Skip to content

පටුනට යන්න

ජංගම දුරකථනය—මිතුරෙක්ද හතුරෙක්ද?

ජංගම දුරකථනය—මිතුරෙක්ද හතුරෙක්ද?

ජංගම දුරකථනය—මිතුරෙක්ද හතුරෙක්ද?

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

“ජංගම දුරකථනය!” වසර කිහිපයකට පෙර මිනිසුන්ට එය හුරු පුරුදු දෙයක් වුණේ නැහැ. මෙම දූරකථන “ජංගම” කියා පැවසිය හැකි වූයේ ඔබට එය රැගෙන යෑමට හැකි තරම් ශක්තියක් තිබුණා නම් හෝ ඔබේ වාහනයේ එය සවි කළ හැකි වූවා නම් විතරයි. මන්දයත් ඒ කාලයේ ජංගම දුරකථනවල බැටරි ගොඩක් බරයි. එම දූරකථන ප්‍රමාණයෙන් සපත්තු පෙට්ටියක් තරම් වූ අතර මිල දී ගැනීමට රුපියල් ලක්ෂ ගණනක් වැය කරන්නට සිදු වුණා.

අද ජංගම දුරකථන බිලියන 1.35ක් පමණ තිබෙනවා. සමහර රටවල ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට ජංගම දූරකථන තිබෙනවා. ජංගම දුරකථන බොහෝමයක් ප්‍රමාණයෙන් ඔබේ අල්ල තරම් වන අතර ඇතැම් අවස්ථාවලදී කිසි අය කිරීමකින් තොරව පාවිච්චිය සඳහා දූරකථනයක් ලබාගත හැකියි. * ඕස්ට්‍රේලියාවේ පළවන සඟරාවක (The Bulletin) මෙසේ සඳහන් කරනවා. ‘භාවිතයේ තිබෙන රූපවාහිනි සහ පරිගණක ප්‍රමාණය එකට එකතු කළොත් දැන් භාවිතයේ තිබෙන මෙම ජංගම දූරකථන ප්‍රමාණය බොහෝ දුරට ඊට සමානයි.’ රටවල් 20කට වඩා වැඩි ප්‍රමාණයකට ස්ථාවර දුරකථනවලට වඩා තිබෙන්නේ ජංගම දූරකථනයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විද්වතෙක් ජංගම දූරකථන ගැන පැවසුවේ එය තාක්ෂණයේ දියුණුවක් ලෙස සැලකිය හැකි වුවත් එයින් “සමාජයට ප්‍රබල බලපෑමක්” සිදු වී තිබෙනවා කියායි.

ජංගම දුරකථනවලින් සමාජයට සිදු වී තිබෙන්නේ කිනම් බලපෑමක්ද? ජංගම දුරකථන මිතුරෙක්ද හතුරෙක්ද?

ලාභ උපදවන ව්‍යාපාරයක්

ජංගම දුරකථන විකිණීම ශීඝ්‍රයෙන් වැඩි වර්ධනය වී තිබෙන නිසා ව්‍යාපාර කටයුතු බොහොමයකට මාර්ගය විවෘත වී තිබෙනවා. ඒ පිළිබඳව මහා පරිමාණයේ වෙළඳ ව්‍යාපාරයක් මෙසේ සඳහන් කළා. “ජංගම දුරකථන වෙළඳාම තමයි වැඩි ඉල්ලුමක් තිබෙන ඉලෙක්ට්‍රොනික භාණ්ඩය.” වෙනත් විදිහකින් කියනවා නම් වෙනත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට වඩා ජංගම දුරකථන සඳහා විශාල ලෙස මුදල් වැය කරනවා.

