හීන වෙමින් පවතින ස්වාභාවික සම්පත්
හීන වෙමින් පවතින ස්වාභාවික සම්පත්
“සොබාදහමේ තිබෙන හැම දෙයක්ම එකිනෙකට බැඳී පවතිනවා. අපිට දැන් අපි කළ මෝඩකම්වලට වන්දි ගෙවන්න සිද්ධ වෙලා.”—ඇෆ්රිකන් වයිල්ඩ්ලයිෆ් සඟරාව.
ලෝක වන සත්ව අරමුදල නමැති සංවිධානයට අනුව, 1980 ගණන්වල සිට මිනිසුන් ස්වාභාවික සම්පත් සංවර්ධනය කරනවාට වඩා වැඩියෙන් ඒවා පරිභෝජනය කර තිබේ. * මෙය අපේ පරිසරයට අහිතකරව බලපායි. එනමුත් පරිසරයට බලපාන තව බොහෝ හේතු සාධක තිබේ.
තවත් හේතු සාධකයක් වන්නේ මිහිතලයේ පරිසර පද්ධතිවල පවතින තත්වයයි. “පරිසර පද්ධතිය” යනු ජීව අජීව යන සියලුම දේවල් අතර පවතින සංකීර්ණ අන්‍යෝන්‍ය සබඳතාව දැක්වීමට භාවිත කරන යෙදුමකි. මෙම පරිසර පද්ධතිවල තත්වය පිළිබඳව ලෝක වන සත්ව අරමුදල නමැති සංවිධානය විමසිල්ලෙන් සිටී. ඔවුහු විශේෂයෙන්ම වනාන්තර, ගංගා ඇළ දොළ හා මුහුදුවල වෙසෙන ජීවීන්ව නිරීක්ෂණය කරති. ප්‍රතිඵලයක් හැටියට දැනගන්න ලැබුණේ 1970 සිට 2000 අතර කාලයේදී පක්ෂීන්, ක්ෂීරපායි සත්වයන් මෙන්ම උරගයන්ගේ සංඛ්‍යාව සියයට 37කින් පමණ පහත වැටී ඇති බවය.
සැමට ස්වාභාවික සම්පත් තිබේද?
ඕනෑම වේලාවක තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට හැකි වෙළඳ සැල් තිබෙන බටහිර රටක ඔබ වෙසෙන්නේ නම් ස්වාභාවික සම්පත්වල විශාල හිඟයක් ඇතැයි සිතීම උගහටය. කෙසේවෙතත්, සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන්නේ ලොව පුරා සිටින්නන්ගෙන් සුළුතරයක් පමණි. බොහෝදෙනෙක් තම බඩවියත රැකගැනීම සඳහා දෛනික අරගලයක යෙදී සිටිති. උදාහරණයක් වශයෙන් ගණන් ගෙන තිබෙන ආකාරයට, බිලියන දෙකකට වඩා ජනතාවකගේ දෛනික ආදායම ඩොලර් තුනක් හෝ ඊටත් වඩා අඩු ගණනකි. එමෙන්ම විදුලි බලය ලබාගැනීමට බිලියන දෙකකට වත්කමක් නැති බවද ගණනය කර තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල දිලිඳුකමට හේතුව වශයෙන් ඇතැම් අය දොස් පවරන්නේ ධනවත් රටවල අනුගමනය කරන වෙළඳ ප්‍රතිපත්තියටය. ‘ලෝක ආර්ථිකය නොයෙක් ආකාරයෙන් දිලිඳුන්ගේ අවශ්‍යතාවන්ට එරෙහි වී තිබෙනවා’ යයි එක් ප්‍රකාශනයක් පවසයි. (Vital Signs 2003) ස්වාභාවික සම්පත් එන්න එන්නම හිඟ වෙමින් පවතින නිසා ඒවාවල වටිනාකම ඉහළ ගොස් ඇත. එමනිසා ආර්ථික අතින් අගහිඟකම් ඇති අයට තමන්ට ලැබිය යුතු දේ ලබාගැනීමට පවා හැකියාවක් නැත. මේ හේතුවෙන් සල්ලිබාගේ තිබෙන අයට ස්වාභාවික සම්පත් බහුල ලෙස භුක්ති විඳින්න ප්‍රස්තාව ලැබී තිබේ.
