Skip to content

පටුනට යන්න

වෙනස් වන ලෝකයේ වෛද්‍යවරු

වෙනස් වන ලෝකයේ වෛද්‍යවරු

වෙනස් වන ලෝකයේ වෛද්‍යවරු

එදා 1174දී ඊජිප්තු පාලකයන්ගේ රජ මාලිගාවේ වෛද්‍යවරයා ලෙස මයිමොනයිඩස්ව පත් කරනු ලැබූ අතර ඔහුට එහි වැඩි කාලයක් ගත කිරීමට සිදු වුණා. ඔහු සෑම දිනකම තම නිවසට ආ ගිය ආකාරය ගැන ඔහු ලිව්වේ මෙලෙසයි. “මම ගෙදර යනවා මොනවා හරි පොඩ්ඩක් කනවා. මුළු දවසටම ගන්නේ ඒ කෑම ටික විතරයි. ඊට පස්සේ ආපහු මගේ ලෙඩ්ඩුන්ව බලන්න එනවා. බෙහෙත් වට්ටෝරු ලියනවා. ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙනවා. රෑ වෙනකන්ම ලෙඩ්ඩු එනවා යනවා. සමහර වෙලාවට . . . මට කොච්චර මහන්සියක් දැනෙනවාද කියනවා නම් කතා කරගන්න තරම්වත් පණක් නැහැ.”

වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමේදී සෑහෙන කැපවීමක් කරන්න සිදු වෙනවා. අද දින සිටින වෛද්‍යවරුන්ට සේවය කිරීමට සිදු වී තිබෙන්නේ ශීඝ්‍රයෙන් වෙනස් වන ලොවකයි. මයිමොනයිඩස්ට වාගේම ඔවුන්ටත් විවේකයක් ගන්න තරම්වත් ඉඩ කඩක් නැහැ. එහෙත් එදා වෛද්‍යවරුන් ලැබූ ගෞරවයම අදත් ඔවුන්ට ලැබෙනවාද? නවීන තත්වයන් වෛද්‍යවරයෙකුගේ ජීවන රටාවට බලපා තිබෙන්නේ කොහොමද? මෑතකදී ඇති වූ දියුණුව නිසා වෛද්‍යවරයා හා රෝගියා අතර තිබූ සබඳතාවේ වෙනසක් සිදු වී ඇත්තේ කෙසේද?

වෙනස් වූ සබඳතාවක්

වෛද්‍ය ආම්පන්න සහ බේත් හේත් බහාලූ කළු මල්ලක් අතැතිව වෛද්‍යවරයා පැමිණි ආකාරය තවමත් සමහරෙකුගේ මතකයේ රැඳී තිබෙනවා. අද වගේම ඒ කාලයේදීත් වෛද්‍යවරුන්ගේ හොඳ වගේම නරක ගැනත් කිව්වා. ඔවුන්ගේ හැකියාව හා නිලය නිසා ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ගෞරවයට පාත්‍ර වුණා. ඔවුන්ගේ ආචාර ධර්ම නිසා ඔවුන්ව අගය කරනු ලැබුවා. එනමුත්, අය කළ ගාස්තුව සම්බන්ධයෙන් විවේචනයටද, ඔවුන් අතින් සිදු වූ අත් වැරදීම් නිසා බැණුම් ඇසීමටද, දයාව නොදැක්වූ බව පෙනී ගිය නිසා හෙළා දකිනු ලැබීමටද ඔවුන් පාත්‍ර වුණා.

කෙසේවුවද, එකම පවුලේ පරම්පරා ගණනාවකට උපකාර කිරීමෙන් බොහෝ වෛද්‍යවරු විශාල තෘප්තියක් ලැබුවා. ඔවුන් රෝගීන් බැලීමට නිවාස ගණනාවකටම ගියා. ඇතැම් අවස්ථාවලදී ගම්බද පළාත්වලට ගිය විට ආහාර වේලකට නැවතීමටත්, නැතහොත් දරු ප්‍රසූතියකට උපකාර කිරීම සඳහා රැයක් පවා ගත කිරීමටත් ඔවුන්ට සිදු වුණා. බොහෝ වෛද්‍යවරුන් තමන්ගේ රෝගීන් වෙනුවෙන් පෞද්ගලිකවම බෙහෙත් වට්ටෝරු සකස් කළා. අග හිඟකම් ඇති අයට නොමිලේ ප්‍රතිකාර කළ පරාර්ථකාමී වෛද්‍යවරු තම සේවාව සැපයීමට පැය 24ම, සතියේ දවස් 7ම සූදානමින් සිටියා.