ඕස්ට්‍රේලියාවේ මිලියන 20ක ජනගහනයෙන් මිලියන 15කට වඩා ජංගම දුරකථනයක් තිබෙනවා. මෑත වසරක ඕස්ට්‍රේලියාවේ දුරකථන සමාගම් බොහොමයකින් එක් සමාගමක පාරිභෝගිකයන් ලබාගෙන ඇති දුරකථන ඇමතුම් ප්‍රමාණය බිලියන 7.5යි. ලොව වටා වසරකට ජංගම දුරකථන සේවා සපයන ආයතන ඩොලර් බිලියන ගණන් මුදල් උපයනවා. එනිසා මහා පරිමාණයේ ව්‍යාපාර ජංගම දුරකථනය තමන්ගේ මිතුරෙකු ලෙස සැලකීමට හේතුව තේරුම් ගත හැකියි.

අලුත් භාෂාවක්

මෙම දුරකථන හරහා හුවමාරු කරන පණිවිඩ මිලියන ගණනක් හුවමාරු කරන්නේ වාචිකව පමණක් නොවෙයි. එය ලිඛිත ආකාරයෙනුත් සිදු වෙනවා. දුරකථනයට කතා කරනවා වෙනුවට ජංගම දුරකථන භාවිත කරන හුඟදෙනෙක් විශේෂයෙන්ම යෞවනයන් කෙටි පණිවිඩ සේවය හෙවත් SMS ක්‍රමය භාවිත කරනවා. මෙම සේවයෙන් යම් තරමක අඩු මුදලකට කෙටි පණිවිඩ එකිනෙකාට ලියා යැවීමට ඔවුන්ට හැකියාවක් ලබා දෙනවා. මෙම ක්‍රමයට පණිවිඩ හුවමාරු කිරීමේදී පණිවිඩය දුරකථනයේ කුඩා යතුරු පුවරුව ආධාරයෙන් ලිවීමට අවශ්‍ය නිසා SMS සේවය හරහා පණිවිඩ හුවමාරු කරන්නන් අංක සහ අකුරු යොදා ගෙන වචන තැනීමේ කෙටි භාෂා ක්‍රමයක් භාවිත කරයි. වාචිකව අදහස් හුවමාරු කරන තරම් මෙම ක්‍රමය පහසු නොවුණත්, සෑම මාසයකම පණිවිඩ බිලියන 30ක් පමණ ලොව වටා හුවමාරු වෙනවා.

SMS සේවයෙන් හුවමාරු කරන්නේ කුමනාකාරයේ පණිවිඩද? බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ, අවුරුදු 18ත් 24ත් අතර සිටි යෞවන යෞවනියන්ගෙන් සියයට 42ක් මෙම සේවය යොදාගන්නේ එකිනෙකාට සෙල්ලමට මෙන් ආලවන්ත අදහස් හුවමාරු කරගැනීමට කියායි. සියයට 20ක් තවත් කෙනෙකු සමඟ තනි පංගලමේ කාලය ගත කිරීමට කැමතිද කියා ඇසීමට එය භාවිත කළා. සියයට 13ක් SMS සේවය යොදාගත්තේ තම පෙම් සබඳතාව නැවැත්වීමට.

සමාජයේ කෙරෙන කටයුතු පිළිබඳ අදහස් දක්වන අය කියා සිටින්නේ SMS පණිවිඩ හුවමාරු ක්‍රමයේදී නිවැරදි අක්ෂර හා ව්‍යාකරණ ක්‍රමයක් භාවිත නොකරන නිසා තරුණ අයගේ සාක්ෂරතා හැකියාව දුර්වල විය හැකි බවයි. අනෙක් අය එම ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ. ඔවුන් කියා සිටින්නේ මෙම SMS සේවය මගින් “තරුණ පරම්පරාව තුළ ලිවීම සඳහා ආශාවක් ඇති කරන” බවයි. ඕස්ට්‍රේලියාවේ ශබ්ද කෝෂ නිෂ්පාදනය කරන ආයතනයක නියෝජිකාවක් පුවත්පතකට (Sun-Herald) කියා සිටියේ “[අලුත් භාෂා] විලාසයක් දියුණු කිරීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. . . . SMS සේවය හා අන්තර් ජාලය නිසා දැන් තරුණ අය වැඩියෙන් ලිවීමට යොමු වෙලා. එනිසා [ඔවුන්] මෙම විශේෂ භාෂාවේ යෙදුම් හා එහි සංකේතවලට හොඳින් හුරු වෙන්න ඕනේ.”

