Skip to content

පටුනට යන්න

වෛද්‍යවරුන්ට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?

වෛද්‍යවරුන්ට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?

වෛද්‍යවරුන්ට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?

වෛද්‍යවරුන්ගේ අනාගතය ගැන කතා කරද්දී තාක්ෂණය කොයි තරම් දුරට දියුණුව වේවිද කියාත් එමගින් ඉදිරියේදී වෛද්‍යවරුන්ට වැඩි නිදහසක් ලැබේවිද කියාත් ඇතමෙක් කල්පනා කරනවා. එසේ වුවහොත් ඔවුන්ගේ දින චර්යාව වෙනස් වී එක් එක් රෝගියා වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට ඔවුන්ට හැකි වේවි. කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ අනාගතය ගැන ප්‍රශ්නය නඟද්දී ඊටත් වඩා පුළුල් ප්‍රශ්නයක් ඇසීමට සිදු වෙයි. එනම් මුළු මිනිස්වර්ගයාගේම අනාගතය කුමක් වේවිද යන්නයි. එම අනාගතය ගැන තොරතුරු සපයා ඇති බයිබලයේ පොත් දෙකක් යේසුස්ගේද, ඔහුගේ ගෝලයන්ගේද ඉතිහාසය ගැන පවසනවා. ඒ පොත් දෙකම ලියන ලද්දේ වෛද්‍යවරයෙකු විසින්.

එම ඉතිහාස වාර්තා පිළිබඳව වෛද්‍යවරයෙකුගේ දෘෂ්ටිය දැනගැනීම විශේෂයෙන් වැදගත් වන්නේ මන්ද? වෛද්‍යවරුන්ගේ හා රෝගීන්ගේ අනාගතය ගැන එහි පවසන්නේ කුමක්ද? තමන්ගේ වෛද්‍ය වෘත්තිය අවශ්‍ය නොවන්නාවූ කාලයක් ගැන ඇතැම් වෛද්‍යවරුන් බලා සිටින්නේ මන්ද?

හුඟක් වෛද්‍යවරු හොඳ නිරීක්ෂකයන් වෙනවා. මේ පොත් දෙකම ලියුවේ “ප්‍රේමණීය වෛද්‍යවරයා” යන නම ලත් ලූක් වූ අතර යේසුස් මෙන්ම ප්‍රේරිතයන් සුව කළ ඇතැම් රෝගීන් ගැන පැහැදිලි විස්තරයක්ද ඔහු එහි ලියා තිබෙනවා. (කොලොස්සි 4:14) ඒ නිසා ලූක් අපට මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කර බැලීමට උපකාර කරනවා. ඇත්තටම මේවා සිද්ධ වුණාද? එහෙම නම් අද දින සිටින වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට එයින් අඟවන්නේ කුමක්ද?

වෛද්‍යමය සාක්ෂි තිබේදැයි සෝදිසි කෙරේ

ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ ලූක්ට සංවාදයේ නියැලීමට ප්‍රස්තාවක් තිබුණ බැවින් එම ප්‍රාතිහාර්යමය සුව කිරීම්වල ස්වභාවය ගැන පැහැදිලි සාක්ෂියක් ලබාගැනීමට හැකියාව ලැබුණා. ඊට අමතරව, ඔහු ප්‍රේරිත පාවුල් සමඟ බොහෝ සංචාරයන්වල යෙදුණා. පෙනෙනාකාරයට, පාවුල් සමඟ ලූක් හිටියත් පාවුල් බොහෝදෙනෙකුව සුව කර තිබෙනවා. එම සුව කිරීම් පිළිබඳ වෛද්‍යවරයාගේ වාර්තා දෙකක් සම්බන්ධයෙන් බලන කල ඔහු ඒවාට කෙතරම් දුරකට විස්තර ඇතුළත් කළාද කියා අපි බලමු.

