Skip to content

පටුනට යන්න

වඩා වටින්නේ කුමන අලංකාරයද?

වඩා වටින්නේ කුමන අලංකාරයද?

වඩා වටින්නේ කුමන අලංකාරයද?

මනුෂ්‍යයන්ගේ සිත ඇදී යන්නේ ලස්සනයි කියා ඔවුන්ට පෙනෙන අය වෙතටයි. නමුත් ඇත්තටම ඔබ ලස්සන වීමට හේතු වන්නේ කුමක්ද? ඔබ උපතින් උරුම කරගත් ලස්සන හානියක් අද්දකින්නේ නැතුව වෙනස් කිරීමට ඔබට කළ හැකි දේ සීමිතයි. ඊට අමතරව, බාහිර අලංකාරය තිබෙන්නේ ටික කාලයකට විතරයි. කාටවත් බැහැ වයසට යෑම නිසාත් අසනීප නිසාත් ඇති වන තත්වයන්ගෙන් ගැලවෙන්න. එසේ නම්, වඩා වටිනාකමක් තිබෙන, සදහටම පවතින සහ අත් කරගත හැකි අලංකාරයක් තිබෙනවාද?

ඇතුළාන්ත අලංකාරයේ ඇති වැදගත්කම

මැවුම්කරු වන යෙහෝවා දෙවි ඇතුළත අලංකාරයට වැඩි තැනක් දෙන බව බයිබලය අපට පෙන්වනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

යෙස්සේගේ පුත්‍රයන්ගෙන් ඊශ්‍රායෙලය පාලනය කිරීමට රජ කෙනෙකු තෝරා පත් කරන්න කියා යෙහෝවා දෙවි අනාගතවක්තෘ සාමුවෙල්ට කියූ විට අනාගතවක්තෘවරයාගේ සිත ඇදී ගියේ කඩවසම් පෙනුමක් තිබූ එලියාබ් වෙතටයි. “සැබවින් යෙහෝවාගේ ආලේප ලත් තැනැත්තේ ඔහු ඉදිරියෙහි සිටියි” යනුවෙන් සාමුවෙල් පැවසුවා. නමුත් යෙහෝවා සාමුවෙල්ට පැවසුවේ ‘ඔහුගේ මුහුණවත් ශරීරයේ උස මහතවත් නොබලන්න. මක්නිසාද මම ඔහු එපා කළා. මනුෂ්‍යයා බලන්නාක් මෙන් දෙවි බලන්නේ නැහැ. මනුෂ්‍යයා පිටතින් පෙනෙන දේ බලයි. එහෙත් යෙහෝවා හෘදය බලයි’ කියායි.—1 සාමුවෙල් 16:6, 7.

රජ ලෙස තෝරා පත් කරගත්තේ බාල පුත් දාවිත්වයි. “කඩවසම් පෙනුමක්ද, දීප්තිමත් නෙත් යුවළක්ද” [නව අනුවාදය] ඇති කෙනෙකු ලෙස හැඳින්වුවත් දාවිත්ට ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ට මෙන් කැපීපෙනෙන පෙනුමක් නොතිබෙන්න ඇති. නමුත් ‘යෙහෝවාගේ ආත්මය එදා පටන් බලවත් ලෙස දාවිත් කෙරෙහි පැමිණියා.’ ඔහු අසම්පූර්ණ කෙනෙකු වුවත් දරුණු පාප සිදු කළත්, යහපත් අවංක හදවතක් තිබූ ඔහු ඔහුගේ ජීවිතයේ අවසානය දක්වා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් ලෙස සිටියා කියා කොයි කවුරුත් දන්නවා. (1 සාමුවෙල් 16:12, 13) යෙහෝවාගේ සිත ඔහු කෙරෙහි ඇදී ගියේ ඔහුගේ ඇතුළාන්ත අලංකාරය නිසයි කියන එක ගැන නම් කිසි සැකයක් නැහැ.

ඊට වෙනස් චරිතයක් වූ දාවිත්ගේ පුත් අබ්සලොම් ගැන සලකා බලන්න. ඔහුට ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් තිබුණත් ඔහු යහපත් පුද්ගලයෙකු ලෙසට සැලකිය නොහැකියි. ඔහු ගැන බයිබලයේ පවසන්නේ මෙවන් දෙයක්. ‘අබ්සලොම් මෙන් රූප ලක්ෂණය ගැන මුළු ඊශ්‍රායෙල්හි ප්‍රශංසා ලැබීමට සුදුසු කෙනෙක් සිටියේ නැහැ. ඔහුගේ පතුල සිට හිස් මුදුන දක්වා කිසි කැළලක් තිබුණේ නැහැ.’ (2 සාමුවෙල් 14:25) කෙසේවෙතත් අබ්සලොම්ගේ වැරදි චේතනාව ඔහුගේම පියාට එරෙහිව කැරලිගැසීමට සහ රජකම පැහැරගැනීමට ඔහුව පෙලඹුවා. ඒවගේම ඔහු පියාගේ උප භාර්යාවන් දූෂණය කළා. මේ නිසා අබ්සලොම් දෙවිගේ කෝපයට පාත්‍ර වූ අතර වේදනාකාරී මරණයක් අද්දැක්කා.—2 සාමුවෙල් 15:10-14; 16:13-22; 17:14; 18:9, 15.