සමහර වෛද්‍යවරුන් තවමත් එවැනි සේවයක් පිරිනමන බව ඇත්තයි. ඒත් වෛද්‍යවරයා හා රෝගියා අතර වූ සබඳතාව මීට සියවස් ගණනාවකට පෙර තිබුණාට වඩා පසුගිය දශක කීපයේදී වෙනස් වී තිබෙනවා. මෙවැනි වෙනසක් ඇති වුණේ කොහොමද? ඉස්සෙල්ලාම අපි නිවෙස්වලට ගොස් රෝගීන්ව බැලීම ගැන සලකා බලමු.

නිවෙස්වලට ගොස් රෝගීන්ව බැලීමේ ක්‍රමයට සිදු වුණේ කුමක්ද?

රෝගීන්ව ඔවුන්ගේම නිවෙස්වලදී බැලීම එක් කාලවකවානුවකදී පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සලකනු ලැබූ අතර ඇතැම් රටවල තවමත් එය එසේමයි. කෙසේනමුදු, සමස්තයක් වශයෙන් බලන කල එම ක්‍රමය අභාවයට යමින් පවතිනවා. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මෙසේ පැවසුවා. “විශේෂඥයන්ගේ යුගයක් බිහි වී තිබෙන මේ කාලයේ, රෝගියාගේ බිය සැක දුරු කරමින් කතා කරන හා ක්‍රියා කරන, රෝගියාගේ පවුලේ වාතාවරණය සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන සහ අවශ්‍ය ඕනෑම වෙලාවක නිවසට පැමිණීමට කැමැත්තෙන් සිටින පවුලේ වෛද්‍යවරුන් දැකගන්න නැති තරම්.”

වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා බොහෝ වෛද්‍යවරුන් නොයෙකුත් ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ලබාගෙන ඇති අතර කණ්ඩායමක් හැටියට ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානවලදී රෝගීන්ව බලනවා. ඒ නිසා රෝගියෙකු එහි පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහුට එකම වෛද්‍යවරයා ළඟට යෑමට ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ. මේ හේතුවෙන් කලින් සබඳතා පැවැත්වූ ලෙස නොයෙකුත් පවුල් එක්ක දිගු කාලීන සබඳතා පැවැත්වීමට බොහෝ වෛද්‍යවරුන්ට දැන් අවකාශ ලැබෙන්නේ නැහැ.

නිවෙස්වලට ගොස් රෝගීන්ව බැලීම, ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගත්තේ මීට සියවසකට පෙරයි. පර්යේෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ හා රෝග නිර්ණ උපකරණ භාවිත කිරීමට වෛද්‍යවරුන් විශාල වශයෙන් යොමු වෙන්න පටන්ගත්තේ ඒ කාලයේදීයි. වෛද්‍යවරයෙක් නිවසකට ගොස් රෝගියෙකුව බැලීම ඔහුගේ කාලය අපතේ යැවීමක් කියා බොහෝ තැන්වල සෞඛ්‍ය ආයතන පිහිටුවා ඇති අයගේ අදහසයි. අද රෝගීන් හුඟදෙනෙකුට ප්‍රවාහණ සේවාවක් ලබාගෙන වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් වෛද්‍යවරයෙකුව බැලීමට හැකියි. එමෙන්ම ස්වේච්ඡා සහ හදිසි වෛද්‍ය සේවා මගින්ද වෛද්‍යවරුන් කලින් කරමින් සිටි වැඩවලින් කොටසක් දැන් කරමින් සිටිනවා.

