Skip to content

පටුනට යන්න

මව්වරුන් මුහුණ දෙන අභියෝග

මව්වරුන් මුහුණ දෙන අභියෝග

මව්වරුන් මුහුණ දෙන අභියෝග

“ගෙදර දොරේ වගකීම් ඉටු කිරීම මිනිසුන් සතු අත්‍යවශ්‍ය කාර්යයක් වී තිබෙනවා. . . . මවක් ඇගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නැත්නම් අනාගත පරපුරක් බිහි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් කිසිකමකට නැති පරම්පරාවක් තමයි බිහි වෙන්නේ.”—එක්සත් ජනපදයේ 26වන ජනාධිපති, තියඩෝර් රූසවේල්ට්ගේ ප්‍රකාශයක්.

මිනිස් ජීවයක් මෙලොවට බිහිවීමට මවක් සිටිය යුතුමයි. එනමුත් මවකගේ කාර්යභාරය දරුවන් බිහි කිරීමට පමණක් සීමා වන්නේ නැහැ. “සෑම දරුවෙකුගේම සෞඛ්‍යය, අධ්‍යාපනය, බුද්ධිය, පෞද්ගලිකත්වය, චරිතය සහ මානසික ස්ථාවරත්වය රැකගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ මවටයි.” එය ලොව වටා බොහෝ පැතිවල මවක් අතින් ඉටු විය යුතු මෙහෙය පිළිබඳව එක් ලේඛකයෙක් දැක්වූ අදහසක්.

තම දරුවන්ට ගුරුවරියක් වීම මවක් අතින් ඉටු වෙන කාර්යයන් අතුරින් එක් දෙයක්. දරුවෙකු තම මුල් වදන් පෙළ හා කතා විලාසය ඉගෙනගන්නේ තම මව්ගෙන්. එම නිසා කෙනෙකු මුලින්ම කතා කරන්න ඉගෙනගත් භාෂාව හඳුන්වන්නේ මව් භාෂාව ලෙසයි. සාමාන්‍යයෙන් මවක් සෑම දිනයකම තම ස්වාමිපුරුෂයා සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් තම දරුවොත් සමඟ ගත කරනවා. එම නිසා ගුරුවරියක් හා හික්මවන්නියක් ලෙස දරුවන් වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇයට හැකි වේවි. “ඉගෙනීම ඇරඹෙන්නේ මව් ඇකයේ සිටයි” යන මෙක්සිකානු ආප්තෝපදේශයෙන් මවක් අතින් ඉටු වෙන මෙහෙවර කොතරම් වැදගත්ද කියා පෙන්වනවා.

අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිද මව්වරුන්ට ගෞරවනීය ලෙස සලකනවා. “දෙවිගේ ඇඟිල්ලෙන්” ගල් ලෑලි මත ලියූ දස පනතෙහි එක් පනතක “ඔබේ පියාටත් මව්ටත් ගෞරව කරන්න” යනුවෙන්ද සඳහන් කළා. (නික්මයාම 20:12; 31:18; ද්විතීය කතාව 9:10) “ඔබේ මෑණියන්ගේ ව්‍යවස්ථාව අත්නාරින්න” කියාද බයිබලයේ හිතෝපදේශයක සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:8) දරුවන් හුඟදෙනෙක් තම මවගේ රැකවරණයේ සිටින මුල් අවුරුදු තුන ඇතුළත ඔවුන්ට ඉගැන්වීමේ ඇති වැදගත්කම ගැන දැන් කොයි කවුරුත් පිළිගෙන තිබෙනවා.

මුහුණ දෙන්නේ කිනම් අභියෝගවලටද?

පවුලේ නඩත්තුවට බොහෝ මව්වරුන්ට රැකියාවක් කරන්න සිදු වෙන නිසා දරුවෙකුව හැඩගැස්විය යුතු මුල් අවදියේදී දරුවන්ට ඉගැන්වීම අභියෝගයක් වී තිබෙනවා. සංවර්ධිත රටවල් බොහොමයක අවුරුදු තුනට අඩු වයස් මට්ටමක දරුවන් සිටින මව්වරුන්ගෙන් අඩකට වඩා සංඛ්‍යාවක් රැකියාවන්වල නියුතු අයයි කියා එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වනවා.

මීට අමතරව ස්වාමිපුරුෂයන් රැකියාවන් සඳහා වෙනත් නගරයකට හෝ රටකට යෑම නිසා පියාගේ සහාය නොමැතිව දරුවන්ව හදාවඩා ගැනීමට බොහෝ මව්වරුන්ට සිදු වෙනවා. එයට ආර්මේනියාව නිදසුනක් ලෙස ගත හැකියි. එම රටෙහි සමහර ප්‍රදේශවල පුරුෂයන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් රැකියාවන් සඳහා පිටරටකට ගොස් තිබෙනවා. තවත් සමහරෙකු, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන් අත්හැර ගොස් ඇති නිසා හෝ මිය ගොස් ඇති නිසා දරුවන් හදාවඩා ගැනීමේදී දුෂ්කරතා අද්දකිනවා.

