Skip to content

පටුනට යන්න

දෙවි සෑම තැනම සිටිනවාද?

දෙවි සෑම තැනම සිටිනවාද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි සෑම තැනම සිටිනවාද?

දෙවිව හඳුන්වා තිබෙන්නේ සර්ව බලධාරී, සෑම දෙයක්ම දන්නා කෙනෙකු ලෙසයි. තවදුරටත් දෙවිගේ උතුම්කම විග්‍රහ කිරීමේදී දෙවිට සෑම තැනම සිටිය හැකියි කියාද පවසයි. එසේ පවසන අය ඉන් අදහස් කරන්නේ දෙවිට එකවරම සෑම තැනකම සිටිය හැකි බවයි.

කලින් සඳහන් කළ කාරණා දෙක බයිබලයටද එකඟයි. (උත්පත්ති 17:1; හෙබ්‍රෙව් 4:13; එළිදරව් 11:17) ඔහු සර්ව බලධාරී සෑම දෙයක්ම දන්නා දෙවි කෙනෙකු නිසා ඔහුගෙන් කිසිවක් වසං කරන්නට බැහැ. ඒත් ඔහු සෑම තැනම සිටින කෙනෙක්ද? දෙවි සෑම තැනකම සිටිනවාද නැතිනම් ඔහු වාසය කිරීමට විශේෂිත ස්ථානයක් තිබෙන පුද්ගලයෙක්ද?

දෙවි ඉන්නේ කොහේද?

බයිබල් පද කිහිපයකම “ස්වර්ගය” දෙවිගේ “වාසස්ථානය” ලෙස සඳහන් කර තිබෙනවා. (1 රාජාවලිය 8:39, 43, 49; 2 ලේකම් 6:33, 39) ඇත්තෙන්ම එක් බයිබල් වාර්තාවක යෙහෝවා දෙවිගේ උත්කෘෂ්ටත්වය මනාව පැහැදිලි කරනවා. “එහෙත් දෙවි සැබවින් මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසන්නේද? බැලුව මැනව, ඔබට ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඉඩ මදිය; මා විසින් ගොඩනැඟූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?”—2 ලේකම් 6:18.

“දෙවි ආත්මයක්” එනම් අදෘශ්‍යමාන කෙනෙක් කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 4:24) ඒ නිසා ඔහු ජීවත් වන්නේ භෞතික විශ්වයේ නොව අදෘශ්‍යමාන විෂය තුළයි. දෙවිගේ වාසස්ථානය “ස්වර්ගය” ලෙස යොමු දක්වද්දී එය අප ජීවත් වන භෞතික ලෝකයට වඩා ඉතා උසස් ස්ථානයක් බව පෙන්වයි. මීට අමතරව තවත් වැදගත් කාරණයක් බයිබලයේ උගන්වනවා. එනම් දෙවිගේ වාසස්ථානය අපගේ පොළොවට වඩා හාත්පසින්ම වෙනස් වගේම එය එක්තරා නිශ්චිත ස්ථානයක් බවයි.—යෝබ් 2:1, 2.

දෙවි පුද්ගලයෙක්

යේසුස් තම ගෝලයන් සමඟ කතා කළ අවස්ථාවක යෙහෝවා දෙවිගේ වාසස්ථානය ගැන කීවේ මෙසේයි. “මාගේ පියාණන්ගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන තිබේ. . . . මා යන්නේ ඔබ සඳහා ස්ථානයක් සූදානම් කිරීමටය.” (යොහන් 14:2) යේසුස් ගියේ කොහාටද? ඔහු “ඇතුල් වූයේ . . . අප උදෙසා දෙවි ඉදිරියෙහිම පෙනී සිටින පිණිස ස්වර්ගයටය.” (හෙබ්‍රෙව් 9:24) මෙම වාර්තාවෙන් යෙහෝවා දෙවි පිළිබඳ වැදගත් කාරණා දෙකක් උගන්වනවා. පළමු එක නම් ඔහුට සැබෑ වාසස්ථානයක් තිබෙනවා යන්නයි. දෙවෙනි එක නම් ඔහු පුද්ගලයෙක් මිසක සෑම තැනක වෙසෙන විස්තර කළ නොහැකි බලවේගයක් නොවන බවයි.

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියා යාච්ඤා කිරීමට යේසුස් තම ගෝලයන්ට ඉගැන්නුවේ ඒ හේතුව නිසයි. ඔවුන්ගේ එම යාච්ඤාවන් යොමු වූයේ පුද්ගලයෙක් වන යෙහෝවා දෙවිටයි. ඔහුගේ වාසස්ථානය වන්නේ ස්වර්ගයයි. (මතෙව් 6:9; 12:50) යේසුස් දුන් මෙම ඉගැන්වීම දෙවිගේ සෙනඟට කලින් උගන්වා තිබූ යාච්ඤාවට සමානයි. ඒ වන විටත් ඔවුන් අවුරුදු 1,500කටත් වැඩි කාලයක් පුරා යාච්ඤා කරමින් සිටියා. දෙවිගේ අනුභාවයෙන් ලියූ පුරාණ ලියවිල්ලක මෙම යාච්ඤාව සඳහන් වී තිබෙනවා. “ඔබගේ ශුද්ධස්ථානය වූ ස්වර්ගයෙහි සිට බලා ඔබේ ඊශ්‍රායෙල් සෙනඟට . . . ආශීර්වාද කළ මැනව.”—ද්විතීය කතාව 26:15.

