම් දෝෂයක් තිබෙනවා කියා සිතෙන් මවාගෙන ඒ ගැන ලත වෙනවා. මෙම තත්වය පුද්ගලයන් 50කින් 1 අයෙකුට තිබිය හැකියි. එම රෝගයෙන් පීඩා විඳින අය “තමන් අවලස්සනයි කියා සිතන නිසා ඔවුන් මිතුරන්ගෙන් හා තමන් ආදරය කරන අයගෙන් වෙන් වී සිටිනවා. ඔවුන් මානසික අවපීඩනයට පත් වී සිය දිවි නසා ගැනීමට පවා පෙලඹීමට ඉඩ තිබෙනවා” කියා ඇය පවසනවා. ෆිලිප්ස් මේ සම්බන්ධයෙන් උදාහරණයක් පෙන්වුවා. එනම් මුහුණේ කුරුලෑ ස්වල්පයක් තිබූ ලස්සන දැරියක් තමන්ගේ මුළු මුහුණම කැලැල්වලින් පිරී තිබෙනවා කියා සිතාගත්තා. මිනිසුන් තමාව දකිනවාට අකමැති වූ ඇය අටවන ශ්‍රේණියේදී පාසැල් යෑම නවතා දැමුවා.

“නියම රූපය” අත් කරගැනීමට තමන්-ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය පරිත්‍යාග කිරීමට තරම් කෙනෙකුගේ පෙනුම වැදගත්ද? යම් පුද්ගලයෙකු විසින් අත් කරගත යුතු ඊට වඩා වැදගත් අලංකාරයක් තිබෙනවාද?

[පාදසටහන]

^ 13 ඡේ. ක්‍රිස්තියානීන් රුව වඩවන සැත්කමක් කරගන්නවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. නමුත් සලකා බැලීමට වැදගත් කාරණා තිබෙනවා. මේ ගැන වැඩිදුර සලකා බැලීමට 2002 සැප්තැම්බර් 8 පිබිදෙව්! 28-30 දක්වා පිටු බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ගැහැනු ළමයින්ගෙන් සියයට 69ක් කියා සිටියේ ලස්සන රූ සපුවක් පිළිබඳ තමන් දරන අදහසට සඟරාවල පෙනී සිටින නිරූපිකාවන් විශාල බලපෑමක් කරන බවයි

[4වන පිටුවේ පින්තූරය]

ශාරීරික පෙනුම ගැන තිබෙන අදහස් උදහස්වලට වෙළඳ දැන්වීම් විශාල බලපෑමක් කරයි

[6වන පිටුවේ පින්තූරය]

අනවශ්‍ය ලෙස රුව වඩවන සැත්කම් කරගැනීමට ගොස් සමහරෙකු විරූපි වී තිබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

සමහරුන් තමන් ආස කරන පෙනුම ලබාගැනීමට අපමණ වෙහෙසක් දරනවා