Skip to content

පටුනට යන්න

මවකගේ අගනා සේවය

මවකගේ අගනා සේවය

මවකගේ අගනා සේවය

නිවසක මවක් අතින් සිදු වන වැඩ කොටස බොහෝවිට ඇගයීමකට ලක් වන්නේ නැහැ. දශක කිහිපයකට පෙර සිට සමහරෙක් දරුවන් බලා කියා ගැනීම පහත් දෙයක් ලෙස සැලකීමට පටන්ගත්තා. ඔවුන් එය සැලකුවේ බරක් එහෙමත් නැත්නම් රැකියාවක් තරම් වැදගත් කාර්යයක් ලෙසට නෙමෙයි. වැඩිදෙනෙක් එවැනි අදහසකට එකඟ නොවුණත් සාමාන්‍යයෙන් මව්වරුන්ට හැඟෙන්න සලස්වා තිබෙන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු සහ දරුවන්ව බලා කියා ගැනීම පහත් දෙයක් හැටියටයි. තවත් අය සිතන්නේ කාන්තාවකගේ නියම හැකියාවන් පෙන්වීමට බාහිර රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඒත් බොහෝ ස්වාමිපුරුෂයන් සහ දරුවන් මවක් අතින් සිදු වන මෙහෙවර ගැන කතා කරන්නේ අගය කිරීමකින් යුක්තවයි. පිලිප්පීනයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන කාර්ලෝ මෙසේ අදහස් දක්වනවා. “අද මම මෙතැන ඉන්නේ මගේ අම්මා දුන්න පුහුණුව නිසයි. මගේ තාත්තා උපදෙස් දුන්නේ අහන්නේ බලන්නේ නැතුවයි. ඒවගේම ඉවක් බවක් නැතුව දඬුවම් කළා. ඒත් අම්මා හේතු කාරණා පෙන්වලා තමයි උපදෙස් දුන්නේ. ඇය ඉගැන්වූ විදිහ මම හුඟාක් අගය කරනවා.”

දකුණු අප්‍රිකාවේ පීටර්, දරුවෝ හයදෙනෙක් සිටින පවුලක දරුවෙක්. ඔහුගේ මව ලබා තිබුණේ අඩු අධ්‍යාපනයක්. ඔහුගේ පියා ඔවුන්ව දාලා ගිහින් තිබුණා. පීටර් තමන්ගේ ජීවිත අද්දැකීම ගැන මෙසේ පවසනවා. “අම්මා රැකියාවක් හැටියට කළේ ගෘහ පාලිකා හා මුරකරු සේවය නිසා ඇයට වැඩි මුදලක් උපයන්න බැරි වුණා. අපි හැමෝගේම පාසැල් ගාස්තු ගෙවීමට හැකියාවක් ඇයට තිබුණේ නැහැ. හුඟාක් දවස්වලට අපි නිදාගත්තේ බඩගින්නේ. ගෙවල් කුලි ගෙවන එකත් ඇයට ලෙහෙසි වුණේ නැහැ. කොයිතරම් දුෂ්කරතා තිබුණත් අම්මා උත්සාහය අත් හැරියේ නැහැ. අනිත් අයත් එක්ක අපිව සන්සන්දනය කරන්න එපා කියලා ඇය අපට කිව්වා. ඇගේ කැපවීම සහ උත්සාහය නිසා තමයි අද අපි මේ ගමන මෙතරම් දුර ආවේ.”

තම දරුවන් හදා වඩා ගැනීමේදී භාර්යාවගෙන් ලැබූ සහය ගැන නයිජීරියාවේ වෙසෙන අහමඩ් තමන්ගේ අදහස් මෙසේ පළ කරනවා. “මම මගේ භාර්යාවගේ අතින් ඉටු වෙන වැඩ කොටස අගය කරනවා. මම ගෙදර නැති වේලාවටත් මගේ භාර්යාව දරුවෝ ටික හොඳින් බලාගන්නවා කියලා මට විශ්වාසයි. භාර්යාව මාත් එක්ක කරට කර ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. ඇත්තටම මම ඇයට ස්තුති කරනවා. ඒ වගේම මම දරුවන්ට දැනෙන්න සලස්වලා තියෙනවා මට වගේම අම්මටත් එයාලා ගරු කරන්න ඕනේ කියලා.”

පලස්තීනයේ වෙසෙන පුද්ගලයෙක් තම භාර්යාව මවක් ලෙස සාර්ථක වී තිබෙන ආකාරය ගැන ප්‍රශංසා කළා. ඔහු මෙසේ පවසනවා. “ලීනා අපේ දුවව හොඳට හදලා තියෙනවා. ඒවගේම පවුල තුළ හොඳ ආත්මික තත්වයක් තබාගැනීමටද ඇය සෑහෙන දායකත්වයක් ලබා දෙනවා. මට හිතෙන හැටියට ඇගේ මෙම සාර්ථකත්වයට හේතුව ඇගේ ආගමයි.” ලීනා නමැති තැනැත්තිය යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඇගේ දියණියට ඉගැන්වීමේදී ඇය බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා.

