Skip to content

පටුනට යන්න

රස රැසක් මවන තක්කාලි

රස රැසක් මවන තක්කාලි

රස රැසක් මවන තක්කාලි

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

“තක්කාලි නැතුව කොහොමද කෑම හදන්නේ!” කියලා ඉතාලියේ ගෘහිණියක් පවසයි. ලෝකයේ වෙනත් රටවල ඉවුම් පිහුම් කරන බොහෝදෙනෙකුද පළ කරන්නේ ඒ හා සමාන අදහසක්මය. ඇත්තෙන්ම බොහෝ රටවල මිනිසුන් තමන්ගේ කෑම වට්ටෝරුවලට තක්කාලි ඇතුළත් කර තිබේ. ගෙවතු වගා කරන්නෝ අන් සෑම වගාවකටම වඩා වැඩියෙන් මෙය වගා කරති.

සාමාන්‍යයෙන් තක්කාලි එළවළුවක් වශයෙන් ගන්නා ආහාරයකි. බොහෝදෙනෙක් එය තමුන්ගේ ප්‍රධාන ආහාරයට එක් කරගනිති. කෙසේවෙතත්, ඇතැම් රටවල එය පලතුරක් ලෙසද ආහාරයට ගනියි. රස ගුණ පිරි මෙම තක්කාලිවලට තිබෙන්නේ සිත්ගන්නා අතීතයකි.

උනන්දුව දනවන අතීතයක්

ඇස්ටෙක්වරුන් විසින් ආහාරයට ගැනීම සඳහා මෙක්සිකෝවෙහි තක්කාලි වවන ලදි. එහි යටත් විජිතයන් පිහිටෙවූ ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් 16වන සියවසේ මුල් භාගයේදී යළි ස්පාඤ්ඤය බලා පිටත්ව ගිය කල තක්කාලිද එහි ගෙන යන ලදි. ඉන් නොබෝ කලකට පසු ඉතාලියෙහි, උතුරු අප්‍රිකාවෙහි සහ මැද පෙරදිගෙහි පදිංචිව සිටි ස්පාඤ්ඤ වැසියෝද තක්කාලිවල ප්‍රණීත රසය විඳින්න පටන්ගත්තෝය.

එම සියවසේදීම පසු කලෙක තක්කාලි උතුරු යුරෝපයෙහිද දක්නට ලැබිණ. මුලදී එය විෂ සහිත පැළයක් යයි සිතූ බැවින් වගා කළේ ගෙවත්තේ අලංකාරයට වවන මල් පඳුරු ලෙසය. මෙය සැර සුවඳක් විහිදුවන කොළ සහ විෂ සහිත දඬු ඇති පැළයක් බැවින් විෂ පැළ ගණයේලා සලකනු ලැබුවත්, එහි ගෙඩිවලින් කිසිම හානියක් සිදු නොවිණ.

යුරෝපයේ සිට දිගු ගමනක් ඇරඹූ තක්කාලි පැළය අත්ලාන්තික් සාගරය පසු කරමින් උතුරු අමෙරිකාවටත් පිවිසි අතර 19වන සියවසේදී එය නැතුවම බැරි ආහාරයක් ලෙස එහි වැජඹෙන්නට විය.

ජනප්‍රියත්වයෙන් හා විවිධත්වයෙන් අඩුවක් නැත

තක්කාලිවල වර්ණය කුමක්දැයි ඇසුවොත් බොහෝවිට උත්තරය ලැබෙන්නේ ඒවා “රතු පාටයි” කියා විය හැකියි. එහෙත් කහ, තැඹිලි, රෝස, දම්, දුඹුරු, සුදු හෝ කොළ පැහැති මෙන්ම හෝ ඉරි පවා තිබෙන විවිධ තක්කාලි වර්ග ඇති බව ඔබ දැන සිටියාද? සෑම එකක්ම රවුම් නැත. සමහර ඒවා පැතලි හැඩයක් හෝ බිත්තර හැඩයක්ද, තවත් ඒවා පෙයාස් ගෙඩියක හැඩයක්ද ගනී. එමෙන්ම ඒවා කඩල ඇට මෙන් කුඩා ප්‍රමාණයේ මෙන්ම මිනිසෙකු අත මිට මෙළවූ විට අත් මිටේ ප්‍රමාණය මෙන් විශාල ඒවාද විය හැකියි.

