Skip to content

පටුනට යන්න

මව්වරුන් අභියෝග ජයගනියි

මව්වරුන් අභියෝග ජයගනියි

මව්වරුන් අභියෝග ජයගනියි

තම පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවක් කිරීමට සිදුවීම තමයි අද දින මව්වරුන් හුඟදෙනෙකුට තිබෙන ලොකුම අභියෝගය. ඊට අමතරව ඔවුන්ගෙන් සමහරෙකුට තව කෙනෙකුගේ සහය නොමැතිව දරුවන්ව හදා වඩා ගැනීමටද සිදු වෙයි.

මාගරීටා ස්වාමිපුරුෂයෙකුගේ සහය නැතිව දරු දෙදෙනෙකුව හදා වඩා ගන්න මෙක්සිකෝවේ ජීවත් වන මවක්. ඇය තම අද්දැකීම ගැන මෙසේ පවසනවා. “ආගම දහමට නැඹුරු කරලා, යහපත් ගුණ ධර්ම උගන්වලා ඒ අනුව දරුවන්ව පුහුණු කරන ඒක ලේසි නැහැ. එක දවසක් මගේ තරුණ පුතා සාදයකට ගිහිල්ලා ටිකක් බීලා ආවා. ආයෙත් ඒ වගේ ආවොත් ගේ ඇතුළට ගන්නේ නැහැයි කියලා මම පුතාට කිව්වා. එයා ආයෙත් දවසක් ඒක කළ නිසා මම එයාව ගේ ඇතුළට ගන්නේ නැතුව දොර වහලා තිබ්බා. ඊට පස්සේ කවදාවත් එයා එහෙම කළේ නැහැ.”

ඉන් ටික කලකට පසුව, මාගරීටා බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. යහපත් ගුණ ධර්ම දරුවන්ගේ හදවත් තුළ පැළපදියම් කිරීමට ඇයට ඉන් උපකාරයක් ලැබුණා. අද ඇගේ දරු දෙදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයන්.

ස්වාමිපුරුෂයන් රැකියාවක් සඳහා පිට රටකට යන විට

සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින ස්වාමිපුරුෂයන් බොහෝදෙනෙක් රැකියාවන් සඳහා ධනවත් රටවල් බලා යන නිසා දරුවන්ව බලාගැනීමේ වගකීමට උර දෙන්න භාර්යාවන්ට සිදු වෙයි. නේපාලයේ මවක් වන ලක්ෂ්මි ඒ ගැන මෙසේ තම අදහස් පළ කරනවා. “මගේ මහත්තයා අවුරුදු හතක් තිස්සේ පිටරට රැකියාවක් කරනවා. මහත්තයාට තරම් දරුවෝ මට කීකරු නැහැ. එයා හිටියා නම් දරුවෝ හදාගන්න එක මීට වඩා ලෙහෙසි වෙයි.”

දුෂ්කරතා තිබුණත් ලක්ෂ්මි එම අභියෝගය ජයගනිමින් සිටිනවා. ඇය එතරම් අධ්‍යාපනයක් ලබා නැති නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීමට අමතර ගුරුවරුන්ගේ සහාය ලබාගත්තා. නමුත් ඇය තම දරුවන්ට ආගමික දැනුමක් ලබා දීම සඳහා විශේෂ අවධානයක් යොමු කළා. ඇය හැම සතියකම දරුවන් සමඟ බයිබල් පාඩමක් පැවැත්තුවා. හැම දවසකම බයිබල් පදයක් සාකච්ඡා කරන ඇය දරුවන්ව ක්‍රිස්තියානි රැස්වීම්වලටත් රැගෙන යනවා.

අඩු අධ්‍යාපනයක් ලබා සිටින මව්වරුන්

සමහර රටවල තිබෙන තවත් අභියෝගයක් තමයි කාන්තාවන්ගෙන් හුඟදෙනෙකුට ලිවීමට හා කියවීමට හැකියාවක් නැතිවීම. අධ්‍යාපනය නොලැබීම කොතරම් අවාසියක්ද කියා මෙක්සිකෝවේ දරුවන් හය දෙනෙකුගේ මවක් වන ඕරිල්යා පවසනවා. “ගැහැනු ඉගෙනගන්න අවශ්‍ය නැහැ කියලා මගේ අම්මා හැම තිස්සේම කිව්ව නිසා මම කියවන්න ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා මගේ දරුවන්ට පාසැලෙන් දුන්න ගෙදර වැඩවලට උදව් කරන්න මට බැරි වුණා. ඒ වෙලාවලදී මට ලොකු වේදනාවක් දැනුණා. මට වෙච්ච දේ මගේ දරුවන්ට වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ. මම එයාලාට හොඳට උගන්වන්න මහන්සි ගත්තා.”