ලූක් මතු දැක්වෙන සිද්ධිය සිදු වූ වෙලාව, දිනය සහ ස්ථානය සඳහන් කරනවා. සතියේ පළමුවන දවසේ මධ්‍යම රාත්‍රියේදී ක්‍රිස්තියානීන් කණ්ඩායමක් උඩුමහලක රැස් වී සිටියා. එය තිබුණේ කුඩා ආසියාවේ පිහිටි ත්‍රෝවසයේයි. (ක්‍රියා 20:4-8) එම අවස්ථාව ගැන මෙවැනි විස්තරයක් දැකගත හැකියි. “පාවුල් තවදුරටත් කතා කරමින් සිටියදී, ජනේලය මත ඉඳගෙන සිටි යුතිකස් නම් එක්තරා තරුණයෙක් තද නින්දකට වැටුණේය. ඔහු නිදාගෙන සිටියදීම දෙවන මහලෙන් පහතට වැටිණ. ඔහුව ඔසවාගත් විට, ඔහු මැරී සිටියේය.” ඉන්පසු දෙවිගේ බලයෙන් පාවුල් එම තරුණයාගේ තැලීම් සීරීම් සුව කර ඔහුට යළි ජීවිතය ලබා දුන්නා. කෑම කෑ පසු “ඔවුහු පණපිටින් සිටි ඒ පිරිමි දරුවාව ගෙන ගිය අතර, අප්‍රමාණ ලෙස සැනසුණෝය.”—ක්‍රියා 20:9-12.

මෝල්ටාවේදීත් තමා පාවුල් සමඟ සිටියා කියා ලූක් වාර්තා කරනවා. ඔවුන් “ඒ දූපතේ ප්‍රධානියා වූ” පබ්ලියස්ගේ ආගන්තුක සත්කාරය ලබමින් සිටි අවස්ථාවේදී පාවුල් තවත් ප්‍රාතිහාර්යක් සිදු කළා. ඒ මාරාන්තික රෝගයක් වැලඳී තිබූ මිනිසෙකු සම්බන්ධයෙන්. ඒ කාලයේදී ප්‍රතිජීවක ඖෂධ නිපදවා තිබුණේ නැහැ. ලූක් මෙසේ ලියනවා. “පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඇඳට වී සිටියේය. පාවුල් ඔහු ළඟට ගොස් යාච්ඤා කර, ඔහු පිට අත් තබා ඔහුව සුව කළේය. මෙය සිදු වූ පසු, ඒ දූපතේ අසනීපව සිටි අනික් අයද ඔහු වෙතට පැමිණ සුවය ලැබුවෝය.”—ක්‍රියා 28:7-9.

වෛද්‍යවරයා තේරුම්ගත්තේ මොකක්ද?

ලූක් එම වාර්තාවන් ක්‍රියා පොතේ ලිව්වේ ඔහුගේ පාඨකයන්ට එහි සත්‍යතාව තහවුරු කරගැනීමට හැකියාව තිබෙද්දීමයි. එයින් අදහස් කරන්නේ, එම සිද්ධීන් සිදු වෙන අවස්ථාවේ සිටි අයගෙන්ම කරුණු විමසා බැලීමට ඔවුන්ට හැකිකම තිබුණු බවයි. තමාගේම නමින් ලියූ බයිබල් පොතේ වාර්තා කළ දේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසුවා. ‘මමද සියල්ල මුල පටන් නිවැරදිව සොයා බැලුවෙමි. එසේ කළේ දේවල සත්‍යතාව ඔබ සම්පූර්ණයෙන්ම දැනගන්නා පිණිසය. (ලූක් 1:3, 4) මෙම වෛද්‍යවරයා දුටු දේවලින් මෙන්ම කළ පර්යේෂණවලින් ඔහුට වැටහුණේ යේසුස්ගේ ඉගැන්වීම් සත්‍යය බවයි. එම ඉගැන්වීම්වලට අයත් කොටසක් වන ප්‍රාතිහාර්යමය සුව කිරීම් මගින් බයිබල් අනාවැකියක් විශ්වාස කිරීමට පදනමක් සපයනු ලබනවා. එම අනාවැකිය නම් දෙවි ඉදිරියේදී සම්පූර්ණයෙන්ම රෝග තුරන් කරන බවයි. (යෙසායා 35:5, 6) ලෙඩ රෝගවලින් දුක් විඳින අය සමඟ කටයුතු කිරීමට සිදු වූ වෛද්‍යවරයෙකු වශයෙන් ලූක්ට තම වෘත්තිය අවශ්‍ය නොවන කාලයක් ගැන කල්පනා කිරීමට ලැබීම විශේෂයෙන්ම හද උණුසුම් කරවන්නක් වන්න ඇති. එවැනි බලාපොරොත්තුවක් කෙරෙහි ඔබේ සිත ඇදී යන්නේ නැද්ද?