වැනසී යන වනපෙත්
අප්‍රිකාවේ වෙසෙන්නන්ගෙන් සියයට 80ක්ම ඉවුම් පිහුම් සඳහා භාවිත කරන්නේ දර බවට ගණන් බලා ඇත. මීට අමතරව, “ජනගහන වර්ධන වේගය [හා] නගරබද ජනගහන වර්ධන වේගය වැඩියෙන්ම ඇත්තේ අප්‍රිකාවෙයි” කියා දකුණු අප්‍රිකාවේ සඟරාවක සඳහන් වෙයි. (Getaway) මේ හේතුවෙන් සහරා කාන්තාරයට දකුණින් පිහිටා ඇති වියළි බිම් තීරයක් වන සාහෙල් ප්‍රදේශයේ තිබෙන ඇතැම් විශාල නගර වටා සෑම දිශාවකින්ම කිලෝමීටර් 100කට වඩා වැඩි බිම් ප්‍රමාණයක ගස් ඉවත් කර ඇත. එම
ගස් ඉවත් කරනු ලැබුවේ හොඳ හේතුවක් නැතුව නොවේ. ‘අප්‍රිකානු ජනයාගෙන් බහුතරයකට තම දිවි රැකගැනීම සඳහා තමන්ගේම පරිසරය විනාශ කර දැමීමට සිදු වී ඇතැයි’ මහාචාර්ය සැමුවෙල් නැනා-සින්කාම් පවසයි.දකුණු අමෙරිකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. උදාහරණයකට, බ්‍රසීලයේ වැසි වනාන්තරවල ලියාපදිංචි දැව කර්මාන්ත 7,600කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඒවායින් බොහොමයක අයිතිකරුවන් වන්නේ ජාත්‍යන්තරව කෙරීගෙන යන මහ පරිමාණයේ ව්‍යාපාරයන්ය. මහෝගනි ගසක් කැපූ විගස එය මිල කරන්නේ ඩොලර් 30කට පමණය. කෙසේනමුත්, එය තැරැව්කරුවන්ගෙන් වෙළෙන්දන්ටත්, වෙළෙන්දන්ගෙන් අවසානයේදී නිෂ්පාදකයන්ගේ අතටත් යන විට එහි වටිනාකම ඩොලර් 1,30,000ක් දක්වා ඉහළ නැඟිය හැකියි. එමනිසා මහෝගනි බොහෝ රටවල වටිනා සම්පතක් ලෙස සැලකේ.
බ්‍රසීලයේ වැසි වනාන්තරවලට සිදු වන විනාශය ගැන බොහෝ තොරතුරු පළ වී ඇත. වර්ෂ 1995 සිට 2000 අතර කාලයේ සෑම වසරකම බ්‍රසීලියානු වනාන්තරවලින් වර්ග කිලෝමීටර් 20,000කට වඩා විනාශ වී තිබුණු බව චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වයි. “මෙම විනාශය මොන තරම් දරුණුද කියනවා නම්, සෑම තත්පර අටකට සැරයක් පාපන්දු ක්‍රීඩා පිටියක තරම් භූමි ප්‍රමාණයක් වනාන්තරයට අහිමි වී යයි” කියා බ්‍රසීලයේ ප්‍රවෘත්ති සඟරාවක වාර්තා වේ. (Veja) වර්ෂ 2000දී බ්‍රසීලයේ මහෝගනිවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබෙන්නේ එක්සත් ජනපදයයි.
