Skip to content

පටුනට යන්න

මානසික පීඩනය ජීවිතයට තර්ජනයක්!

මානසික පීඩනය ජීවිතයට තර්ජනයක්!

මානසික පීඩනය ජීවිතයට තර්ජනයක්!

“අමෙරිකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව එයයි.” එසේ වාර්තා වී තිබුණේ අමෙරිකාවේ මානසික පීඩනයට ප්‍රතිකාර කරන ආයතනය විසින් නිකුත් කළ ලිපියකයි. වර්තමානයේ සෞඛ්‍යයට තර්ජනයක් වී තිබෙන්නේ පිළිකාවවත්, ඒඩ්ස්වත් නොවන බව එම වාර්තාවෙහි සඳහන් වී තිබුණා. එම වාර්තාවේ කියා තිබූ ආකාරයට “වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 75-90කටම මානසික පීඩනයට සම්බන්ධ ගැටලු තිබෙන බවට ගණන් බලා තිබෙනවා.”

මානසික පීඩනය ජීවිතයට තර්ජනයක් වී තිබෙනවා කියා කීම කෙන්ද කන්ද කර කීමක් නෙමෙයි. එක්සත් ජනපදයේ පරිභෝජක සංගමයට අනුව, “වැඩිහිටියන් සියයට 39 දෙනෙකුට ඔවුන්ගේ ජීවිතය තුළ ගැටලු හා මානසික පීඩනයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රැකියාවයි. තවත් සියයට 30කට මානසික පීඩනයට හේතුව වන්නේ පවුල් ජීවිතයයි. එමෙන්ම සෞඛ්‍ය ගැටලු නිසා සියයට 10ක්ද ආර්ථික ගැටලු නිසා සියයට 9ක්ද ලෝකය පුරා සිදු වන ගැටුම් හා ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සියයට 4ක්ද මානසික පීඩනයෙන් පෙළෙනවා” කියා සඳහන් වෙනවා.

කෙසේවෙතත්, මානසික පීඩනය එක්සත් ජනපදයට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. වර්ෂ 2002දී බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකින් ලබාගත් දත්තවලින් හෙළි වුයේ මෙයයි. ‘වර්ෂ 2001 සහ 2002 වසරවලදී මිලියන භාගයකට වැඩි පිරිසක් රැකියාව නිසා රෝගීන් වන තරමට මානසික පීඩනයක් අද්දැක්කා. රැකියාවෙන් ඇති වන මානසික පීඩනය හා කාන්සාව නිසා බ්‍රිතාන්‍යයේ වැඩ කරන ජනතාව වසරකදී තම සේවයේ නිරත විය යුතු දින මිලියන දහතුනාමාරක් සේවයට වාර්තා කර නැහැ.’

යුරෝපා මහද්වීපයේද එවැනිම තත්වයක් තමයි තිබෙන්නේ. රැකියාවේ නියුතුවන්නන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳව සොයා බලන යුරෝපයේ ආයතනයට අනුව “ඕනෑම රැකියාවක නියැලෙන මිලියන ගණන් යුරෝපයේ වැසියන්ට රැකියාව නිසා මානසික පීඩනයක් ඇති වී තිබෙන බව දැකගත හැකියි” කියා වාර්තා වෙනවා. එක් සමීක්ෂණයකින් හෙළි වූයේ “[යුරෝපීය සංගමයක] මිලියන 41ක් පමණ සේවකයන් රැකියාව නිසා සෑම වසරකම මානසික පීඩනය අද්දකින” බවයි.

ආසියාවේ තිබෙන්නේ කිනම් තත්වයක්ද? ටෝකියෝ නුවර පැවැත්වූ සම්මන්ත්‍රණයකදී නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් වුණා. “රැකියාව නිසා ඇති වන පීඩනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ කාර්මික රටවල් බොහොමයක කතා බහට ලක් වී තිබෙන කාරණයක්.” එම වාර්තාවේ තවදුරටත් මෙසේ පෙන්වා තිබුණා. “චීනය, කොරියාව සහ තායිවානය ඇතුළු නැඟෙනහිර ආසියාවේ රටවල් කිහිපයක් ශීඝ්‍ර කාර්මිකකරණයක් හා ආර්ථික දියුණුවක් ලබා තිබෙනවා. මෙම රටවල දැන් රැකියාව නිසා ඇති වී තිබෙන මානසික පීඩනය සහ සේවකයන්ගේ සෞඛ්‍යයට ඉන් ඇති වී තිබෙන අහිතකර ප්‍රතිවිපාක ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා.”

මිනිසුන් මානසික පීඩනය නිසා අධික වෙහෙසකට පත් වී සිටිනවා කියා කියන කාරණය තේරුම්ගැනීමට, ඔබට අමුතුවෙන් සොයා බැලීම් කිරීමට අවශ්‍ය නැහැ. සමහරවිට ඔබත් එයින් බොහෝ සේ පීඩා විඳිනවා ඇති! මානසික පීඩනය නිසා ඔබ සහ ඔබේ හිත මිත්‍රාදීන් කෙරෙහි කිනම් අහිතකර බලපෑමක් ඇති විය හැකිද? පවුල්වල සාමාජිකයන් විසින් එම තත්වය සමඟ කටයුතු කරන්නේ කොහොමද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මතු ලිපිවලින් ලැබෙයි.

[3වන පිටුවේ පින්තූරය]

බොහෝදෙනෙකුට මානසික පීඩනයට මූලිකම හේතුව රැකියාවයි