සෑම තැනටම විහිදෙන දෙවිගේ බලය

දෙවිට නිශ්චිත වාසස්ථානයක් තිබෙන බව බයිබලයේ සෑම විටම යොමු දක්වන අතර ඔහුගේ ශුද්ධාත්මය, එනම් බලය සෑම තැනම තිබෙන බව එහි බොහෝවිට පවසනවා. ගීතිකාකරු වූ දාවිත් මෙසේ අසනු ලැබුවා. “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට පලා යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොයි දුවම්ද?” (ගීතාවලිය 139:7) මෙවැනි කියමන් නිසා සමහරෙකු ව්‍යාකූල වී තිබෙන නිසා ඔවුන් සිතන්නේ දෙවි සෑම තැනම සිටිනවා කියායි. ඒත් මෙම පදයේ හා වෙනත් පදවල අවට පාඨ සම්බන්ධයන් සලකා බලන කල යෙහෝවාගේ ක්‍රියාකාරික බලය, ඔහු සිටින ස්ථානයේ සිට විශ්වයේ ඕනෑම ස්ථානයකට විහිදීමට ඔහුට හැකියාවක් තිබෙනවා.

පියෙකුගේ අත ඔහුගේ දරුවන්ව සනසවන්න හෝ ඔවුන්ට උපකාර කරන්න දිගු කරනවා හා සමානව යෙහෝවා තම අත හෝ බලය තම අරමුණු ඉටු කරගැනීම සඳහා ස්වර්ගයේ වෙසෙන දේවදූතයන් වෙත හෝ විශ්වය වෙත විහිදුවන්න හැකියාවක් තිබෙනවා. මෙම හේතුව නිසා තමයි ගීතිකාකරුට මෙසේ කීමට හැකි වූයේ. “අරුණු පියාපත්වලින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත් එහිදිත් ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය. ඔබගේ දකුණත මා අල්ලන්නේය.”—ගීතාවලිය 139:9, 10.

ඔබට දෙවිගේ මිතුරා විය හැකියි

තමන් ගැනත් තමන්ගේ වාසස්ථානය ගැනත් මිනිසාට තේරෙන ආකාරයට විස්තර කිරීමට යෙහෝවා දෙවි මිනිසාට ඉඩහැර තිබෙන්නේ ඔහුගේ නිරහංකාරකම හා ප්‍රේමය නිසයි. එය හරියට ‘අහසත් පොළොවත් බලන පිණිස ඔහු පහතට නැමෙන්නාසේයි.’ (ගීතාවලිය 113:6, නව අනුවාදය) නමුත් දෙවිගේ ස්වභාවය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අපට හැකියාවක් නැහැ.

යෙහෝවාගේ අතිඋත්කෘෂ්ටත්ය, ශ්‍රේෂ්ඨත්වය සහ පුදුමාකාර බව මිනිසාට තේරෙන ආකාරයෙන් පූර්ණ ලෙස විස්තර කළ නොහැකියි. එබැවින්, බයිබලයේ ඔහුගේ ස්වර්ගික නිවස නිශ්චිත ස්ථානයක් කියා හැඳින්වූවත් එවැනි අදෘශ්‍යමාන ස්ථානයක් ගැන මුළුමනින්ම වටහාගැනීමට මිනිසාගේ බුද්ධියට හැකියාවක් නැහැ.—ගීතාවලිය 139:6.

කෙසේවෙතත්, යෙහෝවාගේ සැබෑ ස්වභාවය ගැන යම් අවබෝධයක් තිබීමෙනුත් ඔහු සෑම තැන වෙසෙන විස්තර කළ නොහැකි පෞද්ගලිකත්වයක් නැති බලවේගයක් නොවෙයි කියන එක දැනගැනීමත් අපට සහනයක් ගෙන දෙනවා. ඇත්තටම ඔහු නිශ්චිත ස්ථානයක වෙසෙන පුද්ගලයෙක්. ඒ වගේම ඔහුට ප්‍රේමය සහ මුදු මොලොක් ගති ලක්ෂණ ඇතුළත් පෞද්ගලිකත්වයක් තිබෙනවා. එවන් දැනුමක් මගින් විශ්වයේ සර්ව බලධාරී පරමාධිපති දෙවි සමඟ ජීවිත කාලයටම පෞද්ගලික මිත්‍රත්වයක් ඇති කරගැනීමේ හැකියාව ලැබෙනවා. එම මහඟු ප්‍රස්තාව ඕනෑම මිනිසෙකුට හිමි කරගත හැකියි—යාකොබ් 4:8.