කැලෑ එළි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් ප්‍රදේශවලින්ද ඇසෙන්නේ එම කතා පුවතමයි. උදාහරණයක් වශයෙන් දක්වතොත්, පසුගිය වසර 50 තුළදී මෙක්සිකෝවේ වනාන්තරවලින් හා කැලෑවලින් අඩක්ම විනාශ වී ගොස් ඇත. පිලිප්පීනයේ වන විනාශය ඊටත් වඩා බෙහෙවින් වැඩි වී ඇත. එහි වසරකට වනාන්තරවලින් වර්ග කිලෝමීටර 984ක් පමණ වැනසී යයි. මෙසේ එය දිගටම සිදු වුවහොත් තව වසර දහයක් ඇතුළත මෙම රටේ වනාන්තරවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම වැනසී යනු ඇතැයි කියා 1999දී ගණනය කෙරිණ.
දැව ලබාගත හැකි ගසක් පරිණත වීමට නම් වසර 60 සිට 100 දක්වා කාලයක් ගත විය හැකි වුවත් එය කපා දැමීමට ගත වන්නේ විනාඩි කීපයක් පමණි. එසේනම් නැති වී යන ප්‍රමාණයට හිලව් කිරීම සඳහා අලුත් ඒවා ඉක්මනින් බිහි කිරීමට අපේ වනාන්තරවලට නොහැකි වීම අරුමයක්ද?
පාංශු ඛාදනයෙන් සිදු වන හානිය
සාමාන්‍යයෙන් භූමිය ස්වාභාවික ක්‍රියාවලීන්ට ලක්වන විට එහි ගස් වැල්වලට හානි සිදු වන බැවින් මතුපිට පස් තට්ටුව ඉක්මනින්ම වියළී සුළඟට හෝ ජලයට ගසාගෙන යයි. මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ පාංශු ඛාදනය ලෙසයි.
ස්වාභාවිකව සිදු වන පාංශු ඛාදනයෙන් පරිසරයට එතරම්ම හානියක් සිදු නොවේ. එහෙත්
මිනිසාගේ විවිධ ක්‍රියාකලාපයන් නිසා එම ස්වාභාවික ක්‍රියාවලියට අමතර හානි සිදු වේ. උදාහරණයකට, කැලෑ එළි කිරීම සහ සත්ව පාලනය හේතුවෙන් තණබිම් අධික ලෙස පරිභෝජනය වීම වැනි සාධක සලකා බලන්න. මෙම සාධක සමඟ ඇති වන වැලි කුණාටු නිසා “භූමි ප්‍රදේශ බොහොමයක් කාන්තාර බවට පත් වී ඇතැයි” කියා චයිනා ටුඩේ සඟරාව පවසයි. මෑත වසරවලදී චීනයේ බටහිර සහ වයඹදිග පළාත්වල අසාමාන්‍ය වියළි දේශගුණයක් පැවත ඇති නිසා සයිබීරියාවෙන් හමා එන ශීත මෝසම් සුළංවලින් එම පළාත්වලට මහත් හානියක් සිදු වී ඇත. ප්‍රබල වැලි කුණාටු හැමීමේ ප්‍රතිඵලයක් ලෙස, වැලි සහ දූවිලි ටොන් මිලියන ගණනක් දේශයේ විවිධ තැන්වලට පැතිර ගොස් ඇත. මෙය කොරියාව සහ ජපානයටද බලපෑවේය. චීනයේ භූමි භාගයෙන් සියයට 25ක් පමණ දැන් කාන්තාර බවට පත් වී ඇත.අප්‍රිකාවේ පස නිසරු වී තිබෙන්නේ එවැනිම හේතු නිසාය. “ධාන්‍ය වගා කිරීමට කැලෑ එළි පෙහෙළි කිරීමෙන් ගොවීන් භූමිය මතුපිට තිබෙන සාරවත් පස් තට්ටුවට විශාල හානියක් කර තිබෙන” බව ඇෆ්‍රිකා ජියෝග්‍රැෆික් නමැති සඟරාව පවසයි. යම් භූමි ප්‍රදේශයකින් ගස්කොළන් එළි පෙහෙළි කළ පසු වසර තුනක් ඇතුළත එහි සාරවත් බව සියයට 50කින් අඩු වන බවට ගණනය කර තිබේ. එබැවින් එම සඟරාව තවදුරටත් මෙසේ පවසයි. “අක්කර මිලියන ගණනක් නැවත ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයකට පත් වී ඇත. තවත් අක්කර මිලියන ගණනක බෝග වගාවේ පලදාව වසරෙන් වසර අඩු වී යන නිසා ඒවාද ඉදිරියේදී නිසරු වන බවට ලකුණු තිබේ.”