අඩු අධ්‍යාපනයක් ලැබූ මව්වරුන්ටත් සැලකිය යුතු යමක් කරන්න පුළුවන්. “දුන්නොත් ඇයට සිප් සතර, වෙයි ඇය ගුරුවරියක මතු උපදින පුතුට” යන කියමනේ සත්‍යයක් තිබෙනවා. නේපාලයේ ජීවත් වන බිෂ්නුගේ අද්දැකීම සලකා බලන්න. ඇය පුතුන් තිදෙනෙකුගේ මවක්. ඇය ලිවීමට හා කියවීමට දැනගෙන සිටියේ නැහැ. නමුත් බයිබලයේ තිබෙන සත්‍යය ඉගෙනගැනීමටත් ඒවා තම දරුවන්ට කියා දීමටත් තිබූ ආශාව නිසා ඇය අකුරු ලිවීමට හා කියවීමට ඉගෙනගන්න දැඩි වෑයමක් දැරුවා. ඇය තම දරුවන් පාසැලේ දෙන ගෙදර වැඩ කළාද කියා සොයා බැලුවා පමණක් නොව ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු ගැන සොයාබැලීමට ගුරුවරුන්ව මුණ ගැසීමටත් අමතක කළේ නැහැ.

බිෂ්නුගේ පුතා සීලාෂ් තමන් ලද ආගමික දැනුම හා තමන්ගේ යහපත් හැදියාව ගැන මෙසේ පවසනවා. “අම්මා අපිට උගන්වන්න වෑයම් කරපු දේවල්වලින් මම හුඟාක්ම කැමති අපි වැරදි කළාම අම්මා අපිව නිවැරදි කළ විදිහටයි. ඇය ඒ සඳහා බයිබලයේ තිබෙන ආදර්ශයක් තමයි යොදාගත්තේ. මෙම ඉගැන්වීමේ ක්‍රමය ඉතාමත් ප්‍රබලයි. ඒවගේම උපදෙස් පිළිගන්නත් ඒක මට උපකාරයක් වුණා.” ඇගේ දරු තිදෙනා වෙනුවෙන් සාර්ථක ගුරුවරියක් වීමට බිෂ්නුට හැකි වී තිබෙනවා. දැන් ඔවුන් තිදෙනාම දේවභයැති තරුණයන්.

දරු දෙදෙනෙකුව හදා වඩා ගන්නා මෙක්සිකෝවේ ආන්ටොන්යා මෙසේ පවසනවා. “මම ඉගෙනගත්තේ හයවන පංතියට විතරයි. අපි හිටියේ ඈත පිටිසර පළාතක නිසා ලොකු ඉස්කෝලයක් තිබුණේ හුඟාක් ඈත. මගේ දරුවන්ට මට ලැබුණ අධ්‍යාපනයට වඩා වැඩි දෙයක් දෙන්න ඕන වුණ නිසා මම දරුවන් වෙනුවෙන් සෑහෙන මහන්සියක් දැරුවා. මම දරුවන්ට අකුරු සහ ඉලක්කන් ඉගැන්නුවා. මගේ දුව ඉස්කොලේ යන්නත් ඉස්සර, ඇගේ නම ලියන්න වගේම හෝඩියේ ඔක්කොම අකුරු ලියන්නත් ඇයට පුළුවන් වුණා. මගේ පුතාට ළදරු පාසැලට යන්නත් කලින් හොඳට කියවන්න පුළුවන්කම තිබුණා.”

දරුවන්ට ආගමික දැනුම දීමට හා යහපත් ගුණ ධර්ම ඉගැන්වීමට කුමක්ද කළේ කියා ඇසූ විට, ආන්ටොන්යා මෙසේ පවසනවා. “මම දරුවන්ට බයිබල් කතන්දර කියලා දුන්නා. මගේ දුව කතා කරන්නත් කලින්ම බයිබල් කතන්දර අතින් පයින් කරලා පෙන්නුවා. මගේ පුතා අවුරුදු හතරේදී ක්‍රිස්තියානි රැස්වීමකදී එයාගේ මුල්ම බයිබල් කියවීම කළා.” මව්වරුන් හුඟදෙනෙක් අඩු අධ්‍යාපනයක් ලබා තිබුණත් ගුරුවරියක් ලෙස තමන් අතින් ඉටු විය යුතු මෙහෙය හොඳින් කරමින් සිටිනවා.

