Skip to content

පටුනට යන්න

“ඇවිද්ද පය දහස් වටී”

“ඇවිද්ද පය දහස් වටී”

“ඇවිද්ද පය දහස් වටී”

ක්ලෙයාර් වේවිගේ අද්දැකීම

මැඩගස්කරය නම් දූපත පිහිටලා තියෙන්නේ නැඟෙනහිර අප්‍රිකාවේ පිහිටි රටක් වන මොසැම්බික්වලට කිලෝමීටර 400ක විතර දුරකින්. මේ දූපතේ කඳු වැටි මෙන්ම ගන වැසි වනාන්තර තියෙනවා. මේ දූපතේ නැඟෙනහිරට වෙන්න පිහිටි ‘බෙටොකො දෙක’ නම් කුඩා ගම්මානයේ තමයි මම ඉපදුණේ. ඉස්කෝලේ යන්න ඕනේ නිසා මට අවුරුදු 15ක් වෙද්දී, ඒ කියන්නේ 1987දී වෙරළාසන්න නගරයක් වූ මහනොරොවලට මම ගියා.

මම ජීවත් වුණේ මහනොරොවල පදිංචි වෙලා හිටිය මගේ අයියත් (සෙලස්ටීන්) එක්ක. එතකොට අයියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන් අරගෙන තිබුණා. අවුරුදු දෙකකට පස්සේ මමත් සාක්ෂිකාරියක් වුණා. මට පුළුවන් උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමයි මගේ අධිෂ්ඨානය වුණේ.

මගේ ඉලක්ක ඉටු කරගැනීමට වෑයම් කිරීම

‘බෙටොකො දෙකේ’ ජීවත් වන මගේ පවුලේ අයට උපකාර කිරීම මගේ ඉලක්ක අතරින් පළමු එක වුණා. මගේ මේ ආශාව ගැන මම යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා. ඒත් මට එහේ යන්න පුළුවන් වුණේ මගේ ඉස්කෝලේ නිවාඩු කාලේදී විතරයි. එහේ යන්න මට කිලෝමීටර 100ක දුෂ්කර ගමනක යෙදෙන්න සිද්ධ වුණා. පළමු කිලෝමීටර 40 නම් මෝටර් රථයකින් යන්න පුළුවන්කම තිබුණා. නමුත් අනිත් කිලෝමීටර 60 නම් කඳු හරහා වැටිලා තිබුණ අඩිපාරවල් දිගේ තමයි යන්න වුණේ.

මට තද බෑවුම් තියෙන කඳු කිහිපයක් නඟින්න සිද්ධ වුණා. සමහර තැන්වල තිබුණ ඒ රළු පාරවල් මගේ අඩියේ දිග ප්‍රමාණය තරම්ම පටු පාරවල් වුණා. මම උදේ පාන්දරින්ම පටන් අරගෙන හැන්දෑවෙන කං ඇවිද්දත් කිලෝමීටර 40ක් විතර තමයි යන්න පුළුවන් වුණේ. නිකං නෙවෙයි කිලෝග්‍රෑම් 15කට වැඩි බරක් ගෙනි යන්නත් තිබුණා. ඒ බඩුවලින් සමහරක් මගේ ඔළුව උඩ, තවත් කිහිපයක් පිටේ එල්ලගෙන සහ ඉතිරිවා අත් දෙකෙන් උස්සගෙන. මම වැඩියෙන්ම ගෙනිච්චේ බයිබල් ප්‍රකාශන. මම ඒවා මගේ නෑදෑයන් එක්ක සහ උනන්දුව දක්වන අනිත් අය එක්ක බෙදාගත්තා. ඒ පාරේ ආගිය අය මට “බර භාගේ” කියලා නමකුත් දාලා තිබුණා.

මගේ උනන්දුව කොතරම් තිබුණත්, මේ අලුත සොයාගත්තු විශ්වාසයන් ගැන මම කතා කරද්දී මගේ පවුලේ අය මුලදී නම් ඒකට ඇහුම්කන් දෙන්න කැමති වුණේ නෑ. නමුත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ එයාලා හිතන විදිහ වෙනස් කරගත්තා. මගෙන් ගොඩක් ප්‍රශ්න අහන්න පටන්ගත්තා. සමහර දවස්වලට අපි නින්දට ගියේ උදේ පාන්දර දෙකට.