මෙම ජනප්‍රිය ආහාරය අයිස්ලන්තය මෙන් උතුරුකරයේද, නවසීලන්තය මෙන් දකුණුකරයේද වගා කරනු ලැබේ. එක්සත් ජනපදයේ සහ දකුණු යුරෝපීය රටවල මේවා වගා කෙරෙන්නේ මහා පරිමාණයෙනි. සිසිල් දේශගුණික ප්‍රදේශවල හරිතාගාර නිෂ්පාදනයක් ලෙසත් වියළි ප්‍රදේශවල ජල රෝපිත වගාව හෙවත් පස් නැතුව පෝෂණ දියරයක කෙරෙන වගාවක් ලෙසත් තක්කාලි වගා කෙරේ.

විනෝදාංශයක් ලෙස වගාවේ නියැලෙන්නන්ගේ ප්‍රියතම වගාව තක්කාලි වගාවයි. එය පහසුවෙන්ම වගා කළ හැකි අතර පැළ කීපයකින් කුඩා පවුලකට අවශ්‍ය තක්කාලි ප්‍රමාණය ලබාගත හැකියි. ඔබට තිබෙන්නේ සුළු ඉඩ ප්‍රමාණයක් නම් ගෙමිදුලේ පැළ කළ හැකි මෙන්ම ජනෙල් කණ්ඩි මත තැබිය හැකි පෙට්ටිවල පැළ කිරීමට යෝග්‍ය ඒවා තෝරාගත හැකියි.

යෝජනා කීපයක් සහ තක්කාලිවල ගුණය

අධික සීතල නිසා තක්කාලිවල රසය වෙනස් විය හැකි බැවින් ඒවා ශීතකරණවල ගබඩා නොකළ යුතුය. තක්කාලි ඉක්මනින් ඉදවාගැනීමට නම් හිරු එළිය හොඳින් පතිත වන ජනෙල් කණ්ඩියක් මත ඒවා තැබිය හැකියි. නැතහොත් ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ ඉදුණු කෙසෙල් ගෙඩියක් දැමූ භාජනයක ඒවා බහා කාමර උෂ්ණත්වය ඇති තැනක දවස් කීපයක් තැබිය හැකියි. එසේ නැතහොත් ගන කඩදාසි බෑගයකට ඒවා දමා බෑගයේ කට ගැට ගසා එලෙසම ටික දවසක් තැබිය හැකියි.

තක්කාලි ඔබට ගුණදායකයි. තක්කාලිවල විටමින් ඒ, සී සහ ඊ මෙන්ම පොටෑසියම්, කැල්සියම් සහ ඛණිජ ලවණ අඩංගුයි. තවද ඒවා ලයිකොපීන් බහුලව ලබා දෙන, ප්‍රබල ඔක්සිහාරකයක් වන නිසා පිළිකාව සහ හෘද රෝග වැනි ඇතැම් රෝගවල අවදානම අඩු කරන බවද පර්යේෂකයෝ පවසති. තක්කාලිවල සියයට 93 සිට 95ක්ම තිබෙන්නේ ජලය වන අතර සිහින් සිරුරක් ඇතුව සිටීමට කැමැත්තක් දක්වන්නන් ඒවාවල ඉතාමත්ම අඩු කැලරි ප්‍රමාණයක් තිබෙන බව දැනගැනීමෙන් සතුටට පත් වනු ඇත.

