Skip to content

පටුනට යන්න

මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල

මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල

මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල

මානසික පීඩනය කියන්නේ මොකක්ද? එක් වෛද්‍යවරයෙක් පවසන ආකාරයට එය “ශරීරයට හෝ මනසට පීඩනයක් ඇතිවීමට හේතු වන කාංසාවක්, මනසේ රසායනික ක්‍රියාකාරකම්වල ඇති වෙනස්කමක් හෝ ශරීරයේ ඇති වන පීඩාකාරී තත්වයක්.” මානසික පීඩනය සම්පූර්ණයෙන්ම අහිතකර දෙයක්ද? ඇත්තෙන්ම නැහැ. වෛද්‍යවරියක් වන මෙලීසා සි. ස්ටූප්ලර් පවසන ආකාරයට “යම් ප්‍රමාණයකට මානසික පීඩනයක් හා ආතතියක් තිබීම සමහර අවස්ථාවලදී ප්‍රයෝජනදායක වෙන්න පුළුවන්. යම් ව්‍යාපෘතියක හෝ පැවරුමක නියැලෙන විට සුළු මානසික පීඩනයක් දැනීමෙන් එම වැඩ කටයුතු හොඳින් සහ උද්‍යෝගිමත් ලෙස කිරීමට හැකි වෙනවා.”

මානසික පීඩනය ගැටලුවක් වෙන්නේ කොයි අවස්ථාවේදීද? ස්ටූප්ලර් කියන විදිහට නම් “එයින් අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ පීඩනය ඕනෑවට වඩා වැඩියෙන් තිබීම නිසා නැතහොත් එයට පිළියමක් නොකළ විටයි.” මානසික පීඩනයට හේතු වන කාරණා කිහිපයක් සලකා බලන්න.

ජීවිතය ගැට ගසාගැනීමට කරන යුද්ධය නිසා

සාලමොන් රජ මෙසේ පැවසුවා. “මනුෂ්‍යයෙකු විසින් කා බී තමාගේ සිතින් තමාගේ උත්සාහයේ යහපත විඳිනවාට වඩා හොඳ දෙයක් නැත.” (දේශනාකාරයා 2:24) ඒ කෙසේවෙතත්, රැකියාවේ නියුතුවන්නන් බොහෝදෙනෙකුගේ මානසික පීඩනයන්ට හේතුවක් වී තිබෙන්නේ ඔවුන්ගේ රැකියාවයි.

රැකියාවේ නියුතුවන්නන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳව සොයා බලන යුරෝපයේ ආයතනය විසින් සැකසූ වාර්තාවක, සේවකයන් සේවයේ නිරතව සිටින විට මානසික පීඩනය අද්දැකීමට හේතුව කුමක්ද කියා සඳහන් වී තිබුණේ මෙයාකාරයටයි. සේවකයන් හා පාලකයන් අතර තිබෙන දුර්වල අදහස් හුවමාරුව, සේවකයන්ට බලපාන තීරණ ගැන තම අදහස් පළ කිරීමට සේවකයන්ට ඉඩ නොදීම, සෙසු සේවකයන් සමඟ තිබෙන ගැටුම් හෝ රැකියාව අස්ථිර වීම හෝ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නැතහොත් ඒ කාරණා දෙකම ඇතුළු වෙනත් කාරණාවන්ද ඊට හේතු වෙනවා. හේතුව කුමක් වුවත් රැකියා ස්ථානයේ තිබෙන වෙහෙසකර වාතාවරණය නිසා දෙමාපියන් තම පවුල් වගකීම් ඉටු කිරීමට අසමත් වීමට ඉඩ තිබෙනවා. දෙමාපියන් අතින් ඉටු විය යුතු වගකීම් බොහොමයක් තිබිය හැකියි. නිදසුනකට එක්සත් ජනපදයේ වසරක කාලපරිච්ඡේදයක් තුළ මිලියන 50ක් පමණ පුද්ගලයන් තම පවුලේ සිටින අසනීප අයෙකු හෝ වයසක සාමාජිකයෙකු රැකබලා ගෙන තිබෙනවා. මූල්‍යමය ගැටලුත් පවුල තුළ පීඩනයක් ඇති කිරීමට විශාල හේතුවක් විය හැකියි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන රීටා තම ස්වාමිපුරුෂයා වන ලියාන්ඩ්‍රෝ රිය අනතුරකට ලක් වී රෝද පුටුවකට සීමා වූ විට විශාල මුදල් ගැටලුවකට මුහුණ දුන්නා. ඇය මෙසේ පවසනවා. “මුදල් ප්‍රශ්න තියෙනකොට ඒක ලොකු පීඩනයක්. ගෙදර දොරේ වැඩවලට අතේ සල්ලි නැති වෙනකොට ඒක ඔළුවට බරක්.”

