Skip to content

පටුනට යන්න

කෙනෙක් තමන්ගේ ප්‍රශ්න ගැන මට කියන විට මා කළ යුත්තේ කුමක්ද?

කෙනෙක් තමන්ගේ ප්‍රශ්න ගැන මට කියන විට මා කළ යුත්තේ කුමක්ද?

යෞවන අය අසති . . .

කෙනෙක් තමන්ගේ ප්‍රශ්න ගැන මට කියන විට මා කළ යුත්තේ කුමක්ද?

“මගේ ඉස්කෝලේ එක ගෑනු ළමයෙකුගේ අම්මායි තාත්තායි දික්කසාද වෙන්න යන හින්දා එයාගේ ලකුණු අඩු වෙන්න පටන් අරන්. එයාගේ පවුලේ ප්‍රශ්න ගැන එයා මාත් එක්ක කියනවා.”—අවුරුදු 14ක් වයසැති ජෑන්.

“මගේ ඉස්කෝලේ ගෑනු ළමයෙක් මට කිව්වා, එයා පිරිමි ළමයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා කියලා. ඒ නිසා එයා ගැබිණියක් වෙලා. ඊට පස්සේ අම්මලාටත් නොකියා එයා ගබ්සාවක් කරගෙන.”—අවුරුදු 15ක් වයසැති මයිරා.

ඔබ යාළුවෙක් හෝ පාසැල් මිතුරෙක් එක්ක සංවාදයක යෙදෙනවා කියලා හිතන්න. එහෙම කතා කරමින් සිටින අතරතුරේ ඔහු එකපාරටම ඔහුගේ ප්‍රශ්නයක් ගැන ඔබට “කියන්න” පටන්ගනියි. * සමහරවිට ඔහුට තිබෙන්නේ ඇඳුම්, සල්ලි, පෙනුම, සම වයසේ මිතුරන් හා ලකුණු මට්ටම වැනි නහඹරයන්ට ආවේණික වූ ප්‍රශ්නයක් විය හැකියි. එසේ නැතහොත් ඔහුට තියෙන්නේ වඩාත් බරපතළ මෙන්ම මූණ දෙන්න අමාරු ප්‍රශ්න වෙන්නත් පුළුවන්.

යෞවනයන්ගේ ගැටලු මොන තරම් බරපතළද කියා එක්සත් ජනපදයේ පවතින තත්වයෙන් පැහැදිලි වෙනවා. නිව්ස්වීක් සඟරාවට අනුව “එහි මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතන මගින් ගණන් බලා තිබෙන ආකාරයට නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් සියයට 8ක් සහ කුඩා දරුවන්ගෙන් සියයට 2ක් (සමහරුන්ගේ වයස අවුරුදු 4ක්) මානසික අවපීඩනයේ රෝග ලක්ෂණවලින් පෙළෙනවා.” තවත් සමීක්ෂණයක මෙසේ සඳහන් වුණා. “දළ වශයෙන් වයස 15-19 අතර සිටින ගැහැනු ළමුන් 1,000කින් 97ක්, එනම් අමෙරිකානු යෞවනියන් මිලියනයක් සෑම වසරකම ගර්භිණි වෙනවා. මොවුන්ගෙන් වැඩිදෙනෙකු, එනම් සියයට 78ක් පමණ එසේ ගර්භිණි වන්නේ අනපේක්ෂිත ලෙසයි.” එමෙන්ම හොඳ වාතාවරණයක් නැති නිවෙස්වල ජීවත් වෙන යෞවනයන් මිලියන ගණන් ඉන්නවා. දහස් ගණන් යෞවනයන් අඩන්තේට්ටම්වලට හෝ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වෙනවා. එක්සත් ජනපදයේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයන්ගෙන් අඩකට වඩා මත්පැන්වලට ඇබ්බැහි වෙලා. යෞවනයන්ගෙන් විශාල සංඛ්‍යාවක් ආහාර ගැනීමේ අක්‍රමිකතාවලින් පෙළෙනවා.