පාංශු ඛාදනය නිසා සෑම වසරකම පස් ටොන් මිලියන 500ක් බ්‍රසීලයට අහිමි වී යන බව පැවසේ. මෙක්සිකෝවේ පාරිසරික හා ස්වාභාවික සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ ලඳු බිම්වලින් සියයට 53ක්, කැලෑවලින් සියයට 59ක් සහ වනාන්තරවලින් සියයට 72ක් පාංශු ඛාදනය නිසා වැනසී ගොස් ඇති බවය. මේ සියල්ල සලකා බලමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් මෙවන් දෙයක් පැවසීය. “ලෝකයේ වගා බිම්වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පාංශු ඛාදනයට ලක් වේ. ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන පලදාව ශීඝ්‍රයෙන් අඩු වී යන නමුත් ජනගහන වර්ධනයේ අඩුවක් නම් දක්නට නැත.”
මිල කළ නොහැකි ජලය
මිනිසෙකුට ආහාර නැතුව මාසයක් පමණ ජීවත් විය හැකි වුවත් ජලය නැතුව ඔහුට සතියක්වත් ජීවත් විය නොහැකියි. පිරිසිදු ජල සැපයුම එන්න එන්නම අඩු වී යන නිසා නුදුරු අනාගතයේදී විවිධ පිරිස් අතර ගැටුම් හටගැනීමට ඉඩ ඇත කියා විද්වත්හු පවසති. ටයිම් සඟරාවේ 2002හි පළ වූ ලිපියකට අනුව ලොව ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසකට පහසුවෙන් පිරිසිදු පානීය ජලය ලබාගත නොහැකියි.
ජල හිඟය ඇතිවීමට විවිධ හේතු බලපායි. පරිසර දූෂණය ප්‍රංශයේ වැඩිදෙනාගේ දැඩි අවධානයට ලක් වී තිබෙන කාරණයකි. මෙය ජල සැපයුම අපිරිසිදු වීමට හේතුවක් වී තිබේ. “ප්‍රංශයේ ගංගා ඉතා අපවිත්‍ර තත්වයක පවතින” බව එම රටේ පුවත්පතක සඳහන් වේ. (Le Figaro) ගංගා මෙලෙස අපවිත්‍ර වීමට හේතු වන්නේ ගොවිතැන් කටයුතු සඳහා යොදන පොහොර බව විද්‍යාඥයෝ පවසති. එම පොහොරවලින් ගංගාවලට නයිට්‍රේට් බහුල අපද්‍රව්‍ය සේදී යයි. “වර්ෂ 1999දී අත්ලාන්තික් සාගරයට ප්‍රංශයේ ගංගාවලින් නයිට්‍රේට් ටොන් 3,75,000ක් එකතු විය. මෙය 1985දී එකතු වූ ගණන මෙන් දෙගුණයකි” යයි එම පුවත්පතෙහි පැවසේ.