අමතක නොවන බැහැදැකීමක්

මම පාසැල් නිවාඩුව ලැබුණාම 1990 දෙසැම්බර් මාසයේ 24 වෙනිදා ගෙදර ආවා. නත්තල සමරන්න තමයි මම ගෙදර ඇවිල්ලා ඉන්නේ කියලා මගේ පවුලේ අය හිතපු නිසා එයාලා ඒ ගැන ගොඩක් සතුටු වුණා. නමුත් නත්තල සමරන්න ඒගොල්ලන් එක්ක හවුල් වෙන්න මට විදිහක් නෑ කියලා මම එයාලාට කරුණු පැහැදිලි කළා. එතකොට ඒගොල්ලන්ගේ සතුට දුකකට පෙරළුණා. ගමේ අය අතර ලොකු බැඳීමක් තිබුණ හින්දා ඒ අයට මේ ගැන තේරුම් කරලා දෙන්න මගේ පවුලේ අය අදිමදි කළා. ඉතින් ඒගොල්ලන්ට මේ ගැන කියලා දෙන්න පළමු පියවර ගන්න සිදු වුණේ මටමයි. ඒක කළේ කොහොමද?

මම බාලයෙක්ව සිටිය නිසා කොහොමද ඒක කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. ඊළඟ දවසේ ගමේ අය පල්ලියට රැස් වුණාම මගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන එක හොඳද කියලා මම කල්පනා කළා. මම යෙහෝවාගෙන් උපකාරය ඉල්ලලා හුඟ වෙලාවක් යාච්ඤා කළා. ඊට පස්සේ පල්ලියේ ගුරුවරයෙක් වෙලා හිටිය මගේ අයියාගෙන් (පෝල්) මම මෙහෙම ඇහැව්වා. “හෙට පල්ලියට ඇවිල්ලා ඉන්න අයට මම නත්තල පවත්වන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරලා දුන්නට කමක් නැද්ද? අයියා මොනවද ඒ ගැන හිතන්නේ?” අයියා අනිත් අය එක්ක ඒ ගැන කතා කරලා කිව්වා කමක් නෑ කියලා.

ඊළඟ දවසේදී පල්ලියේ දේවමෙහෙය ඉවර වුණාම මට එන්න කියලා පණිවිඩයක් ලැබුණා. යෙහෝවාට නැවතත් යාච්ඤා කිරීමෙන් පසුව මම බයිබල් ප්‍රකාශන ගොඩක් අරගෙන ගියා. හැඳින්වීමක් කළාට පස්සේ, බයිබලයට ගැඹුරු ගෞරවයක් දක්වන්න මට උපකාර කළ සියලුදෙනාටම මම ස්තුති කළා. නගරයට ගියාට පස්සෙත් මම දිගටම බයිබලය පාඩම් කළා කියලා ඒගොල්ලන්ට පැහැදිලි කළා. අපිට කලින් උගන්වලා තිබුණේ නැති බයිබල් සත්‍යයන් හුඟක් මට දැනගන්න ලැබුණා කියලත් මම කිව්වා.

මම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගනිමින් මේ බයිබල් ඉගැන්වීම් ගැන පැහැදිලි කළා. බයිබලේ පොරොන්දු කරලා තියෙන ආකාරයට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබීම (ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4), ස්වල්පදෙනෙකුව පමණක් ස්වර්ගයට ගැනීමට හේතුව (යොහන් 14:2, 3; එළිදරව් 5:9, 10; 14:1, 3) සහ මළවුන් නිදා සිටිනවා වැනි සිහි නැති තත්වයක සිටින නිසා දුක් විඳින්නේ නැති බව පෙන්නුවා (දේශනාකාරයා 9:5, 10; යොහන් 11:11-14, 38-44). ඒ වගේම මුල් ක්‍රිස්තියානීන් නත්තල පැවැත්තුවේ නැති බවත්, එම උත්සවයේ ආරම්භය මිථ්‍යා එකක් බවත් මම ඔවුන්ට පෙන්නුවා.

