Skip to content

පටුනට යන්න

දරුවන්ට දිය යුතු අවධානය දීම

දරුවන්ට දිය යුතු අවධානය දීම

බයිබලයේ දෘෂ්ටිකෝණය

දරුවන්ට දිය යුතු අවධානය දීම

 රුවන් සමඟ ගත කරන්න දෙවිගේ පුත්‍රයාට කාලයක් තිබුණාද? ඔහුගේ සමහර ගෝලයන් සිතුවේ එසේ කිරීමට ඔහුට කාලයක් නැති බවයි. එක අවස්ථාවකදී ඔවුන් කුඩා දරුවන්ව යේසුස් ළඟට යන්න නොදී වැළැක්වුවා. එවිට ඔහු මෙසේ පැවසුවා. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න.” ඉන්පසු ඔහු දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් එක්ක කතා කළා. (මාක් 10:13-16) මෙලෙස යේසුස් දරුවන් කෙරෙහි අවධානය දෙන්න කැමති බව පෙන්වුවා. ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න අද දින දෙමාපියන්ට හැකි වන්නේ කෙසේද? ඔවුන්ව නිසි ලෙස පුහුණු කිරීමෙන් හා ඔවුන් සමඟ කාලය ගත කිරීමෙන් එසේ කළ හැකියි.

වගකීමක් ඇතුව ක්‍රියා කරන දෙමාපියන් තම දරුවන්ගේ ශුභසිද්ධිය තකා වෙහෙසෙන අතර ඔවුන්ට අකාරුණිකව සැලකීමෙන් වළකිනවා. දෙමාපියන් තම දරුවන්ව අගනා වස්තුවක් ලෙස සැලකීම ස්වාභාවිකයි කියාද පැවසිය හැකියි. කොහොමවුණත්, අපේ කාලයේ සිටින බොහෝදෙනෙකු තුළ “ජන්ම ස්නේහය” නොතිබේවි කියා බයිබලයේ කලින්ම පවසා තිබුණා. (2 තිමෝති 3:1-3) දැනටමත් තම දරුවන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන දෙමාපියන්ට තවත් හොඳින් තම දරුවන්ව රැකබලා ගන්නා ආකාරය ගැන ඉගෙනගත හැකියි. තම දරුවන්ට යහපත වෙනවා දැකීමට කැමති දෙමාපියන්ට හැකියි මතු දැක්වෙන බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න.

දරුවන්ව තරහා නොගස්වා ඇති දැඩි කිරීම

ප්‍රසිද්ධ ගුරුවරයෙකු හා මනෝ චිකිත්සකයෙකු වන වෛද්‍ය රොබට් කෝල්ස් මෙසේ පැවසුවා. “දරුවා තුළ හරි වැරැද්ද දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. මං හිතන්නේ ඒක ලැබිලා තියෙන්නේ දෙවිගෙන් කියලායි. ඒ නිසා දරුවන් ආසයි හරි වැරැද්ද ගැන උපදෙස් ලබාගන්න.” හරි වැරැද්ද පිළිබඳ මඟ පෙන්වීමක් ලැබීමට තිබෙන මෙම ආශාව ඉටු කරන්න පුළුවන් වන්නේ කාටද?

ශුද්ධ ලියවිල්ලේ එෆීස 6:4හි මෙවැනි අවවාදයක් දෙයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” දෙවිට ප්‍රේම කිරීමට හා දිව්‍ය ප්‍රමිතිවලට ගැඹුරු ගෞරවයක් දැක්වීමට තම දරුවන්ට ඉගැන්වීමේ මූලික වගකීම ශුද්ධ ලියවිල්ලෙහි පවරා තිබෙන්නේ පියාට බව ඔබ දුටුවාද? ‘දෙමාපියන්ට කීකරු වන්න’ කියා එෆීස 6වන පරිච්ඡේදයේ 1වන පදයේ සඳහන් වදන් දරුවන්ට පැවසූ විට ප්‍රේරිත පාවුල් අදහස් කළේ පියා සහ මව යන දෙදෙනාටම කීකරු වීමයි.

පියා නැති අවස්ථාවේදී මව එම වගකීම දැරිය යුතු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ස්වාමිපුරුෂයා නැති මව්වරුන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිගේ හික්මවීමෙන් හා ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන් දරුවන්ව සාර්ථකව හදා වඩා තිබෙනවා. කෙසේවෙතත් මව විවාහ වෙනවා නම් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා මූලිකත්වය ගත යුතුයි. තම දරුවන් වෙනුවෙන් දෙනු ලබන පුහුණුව හා හික්මවීම සම්බන්ධයෙන් පියා ගන්නාවූ මූලිකත්වයට මව සහයෝගය දැක්විය යුතුයි.