මොනවාද මෙම බයිබල් ප්‍රතිපත්ති? බයිබලයේ මව්වරුන් පිළිබඳව පවසන දේ ගැන කුමක් කිව හැකිද? අතීතයේ මව්වරුන්ට දරුවන්ගේ ගුරුවරිය ලෙස ඇය කළ මෙහෙවරට ගෞරවය ලැබුණේ කෙසේද?

මව්වරුන් ගැන සාධාරණ බැල්මක්

මැවීමේදී ස්ත්‍රියට පවුල තුළ ගෞරවනීය ස්ථානයක් දෙනු ලැබුවා. බයිබලයේ පළමු පොතේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි කතා කොට: මනුෂ්‍යයා තනියම සිටීම යහපත් නොවෙයි; ඔහුට සුදුසු උපකාර කරන කෙනෙකු සාදා දෙන්නෙමියි කීවේය.” (උත්පත්ති 2:18) පළමු ස්ත්‍රිය වන ඒවව ආදම්ට දුන්නේ ඔහුට පූර්ණ උපකාරය හෝ සහයෝගය ලබා දෙන තැනැත්තියක් ලෙසයි. ඔවුන් විසින් දරුවන් වැදීම හා පොළොවත් සතුන්වත් රැකබලා ගැනීම තමයි දෙවිගේ අරමුණ වුණේ. ආදම්ට දිරිගැන්වීම දෙමින් බුද්ධිමත්ව කටයුතු කරන සැබෑ මිතුරියක් වීම තමයි ඇගෙන් අපේක්ෂා කළේ. මැවුම්කරුගෙන් එවැනි අගනා ත්‍යාගයක් ලැබුණ විට ආදම් කොතරම් සතුටු වෙන්න ඇද්ද!—උත්පත්ති 1:26-28; 2:23.

පසුව ස්ත්‍රීන්ට සැලකිය යුත්තේ කෙසේද කියා පෙන්වීමට දෙවි නීති මාලාවක් ලබා දුන්නා. නිදසුනක් පෙන්වනවා නම් ඊශ්‍රායෙලයේ සිටි මව්වරුන්ට ගෞරවය පෙන්විය යුතු බවත් ඔවුන්ව අවමානයට පත් නොකළ යුතු බවත් ලියා තිබුණා. යම් පුතෙකු විසින් ‘පියාට හෝ මවට හෝ ශාප කළොත්’ ඔහුට මරණ දණ්ඩනය නියම වීමට තිබුණා. ක්‍රිස්තියානි යෞවනයන්ගෙන් ඉල්ලා සිටියේ “[තමන්ගේ] දෙමාපියන්ට කීකරු වන්න” කියලයි.—ලෙවී කතාව 19:3; 20:9; එෆීස 6:1; ද්විතීය කතාව 5:16; 27:16; හිතෝපදේශ 30:17.

ස්වාමිපුරුෂයන්ගේ මඟ පෙන්වීම යටතේ මවක් විසින් පුතුන්ට සහ දූවරුන්ට ඉගැන්විය යුතු වුණා. ‘තම මවගේ පනත අත් අරින්න’ එපා කියා පුතෙකුට අණ කර තිබුණා. (හිතෝපදේශ 6:20) ඒවගේම හිතෝපදේශ 31වන පරිච්ඡේදයේ ‘ලෙමුවෙල් රජුගේ මෑණියන් විසින් ඔහුට දුන්’ උපදෙස් සඳහන් වී තිබෙනවා. අනිසි ලෙස මත්පැන් පානයෙන් වැළකීම සඳහා ඇය නැණවත් ලෙස පුතුට මඟ පෙන්වීම් දුන්නා. “මිදි යුෂ බීම රජුන්ට නොවේ; අහෝ, ලෙමුවෙල්, රජුන්ට නොවේ; අධිපතීන්ට: සුරා පානය කොතැනදැයි ඇසීමත් යුතු නැත; එසේ කළොත් ඔවුහු ව්‍යවස්ථාව සිහිනැති කොට පීඩිත වූ අයගේ යුක්තිය පෙරළති.”—හිතෝපදේශ 31:1, 4, 5.