අහිතකර බලපෑම්

සමාජ සහ ව්‍යාපාර කටයුතු සඳහා ජංගම දුරකථන ප්‍රයෝජනදායක වුණත් සේවකයන් බොහෝදෙනෙකුට මෙම දුරකථනය හිසරදයක් වී තිබෙනවා. මන්දයත් ජංගම දුරකථනය නිසා මුළු පැය විසිහතරේම කාර්යාලයට සම්බන්ධ වී ඇති බවක් ඔවුන්ට හැඟෙයි. එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ප්‍රචාරණ අංශයේ සේවකයන්ගෙන් සියයට 80කට සහ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් සියයට 60කට හැඟුණේ රාජකාරී වේලාවට පසුත් ස්වාමියාගේ හෝ පාරිභෝගිකයන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමේ වගකීම තමන් මත පැටවී තිබෙන බවයි. කොතැනක සිටියත් කුමක් කරමින් සිටියත් ජංගම දුරකථන ඇමතුමකට ප්‍රතිචාරය දැක්වීමට මිනිසුන්ට දැනෙන පීඩනය කොතරම්ද කිවහොත් එක් පර්යේෂකයෙකු පැවසුවේ “ඕනෑම මොහොතකදී දුරකථන ඇමතුමක් ලැබෙයි යන හැඟීමෙන් යුතුව මිනිසුන් දැන් සිටින බවයි.” මෙයට උපක්‍රමයක් වශයෙන් ජංගම දුරකථන සංඥා ඒමට නොහැකි වන සේ ආපන ශාලා හා සිනමා හල් තැනීමට ඉංජීනේරුවන් ගොඩනැඟිලි ද්‍රව්‍ය නිපදවා තිබෙනවා.—“ජංගම දුරකථන නිසි ලෙස භාවිත කිරීමට යෝජනා” නමැති කොටුව බලන්න.

ජංගම දුරකථනවලින් සිදු වන කරදරයන්ට අමතරව මෙයින් යම් අනතුරු සිදුවීමට ඉඩ කඩ තිබෙනවා. කැනඩාවේ කළ අධ්‍යයනයකින් සොයාගත්තේ රිය පදවන අවස්ථාවේදී ජංගම දුරකථනය භාවිත කිරීම මත්පැන් පානය කර රිය පදවනවා හා සමානවම භයානක බවයි. බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ අනතුරු සොයා බලන අංශයේ මහාචාර්ය මාර්ක් ස්ටීවන්සන් පැහැදිලි කරන්නේ වාහනය තුළ සිටින කෙනෙකු සමඟ කතා බහේ නියැලෙනවා වඩා දුරකථනයෙන් කතා බහේ නියැලීම ඉතාමත් දුෂ්කර බවයි. සමහර ප්‍රදේශවල රිය පදවන අතරතුරේ දුරකථනය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් දඩ ගසනවා. එවන් දඬුවම් පනවා තිබුණද ඕස්ට්‍රේලියාවේ රියැදුරන් 5දෙනෙකුගෙන් 1ක් අයෙක් SMS පණිවිඩ යවා ඇති අතර 3දෙනෙකුගෙන් එක් අයෙක් දුරකථනයෙන් අන් අයව අමතා හෝ අන් අයගෙන් එන ඇමතුම්වලට ප්‍රතිචාරය දක්වා තිබෙනවා කියා මෑතක කළ සමීක්ෂණයකදී හෙළි වුණා.