හානිදායක චාරිත්‍රවලින් වැළකීම

තම දූවරුන්ව අවුරුදු 12දී හෝ 13දී මුදලට විවාහ කර දීමේ චාරිත්‍රය මෙක්සිකෝවේ ට්සෝට්සීල් වැසියන් අතර තිබෙනවා. මෙහිදී බොහෝවිට සිදු වන්නේ වයසක මනුස්සයෙකුගේ දෙවෙනි හෝ තුන්වෙනි භාර්යාව ලෙස තම දියණියව මුදලට විවාහ කර දීමයි. එම මිනිසා දැරියට අකමැති නම් නැවත දැරියව භාර දී ඔහුට මුදල් ලබාගත හැකියි. පෙට්ට්‍රෝනා නමැති තරුණිය ඇගේ කුඩා කාලයේදී මෙම චාරිත්‍රය සිදු වෙන ආකාරය දැක්කා. ඒ වගේම ඇගේ මවට අවුරුදු 13ක් වූ විට ඇයව මුදලට විවාහ කර දී තිබෙන අතර ඇයට දරුවෙක්ද ලැබුණා! පසුව එම විවාහය දික්කසාදයෙන් කෙළවර වූ අතර එම විවාහයෙන් ලැබුණ දරුවාද මිය ගියා. ඉන්පසු නැවතත් ඇයව දෙවතාවක්ම විකුණනු ලැබුවා. එම විවාහයන් දෙකෙන් ඇයට දරුවෝ අටදෙනෙක් ලැබුණා. පෙට්ට්‍රෝනා එම දරුවෝ අටදෙනාගෙන් එක් දරුවෙක්.

පෙට්ට්‍රෝනාට එවැනි ජීවිතයක් ගත කිරීමෙන් වැළකෙන්න ඕනෑ වුණා. ඒ සඳහා ඇය ගත් ක්‍රියාමාර්ගය ඇය මෙසේ පැහැදිලි කරනවා. “මම හය වෙනි පංතියේදී පාසැල් අධ්‍යාපනය අවසන් කළාම, අම්මාට කිව්වා මට බඳින්න බැහැ, මට තව ඉගෙනගන්න ඕනේ කියලා. එතකොට අම්මා මට මෙහෙම කිව්වා. මට ඒ ගැන මොනවත් කරන්න බැහැ, ඔයා තාත්තත් එක්ක ඒ ගැන කතා කරන්න.”

තාත්තා මට කිව්වා “මම ඔයාව බන්දලා දෙනවා. ඔයා ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න ලියන්න දන්නවා. ඉතින් තව මොනවාද ඔයාට ඕනේ? ඔයාට තවදුරටත් ඉගෙනගන්න ඕනේ නම් ඔයාම ඔයාගේ වියහියදම් හොයාගන්න” කියලා.

“මම ඒ විදිහට කළා. මැහුම් ගෙතුම් කරලා මගේ වියදම්වලට සල්ලි හොයාගත්තා” කියලා පෙට්ට්‍රෝනා කිව්වා. ඇය එම චාරිත්‍රයෙන් ගැලවුණේ එලෙසයි. ඇය වැඩිවියට පත් වූ පසු ඇගේ මව බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. එමගින් පෙට්ට්‍රෝනාගේ බාල සහෝදරියන්ගේ හදවත් තුළ බයිබලයේ සාරධර්ම පැළපදියම් කිරීමට ඇයට හැකියාවක් ලැබුණා. තමන් ලද අද්දැකීම නිසා කුඩා දැරියන්ව මුදලට විවාහ කර දීමේ චාරිත්‍රයේ තිබෙන දුක්ඛිත ප්‍රතිඵල ගැන දරුවන්ට ඉගැන්වීමට මවට හැකි වුණා.