අබ්සලොම් කෙරෙහි ඔබේ සිත ඇදී යනවාද? නැහැ. ඒකට හේතුව ඔහුගේ ක්‍රියාකලාපය පිළිකුල්සහගත එකක් වුණ නිසයි. ඔහුගේ කැපීපෙනෙන ශාරීරික පෙනුම නිසා ඔහුගේ අහංකාර සහ ද්‍රෝහී ක්‍රියාවන් ගණන් නොගෙන සිටීමට හැකි වුණේ නැහැ. ඒවගේම අත් වූ විනාශයෙන් ගැලවීමට ශාරීරික පෙනුම උපකාරවත් වුණෙත් නැහැ. බයිබලයේ ඥානවන්ත මෙන්ම සිත් ඇදී යන පුද්ගලයන් ගැන සඳහන් කර තිබෙනවා. නමුත් ඒ අයගේ පෙනුම ගැන සඳහන් කර නැහැ. මෙයින් පැහැදිලි වන්නේ ඇතුළත අලංකාරය වඩා වැදගත් බවයි.

සිත ඇදී යන්නේ ඇතුළාන්ත අලංකාරයටයි

ඇතුළාන්ත අලංකාරයට අන් අයගේ සිත ඇදී යනවාද? අවුරුදු දහයක් පුරා යුග දිවියක් ගත කරන ජීයෝජිනාගේ අද්දැකීම සලකා බලන්න. “මේ ගෙවුණු කාලය පුරා මගේ මහත්තයා ගැන හොඳ පැහැදීමක් ඇති වුණේ ඔහුගේ අවංකකම නිසයි. ඔහුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම දේ දෙවිව සතුටු කිරීම. සැලකිලිමත් සහ ප්‍රේමණීය ස්වාමිපුරුෂයෙක් වෙන්න එය ඔහුට උපකාරයක් වුණා. ඔහු තීරණ ගනිද්දී මා ගැන සැලකිලිමත් වෙනවා. මාව අගය කරන බව දැනෙන්න සලස්වනවා. මම දන්නවා ඔහු මට ඇත්තටම ආදරෙයි කියලා.”

වර්ෂ 1987දී විවාහ වුණ ඩැනියෙල් මෙසේ පවසනවා. “මගේ භාර්යාව මට ලස්සනයි. මගේ සිත ඇදී ගියේ ඇගේ පෙනුමට විතරක් නෙමෙයි. ඇගේ පෞද්ගලිකත්වයට මම හුඟාක් කැමතියි. ඇය හැම තිස්සේම අනෙක් අය ගැන සිතනවා. ඔවුන්ව සතුටු කරන්න යමක් කරනවා. ඇයට හොඳ ක්‍රිස්තියානි ගුණාංගත් තිබෙනවා. ඒ දේවල් නිසා තමයි ඇය සමඟ සිටීමට මා තුළ ආශාවක් ඇති වෙන්නේ.”

මෙම සර්ව පිත්තල ලෝකයේ, දේවල් දෙස මතුපිටින් නොබලා ගැඹුරින් බැලිය යුතුයි. හැමෝම “ලස්සනයි කියා කියන රූපය” අත් කරගැනීම අමාරු කාර්යයක්. එය අත් කරගැනීමට පුළුවන් වුණත් තිබෙන්නේ සීමිත වටිනාකමක්. නමුත් ඇතුළත අලංකාර කරන හොඳ ගුණාංග අත් කරගත හැකියි. බයිබලයෙහි මෙසේ සඳහන් වෙනවා. ‘රූපශ්‍රීය රැවටිලි සහිතයි. රුව නිෂ්ඵලයි. එහෙත් යෙහෝවාට භය ඇති ස්ත්‍රියක් ප්‍රශංසා ලබයි.’ ඊට වෙනස්ව ලියවිලිවල මෙසේද අනතුරු අඟවා තිබෙනවා. ‘ඌරෙකුගේ හොස්සේ රන් ආභරණයක් යම් සේද දැනගැන්ම නැති රුව ඇති ස්ත්‍රියද එලෙසයි.’—හිතෝපදේශ 11:22; 31:30.

“දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටිනා, තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති දිරා නොයන වස්ත්‍රය පැළඳ සිටින සිතේ අභ්‍යන්තර පුද්ගලයා ඔබේ අලංකාරය විය යුතුය.” එම අභ්‍යන්තර අලංකාරය වටිනා යමක් සේ අගය කරන්නට දේවවචනය අපට උපකාර කරනවා. (1 පේතෘස් 3:4) ඇත්තෙන්ම එවන් ඇතුළාන්ත අලංකාරයක් බාහිර අලංකාරයට වඩා බොහෝ සෙයින් වටිනවා. එම අලංකාරය අප සෑම කෙනෙකුටම අත් කරගත හැකියි.

[8, 9වන පිටුවේ පින්තූර]

ශාරීරික ප්‍රතිකර්මවලට වඩා යහපත් ගුණාංගවලට හැකියි ඔබව ලස්සන කරන්න