මම කතාව කරලා ඉවර වෙනකොට, කණ්ඩායමේ සිටිය හුඟදෙනෙකුට මම කියපු දේවල්වල ඇත්තක් තියෙනවා කියන එක වැටහුණා. සමහර අය අමතර ප්‍රශ්නත් ඇහැව්වා. ඊට පස්සේ මම ගෙනිහින් තිබුණ ප්‍රකාශන පෙන්වලා කිව්වා මේවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබල් පාඩම් ආධාරක පොත් කියලා. බයිබලය පාඩම් කරන්න කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා උපකාර කරන්න මම කැමතියි කියලත් කිව්වා. හුඟදෙනෙක් බයිබල් ප්‍රකාශන ලබාගත්තා.

පුදුම හමුවීමක්

මීට කලින් මට මුණගැහිලා නොතිබුණ ස්ත්‍රියක් මා ළඟට ඇවිත් මට මෙහෙම කිව්වා. “මගේ නංගිත් ඉන්නේ ඔය ආගමේ. හැබැයි එයා ඉන්නේ වෙන ගමක.” මම ඒ ගැන පුදුම වෙලා ඇහැව්වා “කොහේද එයා ඉන්නේ” කියලා.

“අන්ද්‍රානෝමෆානවල” කියලා එයා උත්තර දුන්නා. ඒ ගම තියෙන්නේ ‘බෙටොකො දෙක’ ඉඳලා කිලෝමීටර 30ක් විතර ඈතින්.

මම ඒ ස්ත්‍රියට කිව්වා එයාගේ නංගි සමහරවිට වෙන ආගමක වෙන්න ඇති කියලා. මොකද ඒ පළාතේ ඉන්න සාක්ෂිකරුවන් ඔක්කොම සාමාන්‍යයෙන් අනිත් සාක්ෂිකරුවන්ව අඳුරනවා. නමුත් ඒ ස්ත්‍රිය එක හෙළා කියා සිටියේ මම පල්ලියේදී දුන්න කතාවේ තිබුණ කරුණුම එයාගේ නංගිත් එයාට උගන්නලා තියෙනවා කියලායි. එදාම ඒ ගමට ගිහිල්ලා මේ කියන කෙනාව මුණගැහෙන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා මම එයාගේ නංගිගේ නමයි ලිපිනයයි ඉල්ලගත්තා. පයින්ම යා යුතු අමාරු ගමනක් නිසා මගේ අම්මා කිව්වා දවසක් දෙකක් ඉඳලා යන්න කියලා. දවස් දෙකකට පස්සේ මගේ අයියා (චාල්ස්) එක්ක මම අන්ද්‍රානෝමෆානවලට යන්න පිටත් වුණා.

අපි ඒ ගමට ගිය ගමන්ම ගම්මුන්ගෙන් ඇහැව්වා “මෙහේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉන්නවාද” කියලා. “මෙහේ ඉන්නේ කතෝලික, පෙන්තකොස්ත හා රෙපරමාදු ආගම් අදහන අය විතරයි” කියලා ගම්මු කිව්වාම මගේ බලාපොරොත්තු බිඳ වැටුණා.

ඒත් එක්කම එක ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා, “ඔයා හොයන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නම්, ඔය කියන්නේ අර මර්සලීන් සහ එයාගේ නෑදෑයන් ගැන වෙන්න ඇති.” මට දීලා තිබුණ නමත් ඒකමයි!

මර්සලීන්ව එක්කරගෙන එන්න කෙනෙක් ගියා. එයා ඉක්මනට ආවා. නමුත් එයා හිටියේ ටිකක් බයෙන් වගේ කියලා මට පෙනුණා. මුළු ගමම අපි වටේට රැස් වුණා. ගම්මු හිතුවේ අපි මේ තැනැත්තියව ප්‍රශ්න කරන්න ආව නිලධාරීන් වගයක් කියලයි. මම පස්සේ දැනගත්තා මර්සලීන්ටයි එයාගේ පවුලේ අයටයි මේ ගමේ අය ගොඩක් පීඩා කරලා තියෙනවා කියලා. ඒකට හේතුව එයාලා මේ ‘අලුත් ආගම’ අදහන නිසයි.

