Skip to content

පටුනට යන්න

මම කය වෙහෙසා වැඩ කළ යුත්තේ ඇයි?

මම කය වෙහෙසා වැඩ කළ යුත්තේ ඇයි?

යෞවන අය අසති . . .

මම කය වෙහෙසා වැඩ කළ යුත්තේ ඇයි?

“මම ඇඟ පත වෙහෙසලා වැඩ කරයි කියලා කවදාවත් හිතුවේ නැහැ. කොම්පියුටර් එක ඉස්සරා ඉන්න තමයි මම වැඩියෙන්ම ආසා කළේ.”—නේදන්.

“අපි කය වෙහෙසලා වැඩ කළේ අපිට වෙන දෙයක් කරන්න හැකියාවක් නැති නිසා කියලා සමහර ළමයි හිතුවා. ඔවුන් අපිව පාච්චල් කළා.”—සාරා.

කය වෙහෙසා කරන වැඩ සම්බන්ධයෙන් බොහෝ අයට තිබෙන්නේ හොඳ හැඟීමක් නෙමෙයි. වැඩ කිරීමෙන් සතුටක් ලැබෙන්නේ නැහැ කියා ඔවුන් සිතනවා. වැඩ කරනකොට ඇඟේ කුණු වැදෙනවා. ඒවගේම කාගෙවත් පිළිගැන්මක් ලැබෙන්නේ නැහැ කියලත් ඔවුන් හිතනවා. කම්කරු රැකියාවන් ගැන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙසේ ප්‍රකාශ කළා. “තත්වයට වැඩි තැනක් දෙන අද සමාජයේ එවැනි රැකියාවලට වැඩි පිළිගැන්මක් නැහැ.” එසේනම් බොහෝ යෞවනයන් කය වෙහෙසා කරන වැඩවලට කැමැත්තක් නොදැක්වීම පුදුමයට කාරණයක් නෙමෙයි.

කෙසේනමුත් කය වෙහෙසා කරන වැඩ ගැන බයිබලයේ පෙන්වා තිබෙන්නේ වෙනස් අදහසක්. සාලමොන් රජ පැවසුවේ මෙයයි. “මනුෂ්‍යයෙකු විසින් කා බී තමාගේ සිතින් තමාගේ උත්සාහයේ යහපත විඳිනවාට වඩා හොඳ දෙයක් නැත; මේකත් දෙවිගේ හස්තයෙන් වන බව දුටිමි.” (දේශනාකාරයා 2:24) පුරාණ ඊශ්‍රායෙලයේ ප්‍රධාන රැකියාව වුණේ කෘෂි කර්මාන්තය බව බයිබලයෙන් දැකගත හැකියි. සීසෑම, අස්වනු නෙළීම සහ ධාන්‍ය වෙන් කිරීම වැනි වැඩ කටයුතු සඳහා බොහෝ සෙයින් කය වෙහෙසීමට සිදු වුණා. නමුත් සාලමොන් කියා සිටියේ කය වෙහෙසා වැඩ කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බවයි.

සියවස් කිහිපයකට පසු ප්‍රේරිත පාවුල් කීවේ මෙයයි. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න.” (එෆීස 4:28) පාවුල්ද කය වෙහෙසා වැඩ කළ අයෙක්. එමෙන්ම ඔහු උගත් පුද්ගලයෙක්. නමුත් යම් අවස්ථාවල තම වියහියදම් සපුරාගැනීම සඳහා කූඩාරම් සෑදුවා.—ක්‍රියා 18:1-3.

කය වෙහෙසා වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබේ ආකල්පය කුමක්ද? ඔබ ඒ පිළිබඳව කුමන මතයක් දැරුවද එය ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි.

එය සාර්ථක දිවියකට අත්වැලක්

ඇඟ පත වෙහෙසා වත්ත පිටියේ වැඩ කිරීම හෝ ගෙදර දොරේ වැඩ කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. එමෙන්ම වෙනත් ප්‍රයෝජනද ලැබෙනවා. ඔබට වාහනයක ටයරයක් හෝ තෙල් මාරු කරන්න දන්නවා නම්, කැඩුණු ජනේලයක් හෝ පයිප්පයක් සාදන්න පුළුවන් නම්, උයන්න දන්නවා නම්, නාන කාමරයක් හොඳින් සුද්ද පවිත්‍ර කරන්න පුළුවන් නම් ඒවා හුඟාක් ප්‍රයෝජනදායකයි. මෙවැනි පුහුණුවක් යෞවන යෞවනියන් දෙපාර්ශ්වයටම තිබිය යුතුයි. එසේ තිබෙනවා නම් කවදාහරි දවසක සාර්ථක දිවියක් ගත කරන්න ඔබට හැකියි.

යේසුස් ක්‍රිස්තුස් පවා පොළොව මත සිටියදී දෑතේ කර්මාන්තයක් ඉගෙනගත්තා. ඔහුව වඩුවෙකු ලෙසත් හැඳින් වූ නිසා තම සුරැකි පියා වූ යෝසෙෆ්ගෙන් ඔහු වඩු කර්මාන්තය ඉගෙනගත් බවට සැකයක් නැහැ. (මතෙව් 13:55; මාක් 6:3) ඔබටත් පුළුවන් ප්‍රයෝජනදායක දෑතේ කර්මාන්ත පිළිබඳව නිපුණත්වයක් ලබාගන්න.