වෙනස් වූ තත්වය

අද දින තනියෙන් රෝගීන්ව බලන්නේ වෛද්‍යවරුන් ටිකදෙනෙක් පමණයි. බොහෝවිට වෛද්‍ය සේවාවන් සපයන්නේ වෛද්‍යවරුන්ව සේවයට බඳවාගෙන තිබෙන රජයේ ආයතන හෝ සෞඛ්‍ය සේවා සමාගම් මගිනුයි. ඒ කෙසේවෙතත්, වෛද්‍යවරයා සහ රෝගියා අතර සබඳතාවට තෙවන පාර්ශ්වයක් මැදිහත් වෙනවාට බොහෝ වෛද්‍යවරුන් අකමැතියි. එවැනි ආයතනවලට බොහෝවිට වුවමනා වන්නේ කෙටි කාලයකින් රෝගීන් වැඩිදෙනෙකුව බැලීමයි. “හැම මිනිත්තු හතේ සිට දහයක් අතර කාලයේදීම රෝගියෙකුව බැලීමට මට සිද්ධ වෙනවා. ඒකෙණුත් වැඩි කාලයක් වැය කරන්න වෙන්නේ තොරතුරු පරිගණකයට ඇතුල් කරන්නයි. රෝගියා එක්ක සබඳතාවක් ඇති කරගන්න තියෙන්නේ සුළු කාලයයි. ඒ නිසා කලකිරීමක් ඇති වෙනවා” කියා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරියක වන ෂීලා පර්කින්ස් පවසනවා.

තත්වයන් වෙනස් වෙමින් පවතින අද ලෝකයේ, වෛද්‍යවරුන්ට වඩා රෝගීන් බලය ලබාගෙන සිටිනවා. වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැන කිසි කෙනෙක් ප්‍රශ්න නොකළ කාලයක් තිබුණා. ඒත් අද බොහෝ රටවල වෛද්‍යවරුන් රෝගීන්ට විකල්ප ප්‍රතිකාර ක්‍රම සහ ඇති විය හැකි ප්‍රතිඵල ගැන දැනුම් දීමට බැඳී සිටිනවා. ප්‍රතිකාරයක් කළ හැක්කේ රෝගියාගේ අනුදැනුම හා අනුමැතිය ඇතුව පමණයි. වෛද්‍යවරයා හා රෝගියා අතර පැවති සබඳතාව දැන් වෙනස් වෙලා. සමහරෙකු තුළ වෛද්‍යවරුන් කෙරෙහි තිබූ ගෞරවය දැන් අඩු වෙලා.

ශීඝ්‍රයෙන් වෙනස් වන අපේ සමාජයේ සිටින වෛද්‍යවරුන්ගෙන් වැඩිදෙනෙක් කාන්තාවන්. බොහෝවිට වෛද්‍යවරියන් වැඩි ජනප්‍රියත්වයක් ලබන්නේ ඔවුන් හොඳින් සවන් දෙන්නන් බවට සැලකෙන නිසයි. එමනිසා ඔවුන්ව සලකන්නේ අනුකම්පාවක් දක්වන අය හැටියටයි.

රෝගීන්ගේ හැඟීම් හා ඔවුන් අද්දකින මානසික පීඩනය තේරුම්ගන්නාවූ වෛද්‍යවරයෙකුව වැඩිදෙනෙක් අගය කරනවා. නමුත් තම වෛද්‍යවරයාගේ හැඟීම් සහ ඔහුගේ මානසික පීඩනය තේරුම්ගන්නේ රෝගීන්ගෙන් කීයෙන් කීදෙනාද කියා ඇසීම සාධාරණ දෙයක්. එසේ ඇසීමෙන් වෛද්‍යවරයා හා රෝගියා අතර සබඳතාව වැඩි දියුණු කළ හැකි බවද නිසැකයි. ඒ සඳහා උපකාර ඊළඟ ලිපියෙන් ලැබේවි.

[15වන පිටුවේ පින්තූරය]

මයිමොනයිඩස්

[හිමිකම් විස්තර]

Brown Brothers

[16වන පිටුවේ පින්තූරය]

අතීතයේදී වෛද්‍යවරුන් නිතර රෝගීන්ව බැලීමට නිවෙස්වලට ගියා