Skip to content

පටුනට යන්න

මානසික පීඩනයට මුහුණ දෙන්න ඔබට හැකියි!

මානසික පීඩනයට මුහුණ දෙන්න ඔබට හැකියි!

මානසික පීඩනයට මුහුණ දෙන්න ඔබට හැකියි!

“රැකියාව, පවුල සහ වෙනත් වගකීම් සමබරව කිරීම මෑත කාලයේදී අභියෝගයක් වී තිබෙනවා.” එසේ ලියැවී තිබුණේ පවුල් ජීවිතය පිළිබඳව මෑතකදී පළවූ පොතක. ඇත්තෙන්ම අප ජීවත් වන්නේ මානසික පීඩනයෙන් පිරි කාලයකයි. එය බයිබලය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට නම් නුහුරු දෙයක් නෙමෙයි. ඊට හේතුව මෙම කාලය “කටයුතු කිරීමට අසීරු අන්තරාදායක” කාලයක් වන බව බයිබලයේ පුරෝකථනය කර තිබීමයි.—2 තිමෝති 3:1-5.

“මානසික පීඩනය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒක පාලනය කරන්න තමන් දැනගන්න ඕනේ” කියා දරු තිදෙනෙකුගේ පියෙක් වන හේසූස් පවසනවා. පීඩනය පාලනය කරන එක කියන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා නම් පිළිගත යුතුයි. ඒත් ඔබට උපකාරවත් වන ප්‍රායෝගික යෝජනා හා බයිබල් ප්‍රතිපත්ති තිබෙනවා.

රැකියාව නිසා මානසික පීඩනය ඇති වේ නම්

ඔබේ රැකියාව නිසා මානසික පීඩනයක් ඔබට දැනෙනවාද? ඔබේ තත්වය කාටවත් නොකියා හිතේ හිර කරගෙන සිටීමෙන් සිදු වන්නේ ඔබේ පීඩනය වැඩිවීම පමණයි. බයිබලයේ හිතෝපදේශ 15:22හි සඳහන් වන්නේ, “මන්ත්‍රණ නැති තැන අදහස් ඉෂ්ට නොවේ” කියායි.

රැකියා ස්ථානයේ තිබෙන පීඩනය ගැන පර්යේෂණ කරන අය මෙවන් දෙයක් යෝජනා කරනවා. “ඔබේ කාර්යාලයේ ස්වාමියාට කතා කරන්න. ඔබට ගැටලුවක් තිබෙනවා කියා ඔවුන් දන්නේ නැත්නම් ඔවුන්ට බැහැ ඔබට උපකාර කරන්න.” කෝපයෙන් ඔබේ හැඟීම් ප්‍රකාශ කළ යුතු බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. “මක්නිසාද යටත් වීමෙන් මහත් අමනාපය සංසිඳෙයි” කියා දේශනාකාරයා 10:4හි පවසනවා. හැඟීම්වලට බර නොවී සන්සුන්ව හා ප්‍රායෝගිකව කටයුතු කරන්න. ස්වාමියා සමඟ වාද කිරීමෙන් වළකින්න. රැකියාවේ තිබෙන පීඩනය අඩු වූ විට සේවයේ ගුණාත්මකභාවය වැඩි වන බව ඔහුට පෙන්වා දෙන්න ඔබට හැකියි.

රැකියාවේ අද්දකින අනෙක් ගැටලු වන සෙසු සේවකයන් සමඟ ඇති වන අමනාපය හා ගැටුම් සම්බන්ධයෙන්ද එම උපදෙස් අදාළ වෙනවා. එවැනි ගැටුම් හොඳින් විසඳාගැනීමට ගත හැකි සුදුසු ක්‍රියාමාර්ග ගැන සොයා බලන්න. ඒ පිළිබඳව මීට පෙර මෙම සඟරාවේ ලිපි කිහිපයක් පළ වී තිබෙනවා. එම ලිපි කියවීමෙන් ඔබට යම් උපකාරයක් ලබාගත හැකියි. * තත්වය විසඳාගැනීමට නොහැකි නම් රැකියාව වෙනස් කිරීම හොඳ දෙයක් වෙන්න පුළුවන්.