එසේනම්, යෞවනයන් බොහෝදෙනෙකුට කතා කරන්න හා විශ්වාසයෙන් සියල්ල පවසන්න කෙනෙක් වුවමනා වීම පුදුමයක් නෙවෙයි. ඒ නිසා බොහෝවිට ඔවුන් කරන්නේ සම වයසේ මිතුරෙක් කරා යෑමයි. ඔබ නම් ඒ මිතුරා ඔබ කුමක්ද කළ යුතු වන්නේ? ඔබ ක්‍රිස්තියානියෙකු නම් ඔවුන් එසේ ඔබ වෙත පැමිණීම ගැන පුදුම විය යුතු නැහැ. ක්‍රිස්තියානීන්ට බයිබලයේ අණ කර තිබෙන්නේ හැසිරීමෙන් “ආදර්ශයක්” මෙන්ම සාධාරණ වෙන්න කියායි. (1 තිමෝති 4:12; ෆිලිප්පි 4:5) එම නිසා නොඇදහිලිකාර යෞවනයන් ඇතුළු අනෙකුත් යෞවනයන් ඔබව විශ්වාස කර සියල්ල පැවසීමට කැමැත්තක් දැක්විය හැකියි. එවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබට පැවසූ දේ විසඳන්න ඔබට නොහැකි දෙයක් බව හැඟේ නම් කුමක්ද කළ යුතු වන්නේ?

හොඳ සවන්දෙන්නෙකු වීම

“නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කතා කරන්ට කාලයක්” තියෙන බව බයිබලයේ පවසයි. (දේශනාකාරයා 3:7) ගැටලුවක් තිබෙන යමෙකුට ඔබ සමඟ එය පැවසීමට වුවමනා වේ නම් බොහෝ අවස්ථාවලදී හොඳම දේ වන්නේ ඔහුට සවන් දීමයි. ඇත්තවශයෙන්ම බයිබලයෙහි “දුප්පතාගේ මුරගැසීමට” කන් නොදෙන්නාව හෙළා දැක තිබෙනවා. (හිතෝපදේශ 21:13) ඔබ සමඟ ඇසුරු කරන තැනැත්තාට ඔබ සමඟ කාරණය කතා කරන්න ධෛර්යය උපදවාගන්න යම් කාලයක් ගත වෙන්න ඇති. සවන් දීමට ඔබ දක්වන කැමැත්ත, කතා කරන්න ඔහුට පහසුවක් වෙයි. “මම සාමාන්‍යයෙන් කරන්නේ අනිත් තැනැත්තාට කතා කරන්න ඉඩ දෙන එකයි. ඔහුගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න ඉඩ ඇරීමෙන් මං ඔහුට අනුකම්පාවක් දක්වන්න උත්සාහ කරනවා” කියා ක්‍රිස්තියානි යෞවනයෙකු වන හයිරම් පවසනවා. ඒවගේම වින්සන්ට් මේ වගේ දෙයක් කියනවා. “සමහර වෙලාවලදී සමහරුන්ට ඕනෙ කතා කරන්න විතරයි.”

ඔහුගේ ගැටලුව ඔබ විසඳයි කියා ඔහු අපේක්ෂා කරන එකක් නැහැ. ඔහුට ඕන කරන්නේ හොඳ සවන් දෙන්නෙකු පමණක් විය හැකියි. එම නිසා සවන් දෙන්න! වටපිට දේවලට අවධානය යොමු කිරීමෙන් හෝ ඔහු කියන දේට අකුල් හෙළීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න. ඔබ ඔහු වෙනුවෙන් කාලය වෙන් කර සවන් දීම පමණක්ම විශාල උපකාරයක් විය හැකියි. ඉන් පෙන්වන්නේ ඔබ ඇත්තටම සැලකිල්ලක් දක්වන බවයි.