ඔබ දරුවන්ව “තරහ නොගස්වා” හික්මවන්නේ හෝ පුහුණු කරන්නේ කෙසේද? එක දරුවෙක් තවත් දරුවෙකුට වඩා වෙනස් නිසා ඒ සඳහා විශේෂිත ක්‍රමයක් නැහැ. නමුත් දෙමාපියන් සැමවිටම තම දරුවන්ට ගෞරවනීයව හා ආදරණීයව හික්මවීම දෙන ආකාරය සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ව තරහා නොගැස්වීම යන කාරණය යළිත් කොලොස්සි 3:21හිද සඳහන් වීම සැලකිල්ලට භාජන විය යුතු කරුණකි. එහි නැවතත් පියවරුන්ට මෙම අවවාදය දී තිබෙනවා: “ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.”

සමහර දෙමාපියන් තම දරුවන්ට බණිනවා නැත්නම් කෑගහනවා. මෙයින් සිදු වන්නේ තව තවත් දරුවන්ව කේන්ති ගැස්වීමයි. එහෙත් බයිබලයේ දිරිගන්වන්නේ සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න” කියායි. (එෆීස 4:31) බයිබලයේ මෙසේද පවසනවා. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය.”—2 තිමෝති 2:24.

ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය දෙන්න

ඔබේ දරුවන්ට අවශ්‍ය අවධානය දීම යන්නෙන් අදහස් කරන්නේ දරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් ඔබේ සතුට හා පෞද්ගලික සැපපහසුකම් පරිත්‍යාග කිරීමටද ඔබ කැමති බවයි. බයිබලයේ මෙසේ පවසනවා. “මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය. ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා [ඉගැන්විය යුතුය, NW] ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:6, 7.

අද දින තිබෙන මූල්‍යමය වගකීම් නිසා තම දරුවන් සමඟ මුළු දවස පුරාම ඉන්න ලැබෙන්නේ දෙමාපියන්ගෙන් සුළු පිරිසකට විතරයි. ඒත් ද්විතීය කතාව නම් පොතේ දෙමාපියන්ට උනන්දු කරන්නේ තම දරුවන් සමඟ ගත කිරීමට කාලය සොයාගත “යුතුය” කියායි. එසේ කිරීමට නම් හොඳින් සංවිධානය වීම හා පරිත්‍යාගයන් කිරීම අවශ්‍යයි. ඇත්තෙන්ම දරුවන්ට මෙවැනි අවධානයක් දිය යුතුයි.

නහඹර වියේ පසු වන දරුවන් 12,000කට වැඩිදෙනෙකු පිළිබඳ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල සලකා බලන්න. පර්යේෂකයන්ගේ නිගමනය වූයේ මෙයයි. “දෙමාපියෙකු හා නහඹරයෙකු අතර තිබෙන ශක්තිමත් බැඳීම, ඔහුගේ සෞඛ්‍යය රැකගැනීමට හා වැරදි හැසිරීමකින් ඔහුව වළක්වාගැනීමට තිබෙන හොඳම දෙයයි.” තම දෙමාපියන්ගේ අවධානය ලබාගැනීමට දරුවන් බොහෝ සෙයින් කැමතියි. “ඕගොල්ලෝ වැඩියෙන්ම කැමති මොකකටද” කියා මවක් තම දරුවන්ගෙන් ඇසූ විට දරුවන් හතරදෙනාම කියා සිටියේ “අම්මායි තාත්තයි එක්ක කාලය ගත කරන්නයි” කියායි.

වගකීමෙන් යුතුව කටයුතු කරන දෙමාපියෙකු නම් තම දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට වගබලා ගනියි. දරුවන්ට අවශ්‍ය ආත්මික අධ්‍යාපනය හා දෙමාපියන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සිටීමද එම අවශ්‍යතාවන්ට ඇතුළත් වෙයි. ඉන් අදහස් කරන්නේ තම දරුවන්ට දක්ෂ, ගෞරවාන්විත මෙන්ම අවංක වැඩිහිටියන් වීමටත්, ඒවගේම සෙසු අයට කාරුණිකව සැලකීමටත්, තම මැවුම්කරුට මහිමය ගෙනෙන වැඩිහිටියෙකු බවට පත්වීමටත් උපකාර කිරීමයි. (1 සාමුවෙල් 2:26) දෙමාපියන් තම දරුවන්ට දෙවිගේ ක්‍රමයට අනුව පුහුණුව හා හික්මවීම දෙන විට ඔවුන් වගකීමෙන් කටයුතු කරන දෙමාපියන් බවට පත් වෙනවා.

[13වන පිටුවේ පින්තූරය]

බැණීමෙන් නැත්නම් කෑගැසීමෙන් දරුවෙකු කලකිරීමට පත් විය හැකියි

[13වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන් සමඟ කාලය ගත කරන්න