Skip to content

පටුනට යන්න

අසාමාන්‍ය ජෝඩුවක්

අසාමාන්‍ය ජෝඩුවක්

අසාමාන්‍ය ජෝඩුවක්

මෑතකදී ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය අසල පිහිටි මුහුදේ සාගර ජීවීන් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාඥයන්ට පළමු වතාවට බූවල්ලන් පවුලේ එක්තරා විශේෂිත බූවල්ලෙකුව සොයාගැනීමට හැකි වුණා. (blanket octopus) ඌ පිරිමි බූවල්ලෙක් වූ අතර ඌව පණ පිටින් දැකගැනීමට හැකි වුණේ පළමු වතාවටයි. එය විශේෂිත සොයාගැනීමක් කියා පවසන්නේ මන්ද?

ප්‍රමාණයන් ගැන සලකා බලන විට, මෙම බූවල්ලන් විශේෂයේ පිරිමි සතාගේ හා ගැහැනු සතාගේ ‘ප්‍රමාණයේ විශාල පරතරයක් තිබෙනවා.’ ගැහැනු සතා දිගින් මීටර දෙකක් සහ බරින් කිලෝග්‍රෑම් දහයක් වෙනවා. නමුත් පිරිමි සතාගේ දිග සෙන්ටිමීටර තුනක් වන අතර බර ග්‍රෑම් දශම තුනක් පමණයි! පිරිමි සතා ගැහැනු සතාගේ ඇසේ කලු ඉංගිරියාව තරම් කුඩායි. ඒ කියන්නේ ගැහැනු සතා පිරිමි සතා වගේ 40,000 ගුණයකින් විශාලයි. පියවි ඇසට දැක ගත හැකි සතුන් අතරින් ප්‍රමාණයෙන් විශාල පරතරයක් තිබෙන්නේ මෙම බූවල්ලන් ජෝඩුවයි. මෙම බූවල්ලා ජීවත් වන්නේ මහ මුහුදෙයි. මේ වෙන තුරු මෙම බූවල්ලන්ගෙන් ගැහැනු සතුන්ව නිරීක්ෂණය කර තිබෙන අතර පිරිමි සතුන්ගෙන් දැකගැනීමට හැකි වී තිබෙන්නේ මාළු දැල්වලට හසු වූ මැරුණු පිරිමි සතුන්ව පමණයි.

ගැහැනු සතා හා පිරිමි සතා අතර ප්‍රමාණයෙන් මේ තරම් පරතරයක් තිබෙන නිසා උන් පැටවුන් බෝ කරන්නේ කොහොමද? පිරිමි සතාට තිබෙන අඬු අටෙන් එක් අඬුවක හිස් කුහරයක් තිබෙනවා. ඌ ගැහැනු සතාව සොයාගත් පසු එම අඬුව ශුක්‍රාණුවලින් පුරවනවා. ඉන් පසු ගැහැනු සතාගේ ශරීරයේ තිබෙන විශාල හිස් කුහරයකට පිරිමි සතා එම අඬුව මුදා හරිනවා. පසුව ඈ එම ශුක්‍රාණුවලින් පිරි අඬුව මිරිකා ඇගේ බිත්තර මත එම ශුක්‍රාණු තැවරීමට සලස්වනවා. සංසේචනය සිදු වන්නේ එවිටයි.

පිරිමි සතාගේ ශරීරයේ ප්‍රමාණය කුඩා නිසා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට පෙනෙන හැටියට විෂ සහිත ලොඩියාගේ (Portuguese man-of-war jellyfish) ඉස් කෙඳි සොරකම් කර ඌගේ ඉහළ අඬුවල තිබෙන චූෂකවල (Suckers) ඒවා රඳවාගන්නවා. ඒ කොයි දේ ඌ රඳවාගත්තත් ඌගේ ජීවිතය නම් ඉන් රැකෙන්නේ නැහැ. ඒ ඌ තම සහකාරියට කළ යුතු දේ කළ පසු මිය යන නිසයි. විද්‍යාඥයන් සොයාගත් දේ ගැන ඔවුන් පුදුමයට පත්වීම අරුමයක් නෙමෙයි!

මෙම අසාමාන්‍ය බූවල්ලන් ජෝඩුවේ ප්‍රමාණයේ තිබෙන විශාල වෙනසට හේතුව කුමක් වුවත් බයිබලයේ වචන සැබවින්ම සත්‍යයක්. “මුහුද මහත්ය; විශාලය; එහි සංචාරය කරන කුඩා මහත් සත්වයෝ අසංඛ්‍යාත ගණන් සිටිති.”—ගීතාවලිය 104:25.

[31වන පිටුවේ පින්තූර]

ගැහැනු සතාගේ දිග මීටර දෙකක් වන අතර බර කිලෝග්‍රෑම් දහයයි

ගැහැනු සතාට සාපේක්ෂව පිරිමි සතාගේ නියම ප්‍රමාණය

පිරිමි සතාගේ දිග සෙන්ටිමීටර තුනක් වන අතර බර ග්‍රෑම් දශම තුනයි

[හිමිකම් විස්තර]

ගැහැනු සතා: ඡයාරූපය P. Wirtz; පිරිමි සතා: ඡයාරූපය: D. Paul