අපිට කතා කරන්න පුළුවන් වෙන විදියට මර්සලීන් අපිව එතැනින් ටිකක් එහාට එක්කර ගෙන ගියා. ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා හිටියාද කියලා මම ඇහුවාම එයා කිව්වා ඔව් කියලා. ඒ වෙලාවේ එයා බයිබල් ආධාරක පොතක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉස්සර පාවිච්චි කරපු පොතක් වන සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය නමැති පොතත් මුරටැඹ සඟරාවේ පැරණි කලාප කිහිපයකුත් අරගෙන ආවා. ඒවා එහෙන් මෙහෙන් ඉරිච්ච පරණ සඟරා. “ඔයා ගිය ඉරිදා පාඩම් කළේ කොයි සඟරාවද?” කියලා මම ඇහුව්වා.

“අපිට තියෙන්නේ මේ පොත් ටික විතරයි. අපි ඒවාම ආයෙත් ආයෙත් පාඩම් කරනවා” කියලා ඇය කිව්වා. ඒ වෙලාවේ තමයි මම මර්සලීන්ට කිව්වේ මමත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා. එයාගේ ප්‍රීතිය උතුරා ගියා! මම කිව්වා ඒගොල්ලන්ගේ රැස්වීම් මෙහෙයවන කෙනාව මුණගැහෙන්න ආසයි කියලා. එතකොට එයා කිව්වා ඒ කෙනා ඉන්නේ වෙන ප්‍රදේශයක, එහෙට තව දුර යන්න ඕනේ කියලා.

තවත් සුන්දර අද්දැකීමක්

ඊළඟ දවසේ මමයි මර්සලීනුයි අර පුද්ගලයාව හමු වෙන්න පිටත් වුණා. අපි එහේ ගියාම එයාට හරි පුදුම හිතුණා. ඒ වගේම හරි සතුටකුත් දැනුණා. එයා ඒ ප්‍රදේශයේ සිට ඊසානදිග පැත්තට කිලෝමීටර 200කටත් එහායින් පිහිටි වෙරළබඩ නගරයක් වන ටොආමසිනා ඉඳලා එහාට ආව සාක්ෂිකරුවෙක් බව දැනගන්න ලැබුණා. ටොආමසිනාවල එයා කරපු රැකියාව බලාපොරොත්තු නැති විදියට එයාට අහිමි වුණායින් පස්සේ මීට අවුරුදු කිහිපයකට කලින් එයාටත් එයාගේ පවුලේ අයටත් එහාට එන්න සිද්ධ වෙලා. එහේට ගියායින් පස්සේ එයා දේශනා සේවයේ යෙදෙන්නත්, බයිබල් පාඩම් පවත්වන්නත් රැස්වීම් පවත්වන්නත් පටන් අරන් තිබුණා.

මා ළඟ තිබුණ අලුත්ම මුරටැඹ සඟරා දැක්කහාම සාක්ෂිකාර පවුල ඒකට වශී වුණා වගේ. මූලික බයිබල් පාඩම් පොත හැටියට අපි පාවිච්චි කළ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක කියන පොතත් මම ඒගොල්ලන්ට පෙන්නුවා. ඒගොල්ලෝ ඒ පොත දැක්ක පළමු වතාවයි ඒ. ඊළඟ ඉරිදා මම අන්ද්‍රානෝමෆානවලට ගියා ඒගොල්ලන් එක්ක රැස්වීමට සහභාගි වෙන්න. ඇන්ටනැනරීවෝ නම් අග නගරයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මේ කුඩා කණ්ඩායම ගැන දැනගෙන සිටියේ නැති නිසා ඒ ගැන ඔවුන්ට දැනුම් දෙන්න කියලා මම ඒගොල්ලන්ව දිරිගැන්නුවා.