සමහර රටවල බොහෝ මව්වරුන්ට තිබෙන අභියෝගය තමයි ඔවුන් ලබා තිබෙන අඩු අධ්‍යාපනය. ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාංශය ගණන් බලා තිබෙන ආකාරයට ලොව පුරා ලිවීමේ හා කියවීමේ හැකියාව නැති පුද්ගලයන් මිලියන 876න් තුනෙන් දෙකක් කාන්තාවන්. අප්‍රිකාවේ, අරාබියේ සහ නැඟෙනහිර හා දකුණු ආසියාවේ සිටින කාන්තාවන්ගෙන් සියයට 60කට වැඩි පිරිසකට ලිවීමේ හා කියවීමේ හැකියාවක් නැති බව යුනෙස්කෝ වාර්තාවක පළ වෙනවා. තවත් දෙයක් තමයි කාන්තාවන්ට අධ්‍යාපනය අවශ්‍ය නැති බවට බොහෝ පුරුෂයන් තුළ තිබෙන ආකල්පය. අධ්‍යාපනය ලැබීම දරුවන් බිහි කිරීමේ කාර්යයට බාධාවක් බවයි ඔවුන්ගේ අදහස.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයක දැරියන් අවුරුදු 15දී මව්වරු වෙන බවත් කිසිම පුරුෂයෙක් උගත් මනාලියක් සොයන්නේ නැති බවත් එම රටේ එක් සඟරාවක සඳහන් කර තිබුණා. (Outlook) ඊට අසල්වැසි රටක් වන පකිස්ථානයේ පුතුන්ට තමයි වැඩි තැනක් තිබෙන්නේ. පුතුන්ව ඇති දැඩි කරන ආකාරයෙන් අනාගතයේදී ඔවුන්ට හොඳ රැකියාවන් සොයාගෙන තම දෙමාපියන්ව රැකබලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. නමුත් “දෙමාපියන් තමන්ගේ දූවරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසි වියදමක් දරන්නේ නැත්තේ පවුලේ ආර්ථිකයට යම් උපකාරයක් ඔවුන්ගෙන් ලැබෙයි කියා බලාපොරොත්තු නොවන නිසයි” කියා එක් පොතක සටහන් වී තිබුණා.—Women’s Education in Developing Countries.

දේශීය චාරිත්‍ර වාරිත්‍ර සමඟ කටයුතු කිරීමට සිදුවීමත් තවත් අභියෝගයක්. සමහර රටවල තරුණ දූවරුන්ව මුදලට විවාහ කර දීම සහ ස්ත්‍රී ලිංගේන්ද්‍රය විච්ඡේදනය කිරීම වැනි චාරිත්‍ර මවක් විසින් පැවැත්විය යුතුයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තම පුතුන්ට ඉගැන්වීම හා හික්මවීම මව්වරුන් විසින් කිරීම සුදුසු නැහැයි කියන පිළිගැනීමද තිබෙනවා. මවක් අනිවාර්යයෙන්ම මෙවැනි චාරිත්‍ර අනුගමනය කළ යුතුද? තම පුතුන්ට ගුරුහරුකම් දීමේ වගකීම වෙන කෙනෙකුට පැවරිය යුතුද?

මෙවැනි අභියෝගවලට මව්වරුන් මුහුණ දෙන්නේ කෙසේද කියා අපි ඊළඟ ලිපි තුළින් සලකා බලමු. ඒ වගේම මව්වරුන් ගැනත් මව් පදවිය ගැනත් අපගේ හදවතේ තිබෙන අගය වැඩි කිරීමට හා ගුරුවරියක ලෙස ඇය පිරිනමන මහඟු සේවය දෙස හරි ආකල්පයක් තබාගැනීමටත් වෑයම් කරමු.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“දරුවෙකුගේ බුද්ධිය හා විමසිලිමත් බව වර්ධනය කිරීම වගේම ඔවුන් තුළ තිබෙන නිර්මාණශීලිත්වය ඔප්නැංවීම සඳහා මවක සතු කාර්යභාරය ඉතා වැදගත්.”—වර්ෂ 1997 බර්කිනා ෆාසෝහි දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රාදේශීය සමුළුව.

[3වන පිටුවේ පින්තූර]

සෑම දරුවෙකුගේම සෞඛ්‍යය, අධ්‍යාපනය, බුද්ධිය, පෞද්ගලිකත්වය සහ මානසික ස්ථාවරත්වය රැකගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ මවටයි