පොළොවේ කොතැනක ජීවත් වුණත් දෙවිට ප්‍රේම කරන අයගේ අනාගතය එය වන බව ස්ථිරයි. දෙවිගේ රාජ්‍යය යටතේ සිටින “වැසියා: මම රෝගාතුරවෙමියි නොකියන්නේය” කියා බයිබලයේ පොරොන්දුවක් දී තිබෙනවා. (යෙසායා 33:24) නවීන දින වෛද්‍යවරුන් බොහෝදෙනෙක් බයිබල් පොරොන්දු විශ්වාස කිරීමට තර්කානුකූල පදනමක් තිබෙන බව නිගමනය කර අවසන්.

‘එයට මගේ සිත ඇදී ගියා’

උතුරු අමෙරිකාවේ පවුලේ වෛද්‍යවරයෙකු වූ ජොන් ෂිලර් මෙසේ පවසනවා. “අනිත් හුඟදෙනෙක් වගේ මමත් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ රෝගවලින් පෙළෙන්නන්ට උපකාර කිරීමේ අදහසින්. රෝග නැති ලොවක් ගැන තිබෙන බලාපොරොත්තුව කෙරෙහි මගේ සිත ඇදී ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට මම යන්න පටන්ගත්තේ බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය පිළිබඳ විද්‍යාල පාඨමාලාවක් හැදෑරුවයින් පස්සෙයි. හුඟක් ගැටලුවලට හේතු වෙලා තියෙන්නේ ආගම් බව ඒ පාඨමාලාවේදී පෙන්නුවා. ඒ ආගම් බයිබලය පාවිච්චි කරන්නේ වංක විදිහටයි කියලා මට හිතුණා. ඒ නිසා ‘ඇත්තටම බයිබලයේ මොකක්ද පවසන්නේ’ කියලායි මම කල්පනා කරමින් හිටියේ.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේදී මගේ හිත මුලින්ම ඇදී ගියේ එතන හිටිය පිරිසගේ මිත්‍රශීලීභාවය නිසයි. මං දන්න හඳුනන හුඟදෙනෙකුට වඩා ඔවුන් වෙනස්. සාක්ෂිකරුවෙක් මා ළඟට ඇවිත් කිව්වා මගේ නිවසට පැමිණ මාත් එක්ක බයිබලය සාකච්ඡා කරන්න කැමතියි කියලා. මට පුදුම හිතුණේ මං අහපු හැම දේකටම ඔහු මට බයිබලයෙන්ම උත්තර දුන්න නිසයි.

“මං වයසට යද්දී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වෙන්න ලැබුණ එක ගැන වැඩියෙන් අගය කරන්න පටන්ගත්තා. තරුණ කාලේදීම වෛද්‍යවරයෙක් වුණහම වැඩක් ඇති දෙයක් කරන්න ඕන කියන බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒත් මට හුඟක් වෙලාවට මුණගැහෙන්නේ හිතුව තරම් දෙයක් කරන්න බැරි වුණා කියලා කියන බලාපොරොත්තු සුන් කරගත්ත අයවයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා ඉන්න ලැබීමේ ලොකුම ආශීර්වාදය තමයි අනාගතය ගැන අපිට බලාපොරොත්තුවක් වගේම ජීවිතයට අරමුණක් තිබීම. අපි වෛද්‍යවරු, යාන්ත්‍රික ශිල්පීන් හෝ යමක හෝ යමෙකුගේ භාරකරුවන් යන කවරෙකු වුණත්, අපි දෙවිට කරන සේවය වටිනා දෙයක් බව අපි දන්නවා. අපි යෙහෝවා වෙනුවෙන් යමක් කරමින් ඉන්නවා. ඒ නිසා අපි සෑහීමට පත් වෙනවා.”

“බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිද්දී අපේ පවුල් ජීවිතය යහපත් අතට හැරුණා”

වෛද්‍ය ක්‍රිස්ටර් රෙන්වාල් පින්ලන්තයේ සිටින වෛද්‍යවරයෙක්. ඔහු නිතර දරුවන් සමඟ කතා කිරීමෙන් සතුටක් ලබනවා. “දවසක් මම 12-හැවිරිදි දැරියක් එක්ක කතා කළා. ඇයට මාරාන්තික පිළිකාවක් වැලඳී තිබුණා. සැබෑ සාමය හා සුරක්ෂිතභාවය—ලැබෙන්නේ කාගෙන්ද? යන පොත ඇය මට දුන්නා. * මගේ හිතට තදින්ම කා වැදුණේ මාරාන්තික රෝගයකින් පෙළුණත් ඇය තුළ තිබුණ ඇදහිල්ලයි. ඒත් පොත නම් කියවන්න මට බැරි වුණා. ඒ විතරක් නෙවෙයි ඒ කාලේදී මම හෙල්සින්කිවල සායනයක කාර්ය බහුලව හිටියා. මගේ පවුල ගැනවත් බලන්න මට වෙලාවක් තිබුණේ නැහැ” කියා ඔහු පවසනවා.

“කොහොමවුණත් දවසක්දා මගේ බිරිඳ ඒ පොත රාක්කෙන් අරගෙන කියවන්න පටන්ගත්තා. ඇය කියවන්නේ සත්‍ය බව ඇයට ඒ මොහොතේම වැටහුණා. යෙහෝවාගේ සාක්ෂිකාරියක් ඇයව හමු වෙන්න ආ අවස්ථාවක ඇය ඒ තැනැත්තිය එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මුලින් ඒ ගැන මට කියන්න මගේ බිරිඳ ටිකක් බය වුණා. ඒත් ඇය මට ඒ ගැන කිව්වාම මම කිව්වේ ‘අපේ පවුලේ අයට යහපතක් වෙන ඕන දෙයක් කළාට කමක් නැහැ කියලයි.’ මමත් පාඩමට සහභාගි වෙන්න පටන්ගත්තා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිද්දී අපේ පවුල් ජීවිතය යහපත් අතට හැරුණා. ජීවිතය දිහා ශුභවාදීව බලන්න පුළුවන් වුණා. රෝග නැති ලොවක් ගැන අහන්න ලැබුණ බලාපොරොත්තුව පිළිබඳව ඉගෙනගැනීම ඇත්තෙන්ම සතුටක්. මිනිස්වර්ගයා වෙනුවෙන් දෙවි එවැනි දෙයක් අරමුණු කර තිබීම අසාමාන්‍ය දෙයක් වගේ පෙනුණේ නැහැ. වැඩි කල් නොගොස් මගේ බිරිඳත්, මමත්, අන්තිමේදී අපේ දරුවනුත් බව්තීස්ම වුණා. මුලින්ම මට කතා කළ ඒ දැරිය මිය ගියා. ඒත් ඇගේ ඇදහිල්ල තවමත් ජීවමානව පවතිනවා.”

ශීඝ්‍රයෙන් වෙනස් වන අපේ ලෝකයේ සිටින වෛද්‍යවරුන්ගේ මානසික පීඩනය වැඩි වෙමින් තිබුණත් රෝගීන්ට සරණ වීමෙන් ඔවුන් කරන කැපවීම ඇත්තෙන්ම පැසසිය යුතු දෙයක්. එහෙත් මුළු මිනිස්වර්ගයාටම බලපාන විශාලතම වෙනස්කම් සිදුවීම අත ළඟයි. අද දින බොහෝ වෛද්‍යවරුන් නිසැකකමින් අනාගතය දෙස බලා සිටින්නේ දේවවචනයෙහි පොරොන්දු කර ඇති ආකාරයට රෝගවලින් තොර ලොවක් පැමිණෙන තුරුයි. (එළිදරව් 21:1-4) මෙය පෞද්ගලිකව පර්යේෂණය කිරීමට වටිනා විෂයක්.

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.—සිංහලෙන් නැත.