අලුත්ම මුරටැඹ සහ වෙනත් ප්‍රකාශන අරගෙන 1991 ජනවාරි මාසේ ඉඳලා හැම මාසයකදීම වාගේ මහනොරොවල ඉඳන් අන්ද්‍රානෝමෆානවලට මම ගියා. එම ප්‍රදේශයට යන්නයි එන්නයි දෙකටම කිලෝමීටර 260ක විතර දුර ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් කිලෝමීටර 88කට වඩා මම ඇවිද්දා. පහසුවෙන් ඇවිදින්න බැරි තද බෑවුම් සහිත කඳු පල්ලම් උඩටයි පහළටයි ඇවිදින්න සිද්ධ වුණා. ඒ යද්දී ගන කැලෑ පසු කරන්නත් තිබුණා. වැස්ස දවස්වලට මඩේ එරි එරී ලෙස්ස ලෙස්ස තමයි ගියේ.

පොත් පත් සහ සඟරා අවශ්‍ය අයගේ සංඛ්‍යාව ඉහළ යනවාත් එක්කම මගේ බෑග් එකේ බරත් වැඩි වුණා. කොහොමවුණත් හැම ගමනකම අවසානයේදී මට මහන්සියත් ඇඟ පතේ රුදාවත් දැනුණත් ඒක මැකිලා ගියේ මා තුළ ඇති වුණ තෘප්තිය සහ සතුට නිසයි. එම කණ්ඩායමේ අයට අලුත් ප්‍රකාශනයක් ලැබෙන කොට ඒගොල්ලන්ට තිබුණ ප්‍රීතියත්, ඒ වගේම බයිබල් සත්‍යයන්වලට දැක්වූ ප්‍රතිචාරයත් දකින්න ලැබීම මට සතුටක් ගෙන දුන්නා.

පූර්ණ කාලීන සේවයට ඇතුල් වීම

වර්ෂ 1992 සැප්තැම්බර් 1වනදා මාව පුරෝගාමියෙක් හැටියට පත් කළා. සාක්ෂිකරුවන් පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ විදියටයි. මහනොරොවල පුරෝගාමි සේවය කළ නමුත් ‘බෙටොකො දෙකේ’ ඉන්න මගේ නෑදෑයන්ට මම දිගටම ලියුම් ලිව්වා. කාලය ගෙවී යත්ම ලිපි ලිවීම මගින් ඒගොල්ලෝ මාත් එක්ක පාඩම් කරන්න පටන්ගත්තා. ඒගොල්ලන්ට උදව් කරන්න ආපහු ගමට එන්න පුළුවන්ද කියලා එයාලා මගෙන් ඇහැව්වා. ඒ ඉල්ලීමට මම කැමති වුණා. නමුත් ඊට කලින් ඒගොල්ලන්ට ඇත්තටම බයිබලය පාඩම් කරලා ආගම ගැන යමක් දැනගන්න උවමනාවක් තිබුණාද කියලා මට දැනගන්න ඕන වුණා. ඒ නිසා මම ටික කලකට මහනොරොවලම ඉඳන් පුරෝගාමි සේවය කළා.

එක් දහස් නවසිය අනූතුනේ අවුරුද්දේ අවසාන බාගයේ ඇන්ටනැනරීවෝහි පුරෝගාමීන් සඳහා පැවති සති දෙකක පාසැලට සහභාගි වීමේ වරප්‍රසාදය මට ලැබුණා. ඊට පස්සේ රට තුළ පවරන ඕනෑම තැනකට ගිහිල්ලා සේවය කිරීම ඇතුළත් වන විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කිරීමට ආරාධනාවක් මට ලැබුණා. ඒ ආරාධනය පිළිගැනීමට මම කැමති වුණේ නෑ. හේතුව ‘බෙටොකො දෙකේ’ ඉන්න මගේ නෑදෑයන්ට උදව් කිරීමට මට ඕන වුණ හින්දයි. ඒගොල්ලන්ට ළඟම තියෙන සභාවත් තිබුණේ හුඟක් ඈතින්. ඒ නිසා මම ආපහු මහනොරොවලටම ගියා එහේ ඉඳන්ම පුරෝගාමි සේවය කරන්න.