මුදල් ප්‍රශ්න නිසා ඇති වන පීඩනය අවම කිරීම

මේ ගැන බයිබලයේද උපදෙස් දී තිබෙනවා. ඔබට තිබෙන මුදල් ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට එම උපදෙස් උපකාරවත් වෙයි. යේසුස් ක්‍රිස්තුස් කීවේ මෙයයි. “කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න.” (මතෙව් 6:25) කොහොමද කනස්සලු වීම නතර කරන්නේ? යෙහෝවා දෙවි ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරාලයි කියන විශ්වාසය ඇතිව සිටීමෙන්. (මතෙව් 6:33) යෙහෝවා දෙන පොරොන්දුව බොරු පොරොන්දුවක් නෙමෙයි. ක්‍රිස්තියානීන් දහස් ගණනක් එම පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබනවා.

මුදල් ප්‍රශ්නවලදී ඔබට “ප්‍රඥාව” අවශ්‍යයි. (හිතෝපදේශ 2:8; දේශනාකාරයා 7:12) “මන්ද, අප ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යන්නත් බැරිය. එබැවින් කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු” කියා බයිබලයේ අපට සිහිගන්වනවා. (1 තිමෝති 6:7, 8) තියෙන දෙයින් සෑහීමට පත්වීමට ඉගෙනගැනීම කළ හැකි දෙයක්. අනතුරක් නිසා රෝද පුටුවට කොටු වූ කලින් ලිපියේ සඳහන් කළ ලියාන්ඩ්‍රෝ හා ඔහුගේ භාර්යාව තමන්ගේ මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කිරීමට යම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත්තා. ලියාන්ඩ්‍රෝ ඒ ගැන මෙසේ පැහැදිලි කරනවා. “අපි වියදම් අඩු කිරීමට උත්සාහ කරනවා. අපි විදුලි බිල අඩු කර ගන්න නිවසේ අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමනවා. කාර් එකේ සැරෙන් සැරේ නොයා කලින්ම සැලසුම් කරලා එක ගමනින් හැම දෙයක්ම කරගන්නවා. එතකොට ඉන්ධන පිරිමැහෙනවා.”

දරුවන්ට හරි ආකල්පයක් ඇති කරගන්න උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන්. ලියාන්ඩ්‍රෝගේ දියණිය වන කාමන් ඇගේ අදහස් මෙසේ එකතු කළා. “ඉස්සර මම හිතෙන හිතෙන දේ ගත්තා. ඒත් මට ඇත්තටම අවශ්‍ය දේවල් විතරක් තෝරලා බේරලා ගන්න මට මගේ දෙමාපියන් උපකාර කළා. මුලදී ඒකට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. මම ගන්න ආස දේවල් සහ ඇත්තටම මට උවමනා කරන දේවල් මොනවාද කියා තේරුම්ගන්න මම ඉගෙනගත්තා.”

අදහස් හුවමාරුව මානසික පීඩනය අඩු කරයි

නිවස සැනසිලිදායක තැනක් විය යුතුයි. නමුත් බොහෝවිට මානසික පීඩනයට මූලික හේතුවක් වී තිබෙන්නේ නිවසේ වාතාවරණයයි. එයට හේතුව කුමක්ද කියා එක් පොතක ප්‍රකාශ කර තිබුණා. “යම් සිත්තැවුලකින් සිටින හෝ එකිනෙකා අතර සතුරුකමක් තිබෙන . . . විවාහක යුවළයන් භේද වී සිටින්නේ ඔවුන් අතර අදහස් හුවමාරුව නොමැති නිසයි.”—Survival Strategies for Couples.

විවාහක අයට තම අදහස් හුවමාරු කිරීමේ හැකියාව දියුණු කරගැනීමට උපකාර කරන්න බයිබල් ප්‍රතිපත්තිවලට හැකියි. “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කතා කරන්ට කාලයක්” තිබෙන බවත් “සුදුසු ප්‍රස්තාවට කියන වචනය කොපමණ යහපත් වේද!” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1, 7; හිතෝපදේශ 15:23) මෙම බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගැනීමෙන් ඔබේ සහකාරිය හෝ සහකරු වෙහෙස වී සිටින විට හිතට බලපාන කාරණා ගැන කතා නොකර සිටීමට හැකි වේවි. ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා නිදහසේ සිටින වේලාවක් පැමිණෙන තුරු බලා සිටීම හොඳ දෙයක් නෙමෙයිද?