විවාහ වීමට බලාපොරොත්තු වන තරුණයන් විසින් ලෙමුවෙල් රජුගේ මව “ගුණවත් ස්ත්‍රියක්” පිළිබඳව දුන් උපදෙස් සලකා බැලීම නුවණට හුරුයි. “ඇගේ අගය රතුකැටවලට වඩා බොහෝ වැඩිය” කියා ඇය පවසනවා. නිවසක් තුළ භාර්යාවක අතින් සිදු කෙරෙන අගනා මෙහෙය ගැන සඳහන් කිරීමෙන් පසු ලෙමුවෙල් රජුගේ මව මෙම උපදෙස දෙනවා. “රූපශ්‍රීය රැවටිලි සහිතය; රුව නිෂ්ඵලය; එහෙත් යෙහෝවාට භය ඇති ස්ත්‍රියක් ප්‍රශංසා කරනු ලබන්නීය.” (හිතෝපදේශ 31:10-31) එසේනම්, අපගේ මැවුම්කරු ස්ත්‍රියව මැව්වේ පවුල තුළ ගෞරවය ලැබීමේ හා වගකීම් දැරීමේ හැකියාව ඇතුව බව පැහැදිලියි.

ක්‍රිස්තියානි සභාවේද මව්වරුන් සහ භාර්යාවන්ව ගෞරවයෙන් සලකනවා. ඒ වගේම ඔවුන් අතින් ඉටු වන මෙහෙය අගය කරනවා. එෆීස 5:25හි සඳහන් වන්නේ “ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. යෞවන තිමෝතිගේ ආච්චියි අම්මයි “ශුද්ධ ලියවිල්ලට” ගරු කරන්නට ඔහුට ඉගැන්නුවා. “වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද . . . සලකන්න” යන දේවානුභාවය ලත් උපදෙසද ඔහුට දුන්නා. (2 තිමෝති 3:15; 1 තිමෝති 5:1, 2) තරුණයෙක් තමන්ගේම මවට මෙන් වැඩිහිටි ස්ත්‍රියෙකුට ගරු කළ යුතුයි. දෙවි ස්ත්‍රීන්ව අගය කරනවා. ඒවගේම ඔවුන්ට ගෞරවනීය ස්ථානයක්ද දී තිබෙනවා.

ඔබේ අගය ප්‍රකාශ කරන්න

ස්ත්‍රීන්ව පහත් ලෙස සලකන සංස්කෘතියක හැදුණු පුරුෂයෙක් මෙසේ අදහස් දක්වනවා. “මම අධ්‍යාපනය ලැබුවේ පුරුෂයන්ව උසස් ලෙස සැලකුව සංස්කෘතියකයි. කාන්තාවන්ට අයුතු ලෙස සලකන විදිහත් ඔවුන්ට ගරු නොකරන ආකාරයත් මම දැක්කා. මැවුම්කරු ස්ත්‍රීන්ව සලකන ආකාරයට ඔවුන්ව සලකන්න මට බැරිව ගියා. ඇයව නිවසේ සහකාරිය ලෙස සලකන්නත් දරුවන්ගේ ඉගැන්වීමේ කාර්යයට හවුල් වෙන්න ඇයටත් අයිතියක් තියෙනවා කියලා හිතන්න මට අමාරු වුණා. මගේ භාර්යාවට වචනයෙන් ප්‍රශංසා කරන්න එක මට අමාරු වැඩක් වුණත් මගේ දරුවෝ හොඳ තත්වයක ඉන්නේ ඇය නිසයි කියන එක මම පිළිගන්නවා.”

ගුරුවරියන් ලෙස දරුවන්ට ගුරුහරුකම් දෙන මව්වරුන්ට තමන් කරන මහඟු සේවාව ගැන ආඩම්බර විය හැකියි. ඇත්තෙන්ම එය අගනා වටිනා මෙහෙවරක්. ඔවුන් ප්‍රශංසාව ලබන්න වටිනවා. අප ඔවුන්ගෙන් ඉගෙනගන්නා දෑ බොහෝයි. අපගේ ජිවිත කාලයටම ප්‍රයෝජනවත් වන අන් අය සමඟ සබඳතා පවත්වන්න උපකාරවත් වන හොඳ පුරුදු, යහපත් සිරිත් විරිත් අපට කියා දෙන්නේ අපේ මව මිස අනෙකෙකු නොවෙයි. ඒ පමණක් නොව බොහෝවිට දරුවෙකුගේ ඉදිරි ගමනට ඉවහල් වන සදාචාරාත්මක හා ආගමික දැනුම ලබා දෙන්නෙත් ඇයයි. ඔබ මෑතකදී මෙවන් දේ ඔබට දායද කළ ඔබේ මවට ඔබ ප්‍රශංසා කර තිබෙනවාද?

[9වන පිටුවේ පින්තූරය]

උත්සාහය අත් නොහැරීමට පීටර්ගේ මව ඔහුට ඉගැන්නුවා

[10වන පිටුවේ පින්තූරය]

දරුවන් හදා වඩා ගැනීමේදී භාර්යාවගෙන් ලැබෙන සහයෝගය අහමඩ් අගය කරනවා

[10වන පිටුවේ පින්තූරය]

තම දුවගේ යහපත් හැදියාවට හේතුව තම භාර්යාවගේ ආගමික විශ්වාසය බව ලීනාගේ ස්වාමිපුරුෂයා කියා සිටිනවා