කෙසේවෙතත් ඔබ මුකුත්ම නොකියා සිටිය යුතුයි කියා ඉන් අදහස් වෙනවාද? ගැටලුවේ ස්වභාවය අනුවයි එය තීරණය වෙන්නේ. හුඟක් වෙලාවට කල්පනාකාරීව කරුණාවන්තව යමක් පැවසීම සුදුසු වෙයි. (හිතෝපදේශ 25:11) උදාහරණයකට, ආශ්‍රිතයෙකු යම් පෞද්ගලික ඛේදවාචකයකට මුහුණ දී ඇත්නම් හොඳම දේ වන්නේ ඔබේ කනගාටුව ප්‍රකාශ කිරීමයි. (රෝම 12:15) හිතෝපදේශ 12:25 මෙසේ පවසනවා. “මනුෂ්‍යයාගේ සිත එහි ශෝකය නිසා නැමෙයි; එහෙත් හොඳ වචනයකින් ඒක සතුටු වේ.” අවශ්‍ය වන්නේ දිරිගැන්වීම පමණක් විය හැකියි. ඔහුට සාර්ථකව ඔහුගේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියා ඔබ විශ්වාස කරන බව ඔහුට පවසන්න. “ඔයාට ඒ වගේ හැඟෙන්නේ ඇයි කියලා මට තේරෙනවා” හෝ “මට හරි දුකයි ඔයාට මේ වගේ දේකට මූණ දෙන්න වෙලා තියෙන එක ගැන” කියා පැවසීමෙන් ඔබ අවංක බවත්, ඔහුට උපකාර කරන්න ඔබට ඕන බවත් ඔහුට දැනගන්න සැලැස්විය හැකියි.

කෙසේනමුත්, හිතෝපදේශ 12:18හි මෙවැනි අවවාදයක් දෙනවා. කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා කරන්නෙක් ඇත; එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ.” එමෙන්ම “ඒක ඒ තරම්ම නරක තත්වයක් නෙවෙයි,” “අමතක කරලා දාන්න,” හෝ “එහෙම හිතන එක වැරදියි” වැනි ප්‍රකාශයන්ගෙන් වැළකීම අත්‍යවශ්‍යයි. හාස්‍යයක් එක් කරමින් ගැටලුවක් සැහැල්ලුවට ගැනීමට වෑයම් කිරීමෙනුත් පරෙස්සම් වන්න. එවිට ඔහු නිගමනය කරයි ඔබ ඔහුගේ හැඟීම්වලට ගරු කරන්නේ නැහැ කියලා.—හිතෝපදේශ 25:20.

පැවසිය යුත්තේ මොනවාද කියා ඔබට හිතාගන්න බැරි නම් කුමක්ද? අවංක වන්න. මොනවා කියන්නද කියලා ඔබට ඇත්තෙන්ම තේරෙන්නේ නැහැ, ඒත් ඔහුට උපකාර කරන්න ඕන වෙලාවක ලෑස්තියි කියා ඔබේ මිතුරාට පවසන්න. “ඔයාට මොන වගේ උපකාරයක්ද මගෙන් කෙරෙන්න ඕන?” කියා අසන්න. ඔහුගේ බර සැහැල්ලු කරවීමට යම් ප්‍රායෝගික දේවල් කරන්න ඔබට පුළුවන් විය හැකියි.—ගලාති 6:2.

මිත්‍රශීලීව උපදෙසක් දීම

ඔබේ ආශ්‍රිතයාට උපදෙසක් දීම අවශ්‍යයි කියා ඔබට හැඟුණොත්? ඇත්තෙන්ම යෞවනයෙකු වූ ඔබට අද්දැකීම් අඩුයි. (හිතෝපදේශ 1:4) එනිසා සෑම ප්‍රශ්නයකදීම උපදෙස් දෙන්න අවශ්‍ය සුදුසුකම් ඔබට නොතිබිය හැකියි. ගීතාවලිය 19:7 මෙලෙස පවසයි. “යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය; නුවණ නැත්තන් ඥානවන්ත කරන්නේය.” මෙහි “නුවණ නැත්තන්” කියා තිබුණත් අවශ්‍යතාවක් ඇති මිතුරෙකුට යම් උපකාරයක් කිරීම සඳහා ඔබ බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා සිටිය හැකියි. (හිතෝපදේශ 27:9) දේශනාවක් දෙන්නාක් මෙන් නොපවසා බයිබලයෙන් කරුණු කීපයක් ඔහුට පෙන්වන්න. අදාළ වෙන්නේ කුමන බයිබල් පදදැයි ඔබට ස්ථිර නැත්නම් පර්යේෂණයක නියැලෙන්න. මෙම සඟරාව වසර ගණනාවක සිට “යෞවන අය අසති . . . ” යන ලිපිවල විවිධ විෂයන් යටතේ බයිබලය මත පදනම් උපදෙස් බොහොමයක් පළ කර තිබෙනවා. වටිනා තොරතුරු තිබෙන තවත් මූලාශ්‍රයක් වන්නේ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නම් පොතයි. *

