Skip to content

පටුනට යන්න

මගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?

මගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?

“සමහර වෙලාවලට දෙමාපියන් එක්ක මට පුදුම කේන්තියක් ඇති වෙනවා. එතකොට කියන්නේ මොනවාද කියලාවත් මං දන්නේ නෑ. කේන්තිය නිවෙනකං මම මගේ පාඩුවේ ඉන්නවා.”—දාහතුන් හැවිරිදි, කේට්.

“මට මං ගැනම ලොකු භයක් දැනෙනවා. සමහර වේලාවලට මට ජීවිතෙත් එපා වෙනවා.”—දහනව හැවිරිදි, අයිවන්.

හැඟීම් හරිම බලවත්. ඔබ සිතන ආකාරයට සහ ක්‍රියා කරන ආකාරයට ඒවා බලපාන්න පුළුවන්. ඒවායින් ඔබට හොඳක් වගේම නරකක් වෙන්න පුළුවන්. සමහර වේලාවට ඔබේ හැඟීම් නිසා කරන්නේ මොකක්ද කියලා සිතන්න බැරි තත්වයකට ඔබ පත් වෙන්නත් පුළුවන්. විසිහැවිරිදි ජේකබ් කියන්නේ මෙලෙසයි. “මම කවදාවත් මං ගැනම සෑහීමට පත් වෙලා නෑ. මං කරන්න හිතන දේවල් කරගන්න මට හුඟක් වෙලාවට බැරි වෙනවා. සමහර වෙලාවට මං ඔහේ අඬනවා. සමහර වෙලාවට මට පුදුම විදිහට කේන්ති යනවා. ඒ වෙලාවට මගේ ළඟ ඉන්න අයගේ පිටින් තමයි මම ඒ කේන්තිය අරින්නේ. මගේ හැඟීම් පාලනය කරගන්න මට හරිම අමාරුයි.”

වගකීමෙන් යුතුව කටයුතු කරන මේරූ වැඩිහිටියෙක් වීමට තමන්ගේ හැඟීම් පාලනය කරගැනීමට ඉගෙනගැනීමත් ඇතුළත් වෙනවා. සමහර විද්වතුන් කියන්නේ හැඟීම් පාලනය කිරීමට සහ මිනිසුන් සමඟ කටයුතු කිරීමට හැකියාව තිබීම බුද්ධිමත්කමට වඩා වැදගත් බවයි. ඇත්තෙන්ම හැඟීම් පාලනය කරගැනීමේ ඇති වැදගත්කම බයිබලයෙත් හුවා දක්වා තිබෙනවා. උදාහරණයකට හිතෝපදේශ 25:28 මෙසේ පවසනවා. “දමනය නොකරන ලද සිත ඇති අය පවුරක් නැති කඩා දමන ලද නුවරක් මෙනි.” කෙනෙකුගේ හැඟීම් පාලනය කරගැනීම මෙතරම් අමාරු වී ඇත්තේ මන්ද?

යෞවනයන්ට එය අභියෝගයක්

සෑම වයස් මට්ටමකම සහ සෑම පසුබිමකම සිටින අය තමන්ගේ හැඟීම් පාලනය කිරීමට යම් සටනක නිරත වෙනවා. මෙම සටන විශේෂයෙන්ම අභියෝගයක් වන්නේ නව යොවුන් වියේ සිට වැඩිහිටි වියට පා තබමින් සිටින අයටයි. රූත් බෙල් විසින් රචිත පොතක මෙසේ කියවීමට තිබෙනවා. “නව යොවුන් වියේ සිටින බොහෝදෙනෙකුට නොයෙක් නොයෙක් හැඟීම් ඇති වෙනවා. සමහර හැඟීම් හරි විකාර ඒවා. සමහරක් ඒවා සිතට ප්‍රීතියක් ඇති කරනවා. තවත් හැඟීම් ඔවුන් තුළ තිගැස්මක් ඇති කරනවා. මෙලෙස හැඟීම් රාශියක් ඇති වෙනවා. හුඟදෙනෙකුට එකම දෙයක් ගැන එකම අවස්ථාවේදී විවිධ හැඟීම් ඇති වෙනවා. . . . එක මොහොතක යමක් ගැන හිතනවා. ඊළඟ මොහොතේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයක් ගැන හිතනවා.”—Changing Bodies, Changing Lives.

