Skip to content

පටුනට යන්න

“වැඩකට නැති” DNA?

“වැඩකට නැති” DNA?

වැඩකට නැති” DNA?

පර්යේෂකයන් බොහෝදෙනෙක් ජීව විද්‍යාව, ප්‍රවේණි විද්‍යාව සහ එවැනි වෙනත් ක්ෂේත්‍ර ගැන පර්යේෂණවල නියැලෙන්නේ පරිණාමවාදය මත පිහිටා සිටිමිනි. ඒ නිසා බොහෝවිට ඔවුන් යොමු වන්නේ වැරදි නිගමනවලට එළඹීමටයි. උදාහරණයකට උණ්ඩුක පුච්ඡය, පිටියුටරි ග්‍රන්ථය සහ සෙම් ගෙඩි වැනි ඉන්ද්‍රියන්ගෙන් ශරීරයට ප්‍රයෝජනයක් නැතැයි කියා පෙනී යන නිසා ඒවා පරිණාමයේදී ඉතුරු වූ දෑ ලෙසට පරිණාමවාදීහු සැලකූහ. කෙසේවෙතත්, කාලය ගෙවීයත්ම එවන් ඉන්ද්‍රියන්වලින් වැදගත් කාර්ය භාරයක් සිදු වන බව සොයාගැනුණි. එවිට පරිණාමවාදීන්ට තිබූ තම අදහස් බැහැර කරගන්නට සිදු විය.

මෑතකදී ඊට සමාන සිදුවීමක් ප්‍රවේණි විද්‍යා ක්ෂේත්‍රයේදී මතු වුණි. මිනිසාගේ සහ වෙනත් ජීවීන්ගේ DNAවලින් සියයට 98ක් පමණ ක්‍රියාකාරී වන්නේ නැතැයි කියා කලින් කරන ලද පර්යේෂණවලදී හෙළි විය. එනිසා පරිණාමවාදය පිළිගන්නන් බොහෝදෙනෙකු උපකල්පනය කළේ එම DNA “වැඩකට නැති” DNA කියායි. ඒ අදහස වහාම සම්මත විය.

කෙසේවෙතත් නැවත වතාවක් පරිණාමවාදී සංකල්ප මත පිහිටා කළ උපකල්පන බොරුවක් බව ඔප්පු විය. මෑතකදී විද්‍යාඥයන් සොයාගත්තේ එම “වැඩකට නැති” DNA ශරීරය තුළ ජීවයට අත්‍යවශ්‍ය විශේෂාකාර RNA (රයිබොනියුක්ලේක් අම්ලය) නිපදවමින් වැදගත් කොටසක් ඉටු කරන බවයි. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යා පීඨයේ අධ්‍යක්ෂක ජෝන් එස්. මැටික්ගේ අදහස වන්නේ මෙයයි. විද්‍යාඥයන් අවුරුදු 25ක් පුරා “වැඩකට නැති” DNA මතය හදිසියෙන්ම වාගේ සම්මත කර තිබෙන්නේ “ඔවුන් ජීවීන් පිළිබඳ සැබෑ තොරතුරු නිසි ලෙස විග්‍රහ කර නැති නිසාය.” මෙසේ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තවදුරටත් පවසමින් ඔහු කියා සිටියේ “එය අණුක ජීව විද්‍යාවේ කර ඇති ලොකුම මෝඩකම්වලින් එකක් ලෙස සැලකිය හැකි” බවයි.

DNA යනු බුද්ධිමත් නිර්මාතෘවරයෙකුගේ ක්‍රියාවක් ලෙසට සැලකීම ඊට වඩා ඥානාන්විත නැද්ද? නිර්මාතෘවරයෙකු පිළිගන්නා අය කියා සිටින්නේ දෙවිගේ අත්වැඩ ගැන දැනගන්ට බැරි ඇතැම් දේවල් නියමිත කාලයේදී මිනිසාට මනාව පැහැදිලි වනු ඇති බවයි. එවන් සොයාගැනීම් කෙනෙකුව අපහසුතාවට පත් කරනවා වෙනුවට තවත් මවිතයට පත් කරනවා නියතය.—හිතෝපදේශ 1:7, දේශනාකාරයා 3:11.

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

DNA: Photo: www.comstock.com; researcher: Agricultural Research Service, USDA