අන්තිමේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් ආවහම මම ඔහුගෙන් ඇහැව්වා මගේ නෑදෑයන්ට උදව් කරන්න මම ආපහු යන්නද කියලා. මේ වෙන කොට අන්ද්‍රානෝමෆානවල සභාවක් පිහිටුවලා තිබුණ නිසා එහේ ගිහිල්ලා සභාව සමඟ ආශ්‍රය කරමින් ‘බෙටොකො දෙකට’ අයිති බලප්‍රදේශයේ සේවය කරන්න කියලා ඔහු මට යෝජනා කළා. මම 1994 සැප්තැම්බර් 1වනදා ඉඳන් ඒ පැවරුම ඉටු කරන්න පටන්ගත්තා. ඒ මාසේම තිබුණ දිස්ත්‍රික් සමුළුවකට ආගම උගන්වන ගුරුවරයෙක්ව සිටි මගේ අයියා (පෝල්) මාත් එක්ක සහභාගි වුණා. ඉතා ඉක්මනින්ම අන්ද්‍රානෝමෆානවල 30දෙනෙක් විතර දේශනා සේවයේ හවුල් වූ අතර ඉරිදා රැස්වීම් සඳහා සාමාන්‍යයෙන් 65ක් විතර ආවා.

ඇවිදීම නතර වුණේ නැහැ

මම ‘බෙටොකො දෙකට’ ගිහින් වැඩි කල් යන්න කලින් මගේම පවුලේ සහෝදර සහෝදරියන් හතරදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට සුදුසුකම් ලැබුවා. ටික කාලයකට පස්සේ ඒගොල්ලෝ බව්තීස්ම වුණා. මම ‘බෙටොකො දෙකට’ ගියාට පස්සෙත් ප්‍රකාශන හා සඟරා පෙට්ටි ගන්න කිලෝමීටර 50 විතරක් එහායින් තියෙන ආනොසීබි අනලවලට ගියෙත් ආවෙත් පයින්මයි. ඒ ගමන හුඟක් වෙහෙසකර වුණත් මේ ප්‍රදේශයේ හිටිය අය ආගම ගැන දැක්වුව උනන්දුව නිසා මම අද්දැක්ක ප්‍රීතිය මොන තරම්ද කියලා කියන්න බැහැ.

අද ‘බෙටොකො දෙක’ ප්‍රදේශයේ තියෙන්නේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙන සභාවක්. ඉරිදාට සාමාන්‍යයෙන් 45ක් විතර සභා රැස්වීමට එනවා. මගේ පවුලේ අය හැමෝම දැන් සාක්ෂිකරුවෝ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. මගේ එක මල්ලී කෙනෙක් විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. වර්ෂ 2001 නොවැම්බර් 1වනදා සිට මාවත් විශේෂ පුරෝගාමි සේවිකාවක් හැටියට පත් කළා. මට පැවරුම ලැබුණේ ඇන්ටනම්බව්-මනම්පොට්සි කියන ගමටයි. නමුත් මම ‘බෙටොකො දෙක’ හැර ආවේ ප්‍රීතිමත් හෘදයකින්.

මම 1987දී බයිබල් සත්‍යතාවන් ඉගෙනගන්න පටන්ගන්න කොට මැඩගස්කරයේ හිටියේ සාක්ෂිකරුවෝ 3,000කටත් වඩා අඩුවෙන්. ඒත් දැන් 14,000කටත් වඩා ඉන්නවා. මෙහේ ඉන්න හුඟදෙනෙක් වගේ, මමත් මගේ ශක්තිය වැය කරලා අනිත් අයට උදව් කරන්න ලැබුණ ඒ වරප්‍රසාදය ගැන කෘතඥ වෙනවා. මගේ මේ වෑයමට යෙහෝවා ආශීර්වාද කරලා තියෙන එක ගැන මම යෙහෝවාට ස්තුතිය පුද කරනවා. ඇත්තෙන්ම “ඇවිද්ද පය දහස් වටී!”

[14, 15වන පිටුවේ පින්තූර]

මම ගමට යනකොට බොහෝ අවස්ථාවලදී කිලෝග්‍රෑම් 15කට වඩා උස්සගෙන කිලෝමීටර 60ක් විතර ඇවිද්දා

[15වන පිටුවේ පින්තූරය]

මගේ අයියා පෝල්

[16වන පිටුවේ පින්තූරය]

මගේ අයියා චාල්ස්

[16වන පිටුවේ පින්තූරය]

මගේ පවුලේ සමහර අය සමඟ. මේ හැමෝම දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