රැකියා ස්ථානයේ වෙහෙසකර දවසක් නිම කරන්න සිදු වුණා නම් සන්සුන්ව හෝ ඉවසිලිවන්තව සිටීම ලෙහෙසි පහසු දෙයක් නොවීමට පුළුවන්. නමුත් අපි බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට සැරපරුෂ ලෙස කතා කරනවා නම් මොකද වෙන්නේ? බයිබලයේ කියන්නේ “කර්කශ වචනය තරහ උපදවයි” කියායි. (හිතෝපදේශ 15:1) ඒත් “ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය; ඇටවලට සනීපය.” (හිතෝපදේශ 16:24) පවුල් ජීවිතයේ සිදු කරන කතා බහ “වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම්” වැනි දේවලින් තොරව තබාගැනීමට වෑයමක් අවශ්‍යයි. (එෆීස 4:31) නමුත් එයින් ලැබෙන ප්‍රයෝජන වටිනවා. අදහස් හුවමාරු කරන යුවළයන්ට හැකියි එකිනෙකාට සහනය සහ සහයෝගය ලබා දීමට. “යහපත් දැනුමැතිකම් ලත් අයට ප්‍රඥාව ඇත” කියා හිතෝපදේශ 13:10හි සඳහන් වෙනවා. *

දෙමාපියන් හා දරුවන් අතර අභියෝගයක් වන අදහස් හුවමාරුව

දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීම අභියෝගයක්. විශේෂයෙන්ම මේ සඳහා කාලයක් නොමැති වීම අභියෝගයක්. බයිබලයේ දෙමාපියන්ට උනන්දු කරන්නේ ‘ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද’ වැනි සෑම අවස්ථාවකදීම තම දරුවන්ට කතා කරන්න කියායි. (ද්විතීය කතාව 6:6-8) “කතා කරන්න අවස්ථාව සොයාගන්න ඕනේ. මම මගේ පුතා එක්ක කාර් එකේ යන එනකොට එම අවස්ථාව යොදාගන්නවා ඔහුත් සමඟ කතා කරන්න.” එසේ පැවසුවේ ලියාන්ඩ්‍රෝ.

හැම දෙමාපියෙකුටම තම දරුවන් සමඟ කතා කිරීම පහසු දෙයක් නෙමෙයි කියන කාරණය පිළිගත යුතුයි. දරු තිදෙනෙකුගේ මවක් වන ආලේකාන්ඩ්‍රා මෙහෙම කියනවා. “මම දන්නේ නැහැ ඇහුම්කන් දෙන්නේ කොහොමද කියලා. හරි හැටි අදහස් හුවමාරු කරගන්න බැරි නිසා මට කේන්තියක් වගේම වරදකාරී බවක් දැනුණා.” මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට දෙමාපියෙකුට මොනවද කරන්න පුළුවන්? “ඇසීමට ඉක්මන් වීමට” ඉගෙනගන්න අවශ්‍යයි. (යාකොබ් 1:19) “අවධානයෙන් යුතුව ඇහුම්කන් දීම තමයි මානසික පීඩනය අවම කරගැනීමට හැකි හොඳම ක්‍රමය.” එසේ කියන්නේ වෛද්‍ය බෙටි බි. යංස්. ඔබ ඇහුම්කන් දෙන ආකාරය ගැන කල්පනා කර බැලිය යුතුයි. හොඳ දෘෂ්ටි සම්බන්ධයක් තබාගන්න. දරුවන්ගේ ගැටලු සැහැල්ලුවට ගන්න එපා. දරුවන්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට දිරිගන්වන්න. ඔවුන්ගෙන් සුදුසු ප්‍රශ්න අසන්න. ඔබේ ආදරය නොඅඩුව පෙන්වන්න. ඒවගේම ඔවුන් හරි දේ කරයි කියා ඔබ විශ්වාස කරන බවත් ඔවුන්ට දැනෙන්න සලස්වන්න. (2 තෙසලෝනික 3:4) දරුවොත් එක්ක එකතු වී යාච්ඤා කරන්න.

හොඳ අදහස් හුවමාරුවක් දිගටම පවත්වාගන්න වෑයමක් අවශ්‍යයි. එසේ කිරීමෙන් පවුල තුළ තිබෙන පීඩනය අවම කරගත හැකියි. අදහස් හුවමාරු කිරීම තුළින් ඔබේ දරුවෝ මානසික පීඩනයෙන් පෙළෙනවාද කියා ඔබට දැනගත හැකියි. දරුවන්ගේ හැඟීම් සහ තත්වයන් තේරුම්ගත් විට ඔවුන්ට නැණවත් ලෙස මඟ පෙන්වීම් දීමට ඔබට හැකියි. තමන්ගේ මනසට බලපාන දේවල් ගැන පැවසීමට යෞවනයන්ව දිරිගැන්වීමෙන් වැරදි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තුළ තිබෙන පෙලඹීම අඩු කළ හැකියි.