බොහෝ පැතිවල තිබෙන තවත් චාරිත්‍රයක් තමයි පිරිමි දරුවන්ට හික්මවීම දෙන්න පුළුවන් පියාට විතරයි කියන චාරිත්‍රය. ඒ ගැන පෙට්ට්‍රෝනා මෙසේ පැහැදිලි කරනවා. “තමන් පුරුෂයන්ට වඩා පහත් කියලා තමයි ට්සෝට්සීල් කාන්තාවන්ට උගන්වලා තියෙන්නේ. පුරුෂයන් කටයුතු කරන්නේ පුරුෂාධිපත්‍යයෙන්. පොඩි පිරිමි ළමයි එයාලගේ තාත්තලාව අනුකරණය කරනවා. ඒ ළමයි අම්මලාට මෙහෙම කියනවා. ‘ඔයාට අයිතියක් නැහැ මම කරන්න ඕන දේවල් මොනවාද කියලා කියන්න. මං අහන්නේ තාත්තා කියන දේ විතරයි.’ මේ හේතුව නිසා මව්වරුන්ට තම පුතාලට උගන්වන්න බැහැ. ඒත් මගේ අම්මා බයිබලය පාඩම් කරලා තියෙන නිසා මගේ සහෝදරයන්ට උපදෙස් දීමේදී ඇය සාර්ථක වී තිබෙනවා. එයාලා ‘දරුවෙනි, ස්වාමීන් තුළ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. . . . ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න’ යන එෆීස 6:1, 2 පද කට පාඩමෙන් කියන්න ඉගෙනගෙන තියෙනවා.”

මේරි නයිජීරියාවේ වෙසෙන මවක්. ඇයත් මෙසේ තම අදහස් පළ කළා. “මම හැදුණ වැඩුණ පළාතේ හිටිය අයගේ සංස්කෘතියට අනුව පුතාලට උගන්වන්න හෝ හික්මවීම් දෙන්න අම්මාට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක මම දැනගෙන හිටියා. නමුත් මම බයිබලයේ සඳහන් කරලා තියෙන යූනිස් සහ ලොයිස්ගේ (තිමෝතිගේ අම්මයි ආච්චියි) ආදර්ශයට අනුව කටයුතු කරන්න පටන්ගත්තාට පස්සේ දේශීය චාරිත්‍රවලට යට නොවී ඉන්න තීරණය කළා.”—2 තිමෝති 1:5.

තවත් සමහර රටවල දක්නට තිබෙන චාරිත්‍රයක් තමයි “ස්ත්‍රී ලිංගේන්ද්‍ර විච්ඡේදනය” කිරීමේ චාරිත්‍රය. මෙහිදී දැරියගේ ලිංගේන්ද්‍රියේ කොටසක් හෝ වැඩි හරියක් කපා ඉවත් කරනවා. ජනප්‍රිය නිරූපිකාවක් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙනුවෙන් පත් කර සිටි විශේෂ තානාධිපතිනියක් වන වාරිස් ඩිරිස් මෙම චාරිත්‍රය ගැන ප්‍රසිද්ධියේ කතා කළා. සොමාලියාවේ තිබෙන චාරිත්‍රයට අනුව ඇයට අවුරුදු පහක් වන විට ඇගේ මව විසින් ඇයව එම සැත්කමට භාජන කළා. එක් වාර්තාවක සඳහන් වන්නේ මැද පෙරදිග සහ අප්‍රිකාවේ කාන්තාවන් මෙන්ම දැරියන් මිලියන අටත් දහයත් අතර සංඛ්‍යාවක් මෙම සැත්කමට ලක්වීමේ අවදානමක සිටින බවයි. ගණන් බලා ඇති ආකාරයට, එක්සත් ජනපදයේ පවා දැරියන් 10,000ක් පමණ සංඛ්‍යාවක් ඊට හසුවීමේ අවදානමක සිටිනවා.

මෙවැනි චාරිත්‍ර පවත්වන්නේ කුමන විශ්වාසයන් නිසාද? සමහරෙකු සිතන්නේ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අශුද්ධ නිසා දැරියක් අපිරිසිදු වෙන බව හා ඇය විවාහයට සුදුසු නැති බවයි. ඊට අමතරව ලිංගේන්ද්‍රිය කපා හැරීමෙන් දැරිය කන්‍යාවක්ව සිටින බවටත් ඇය තම ස්වාමිපුරුෂයාට විශ්වාසවන්තව සිටින බවටත් සහතික ලබා දෙනවා. ඒත් මවක් මෙම චාරිත්‍රය පැවැත්වීමට අපොහොසත් වූ විට තම ස්වාමිපුරුෂයාගේ සහ ප්‍රදේශයේ වැසියන්ගේ කෝපයට ඇය භාජන විය හැකියි.