ඔබේම අද්දැකීම් පැවසීම ප්‍රයෝජනවත් විය හැකියි. සමහරවිට යම් ප්‍රායෝගික යෝජනා දෙන්නත් ඔබට පුළුවන් වෙයි. ඔබේ අදහස් ක්‍රියාත්මක කිරීමට බල නොකර ඔබට උපකාරවත් වුණේ කුමක්දැයි පැහැදිලි කිරීමට ඔබට හැකියි. (හිතෝපදේශ 27:17) එහෙත් සෑම තත්වයක්ම එකිනෙකට වෙනස් බව මතක තබාගන්න. ඔබට ප්‍රයෝජනවත් වූ දේ සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් නොවිය හැකියි.

කල්පනාකාරී වීමට වදන් පෙළක්

යෙහෝවාට භය නැති, ක්‍රිස්තියානි ප්‍රමිතිවලට ගරු නොකරන යෞවනයන්ගේ ගැටලුවලට සවන් දීමට දිගු කාලයක් ගත නොකරන්න. ඔවුන්ගේ ගැටලුවලින් බොහොමයක් හටගෙන ඇත්තේ බයිබලයට පටහැනි ජීවන රටාවක් ගත කිරීමෙන් විය හැකියි. බයිබලයේ උපදෙස් හෙළා දකින කෙනෙකුට උපකාර කිරීමට යෑමෙන් සිදු වන්නේ දෙදෙනාම කලකිරීමට පත්වීමයි. (හිතෝපදේශ 9:7) ඒ විතරක් නෙවෙයි ඔබට අඥාන, අශික්ෂිත කතා රැසක් පවා අහන්නත් ලැබේවි. (එෆීස 5:3) එම නිසා සංවාදයකදී ඔබට අපහසුවක් දැනේ නම් උපකාර කරන්න ඔබට හැකියාවක් නැති බව හෝ ඒ විෂය ගැන කතා කරන්න ඔබ අකමැති බව පවසන්න ධෛර්යය උපදවාගන්න.

විරුද්ධ ලිංගයේ කෙනෙකු තම සිතේ ඇති හැඟීම් ඔබට පැවසීමට තැත් කරනවා නම් කල්පනාකාරී වන්න. සිත රැවටිලිකාරයි කියා බයිබලයේ අනතුරු අඟවා තිබෙනවා. (යෙරෙමියා 17:9) සමීප ඇසුරෙන් ප්‍රේමාතුර හැඟීම් ඇවිස්සිය හැකි අතර දුරාචාරයේ යෙදීමට පවා පෙලඹිය හැකියි.

එපමණක් නොව, තව කෙනෙකුට නොපවසන බවට පොරොන්දු වීමේ උගුලට අහු වෙන්නත් එපා. ඔබේ උපකාරය පතන කෙනාට ඔබේ උපකාරයට වඩා වැඩි උපකාරයක් අවශ්‍ය බව නිහතමානීව වටහාගන්න.—හිතෝපදේශ 11:2.

