හඬා වැලපෙන අපේ මිහිකත
හඬා වැලපෙන අපේ මිහිකත
වර්ෂ 1805දී සුප්‍රසිද්ධ දේශ ගවේෂකයන් දෙදෙනෙකු වන මෙරිවෙදර් ලුවිස් සහ විලියම් ක්ලාර්ක් උතුරු අමෙරිකාවේ වොෂිංටන් ජනපදයේ කොලොම්බියා නම් ගංගාව වෙත සේන්දු වූහ. * එම ගංගාවට වඩා ඔවුන්ගේ සිත ඇදී ගියේ එහි රංචු පිටින් සිටි සැමන් මත්ස්‍යයන් වෙතයි. “එහි සිටින මත්ස්‍යයන්ගේ සංඛ්‍යාව ගණන් කිරීමට නොහැකි තරම් විශාලය. ගංගාව දිගේ උන් කෙතරම් සංඛ්‍යාවක් ඇදී එනවාද කියනවා නම් උන්ගෙන් බොහොමයක් ගං ඉවුර දෙපසට ගසාගෙන ගොස් එහි රැඳෙයි. එවිට ඉන්දියානුවන්ට තිබෙන්නේ ගං ඉවුරට ගොස් උන්ව එකතු කරගන්න විතරයි. ඉන්පසු උන්ව ගොඩවල්වලට වෙන් කර ලී මැසි මත වියළෙන්න හරියි” කියා ඔවුහු තම අත් පොතේ සටහන් කළහ. සැමන් මත්ස්‍යයන් මොන තරම් බහුලව සිටියාදයත් දර ලෙස භාවිත කිරීමටද ඉන්දියානුවෝ උන්ව වියළා ගත්හ.
අද දින එහි තත්වය සම්බන්ධයෙන් ඇසීමට තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා පුවතකි. “මත්ස්‍යයන් බෝ වෙන වේගයට වඩා උන්ව පරිභෝජනයට ගැනෙන ප්‍රමාණය වැඩි බව දශකයකට වැඩි කාලයක සිට විද්‍යාඥයන්ට අවබෝධ වී ඇති” බව නියූස්වීක් වාර්තා කරයි. උදාහරණයකට, උතුරු අත්ලාන්තික් සාගරයෙහි නිදැල්ලේ සැරිසරන සැමන් මත්ස්‍යයන්ගෙන් සියයට 90ක්ම වඳ වී ඇති බවට ගණනය කර තිබේ.
එහෙත් අඩු වී තිබෙන්නේ මත්ස්‍යයන් පමණක් නොවේ. ගල් අඟුරු, බොර තෙල්, ඛණිජ ද්‍රව්‍ය, වනය තුළින් නෙළාගන්නා නිෂ්පාදන යනාදී ස්වාභාවික සම්පත් පුදුම දනවන ආකාරයකින් පරිභෝජනයට ගැනේ. ඇත්තවශයෙන්ම, ලෝක වන සත්ව අරමුදල නමැති සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ 1970 සිට 1995 අතරතුර කාලයේදී ස්වාභාවික සම්පත් සියයට 30ක් මිහිතලයට අහිමි වී ඇති බවය. පොළොවේ සම්පත් නෙළාගැනීම එක අතකින් ප්‍රයෝජනයක් වෙද්දී අනික් අතින් හානිදායක වී ඇත. එයට හේතුව සම්පත් නෙළාගැනීම සඳහා යොදාගන්නාවූ ක්‍රමවලින් ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිවීමය.
මිනිසාම ඇති කළ මෙම ප්‍රශ්නවලට මිනිසාටම විසඳුමක් දිය හැකියි කියා සමහරු හේතු දක්වති. එක උදාහරණයක් සඳහන් කරනවා නම්, මෑත වසරවලදී කාර්මික නගර බොහොමයක වායු දූෂණය අඩු වී තිබේ. මෙවන් ප්‍රයත්නවලින් යම් ප්‍රතිඵල ලැබී තිබුණත්, මිනිසා මෙම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරමින් සිටින බවක් ඉන් අදහස් කරයිද?
[පාදසටහන]
^ 2 ඡේ. ලුවිස් සහ ක්ලාර්ක්ව යවන ලද්දේ, රජය විසින් අලුත මිල දී ගත් මිසිසිපි ගඟට බටහිරෙන් පිහිටි ප්‍රදේශය ගවේෂණය කිරීමට සහ එහි සිතියමක් ඇඳීමටයි.
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Kevin Schafer/CORBIS