තනි මාපියන්ට තිබෙන පීඩන

තනි මාපියන් තම පවුල් වගකීම් ඉටු කිරීමේදී විශාල මානසික පීඩනයක් අද්දකිනවා. උදේ රැයින් නැඟිට උදේ ආහාරය සූදානම් කිරීම, දරුවන්ව අන්දවා පාසැලට ඇරලවීම, වේලාවට රාජකාරියට වාර්තා කිරීම සහ රාජකාරියට අදාළ වගකීම් ඉටු කිරීම වැනි දහසකුත් වැඩ කටයුතු නිසා තනි වූ මවක් හෝ පියෙක් ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත් විය හැකියි. මවකට තම රැකියා ස්ථානයේ වැඩ අවසන් කළ පසුත් කිරීමට වැඩ රාශියක් තිබෙනවා. ඇයට තම දරුවන්ව පාසැලෙන් රැගෙන ඒමට, රාත්‍රි ආහාරය සූදානම් කිරීමට සහ නිවසේ අනෙකුත් වැඩ කටයුතු කිරීමට තිබෙනවා. නහඹර වියේ පසු වන දියණියන් හතරදෙනෙක් සිටින මාරියා මෙහෙම කියනවා. “මට තියෙන පීඩනය කොයිතරම්ද කියනවා නම් මගේ ඔළුව පුපුරන්න එනවා.”

දරුවෝ අද්දකින මානසික පීඩනය

ඒ ගැන සමාජ විද්‍යාඥයෙක් වන රොනල්ඩ් එල්. පීට්සර් මෙවන් දෙයක් පවසනවා. “යෞවනයන් හුඟදෙනෙක් මානසික පීඩනය තදින්ම අද්දකිනවා.” ඔවුන්ට සිදු වෙනවා මල්වරවියේදී ඇති වන ශාරීරික හා මානසික වෙනස්කම්වලට මුහුණ දෙන්න. ඒවගේම ඔවුන්ට පාසැලේදීත් යම් යම් පීඩනකාරී තත්වයන් අද්දකින්න සිදු වෙනවා. ළමා මානසික පීඩනය! නමැති පොතට අනුව දරුවන්ගේ සාමාන්‍ය පාසැල් දිනයක් “ගැටලුවලින් හා පීඩනවලින් පිරිලා තියෙන නිසා ඔවුන් මානසික පීඩනය අද්දකිනවා. අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතුවල නියැලෙද්දීත්, මිතුදම් පවත්වද්දීත්, ගුරුවරුන් සමඟ කටයුතු කරද්දීත් එය අද්දකිනවා.”—එම පොත සිංහලෙන් නැත.

රටේ තොටේ සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාර සහ අනෙකුත් ආපදාවන් නිසා පමණක් නොව ඇතැම් ප්‍රදේශවල පාසැල් භූමි තුළ සිදු වන සැහැසික ක්‍රියාවන් නිසාද දරුවන් තුළ දැන් කාන්සාවක් හා භයක් ඇති වී තිබෙනවා. “අද ලෝක තත්වය කොයිතරම් භයානකද කියා දෙමාපියන් නිතර නිතර කතා කරනකොට නම් අපිට බයක් දැනෙනවා” කියා එක් දැරියක් පැවසුවා.

දෙමාපියන් තම දරුවන්ට ශක්තියේ උල්පතක් විය යුතුයි. නමුත් සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය බව පීට්සර් පවසනවා. “බොහෝ අවස්ථාවල දරුවන් සහ නහඹරයන් තමන්ගේ හැඟීම් ගැන දෙමාපියන්ට පවසන්න කොතරම් උත්සාහ දැරුවත් ඔවුන් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නෙත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ.” සමහර අවස්ථාවල අඹු සැමියන් අතර තිබෙන ගැටලු නිසා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න බැරි වී තිබෙනවා. ටීටෝ නමැති දරුවා මෙහෙම කියනවා. “මගේ අම්මායි තාත්තායි නිතරම රණ්ඩු වුණා.” අන්තිමේදී ඔහුගේ දෙමාපියන් දික්කසාද වුණා. ළමා මානසික පීඩනය! නමැති පොතේ මෙවන් දෙයක් සඳහන් වෙනවා. “දරුවන්ට මානසික පීඩනයක් ඇති වෙන්නේ දෙමාපියන් අඬ දබර කරගැනීම නිසාම නොවෙයි. තරහව හිතේ තියාගෙන බොරු ආදරයක් මවාපෑමත් එයට හේතු වෙනවා.”