ජපානයේ ඒ හා සමාන ගැටලුවක් පවතී. ගොවිතැන් කටයුතු මෙහෙයවන ලාභ නොලබන සංවිධානයක ප්‍රධානියෙකු වන යූටාකා ඌනේ පවසන දේ සලකා බලන්න. ජපන් රටේ ආහාර සඳහා අධික ඉල්ලුමක් තිබෙන නිසා “එම රටේ ගොවීන්ට ඉල්ලුමට සරිලන ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට පළිබෝධනාශක සහ රසායනික පොහොර වර්ග
භාවිත කිරීමට සිදු විය.” ප්‍රතිඵලයක් ලෙස එම රටේ භූගත ජල සැපයුම දූෂණය වී ඇත. ජපානයේ තවත් පුවත්පතකට අනුව මෙය “මුළු ජපානයට බලපාන විශාල ගැටලුවකි.”—IHT Asahi Shimbun.මෙක්සිකෝවේ ජනයාට වැලඳෙන රෝගවලින් සියයට 35කටම හේතු වී තිබෙන්නේ “පාරිසරික ගැටලු” බව එහි පුවත්පතක සඳහන් වේ. (Reforma) එපමණක්ද නොව, සෞඛ්‍ය නිලධාරියෙකු විසින් කරන ලද සමීක්ෂණයකින් මෙවැන්නක් හෙළි විය. “එහි හතරෙන් එකකට කැළි කසළ ඉවත් කිරීමට ක්‍රමයක් නැත. මිලියන අටකට වඩා වැඩිදෙනෙකු තමන්ට අවශ්‍ය ජලය ලබාගන්නේ ඇළ දොළ ගංගා ළිං ආදියෙනි. එමෙන්ම මිලියනයකට අධික පිරිසක් ජලය ලබාගන්නේ වතුර බවුසරවලිනි.” මෙක්සිකෝවේ පාචන රෝගීන්ගෙන් සියයට 90කට එය වැලඳීමට හේතුව අපවිත්‍ර ජලය වීම පුදුමයක් නොවේ.
බ්‍රසීලයේ අගනුවර වන “රියෝද ජැනීරෝහි මුහුදු වෙරළවල පවතින්නේ සුන්දරත්වයක් පමණක්ම නොවේ. ඒවායෙහි අසූචිවල ගැවසෙන බැක්ටීරියා විශාල ප්‍රමාණයක් තිබෙන අතර තෙල් ටැංකිවලින් ඉඳ හිට හැළෙන තෙල්ද මිශ්‍ර වී ඇති” බව බ්‍රසීලයේ සඟරාවක පවසයි. (Veja) එසේ වී ඇත්තේ, බ්‍රසීලයේ කානුවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක කැළි කසල කෙළින්ම ගංගා ඇළ දොළ මෙන්ම මුහුදුවලට යෑමට සලස්වා තිබෙන නිසාය. ඒවා මුහුදට යවන්නේ පිරිපහදු නොකරමය. ප්‍රතිඵලයක් ලෙස පිරිසිදු ජලයේ විශාල හිඟයක් ඇති වී තිබේ. බ්‍රසීලයේ විශාලතම නගරයක් වන සඕ පවුලෝ වටා තිබෙන ගංගා අධික ලෙස දූෂණය වී තිබෙන නිසා කිලෝමීටර් 100ක පමණ ඈතක සිට පානීය ජලය ගෙනෙන්න සිදු වී ඇත.
ලෝකයේ අනෙක් කෙළවරේ පිහිටි ඕස්ට්‍රේලියාවේ ජල හිඟයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ලවණ මිශ්‍රවීමේ ක්‍රියාවලියයි. දශක ගණනාවක් පුරා ඉඩම් හිමියන්ට තම ඉඩම්වල වගා කිරීම සඳහා ඒවා එළි පෙහෙළි කරගැනීමට දිරිගන්වනු ලැබීය. එවිට භූගත ජලය උරාගන්නාවූ ගස් වැල් සහ පඳුරු අඩු වී ගිය නිසා භූ ජල මට්ටම ඉහළට යෑමට පටන්ගැනිණ. ඒවා මගින් භුගත ලවණ ටොන් දහස් ගණනක් පොළොව මතු පිටට ඇදී ආවේය. “දැනටමත් අක්කර මිලියන 6.2 ක් [හෙක්ටෙයාර මිලියන 2.5ක්] පමණ භූමි ප්‍රමාණයක පස සමඟ ලවණ මිශ්‍ර වී තිබේ. මෙම භූමි ප්‍රමාණයෙන් වැඩි හරියක් ඕස්ට්‍රේලියාවේ හොඳින් පලදාව ලබා දෙන භූමි භාගයන්ය” කියා ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කාර්මික පර්යේෂණ සංවිධානය පවසයි.—CSIRO.
ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදකයන් තම වාසිය නොතකා මහජනයාගේ ශුභ සිද්ධිය තැකුවා නම් ලවණ මිශ්‍රවීමේ ගැටලුව වළක්වාගත හැකිව තිබූ බව සමහරෙකුගේ විශ්වාසයයි. ඕස්ට්‍රේලියාවේ පර්ත්හි ඊඩිත් කවන් විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට අයත් හියූගෝ බෙකල් මෙසේ පවසයි. “තිරිඟු වගා කරන බිම් පෙදෙසේ පස ලවණ සහිත වීමට
ඉඩ තිබෙනවා කියා 1917 තරම් කලක සිට බලයේ පැවති ආණ්ඩුවලට දැනුම් දී තිබිණ. ඇළ දොළවල ලවණ ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව 1920 ගණන්වලදී මහජනයාව දැනුවත් කරනු ලැබූ අතර 1930 ගණන් වන විට භූ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වන බලපෑම පිළිගැනීමට කෘෂිකාර්මික මණ්ඩලයට සිදු විය. වර්ෂ 1950දී CSIRO සංවිධානය [ඕස්ට්‍රේලියානු] රජය වෙනුවෙන් පුළුල් අධ්‍යයනයක යෙදී වාර්තාවක් සකස් කළේය. . . . එහෙත් එවකට පැවති ආණ්ඩු විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම් නොකඩවාම නොසලකා හැරියේ ඔවුන් එම කාරණය දෙස අන්තවාදීව බලනවායයි පවසමිනි.”ජීවිත අනතුරේ
මිනිසා බොහෝ දේ කර ඇත්තේ හොඳ අභිප්‍රායක් ඇතුව බවට සැකයක් නැත. එහෙත් බොහෝවිට සිදු වන්නේ අපේ ක්‍රියාවලට ලැබෙන ප්‍රතිඵල නිශ්චය කිරීමට තරම් පරිසරය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් අපට නොමැති වීමය. ප්‍රතිඵල භයානක වී ඇත. “අපව ජීවත් කරවන පරිසරයට හා භූමියට අපම හානි කිරීමෙන් අප අපවම අනතුරෙහි හෙළා ඇත” කියා දකුණු ඕස්ට්‍රේලියානු කෞතුකාගාර අධ්‍යක්ෂකවරයෙකු වන ටිම් ෆ්ලැනරි පවසයි.
විසඳුමක් තිබේද? පරිසරය හා අත්වැල බැඳගෙන ජීවත් වීමට මිනිසා ඉගෙනගනු ඇද්ද? සැබවින්ම මිහිතලය බේරාගත හැකිද?
[පාදසටහන]
^ 3 ඡේ. උදාහරණයකට, 1999දී එම හිඟය සියයට 20කට ආසන්න වූ බව ගණනය කෙරිණ. මින් අදහස් වන්නේ 1999 වසර පුරා ගෙවී ගිය මාස 12දී මිනිසුන් පරිභෝජනය කළ ස්වාභාවික සම්පත්වල ප්‍රමාණය යළි නිපදවීමට මාස 14කට වඩා ගත වූ බවය.
[16වන පිටුවේ කොටුව]
සෑම බිංදුවක්ම වටී
සුළු පියවර කීපයකින් ගැලුම් ගණන් ජලය රැකගත හැකියි
● ජලය කාන්දු වෙන කරාම අලුත්වැඩියා කිරීම.
● ස්නානය සඳහා පැය ගානක් ගත නොකිරීම.
● රැවුල බාන විට හා දත් මදින විට කරාමය වසා තැබීම.
● තුවා සේදීමට පෙර දෙතුන් වතාවක් පාවිච්චි කිරීම.
● රෙදි සෝදන යන්ත්‍රයෙන් සේදීමට ප්‍රමාණවත් ඇඳුම් තොගයක් එකතු වෙන තුරු සිටින්න.