කොහොමනමුත් මෙම වේදනාකාරී චාරිත්‍රයට කිසිදු ආගමික, වෛද්‍යමය හෝ සෞඛ්‍යමය පදනමක් නැති බව මව්වරුන් හුඟදෙනෙක් තේරුම් ගෙන තිබෙනවා. බොහෝ මව්වරුන් තම දූවරුන්ව එම චාරිත්‍රයෙන් මුදවාගැනීම සඳහා එඩිතරව පියවර ගෙන තිබෙන බව නයිජීරියාවේ එක් පොතක සඳහන් වී තිබුණා.—Repudiating Repugnant Customs.

ලොව පුරා සිටින මව්වරුන්ට කොතරම් බාධක ජයගන්නට තිබුණත් තම දරුවන්ව රැකගැනීමේදී හා ගුරුහරුකම් දීමේදී ඔවුන් සාර්ථක වී තිබෙනවා. ඔවුන් දරන අනගි වෑයම අගය කර තිබෙනවාද?

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන්නේ කාන්තාවන්ගේ දායකත්වය පූර්ණ ලෙස නොලැබෙන විට ආර්ථිකයේ හා සමාජයේ දියුණුවක් දක්නට ලැබෙන්නේ නැහැ කියන එකයි. නමුත් ඇගේ දායකත්වය නොමදව ලැබෙන විට ඉක්මන් ප්‍රයෝජන දැකිය හැකියි. පවුල තුළ හැම අතින්ම දියුණුවක් දක්නට ලැබෙනවා. පවුලේ පෝෂණය, ආදායම, ඉතිරි කිරීම, ප්‍රතිආයෝජනය වැනි පැති ඉහළ යනවා. පවුල් ආයතනය දියුණු වන විට සමාජයේ දියුණුවක් ඇති වෙනවා. සමාජය දියුණු වෙන කොට මුළු රටක්ම දියුණු වෙනවා.”—වර්ෂ 2003 මාර්තු 8වන දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆි අනන්.

[හිමිකම් විස්තර]

UN/DPI photo by Milton Grant

[8වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඇය අප වෙනුවෙන් බොහෝ කැපවීම් කළා

බ්‍රසීලයේ තරුණයෙක් වන ෂූලියානෝ තම මව ගැන මෙසේ පවසනවා. “මට අවුරුදු පහක් විතර වෙනකොට ඇය කරමින් සිටියේ ඉතාමත් හොඳ රැකියාවක්. නමුත් මගේ නංගි ලැබුණට පස්සේ අපිව බලාගන්න ඇය රැකියාවෙන් අයින් වෙන්න තීරණය කළා. කාර්යාලයේ ප්‍රධානීන් ඇගේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළා. දරුවෝ විවාහ වෙලා ගෙදරින් ගියදාට ඇගේ මහන්සිය වතුරේ ගියා වගේ වෙයි, කිසිම ලාභයක් ඇයට ලැබෙන එකක් නැහැ කියලා ඔවුන් කියා සිටියා. නමුත් එයාලා කියපු දේ වැරදියි. මට කවමදාකවත් අම්මා අපිට පෙන්නපු ආදරය නම් අමතක වෙන්නේ නැහැ.”

[පින්තූර]

ෂූලියානෝගේ මව දරුවන් සමඟ. වම්පස: ෂූලියානෝට අවුරුදු පහක් වූ විට

[6වන පිටුවේ පින්තූර]

බිෂ්නු ලිවීමට හා කියවීමට ඉගෙනගත් අතර පසුව ඈ තම පුතුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට උපකාර කළා

[7වන පිටුවේ පින්තූර]

ආන්ටොන්යාගේ කුඩා පුතු ක්‍රිස්තියානි රැස්වීමක බයිබලයේ කොටසක් කියවනවා

[7වන පිටුවේ පින්තූර]

පෙට්ට්‍රෝනා මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවිකාවක්. යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වූ ඇගේ මව පෙට්ට්‍රෝනාගේ නංගීටයි මල්ලිලාටයි උගන්වනවා

[8වන පිටුවේ පින්තූරය]

වාරිස් ඩිරිස් ස්ත්‍රී ලිංගේන්ද්‍ර විච්ඡේදනයට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කළ අයෙක්

[හිමිකම් විස්තර]

ඡයාරූපය Sean Gallup/ Getty Images