ඔබ තවම තරුණයෙක් නිසා ඔබට ලැබී තිබෙන අද්දැකීම් අඩුයි. (හිතෝපදේශ 1:4) එනිසා ජීවිතේ පළමු වතාවට අලුත් තත්වයකට හා අභියෝගයකට මුහුණ දෙන විට භයක් දැනීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට එය දැරිය නොහැකි තත්වයක් ලෙසටත් ඔබට හැඟෙන්න පුළුවන්. ඒ කොහොමවුණත් යෙහෝවා දෙවිට ඔබේ හැඟීම් හොඳ හැටි තේරෙනවා. ඔහු ඔබේ “නොසන්සුන්වූ සිතිවිලි” පවා දන්නවා. (ගීතාවලිය 139:23NW) ඔහුගේ අදහස් ඇතුළත් දේවවචනය තුළ ඔබට උපකාරවත් වන ප්‍රතිපත්ති කිහිපයක් සඳහන් කර තිබෙනවා.

ඔබගේ හැඟීම් පාලනය කිරීමට වැදගත් පියවර කීපයක්

ඒ සඳහා අවශ්‍ය එක් පියවරක් නම් ඔබේ සිතුවිලි පාලනය කරගැනීමට ඉගෙනගැනීමයි. ඍණාත්මක සිතුවිලිවලට හැකියාවක් තියෙනවා ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය ශක්තිය හීන කරන්න. (හිතෝපදේශ 24:10) දැන් ප්‍රශ්නයක් පැන නඟිනවා. ඒ තමයි ඔබ ධනාත්මක ලෙස සිතන්න ඉගෙනගන්නේ කොහොමද සහ ඒ මගින් ඔබේ හැඟීම් පාලනය කරන්නේ කොහොමද කියන එක.

එක ක්‍රමයක් නම්, ඔබව මානසික අවපීඩනයට ලක් කරන හෝ ඔබ තුළ බියක් ඇති කරන ඍණාත්මක දේවල් ගැන සිතීමෙන් වැළකීමයි. “ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ” දේවල් මෙනෙහි කිරීමට බයිබලය දෙන උපදෙස් පිළිපැදීමෙන් ඍණාත්මක සිතුවිලි අහක් කර ධනාත්මක සිතුවිලි ඇති කරගත හැකියි. (ෆිලිප්පි 4:8) එසේ කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒත් වෑයමක් දරනවා නම් එය කළ හැකියි.

ජැස්මින් නමැති තරුණිය වේදනාවෙන් පැවසුව දේ සලකා බලන්න. “අලුත් රැකියාවක්, අලුත් වගකීම්, මේ හැම දෙයක් ගැනම හිතනකොට මට පුළුවන් වෙයිද මේ ඔක්කොම හරියට කරගන්න කියලා හිතෙනවා. මෙහෙම හිතලා හිතලා අන්තිමේදී කිසිම දෙයක් හිතාගන්න බැරි වෙනවා. මේවා ගැන හිත හිතා ඉන්නේ නැතුව ඉන්න හැදුවත් ඒක හරිම අමාරු දෙයක්.” යම් අවස්ථාවල තරුණියකට එසේ හැඟීම පුදුමයක් නොවේ. එවන් හැඟීම් නිසා කෙනෙකුට තමන් ගැනම භයක් සහ අස්ථිරභාවයක් දැනෙන්න පුළුවන්. තමන්ට දෙනු ලැබූ වගකීම්වලට උරදීමට මනා සුදුසුකම් තිබූ යෞවනයෙක් වූ තිමෝති ගැන බයිබලයේ පවසන දේ සලකා බලන්න. ඔහුට සුදුසුකම් තිබුණත් ඒවාවලට උර දෙන්න පුළුවන් වෙයිද යන හැඟීම් සමඟ ඔහු පොරබැදීමක් කළ බවයි පෙනෙන්න තිබෙන්නේ.—1 තිමෝති 4:11-16; 2 තිමෝති 1:6, 7.