ගෙදර දොරේ වැඩ සඳහා සහයෝගය

ස්වාමිපුරුෂයා හා බිරිඳ යන දෙදෙනාම රැකියාවල නිරත වෙනවා නම් ගෙදර දොරේ වගකීම් ඉටු කිරීම වෙහෙසකර දෙයක් විය හැකියි. රැකියාවන් කරන මව්වරු මේ තත්වයට මුහුණ දීම සඳහා තම නිවසේ වැඩ කටයුතු සරල කර තිබෙනවා. ඔවුන් පවසන්නේ වෑංජන කිහිපයක් සහිත ආහාර වේලක් සූදානම් කිරීම පහසු දෙයක් හෝ ප්‍රායෝගික දෙයක් නොවන බවයි. භෝජන සංග්‍රහයක් පිළියෙල කිරීමට වෙහෙස වූ ස්ත්‍රියකට යේසුස් දුන් අවවාදය මතකද? ඔහු පැවසුවේ, “අවශ්‍යව තිබෙන්නේ කීපයක් පමණි. නැත්නම් එක දෙයකි” කියායි. (ලූක් 10:42) එමනිසා කරන දේ සරලව කරන්න. එක් පොතක මෙවැනි යෝජනාවක් දී තිබුණා. “භාජන රාශියක් පාවිච්චි නොකර භාජනයක් හෝ දෙකක් පාවිච්චි වන සේ සරල ආහාරයක් සකසාගන්න.” (The Single-Parent Family) ඔබේ නිවසේ වැඩ කටයුතු සරල කිරීමෙන් මානසික පීඩනය අඩු කරගත හැකියි.

ඔබ එවන් දේ කළත් කිරීමට තවත් බොහෝ දේ තිබෙන්න පුළුවන්. රැකියාවේ නියුතු එක් මවක් මෙවන් දෙයක් පැවසුවා. “මගේ තරුණ කාලේ මට හැම දෙයක්ම කරන්න පුළුවන් වුණා. දැන් මම වයසයි. දැන් තමයි මට අමාරුව දැනෙන්නේ. තරුණ කාලේ ඕනෑවට වඩා වැඩ කරපු නිසා දැන් මම ප්‍රතිඵල විඳිනවා. පවුලේ එක් එක් සාමාජිකයන් සහයෝගය දක්වන විට ඉන් පෙනෙනවා ඔවුන්ගේ සැලකිලිමත්භාවය. ඒ වගේම මගේ මානසික පීඩනය අඩු කරගැනීමටත් ඒක දායක වෙනවා.” පවුලේ හැම සාමාජිකයෙක්ම කැමැත්තෙන්ම ගෙදර දොරේ වගකීම්වලට උර දෙන විට කාටවත් අනවශ්‍ය වෙහෙසක් දැනෙන්නේ නැහැ. දෙමාපියන්ට උපදෙස් සපයන එක් පොතක මෙවන් දෙයක් සඳහන් වී තිබුණා. “දරුවන්ව ගෙදර දොරේ වැඩවලට යෙදවීමෙන් . . . එම වැඩ සාර්ථකව ඉටු කළාය යන හැඟීම ඔවුන් තුළ ඇති කරගැනීමට සලස්වන්න පුළුවන්. මෙසේ නිතිපතා යම් පිළිවෙළකට ගෙදර දොරේ වැඩ කිරීමෙන් හොඳ පුරුදු සහ වැඩ ගැන හොඳ ආකල්පයක් ඔවුන් තුළ ඇති වෙනවා.” දරුවන් සමඟ එකතු වී ගෙදර දොරේ වැඩ කිරීමෙන් ඔවුන් සමඟ කාලය ගත කිරීමටත් හැකියාව ලැබෙනවා.