අන්‍යයන්ගේ උපකාරය අවශ්‍ය වූ විට

බොහෝවිට හොඳම දෙය වන්නේ උපකාර කිරීම සඳහා තව කෙනෙකුගේ උපකාරය පැතීමයි. මුලින් සඳහන් කළ මයිරා පැවසුවේ මෙයයි. “මගේ පාසැල් මිතුරියට උපකාර කරන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම සභා වැඩිමහල්ලෙක් එක්ක ඒ ගැන කතා කළා. ඇයට උපකාර කරන විදිහ ගැන හොඳ උපදෙස් ටිකක් ඔහු මට දුන්නා.” ඔබට උපකාර කළ හැකි අද්දැකීම් ලත් පුරුෂයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ ඉන්නවා. (එෆීස 4:11, 12) දෙමාපියන් එක්ක ඇගේ ප්‍රශ්නේ ගැන කතා කරන්න ඇයව උනන්දු කරන්න කියා වැඩිමහල්ලා මයිරාට පැවසුවා. ඒ ගෑනු ළමයා මයිරාගේ උපදෙස පිළිගත්තා. මයිරා මෙසේ පවසනවා. “දැන් එයාගේ තත්වය හොඳයි. එයාට දැන් ඕනේ බයිබලය ගැන තවත් ඉගෙනගන්නයි.”

සෙසු ක්‍රිස්තියානියෙකු ඔබ සමඟ පෞද්ගලික දෙයක් ගැන පැවසුවොත්? සාමාන්‍යයෙන් ඔබ පෙලඹෙන්නේ කළ හැකි උපකාරයක් කරන්නයි. (ගලාති 6:10) ඔහු යෙහෝවාගේ සදාචාර ප්‍රමිතිවලින් ඈත් වෙයි කියන බිය ඔබට ඇති වේ නම් ඔහු සමඟ “සත්‍යය කතා කරන්න” බය වෙන්න එපා. (එෆීස 4:25) අවංක වන්න. නමුත් ඕනෑවට වඩා ධර්මිෂ්ඨ නොවන්න. ඒ ගැන අවංකව ඔහු සමඟ කතා කිරීම සැබෑ මිතුරෙකු බව දක්වන ලක්ෂණයක්.—ගීතාවලිය 141:5; හිතෝපදේශ 27:6.

එවැනි අවස්ථාවකදී ඔහුගේ දෙමාපියන්ගෙන්, වැඩිමහල්ලෙකුගෙන් හෝ ඔහු ගරු කරන මේරූ ක්‍රිස්තියානියෙකුගෙන් උපකාරය පතන්න කියා ඔබේ මිතුරාට දිරිගන්වන්න. යම් සාධාරණ කාලයක් ගත වූ පසුව පවා ඔහු ඒ ගැන යමෙකු සමඟ කතා කර නැත්නම් ඔහු වෙනුවෙන් සුදුස්සෙකු සමඟ කතා කිරීමට ඔබට සිදු විය හැකියි. (යාකොබ් 5:13-15) එසේ කිරීමට ඔබට නිර්භීතකම අවශ්‍ය වන නමුත් ඔබ ඇත්තෙන්ම ඔබේ මිතුරා ගැන සැලකිලිමත් වන බවත්, ඔහුට යහපතක් වෙනවා දැකීමට ඔබ කැමති බවත් ඉන් පෙන්වයි.

සෑමදෙනාගේම ගැටලු ඔබ විසඳයි කියා යෙහෝවා අපේක්ෂා නොකරන බව ඇත්තයි. එහෙත් යමෙක් ඔබට ඔහුගේ ප්‍රශ්න ගැන කියන විට උපකාරයක් දෙන්න ඔබට පුළුවන් වෙයිද කියා සැක නොසිතන්න. ඔබ ලබා ඇති ක්‍රිස්තියානි පුහුණුවෙන් ප්‍රයෝජන ගනිමින් ඔබ “සැම කල්ම ආදරේ” ඇති මිතුරෙකු බව ඔප්පු කරන්න.—හිතෝපදේශ 17:17.

[පාදසටහන්වල]

^ 5 ඡේ. මෙම ගැටලුව තිබෙන තැනැත්තා යෞවනයෙක් කියලා අපි හිතමු. හැබැයි යෞවනියකටත් මෙම තොරතුරු අදාළ වෙනවා.

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[27වන පිටුවේ පින්තූරය]

කරදරේ වැටී ඉන්න මිතුරෙකුට උපකාර කිරීමට තව කෙනෙකුගේ උපකාරය පතන්න ඔබට සිදු විය හැකියි