Skip to content

පටුනට යන්න

වීදුරු කැටවලින් පිරි ගුහාවක්

වීදුරු කැටවලින් පිරි ගුහාවක්

වීදුරු කැටවලින් පිරි ගුහාවක්

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

“දෙවියනි ඔබ මට මේ මහා පුදුමය දැකගන්න හැකියාව දුන්නාට ඔබට ස්තුතියි!” බිම් පලසක් මෙන් මිලියන ගණන් “වීදුරු කැට” අතුරා තිබූ ගුහාවක සිටගෙන සිටියදී අමෙරිකානු ගවේෂකයෙකුට නිතැතින්ම කියැවුණේ එයයි. ඔහු නරඹමින් සිටියේ ගිනිකොනදිග මෙක්සිකෝවේ පිහිටි වීදුරු කැටවලින් පිරි ගුහාවක්. එය දිගින් මීටර් 529ක් වූ අතර උසින් මීටර් 17ක ප්‍රමාණයේ ගුහාවක්. චමත්කාරජනක ලෙස එම ගුහාව සෑදී තිබෙන ආකාරය එහි සිටියදී අපට දැකගත හැකියි. මේ ගුහාව ගැන ආරංචි වූ විට එය දැකගැනීමේ ආශාවක් අපටත් ඇති වුණා.

මේ ගුහාව පිහිටා තිබෙන්නේ පුද්ගලයෙකුට අයත් ගොවි පොළකයි. ඒ නිසා එම පුද්ගලයාගේ බිරිඳව දැන හඳුනාගන්න අපිට ඉඩ ප්‍රස්තාව ලැබුණා. ගුහා දොරටුවෙන් ඇතුල් වී වීදුරු කැට අතුරා ඇති කොටසට අපි ආ විට දැකගන්න තියෙන්නේ මුතු කැට මෙන් පෙනෙන වීදුරු කැට විමානයක්. වීදුරු කැට මිලියන 200ක් පමණ දැකගන්න අපිට පුළුවන්. ඒවා ගුහාවේ බිම් මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර් 12ක ගනකමකින් පැතිරිලා තියෙනවා. ඊළඟට ගමන් කරන්න තියෙන මාර්ගය දිගේ මීටර් 50ක් පමණ දුරකට යන තෙක් තියෙන්නේ ඒ වීදුරු කැට පලසයි. මේවා අතට අරගෙන නොබලා ඉන්නේ කොහොමද? මුං ඇට මෙන් පුංචි කැට අතට ගත්තාම ඇඟිලි කරු අස්සෙන් රූරා වැටෙනවා. ලොකුම කැටවල ප්‍රමාණය කුඩා දොඩම් ගෙඩියක් තරම්. වීදුරු කැට එහාට මෙහාට කරලා ගුහාවේ බිම බලන්නයි දැන් කුතුහලයක් ඇති වෙන්නේ. ඒකත් හැදිලා තියෙන්නේ ඒ කැටවලින්. ඒවා බිමට ඔබ්බවා තිබෙන්නාක් මෙන් තිබෙන්නේ ගලවන්න බැරි විදියටයි.

වීදුරු කැට හැදිලා තියෙන්නේ කොහොමද? ගුහාවෙන් වතුර කාන්දු වෙලා වතුර වලවල්වල තැන්පත් වෙනවා. මේ විදිහට කාන්දු වෙලා එකතු වුණ ජලයේ කැල්සයිට් හැදෙනවා. කැල්සයිට් අංශු ගන ද්‍රව්‍ය වටා බැඳෙනවා. එහෙම බැඳෙන්නේ වැලි කැට, සතෙකුගේ ඇට කටු, බීම බට වැනි දේවල් වටේට වෙන්න පුළුවන්. අන්තිමේදී ඒවා ලස්සන වීදුරු කැට බවට පත් වෙනවා.

මෙවැනි ගුහාවක් තිබෙන බව ප්‍රදේශවාසීන් වසර ගණනාවක් පුරා දැනගෙන හිටියත් එහි සිරි නැරඹීමට පිටරටින් විශේෂඥයන් පැමිණියේ මෑතකදීයි. දැනට මෙම සුවිශේෂ ගුහාවේ පර්යේෂණ පැවැත්වීමට හා මතු පරම්පරාව සඳහා ආරක්ෂා කර තැබීමට ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

වීදුරු කැට ගුහා වැනි මෙවැනි ස්ථාන දකින විට අපට ගීතාවලිය 111:2හි ඇති වදන් සිහියට නැඟෙයි. “යෙහෝවාගේ ක්‍රියා මහත්ය. ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා සොයති.”