තරුණියක් වන ජූලියෙටා මෙවන් දෙයක් ප්‍රකාශ කරනවා. “මම අම්මාගේ වැඩවලට සහාය දෙන විට ඇයට දැනෙන සහනය මට තේරෙනවා. ඒක මට සතුටක්. ඒවගේම වැඩක් වගකීමෙන් යුතුව කරන්න ඕනේ කියන හැඟීමත් මා තුළ ඇති වෙනවා. ඒක මගේ පවුලේ අයව අගය කරන්න මට උපකාරයක් වෙනවා. ගෙදර දොරේ වැඩ කටයුතු බලා කියා ගන්න ඉගෙනගැනීම අනාගතයට මට හොඳ අඩිතාලමක් වෙලා තියෙනවා.” මේරි කාමන්ද එවැනි දෙයක් කියනවා. “අපි පොඩි කාලේ අපේ වැඩ කරගන්න අම්මා අපිට ඉගැන්නුවා. මෙයින් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා.”

මානසික පීඩනයෙන් හෙම්බත් නොවීමට ප්‍රායෝගික ක්‍රම

මානසික පීඩනය වර්තමාන ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා. එයින් වැළකීමට ඔබට බැහැ. නමුත් එයින් හෙම්බත් නොවී සිටීමට යමක් කළ හැකියි. (දහවන පිටුවේ ඇති කොටුව බලන්න.) බයිබල් ප්‍රතිපත්ති පිළිපැදීම උපකාරවත් වේවි. උදාහරණයකට ඔබ මුහුණ දෙන යම් තත්වයන් නිසා ඔබේ හිතට මහත් බරක් දැනෙනවා නම් එම අවස්ථාවේදී මේ උපදෙස මතක තියාගන්න. “සහෝදරයෙකුට වඩා ඇලුම් වූ මිත්‍රයෙක් ඇත.” (හිතෝපදේශ 18:24) ඔබේ හිතට වද දෙන කාරණා ගැන දැනුම් තේරුම් තිබෙන මිත්‍රයෙකු සමඟ හෝ ඔබේ කලත්‍රයා සමඟ කතා කරන්න. “හිතේ තද කරගෙන ඉන්න එපා. ඔබව තේරුම් ගන්න පුළුවන් දැනුම් තේරුම් තියෙන කෙනෙකුට ඔබේ හිතට වද දෙන ප්‍රශ්න ගැටලු කියන්න.” එසේ පවසන්නේ, සමාජ විද්‍යාඥයෙක් වන රොනල්ඩ් පීට්සර්.

‘තමාගේ ආත්මයට යහපත කරගන්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 11:17) ඔබේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම හොඳ දෙයක්. බයිබලයේ සඳහන් වෙන්නේ, “වැඩ කිරීමෙන්ද හුළඟ ලුහුබැඳ යෑමෙන්ද පුරවාගත් දෙමිටකට වඩා නිශ්චලව සිට පුරවාගත් මිටක් යහපත්ය” කියායි. (දේශනාකාරයා 4:6) තේ කෝප්පයක් බීම, යමක් කියවීම, යාච්ඤා කිරීම හෝ නිවීසැනසිල්ලේ මෙනෙහි කිරීම වැනි දේ සඳහා උදේ පාන්දර විනාඩි කිහිපයක් ඔබට වෙන් කළ හැකි නම් එයින් ඔබ විශාල සහනයක් අද්දකීවි!

ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීම සහ සමබර ආහාර වේලක් ගැනීමත් උපකාරවත් වෙයි. දෙමාපියන් සඳහා උපදෙස් සපයා ඇති පොතක අපට මෙවන් දෙයක් පවසනවා. “ඔබේ වටිනා කාලයෙන් හා ශක්තියෙන් ටිකක් ඔබ සඳහා වෙන් කිරීම හරියට ඔබේ සම්පත් ගබඩාව නැවත පුරවනවා වගේයි. . . . ඔබ ශක්තිය වැය කරනවා මිසක එය නැවත ලබාගන්නේ නැත්නම් ඔබට අන්තිමට වැය කරන්න ශක්තියක් ඉතුරු වෙන එකක් නැහැ.”