ඇති විය හැකි ප්‍රතිඵල

ඔබ තරුණ වුණත් මහලු වුණත්, මානසික පීඩනය ඇති වන්නේ රැකියාව හෝ පාසැල නිසා වුණත් නිරතුරුව පවතින මානසික පීඩනයෙන් ඔබේ සෞඛ්‍යයට විශාල හානියක් සිදු විය හැකියි. වෛද්‍ය සඟරාවට ලිපි සපයන එක් ලේඛකයෙක් මෙසේ සටහන් කළා. “මානසික පීඩනයක් ඇතිවීමට පටන්ගැනීම හරියට ගුවන්ගත වීමට සැරසෙන ගුවන් යානයක් වගෙයි.” ඒ වගේ ඔබට මානසික පීඩනයක් දැනෙන විටත් ඔබේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය ඉහළ යනවා. ඔබේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. හෝමෝන ස්‍රාවය වෙන්න පටන්ගන්නවා. “මානසික පීඩනය දිගින් දිගට තිබේ නම් එය ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම (මොළය, හෘදය, පෙණහලු, රුධිර වාහිනි සහ මාංස පේශීන්වලට) බලපානවා. ඒවායෙහි ක්‍රියාකාරිත්වය අඩුවීමට හෝ වැඩිවීමට එය හේතු වෙනවා. කාලයක් යන විට එමගින් ශාරීරික හෝ මානසික හානියක් සිදු විය හැකියි” කියා එම ලේඛකයා තවදුරටත් සඳහන් කරනවා. මානසික පීඩනය නිසා වැලඳිය හැකි රෝග ප්‍රමාණය කොතරම්ද කියා දැනගත් විට ඔබ පුදුමයට පත් වේවි. හෘදයාබාධ, ආඝාතය, ප්‍රතිශක්ති ඌනතාව, පිළිකාව, මාංස පේශීන් සහ ඇටකටු ආශ්‍රිත රෝග, දියවැඩියාව වැනි රෝග ඉන් කිහිපයක් පමණයි.

හුඟදෙනෙක් විශේෂයෙන්ම යෞවනයන් මානසික පීඩනයට මුහුණ දෙන්නේ වැරදි විදිහට. ඒ ගැන අවධානයක් දිය යුතුයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය බෙටි බි. යංස් කනගාටුවෙන් මෙසේ ප්‍රකාශ කරනවා. “තරුණයන් එයින් මිදීමට කරනු ලබන දේවල් ගැන අහන්නත් දුකයි. ඔවුන් මත්පැන් හා මත්ද්‍රව්‍ය ගන්නවා. පාසැලෙන් කට්ටි පනිනවා. යුතුකම් පැහැර අරිනවා. අසංවර ලිංගික හැසිරීමේ නියැලෙනවා. කලහකාරී ලෙස හැසිරෙනවා. සාහසික දේවල් කරනවා. නිවස හැර යනවා. ගැටලුවෙන් මිදීමට ගන්නා ක්‍රියාමාර්ග නිසා තවත් ප්‍රශ්න ගොන්නකට ඔවුන් මැදි වෙනවා.”

මානසික පීඩනය අද දින සාමාන්‍ය දෙයක්. එය සම්පූර්ණයෙන්ම වළක්වාගන්න බැහැ. නමුත් එය පාලනය කරගැනීමට අපට කළ හැකි දේවල් ඊළඟ ලිපියේ විස්තර කර තිබෙනවා.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට තියෙන පීඩනය කොයිතරම්ද කියනවා නම් මගේ ඔළුව පුපුරන්න එනවා”

[5වන පිටුවේ පින්තූරය]

තනි මාපියන් බොහෝවිට මානසික පීඩනය අද්දකිනවා

[6වන පිටුවේ පින්තූරය]

සමහරවිට පාසැලේදී යෞවනයන් අනවශ්‍ය පීඩනයක් අද්දකින්න ඉඩ තිබෙනවා