ප්‍රණීත රස රැසක්

ඔබ තක්කාලි මිල දී ගන්නා විට තෝරන්නේ කුමන වර්ගයද? නිතර දක්නට ලැබෙන රතු පැහැති ඒවා සලාද, සුප් වර්ග සහ සෝස් සාදාගැනීමට කදිමයි. රතු, තැඹිලි හෝ කහ පැහැති පැණි රසැති කුඩා චෙරි තක්කාලිවල සීනි බහුල ලෙස අඩංගු බැවින් ප්‍රණීත රසයකින් යුක්තයි. ඒවා පලතුරක් මෙන් ආහාරයට ගත හැකියි. පීට්සා හෝ පැස්ටා සාදනවා නම් ගනකමින් යුත් මදයක් ඇති බිත්තර හැඩයේ තක්කාලි තෝරාගැනීම සුදුසුය. වෙනත් ද්‍රව්‍ය පුරවා සකස් කරගැනීමට හෝ උදුනේ පුලුස්සාගැනීමට වඩාත් යෝග්‍ය වන්නේ ලොකු තක්කාලියි. පැහැදිලිව ඉරි පෙනෙන කොළ පැහැති තක්කාලි යොදාගැනීමෙන් ආහාරවල රසය දෙගුණ තෙගුණ කළ හැකියි. තක්කාලිවලටම ආවේණික වූ රසය සහ වර්ණය එළවළු, බිත්තර, පැස්ටා, මස් සහ මාළුවලට එක් කිරීමෙන් කෑමට රුචිය වඩවන රස රැසක් ලැබේ. අලුත් තක්කාලි සොයාගැනීමට හැකියාවක් නැති විට පවා ඔබේ ප්‍රදේශයේ තිබෙන වෙළඳ සැල්වලින්, ටින් කළ තක්කාලි ලබාගැනීමට ඔබට හැකි වන බව නිසැකයි.

ඉවුම් පිහුම්වල යෙදෙන ඕනෑම කෙනෙකුට නොයෙක් ආකාරවලින් තක්කාලි පිසගත හැකි මුත් ඔබ කැමති නම් මෙම යෝජනාද අත්හදා බැලිය හැකියි.

1. සිත් පිනවන රුචිය වඩන ආහාරයක් විගස සූදානම් කිරීම සඳහා තක්කාලි පෙති මොට්සරෙලා චීස් පෙති සහ අලිගැට පේර පෙති එකක් මත එකක් තබන්න. ඔලීව තෙල්වලින් සැකසූ සෝස් සහ ගම්මිරිස් ස්වල්පයක් එයට ඉස බැසිල් කොළ කිහිපයක් තබා අලංකාර කරගන්න.

2. තක්කාලි, පිපිඤ්ඤා සහ ෆේටා චීස් හතරැස් කෑලිවලට කපා කලු ඔලීව ගෙඩි සහ රතු ලූනු පෙතිද ඊට එක් කර ග්‍රීක සලාදයක් සාදාගන්න. ලුණු සහ ගම්මිරිස්වලින් රස ගන්වා, ඔලීව තෙල් හා දෙහි යුෂ මිශ්‍ර කර සාදාගත් සෝස් වර්ගයක් සමඟ පිළිගන්වන්න.

3. තක්කාලි, ලූනු සහ අමු මිරිස් කුඩා කෑලිවලට කපා කොත්තමල්ලි කොළ ටිකක්ද, දෙහි යුෂ ස්වල්පයක්ද එක් කර මෙක්සිකානු සෝස් වර්ගයක් සාදාගන්න.

4. පැස්ටා සමඟ ආහාරයට ගැනීම සඳහා දිව පිනවන තක්කාලි සෝස් වර්ගයක් පහසුවෙන්ම සාදාගැනීමට, ටින් කරන ලද තක්කාලි සහ සීනි ස්වල්පයක්, ඔලීව තෙල් ටිකක්, අඹරාගත් සුදු ලූනු බිකක්, බැසිල් කොළ, බේ කොළ හෝ ඔරිගානෝ කොළ ස්වල්පයක් මෙන්ම ලුණු, ගම්මිරිස්ද භාජනයකට දමා ලිප තබන්න. ගන ද්‍රාවණයක් වන තෙක් එය විනාඩි 20ක් පමණ හැඳිගාන්න. ඉන්පසු තම්බා ජලය පෙරාගත් පැස්ටා මත එය වත් කරන්න.

ප්‍රණීත රස රැසක් මවන තක්කාලි අපේ ප්‍රයෝජනය සඳහා දී තිබෙන විස්මිත ආහාර වර්ග අතුරෙන් එක් උදාහරණයක් පමණි.