[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]
හොඳම මැස්ම අරපිරිමැස්මයි
● ඕස්ට්‍රේලියාව ලෝකයේ වියළිතම මහාද්වීපය වුවත් එහි කෘෂිකාර්මික කටයුතු සඳහා යොදන ජලයෙන් සියයට 90කට වඩා ලබාගන්නේ ඉතා සරල ක්‍රමයක් අනුගමනය කිරීමෙනි. ‘ජලය පහසුවෙන් රැඳෙන බිම්වලට කළ යුතු වන්නේ ජලය සපයා එය යම් කලකට රැඳවීමයි. ජලය නොරැඳෙන බිම්වලට සපයන ජලය රඳවාගන්නේ අගල් කපා ජලය රඳවාගැනීමෙනි’ කියා වාර්තා වේ. (The Canberra Times) මෙය “ඊජිප්තුවේ පිරමිඩ සෑදු යුගයේදී කෘෂිකර්මය සඳහා යොදාගත් තාක්ෂණයමයි.”
● ලොව පුරා එක් අයෙකු සාමාන්‍යයෙන් වසරකට ජලය ලීටර් 5,50,000ක් පමණ භාවිත කරයි. කෙසේවෙතත්, සාමාන්‍යයෙන් උතුරු අමෙරිකානු වැසියෙක් වසරකට ලීටර් 16,00,000ක් පමණ භාවිත කරයි. වැඩියෙන්ම ජලය භාවිත කරන්නේ කලින් සෝවියට් දේශයට අයත්ව තිබූ රටක වැසියන්ය. එම රටේ සාමාන්‍යයෙන් වසරකට ලීටර් මිලියන 5.3කට වඩා එක් අයෙක් භාවිත කරයි.
● ඇෆ්‍රිකා ජියෝග්‍රැෆික් නමැති සඟරාවට අනුව “සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකානුවෙකු වසරකට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය නිපදවීම සඳහා අක්කර දහයක වගා බිම් ප්‍රමාණයක් අවශ්‍යයි. කෙසේවෙතත් එම රටට එක් පුද්ගලයෙකු සඳහා වෙන් කළ හැක්කේ අක්කර හයක් පමණි.”
[15වන පිටුවේ පින්තූරය]
බර්කිනා ෆාසෝ දක්වා විහිදී ඇති සාහෙල් ප්‍රදේශයේ එළි පෙහෙළි කරන ලද වනාන්තරයක භූ දර්ශනයක්. වසර 15කට කලින් මෙහි ගස්කොළන් පිරී තිබිණ
[හිමිකම් විස්තර]
© Jeremy Hartley/Panos Pictures
[18වන පිටුවේ පින්තූරය]
හේන් ගොවි තැන් ක්‍රමය නිසා කැමරූන්හි වැසි වනාන්තර විනාශ වේ
[හිමිකම් විස්තර]
© Fred Hoogervorst/Panos Pictures
[18වන පිටුවේ පින්තූරය]
එක්සත් ජනපදයේ වායු දූෂණය සැලකිලිමත් විය යුතු ගැටලුවක්ව පවතී
[18, 19වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1995 සිට 2000 අතරතුර සෑම වසරකම බ්‍රසීලයේ වනාන්තරවලින් වර්ග කිලෝමීටර් 20,000ක් වැනසී ගියා
[හිමිකම් විස්තර]
© Ricardo Funari/SocialPhotos.com
[19වන පිටුවේ පින්තූරය]
බිලියන දෙකකට වඩා ජනතාවකගේ දෛනික ආදායම ඩොලර් තුනක් හෝ ඊටත් වඩා අඩුය
[හිමිකම් විස්තර]
© Giacomo Pirozzi/Panos Pictures
[19වන පිටුවේ පින්තූරය]
ඉන්දියාවේ ඉස්සෝ කොටු නිසා මෙම ගම්මානයේ ළිං ජලය දූෂණය වී ඇත
[හිමිකම් විස්තර]
© Caroline Penn/Panos Pictures