ගුවන් ගමන්වල යෙදෙන විට අනවශ්‍ය ලෙස ජංගම දුරකථන භාවිත කිරීම නිසා යම් අනතුරු සිදු වෙනවා. අලුතෙන්ම නිපදවන ගුවන් යනා ජංගම දුරකථන සංඥා නොඑන සේ ආවරණය කර තිබෙනවා. නමුත් භාවිතයේ තිබෙන සමහර ගුවන් යනාවලට දුරකථන සංඥාවලින් බාධා ඇති විය හැකියි. එක් සඟරාවක (New Scientist) සඳහන් වූයේ මෙවැන්නක්. “මගී ගුවන් යානා දෙකක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ ගුවන් සේවා අධිකාරිය [CAA] ස්ථිරයෙන්ම කියා සිටියේ ජංගම දුරකථන තරංග මගින් ආරක්ෂාකාරී ගුවන් ගමනකට අවශ්‍ය කරන උපකරණවලට යම් බාධා ඇති කරන බවයි.” දුරකථනය බාධා ඇති කරන්නේ කෙසේද කියා CAAහි සේවය කරන නියෝජිතයෙක් මෙසේ කියා සිටියා. “දුරකථන සේවාව සපයන කුලුන පිහිටි ස්ථානයෙන් ඈත් වෙන විට ජංගම දුරකථනය භාවිත කිරීමේදී වැඩි බලයක් නිකුත් කිරීමට සිදු වෙනවා. ගුවන් යානය ඉහළ නඟින විට ජංගම දුරකථන සංඥා නිකුත් කිරීමට වැඩි බලයක් යෙදවීමට සිදු වෙන නිසා ගුවන් ගමනක තීරණාත්මක අවස්ථා වන ඉහළ නැංවීමේදී හා ගොඩ බැස්සවීමේදී යම් බාධා සිදු විය හැකියි.” ජංගම දුරකථන ඇතුළු තමන්ගේ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික උපකරණ ගුවන් ගමනේදී භාවිත නොකරන්න කියා මගීන්ට කළ අනතුරු ඇඟවීමට අවනත නොවීම නිසා අවස්ථාවන් කිහිපයකදී බාධා ඇති වී තිබෙන බව ඕස්ට්‍රේලියාවේ කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

පිළිකාව හැදෙයිද?

ජංගම දුරකථන සහ සේවා සපයන ස්ථාන සංඥා නිකුත් කිරීම සඳහා යොදාගන්නා ගුවන් විදුලි තරංග පිළිකාවට හේතු කාරකයක් වෙනවාද යන්න තවමත් විවාදයට ලක් වී තිබෙන කාරණයක්. විශාල පිරිසක් ජංගම දුරකථන භාවිත කරන නිසා සෞඛ්‍යයට සුළුවෙන් හෝ යම් අහිතකර බලපෑමක් තිබෙනවා නම් එය සෞඛ්‍යයට විශාල අවදානමක් ගෙන දෙන්න පුළුවන්. මිනිස් සිරුරේ පටකවලට ජංගම දුරකථන තරංග මගින් යම් බලපෑමක් ඇති වෙනවාද කියා සොයා බැලීමට විද්‍යාඥයන් පුළුල් පර්යේෂණයන් කර තිබෙනවා. ඔවුන් පැමිණි අවසන් නිගමනය කුමක්ද?

ස්වාධීන ජංගම දුරකථන සේවා සපයන්නෝ (IEGMP) නමැති සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ මෙසේයි. “එම සේවා සපයන්නන් විශ්වාස කරන්නේ දැනට තිබෙන සාක්ෂි අනුව ජංගම දුරකථන භාවිත කිරීම ගැන බිය විය යුතු නැති බවයි.” එක් සඟරාවක (New Scientist) සඳහන් වුණේ “මෑත වසරවල මිනිසුන් බිය ගැන්වීමට නොයෙක් කතා පැතිර තිබුණත් මේ දක්වා තිබෙන සාක්ෂි අනුව පෙනී යන්නේ ජංගම දුරකථන මගින් පිට කරන ගුවන් විදුලි තරංග සෞඛ්‍යයට යම් අහිතකර බලපෑම් ඇති කරන්නේ නැති බවයි. යම් බලපෑම් ඇති විය හැකි බවට සමහර අධ්‍යයනවලින් ඉඟි කළත් ඒවා සම්පූර්ණයෙන් තහවුරු කිරීමට නොහැකි වී තිබෙනවා” කියායි.