ඒවගේම මානසික පීඩනය සමඟ කටයුතු කිරීමට දායක වන “මෘදු ගුණය” ඉවසිලිවන්තකම සහ කරුණාවන්තකම වැනි ගුණාංග වර්ධනය කරගැනීමටත් බයිබලය අපට උපකාර සපයයි. (ගලාති 5:22, 23; 1 තිමෝති 6:11) ඊට අමතරව, බයිබලයේ අපට බලාපොරොත්තුවක් ලබා දෙනවා. එය නම් පැමිණෙන අලුත් පොළොව තුළ මිනිසාගේ දුකට හේතු වන සෑම දෙයක්ම නැති වී යනු ඇති බවයි! (එළිදරව් 21:1-4) එමනිසා බයිබලය දිනපතා කියවීමේ පුරුද්ද වර්ධනය කරගැනීම නැණවත් දෙයක්. එවැනි දෙයක් කිරීමට ඔබට උපකාරයක් අවශ්‍ය නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොමිලයේ උපකාර කිරීමට ඉතා සතුටෙන් සිටිනවා.

ක්‍රිස්තියානියෙකුට මානසික පීඩනයක් දැනෙන්නේ නැහැයි කියන වගක් මින් අදහස් කරන්නේ නැහැ. යේසුස් පැවසුවේ ‘ජීවිතයේ කරදරවලින් ඔබේ සිත් බරවීම’ වළක්වාගත හැකි බවයි. (ලූක් 21:34, 35) ඒවගේම ඔබ යෙහෝවා දෙවිව මිතුරෙකු ලෙස හැඳිනගන්නවා නම් ඔබට සදා සරණක් වීමට ඔහුට හැකියි! (ගීතාවලිය 62:8) ජීවිතයේ වෙහෙස නිසා ඇතිවන පීඩනයට මුහුණ දීම සඳහා ඔබට උපකාර කිරීමට ඔහුට හැකියි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වර්ෂ 2004 මැයි 8 පිබිදෙව්! කලාපයේ “රැකියා ස්ථානයක්ද යුධ පිටියක්ද?” යන ලිපියෙන් ආරම්භ වන ලිපි මාලාව බලන්න.

^ 15 ඡේ. වැඩි තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ 3වන පරිච්ඡේදය බලන්න.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මගේ තරුණ කාලේ මට හැම දෙයක්ම කරන්න පුළුවන් වුණා. දැන් මම වයසයි. දැන් තමයි මට අමාරුව දැනෙන්නේ. තරුණ කාලේ ඕනෑවට වඩා වැඩ කරපු නිසා දැන් මම ප්‍රතිඵල විඳිනවා”

[10වන පිටුවේ කොටුව/පින්තූර]

මානසික පීඩනය අඩු කරගැනීමට

▪ සෑම දිනකම ප්‍රමාණවත් විවේකයක් ගන්න

▪ නිතිපතා සමබර ආහාර වේලක් ගන්න. ඕනෑවට වඩා ආහාර ගැනීමෙන් වළකින්න

▪ ඉක්මනින් ඇවිදීම වැනි යෝග්‍ය ව්‍යායාමයක් නොකඩවා කරන්න

▪ ඔබේ හිතට යමක් වද දෙනවා නම් ඒ ගැන මිතුරෙකුට පවසන්න

▪ ඔබේ පවුල සමඟ විනෝද වීමට වැඩි කාලයක් දෙන්න

▪ ගෙදර දොරේ වැඩ කොටස් බෙදා හදාගෙන කරන්න

▪ ඔබේ ශාරීරික සහ මානසික සීමාවන් තේරුම්ගන්න

▪ සාධාරණ ඉලක්ක තබාගන්න, හැම දෙයක්ම අකුරටම කිරීමට වෑයම් කරන්න එපා

▪ දේවල් හොඳින් සංවිධානය කරන්න, සාධාරණ කාලසටහනක් තබාගන්න

▪ මෘදුකම සහ ඉවසීම වැනි ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්න

▪ ඔබ සඳහා යම් කාලයක් වෙන් කරන්න

[7වන පිටුවේ පින්තූරය]

ගෞරවාන්විත ලෙස ස්වාමියා සමඟ රැකියාවේ ගැටලු ගැන කතා කිරීමෙන් පීඩනය අඩු කරගත හැකියි

[8වන පිටුවේ පින්තූරය]

මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කළ හැකි ක්‍රම ගැන දෙමාපියන්ට දරුවන් සමඟ කතා කළ හැකියි

[8වන පිටුවේ පින්තූරය]

තමන්ට උපකාර කළ හැකි කෙනෙකු සමඟ තමන්ගේ මානසික පීඩනය ගැන කතා කරන්න යෞවනයන්ට හැකියි

[8, 9වන පිටුවේ පින්තූරය]

ගෙදර දොරේ වැඩ සඳහා හැමෝටම උදව් කළ හැකියි