Skip to content

පටුනට යන්න

සියලු බලශක්තිවල ප්‍රභවය

සියලු බලශක්තිවල ප්‍රභවය

සියලු බලශක්තිවල ප්‍රභවය

සූර්යයා පෘථිවියේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයයි. ගල් අඟුරු සහ ඛනිජ තෙල් ඇති වන්නේ සූර්ය ශක්තිය ලබාගන්නාවූ ගස්කොළන් දිරාපත් වී යෑමේ ප්‍රතිඵලයක් නිසයි යන්න විද්‍යාඥයන් බොහෝදෙනෙකුගේ අදහසයි. * සූර්ය තාපය නිසා මුහුදු ජලය වාෂ්ප වී වලාකුළු බවට පත් වෙයි. ඉන්පසු එම වලාකුළු පාවී ගොස් වර්ෂාව ලෙසින් පොළොවට පතිත වෙයි. පොළොවට පතිත වන මෙම ජලය ජල විදුලි බලාගාරවල ජලාශවලට ගලාගෙන යයි. තවද විදුලිය නිපදවන සුළං මෝල් ක්‍රියාත්මක වන්නේ සුළං ඇති කිරීමට හිරු රැස් බලපාන නිසයි. නමුත් ගණන් බලා තිබෙන ආකාරයට පොළොවට පතිත වන්නේ සූර්යයාගේ බලශක්තියෙන් අංශු මාත්‍රයක් පමණයි.

තාරකාවක් වන සූර්යයාට අරුම පුදුම බලයක් තිබුණත් එය විශ්වයේ තිබෙන ඒ හා සමාන බලශක්ති ප්‍රභවයන් බිලියන ගණනකින් එකක් පමණයි. මේ සියලු බලශක්ති ප්‍රභවයන්වල නිර්මාතෘ කවුද? තාරකා ගැන සඳහන් කරමින් බයිබල් ලේඛක යෙසායා මෙසේ පවසනවා. “මේවා මැවුවෙත් මේවා සේනා ගණනින් පමුණුවන්නෙත් කවුදැයි ඔබේ ඇස් ඔසවා බලන්න; ඔහු තමන් බලයේ උතුම්කමින් ඒ සියල්ලන්ටම නම් කියා කැඳවන්නේය; ඔහුගේ බලයේ උතුම්කම නිසා තමන් බලයේ ශක්තියේ කරණකොටගෙන එයින් එකක්වත් අඩු නොවේ.”—යෙසායා 40:26.

තරුවල තිබෙන අතිමහත් බලය ගැන කල්පනා කරන විට අප සතු බලය කොයිතරම් අල්පද කියා අපට හැඟෙන්න පුළුවන්. එසේනම් ඒවා මැවූ තැනැත්තා වන යෙහෝවා දෙවිගේ බලය කොයි තරම්ද! කෙසේවෙතත්, බයිබලයෙහි අපට මෙසේ දිරිගන්වා තිබෙනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8) පොළොව හා එහි විශාල වශයෙන් පවතින බලශක්ති ප්‍රභවයන් මැවූ මෙන්ම අපට ජීවය දුන් තැනැත්තාව අප සොයනවා නම් නිසැකවම අපට ඔහු කවුද කියා දැනගත හැකියි.—උත්පත්ති 2:7; ගීතාවලිය 36:9.

පොළොව සහ එහි තිබෙන සම්පත් දූෂණය කරන බව සහ අසාධාරණ ලෙස බෙදාහැරෙන බව දකින සමහරුන්ට, දෙවි පොළොව සහ එහි වෙසෙන්නන් කෙරෙහි උනන්දුවක් දක්වන බව විශ්වාස කිරීම අසීරු දෙයක් විය හැකියි. කෙසේනමුත් ළඟදීම වෙනසක් සිදුවීමට නියමිත බවට බයිබලයෙහි සහතිකයක් දී තිබෙනවා. එහි පොරොන්දු කර තිබෙන්නේ ලෝකයේ සම්පත් බෙදාහරින ආකාරයේ සහ පොළොව පාලනය කරනු ලබන ආකාරයේ විශාල වෙනසක් සිදු වන බවයි. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ මුළු පොළොවම පාලනය කිරීමට යෙහෝවා දෙවි ස්වර්ගික ආණ්ඩුවක් පිහිටුවන අතර පොළොවේ වෙසෙන සියල්ලන්ටම එහි සම්පත් සාධාරණ ලෙස බෙදාහැරෙන බවට ඔහු වගබලා ගනියි. (මීකා 4:2-4) එමෙන්ම මෙම පොළොවේ පරිසරය විවිධාකාරවලින් දූෂණය කරමින් ‘පොළොව විනාශ කරන අයවද’ ඔහු ඉදිරියේදී ‘විනාශ කරනවා.’—එළිදරව් 11:18.

එකල යෙසායා 40:29-31 වාර්තා වී ඇති පොරොන්දුව සෑම අතකින්ම සැබෑවක් වෙයි. “ඔහු ක්ලාන්ත වූ අයට බලය දෙන්නේය; බෙලහීන අයට ශක්තිය වැඩි කරන්නේය. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසෙන්නෝය. යෞවනයෝ සහමුලින් වැටෙන්නෝය. එහෙත් යෙහෝවා දෙස බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔවුහු රාජාලීන් මෙන් පියාපත්වලින් ඉහළ යන්නෝය. ඔවුහු වෙහෙස නොවී දුවන්නෝය; ක්ලාන්ත නොවී ඇවිදින්නෝය.” බයිබලය අධ්‍යයනය කිරීමට කාලය වැය කරනවා නම් සියලු බලශක්තීන්වල ප්‍රභවය ගැනත්, බලශක්ති පිළිබඳව පොළොවේ පවතින ගැටලුවලට විසඳුම් ගැනත් තව බොහෝ දේ ඔබට ඉගෙනගත හැකියි.

[පාදසටහන]

^ 2 ඡේ. වර්ෂ 2003 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “පෙට්‍රෝලියම් සෑදුණේ කෙසේද?” යන කොටුව බලන්න.