[22, 23වන පිටුවේ කොටුව⁄පින්තූර]

“ජීවිතයට අරමුණක් තියෙනවා කියලා මට වැටහුණා”

“ආබාධිත පාසැල් දරුවන් සමඟ ඉන්න කොට මම දැක්කා ඔවුන්ගෙන් සමහරෙකුගේ දෙමාපියන් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලොකු වෙනසක්. අනිත් දෙමාපියන්ට වඩා ආබාධිත දරුවා සමඟ කටයුතු කිරීමට මනා හැකියාවක් සාක්ෂිකාර දෙමාපියන්ට තිබුණා. ඒ වගේම ඔවුන් මොන විදිහේ රැකියාවක් කළත් හොඳ දැනුමක් ඇති අය වගේ කටයුතු කරන බවත් මම දැක්කා. ඔවුන්ට තිබෙන ඇදහිල්ලත් අගය කරන්න ඕන. පරිණාමවාදය උගන්වන ගුරුවරුන් නිසා මගේ ඇදහිල්ල නැත්තටම නැති වෙලා යන තත්වයකයි තිබුණේ. ඒත් වෛද්‍ය විද්‍යාව හදාරද්දී ජීවීන් බිහි වූ ආකාරය ගැන සැකයක් ඇති වුණා.

“ඒ අතරතුරේදී මගේ දරුවන්ව හදන විදිහ ගැන මම හරි හැටි දන්නේ නැති බව මට වැටහෙන්න පටන්ගත්තා. ඔවුන්ට තහනම් කරන්න ඕන මොනවද? උනන්දු කරන්න ඕන මොනවාටද? ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මම කොහොමද කියා දෙන්නේ? මං ගත කළේත් අර්ථවත් ජීවිතයක් නෙවෙයි. මම දෙවිටත් මේ ගැන යාච්ඤා කළා.

“දරුවන්ව ප්‍රේමණීය ලෙස නිවැරදි කරන ආකාරයත්, ඔවුන්ට අවවාද දෙන ආකාරයත් සඳහන් වෙලා තියෙන සඟරාවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙනාවේ ඒ අතරේදියි. එහි පැහැදිලි කරලා තිබුණ බයිබල් ප්‍රතිපත්ති ඇත්තෙන්ම උපකාරවත් වෙයි කියලා මට හිතුණා. එනිසා මම ඔවුන් එක්ක බයිබලය පාඩම් කරන්න කැමති වුණා. යෙහෝවා ජීවිතය බිහි කළේ ඇයි, යේසු මැරුණේ ඇයි කියලා මම ඉගෙනගත්තාම ජීවිතයට අරමුණක් තියෙනවා කියලා මට වැටහුණා. (යොහන් 3:16; රෝම 5:12, 18, 19) පරිණාමවාදය මගේ සිතුවිලි වෙනස් කරලා තිබුණා. රෝග සහ මරණය දෙවිගේ මුල් අරමුණේ තිබුණ දෙයක් නෙවෙයි කියලා දැනගත්තාම මට මොන තරම් නිදහසක් දැනුණාද! දෙවි ළඟදීම සියලුම රෝග සුව කරන ආකාරය ගැන අවංක ජනයාට ඉගැන්වීමෙන් මම අද ඇත්තටම සෑහීමට පත් වෙලායි ඉන්නේ.”

[පින්තූර]

නෙදර්ලන්තයේ පාසැල් දරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන හෙලානා බෝවිස්

[21වන පිටුවේ පින්තූර]

පබ්ලියස්ගේ පියාව සහ නැවත නැඟිටුණු යුතිකස්ව ප්‍රේරිත පාවුල් සුව කළ අවස්ථාවේදී ඔහු සමඟ සංචාරයේ යෙදෙමින් සිටි වෛද්‍යවරයෙකු හා බයිබල් ලේඛකයෙකු වූ ලූක් සිටියා

[22වන පිටුවේ පින්තූර]

එක්සත් ජනපදයේ වෛද්‍ය ජොන් ෂිලර්

[22වන පිටුවේ පින්තූර]

පින්ලන්තයේ වෛද්‍ය ක්‍රිස්ටර් රෙන්වාල්