අලුත් හෝ නුහුරු කටයුත්තක් කිරීමට ලැබුණ විට ඔබටත් එලෙස භයක් දැනෙන්න පුළුවන්. ‘මට නම් කොහොමටවත් මේක කරන්න පුළුවන් වෙන එකක් නැහැ’ කියා ඔබ ඔබටම කියාගන්නවා විය හැකියි. එවන් බියගුලු හැඟීම් පාලනය කරගන්න ඔබට පුළුවන්, ඔබ ඍණාත්මක සිතුවිලි පලවා හරිනවා නම්. කරන වැඩය දක්ෂ ලෙස කිරීමට ඉගෙනගන්න. ප්‍රශ්න අහන්න. දෙන උපදෙස් පිළිපදින්න.—හිතෝපදේශ 1:5, 7.

එවිට ඔබට හොඳින් එම කාර්යය කිරීමට හැකියාවක් ලැබෙන අතර දැනෙන භයද අඩු වී යයි. ඔබේ දුර්වලකම් ගැනම ලත වෙවි ඉන්න එපා. ඔබ එසේ කරනවා නම් ඔබේ දුර්වලකම් ජයගන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. එවිට ඔබට දියුණුවක් අද්දකින්න බැරි වේවි. ප්‍රේරිත පාවුල්ව එක් අවස්ථාවකදී විවේචනයට ලක් කළ විට ඔහු මෙවන් පිළිතුරක් දුන්නා. “මා කතා කිරීමට දක්ෂ නැතත්, මම කොහෙත්ම දැනුමෙන් අදක්ෂයෙකු නොවෙමි.” (2 කොරින්ති 10:10; 11:6) ඒ හා සමානව ඔබටත් දක්ෂතාවන් තිබෙන බව ඒත්තුගැනීමෙන් හා ඔබ දුර්වල වෙන අවස්ථාවලදී ශක්තිමත් වීමට දෙවිගේ උපකාරය පැතීමෙන් ඔබට පුළුවන් නිසැකකමක් ඇති කරගන්න. අතීතයේදී අන් අයට උපකාර කළාක් මෙන් ඔබටත් උපකාර කිරීමට දෙවිට පුළුවන්.—නික්මයාම 4:10.

ඔබේ හැඟීම් පාලනය කරගැනීමට ගත හැකි තව පියවරක් නම් ඔබේ සීමාවන් තේරුම්ගෙන සාධාරණ හා අත්කරගත හැකි ඉලක්ක තබාගැනීමයි. ඒ වගේම අන් අයත් සමඟ ඔබව සංසන්දනය කිරීමෙන්ද වළකින්න. බයිබලයේ ගලාති 6:4හි වටිනා උපදෙසක් ලබා දෙයි. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”

කෝපවීමට පමා වෙන්න

තවත් අමාරු දෙයක් තමයි කෝපය පාලනය කිරීම. ලිපිය මුලදී සඳහන් කළ කේට් වගේ කෝපය නිසා බොහෝ තරුණයන් සිත් පාරන වේදනාකාරී දේවල් කීමට හෝ කිරීමට පුළුවන්.

සමහර වෙලාවලදී තරහ ඇතිවීම සාමාන්‍යයයි. නමුත් පළමු මිනීමැරුම කළ කායින්ව අපි අමතක නොකළ යුතුයි. “කායින් අතිශයෙන් කෝප” වූ විට දෙවි ඒ ගැන ඔහුට අනතුරු අඟවමින් කිව්වේ එවැනි කෝපයක් බරපතළ පාපයක් කිරීමට ඔහුව පෙලඹවිය හැකි බවයි. එමනිසා ඔහු කායින්ගෙන් මෙසේ ඇසුවා. ‘ඔබට පාපය කෙරෙහි අධිපතිකම් කළ හැකිද?’ (උත්පත්ති 4:5-7) කායින් එම දිව්‍ය උපදෙස පිළිපැදීමට අසමත් වුණා. නමුත් දෙවිගේ උපකාරයෙන් ඔබට පුළුවන් කෝපය පාලනය කරගෙන පව් කිරීමෙන් වළකින්න.