ජංගම දුරකථන ගැන යම් සැකයන් තිබෙන නිසා තවත් පර්යේෂණ කිරීමට ඩොලර් මිලියන ගණන් යොදවනවා. ස්ථිර පිළිතුරක් සොයන තුරු IEGMP විසින් මෙවන් දෙයක් යෝජනා කරනවා. “ජංගම දුරකථන කෙටි වේලාවකට භාවිත කරන්න. අඩු වොට් ප්‍රමාණයක් නිකුත් කරන දුරකථන භාවිත කරන්න. හෙඩ් ෆොන් සහ වොට් ප්‍රමාණය අඩු කළ හැකි වෙනත් උපකරණ තිබේ නම් ඒවා භාවිත කරන්න.” දරුවන්ගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙමින් තිබෙන නිසා “අවුරුදු දහසයට අඩු දරුවන්ට ජංගම දුරකථන භාවිත කිරීමට දිරිගන්වන්න එපා. මන්දයත් තවම සොයා නොගත් සෞඛ්‍යයට බලපාන අනතුරකට දරුවන් ලක්වීමේ වැඩි අවදානමක් තිබෙනවා” කියා තවදුරටත් විශේෂඥ කණ්ඩායම කියා සිටිනවා.

ජංගම දුරකථන පිළිබඳ යම් මතභේද තිබුණද ආර්ථිකයට හා සමාජයට විශාල බලපෑමක් කිරීමට එයට හැකියාවක් තිබෙනවා. රූපවාහිනිය සහ පරිගණකය මෙන්ම ජංගම දුරකථනයත් හරි විදිහට භාවිත කළොත් එය ප්‍රයෝජනදායක දෙයක් වේවි. නැත්නම් කාලය කා දමන්නක් විය හැකියි. එනිසා ජංගම දුරකථනය මිතුරෙක්ද හතුරෙක්ද කියා තීරණය වන්නේ එය භාවිත කරන පුද්ගලයා අනුවයි.

[පාදසටහන]

^ 4 ඡේ. සමහර අවස්ථාවලදී නොමිලයේ ජංගම දුරකථනයක් ලබාදෙන්නේ නියමිත කාල සීමාවක් තුළ නියමිත දූරකථන ඇමතුම් ප්‍රමාණයක් ගැනීමට එකඟ වුවහොත් පමණයි.

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජංගම දුරකථන නිසි ලෙස භාවිත කිරීමට යෝජනා

1. ප්‍රසිද්ධ ස්ථානයක ඔබ ජංගම දුරකථනයකින් කතා කරන විට හෙමින් කතා කරන්න. දුරකථනයේ තිබෙන ශබ්ද විකාශනය ඉතාමත් ප්‍රබල නිසා මහ හයියෙන් කතා කිරීමට අවශ්‍ය නැහැ. අනික අනිත් අයට ඇහෙන්න කතා කරන්නේ මොකටද?

2. ආගමික එක් රැස්වීමකදී, ව්‍යාපාර රැස්වීමකදී, චිත්‍රපටියක් නරඹන විට හෝ වෙනත් ප්‍රසිද්ධ අවස්ථාවන්වලදී දුරකථනය ක්‍රියා විරහිත කර තබන්න. නැතහොත් නාදය නොඇසෙන සේ කම්පනයක් (vibrate) දැනෙන ආකාරයට සකස් කරන්න.

3. වාහනය පදවන විට අතට ගෙන කතා කළ යුතු දුරකථනයක් භාවිත නොකරන්න.

[28වන පිටුවේ පින්තූරය]

සෑම මසකම ලොව පුරා SMS පණිවිඩ බිලියන 30ක් පමණ හුවමාරු වෙනවා

[30වන පිටුවේ පින්තූරය]

රිය පදවන අවස්ථාවේ ජංගම දුරකථනය භාවිත කිරීම මත්පැන් පානය කර රිය පදවනවා හා සමානවම භයානකයි