මේ කාරණයේදීත් අවශ්‍ය වන්නේ ඔබගේ සිතුවිලි පාලනය කරගැනීමයි. “මනුෂ්‍යයෙකුගේ සිහිකල්පනාව නිසා ඔහු තරහ වීමට පමා වේ. වරදක් නොසලකා හැරීම ඔහුට ගෞරවයක් වේ” යනුවෙන් බයිබලයේ හිතෝපදේශ 19:11 පවසයි. යම් කෙනෙක් ඔබව කෝපයට පත් කරයි නම්, ඔහු හෝ ඇය එසේ හැසිරුණේ ඇයි කියන එක තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එම පුද්ගලයා හිතාමතාම ඔබව රිදෙව්වාද? නැතිනම් ආවේගවලට යටපත් වෙලා සිතා බලන්නේ නැතිව කටයුතු කළාද? අන් අයගේ වැරදි ඉවසා සිටීම දෙවිගේ දයාව විදහා දැක්වීමක් වන අතර ඔබ කෝපවීමට පමා වෙන්න පවා එය ඔබට උපකාරයක් විය හැකියි.

එහෙත්, ඔබේ කෝපයට සාධාරණ හේතු තිබෙනවා නම් කුමක්ද? ශුද්ධ ලියවිල්ලේ කියන්නේ “කෝප වුණත් පව් නොකරන්න” කියායි. (එෆීස 4:26) අවශ්‍ය නම් අදාළ පුද්ගලයා සමඟ කාරණය කතා කරන්න. (මතෙව් 5:23, 24) එහෙම නැත්නම් හොඳම දේ කාරණය අමතක කර දමා කෝපය නිවාගෙන මනසේ සාමය ඇතිව එදිනෙදා වැඩ කටයුතුවල නිරත වීමයි.

ඔබේ අවධානය ලක්විය යුතු තවත් දෙයක් තියෙනවා. ඒ කෝපය පාලනය කිරීම නමැති විෂයේදී ඔබගේ මිතුරන්ටත් යම් බලපෑමක් කරන්න පුළුවන් කියන එක. මෙම හේතුව නිසා තමයි බයිබලය මෙවන් උපදෙසක් දී තිබෙන්නේ. “කෝප වන මනුෂ්‍යයෙකුගේ මාර්ග ඉගෙන නොගන්නා පිණිසද, ඔබේ ආත්මයට මලපතක් පමුණුවා නොගන්නා පිණිසද, ඔහු සමඟ මිත්‍ර නොවන්න. උදහස් වන කෙනෙක් සමඟ නොයන්න.”—හිතෝපදේශ 22:24, 25.

කෝපය පාලනය කරගැනීමට උත්සාහ දරන අය සමඟ ඇසුරු කිරීමෙන් ඔබට ආත්ම දමනය වර්ධනය කරගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව තුළ ඔබට වඩා වයසින් හා අද්දැකීම්වලින් වැඩි එවැනි මේරූ පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරදෙනෙකුව දැනහඳුනා ගන්න. ඔවුන් ගැටලු හමුවේ ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කරන්න. ඔබ යම් දුෂ්කරතා අද්දකිද්දී ‘නුවණැති ගුරුකම්’ දීමටත් ඔවුන්ට හැකියාවක් තිබෙනවා. (හිතෝපදේශ 24:6) කලින් සඳහන් කළ ජේකබ් කියන්නේ මෙසේයි. “දෙවිගේ වචනයේ තියෙන උපදෙස් මට මතක් කරලා දෙන මේරූ යාළුවෙකුගේ වටිනාකම මිල කරන්න බෑ. මට බායාදුකමේ හැඟීමක් තිබුණත් යෙහෝවා මට ආදරෙයි කියන එක මතක් කරගන්නකොට, මගේ හැඟීම් පාලනය කරගෙන සන්සුන්ව ඉන්න හැකියාවක් ලැබෙනවා.”

වෙනත් ප්‍රායෝගික පියවර

ශාරීරික සුවතා පොතක මෙවන් දෙයක් සඳහන් වී තිබෙනවා. “කර ඇති අධ්‍යයනයන් ගණනාවකින් පෙනී යන්නේ ව්‍යායාම් මගින් ශරීරයේ රසායනික ක්‍රියාවලියෙහි වෙනසක් සිදු කරන බව හා එමගින් හොඳ මානසික ස්වභාවයක් ඇති කරන බවයි. ඔබ ව්‍යායාම් කරන ආකාරවලින් ශරීරයේ හෝමෝන හා ඔක්සිජන් මට්ටමෙහි වෙනසක් සිදු විය හැකියි.” නිසැකවම ශාරීරික ව්‍යායාම ඉතාමත් ප්‍රයෝජනදායකයි. බයිබලයේ අපට කියන්නේ “ශාරීරික ව්‍යායාමයෙන් යම් ප්‍රයෝජන තිබේ” කියායි. (1 තිමෝති 4:8, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) එසේනම් නිතිපතා ව්‍යායාම් කිරීමට සැලසුම් කරන්නේ නැත්තේ ඇයි? ඔබේ හැඟීම්වලට හොඳ බලපෑමක් කරන්න එයට හැකියි. එසේම ආහාර රටාව සමබර කරගැනීමෙන්ද ප්‍රයෝජන ලබාගත හැකියි.

ඔබ තෝරාගන්නා සංගීතය හා විනෝදය සඳහා කරන දේවල් ගැනද සැලකිලිමත් වන්න. එක් අධ්‍යයනයකින් පළ වූ ලිපියක මෙසේ වාර්තා වෙයි. “සාහසික දේවල් නැරඹීම . . . කෙනෙකු තුළ කේන්තිය හා කලහාකාරී ස්වභාවයක් ඇති කිරීමට දායක වෙයි. . . . සාහසික චිත්‍රපට නරඹන පුද්ගලයන් තුළ දරුණු සිතුවිලි පහළ වූ අතර රුධිර පීඩනයේ වැඩිවීමක්ද දක්නට ලැබුණි.” (The Harvard Mental Health Letter) එනිසා අහන බලන දේවල් ඥානවන්තව තෝරාගන්න.—ගීතාවලිය 1:1-3; 1 කොරින්ති 15:33.

අවසාන වශයෙන් පැවසීමට යමක් තිබෙනවා. ඒ තමයි ඔබේ හැඟීම් පාලනය කිරීමට තියෙන හොඳම ක්‍රමය යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම කියන කාරණය. යාච්ඤාව තුළින් අපේ හැඟීම් ප්‍රකාශ කරන්න කියා ඔහු අප සැමට ආරාධනා කරනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත” යනුවෙන් ප්‍රේරිත පාවුල් දිරිගැන්වීමක් දුන්නා. ජීවිතයේ ඕනෑම තත්වයකට මුහුණ දීමට ඇතුළාන්ත ශක්තියක් වඩවාගැනීමට ඔබට හැකියි. ප්‍රේරිත පාවුල් තවදුරටත් මෙසේ පැවසුවා. “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:6, 7, 13.

යෞවනියක් වන මලයිකා මෙසේ කියනවා. “මම පුළුවන් තරම් යාච්ඤා කළා. යෙහෝවා මං ගැන සැලකිලිමත් වෙනවා කියන එක දන්න නිසා සන්සුන්ව ඉන්නත් මගේ හැඟීම් පාලනය කරගන්නත් මට පුළුවන් වෙනවා.” දෙවිගේ උපකාරය ඇතිව ඔබටත් පුළුවන් ඔබේ හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබගේ හැඟීම් පාලනය කරගැනීමට වැදගත් වන පියවරක් නම් ඔබේ සිතුවිලි පාලනය කරගැනීමට ඉගෙනගැනීමයි

[20වන පිටුවේ පින්තූරය]

වයසින් වැඩි අයව ආශ්‍රය කිරීමෙන් අපගේ හැඟීම් පාලනය කරගත හැකි අයුරු ඉගෙනගත හැකියි