හොඳ ගුණාංග වර්ධනය වෙයි

කය වෙහෙසා වැඩ කිරීම ඔබට ඔබ ගැන තිබෙන හැඟීමටත් බලපානවා. ආචාර්ය ෆ්‍රෙඩ් ප්‍රොවෙන්සානො එක්සත් ජනපදයේ ජාතික මානසික සෞඛ්‍යය හා අධ්‍යාපන මධ්‍යස්ථානය සඳහා ලියූ ලිපියක මෙසේ සඳහන් වෙනවා. දෑතේ කර්මාන්තයක් ඉගෙනීමෙන් “ඔබ තුළ ආත්ම විශ්වාසය හා නිසැකකම ඇති වෙනවා.” ඒවගේම “ඔබවම හික්මවා ගන්නත් පිළිවෙළකට වැඩ කරන ආකාරය ඉගෙනගන්නත් හැකි කරවනවා. රැකියාවක් හොඳින් කරගෙන යන්න අවශ්‍ය කරන්නේ එවැනි ගුණාංගයි.” ජොන් නමැති යෞවනයා මෙවැනි දෙයක් පවසනවා. “කය වෙහෙසා වැඩ කරන කොට ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන හැටිත් ඉගෙනගන්නවා.”

ලිපිය ආරම්භයේ සඳහන් කළ සාරා මෙසේ පවසනවා. “කය වෙහෙසා වැඩ කිරීම නිසා මම කඩිසරකම ඉගෙනගත්තා. ඒවගේම හිතත් කයත් පාලනය කරන්න ඉගෙනගත්තා.” කය වෙහෙසා වැඩ කිරීමෙන් සතුටක් ලැබෙන්නේ නැද්ද? ඒ ගැන නේදන් මෙසේ අදහස් දක්වනවා. “මහන්සි වෙලා වැඩ කිරීමෙන් සතුටක් ලබන්න මම ඉගෙනගත්තා. මගේ හැකියාවන් දියුණු වෙනකොට, මගේ වැඩවල ගුණාත්මකභාවයත් වැඩි වුණා. එය මටත් යමක් කරන්න පුළුවන් කියන හැඟීම මා තුළ ඇති කළා.”

කය වෙහෙසා වැඩක් කිරීමෙන් යමක් කළාය කියන හැඟීම ඇති වන නිසා ඉන් සතුටක් ලැබෙනවා. ජේම්ස් නමැති යෞවනයා එය මෙසේ පැහැදිලි කරනවා. “මම වඩු වැඩ කිරීමෙන් සතුටක් ලබනවා. සමහර වේලාවට ඇඟට වෙහෙසක් දැනුණත් මම හදපු දේවල් දිහා බලලා සතුටක් ලබන්න පුළුවන්. ඇත්තෙන්ම එයින් තෘප්තියක් ලැබෙනවා.” බ්‍රයන්ද එවැනිම අදහසක් පළ කරනවා. “මම වාහන අලුත් වැඩියා කිරීමෙන් ප්‍රීතියක් අද්දකිනවා. කැඩුණු වාහනයක් නැවත අලුත් වැඩියා කරලා නැවත හොඳ තත්වයට ගෙන ඒමෙන් මටත් යමක් කරන්න පුළුවන් කියන හැඟීම හා තෘප්තිය මට ලැබෙනවා.”

පරිශුද්ධ සේවය

ක්‍රිස්තියානි යෞවනයන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට තිබෙන හැකියාව දෙවිට සේවය කිරීම සඳහාත් උපකාරවත් විය හැකියි. සාලමොන් රජට යෙහෝවා දෙවි උත්කර්ෂවත් දේවමාලිගාව තැනීමේ පැවරුම දෙනු ලැබූ විට, එය භාර දූර කාර්යයක් බවත් ඒ සඳහා මනා නිපුණත්වයක් වගේම විශාල වෑයමක් අවශ්‍ය බවත් ඔහුට වැටහුණා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සාලමොන් රජ පණිවිඩයක් යවා තීර්හි සිට හීරාම් ගෙන්වීය. ඔහු නප්තලී ගෝත්‍රයෙහි වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙක්ය. ඔහුගේ පියා තීර්හි පිත්තල කර්මාන්තකාරයෙක් විය. ඔහු සියලු පිත්තල වැඩ කිරීමට ඥානයෙන්ද තේරුමෙන්ද දක්ෂකමින්ද පිරී සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් රජුගේ සැම කර්මාන්තයක්ම කළේය.”—1 රාජාවලිය 7:13, 14.

හීරාම්ට යෙහෝවාගේ නමස්කාරය වෙනුවෙන් තම හැකියාවන් යොදවන්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක් වීද! හීරාම්ගේ අද්දැකීමෙන් හිතෝපදේශ 22:29හි සඳහන් වචන සැබෑවක් බව ඔප්පු කරනවා. “තමාගේ වැඩවල කඩිසර [දක්ෂ, NW] කෙනෙක් දකින්නෙහිද? ඔහු නීචයන් ඉදිරිපිට නොව රජුන් ඉදිරිපිට සිටින්නේය.”

වර්තමානයෙත් ගොඩනැඟීමේ කටයුතු පිළිබඳ මද දැනුමක් හෝ කිසිම දැනුමක් නැති යෞවනයන් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ කාර්යයේ නියැලීමේ වරප්‍රසාදය භුක්ති විඳ තිබෙනවා. ඔවුන් එවැනි ව්‍යාපෘතිවල නියැලීම නිසා විදුලි කාර්මිකකරණය, ජල නළ ආශ්‍රිත වැඩ, මේසන් සහ වඩු වැඩ වැනි නොයෙකුත් වටිනා දෑතේ කර්මාන්ත ඉගෙනගෙන තිබෙනවා. ඔබටත් පුළුවන් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ හවුල්වීමට හැකිද කියා ඔබේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් විමසා බලන්න.

රාජ්‍ය ශාලා කිහිපයක් ගොඩනැඟීමේ කටයුතුවල නිරත වූ ජේම්ස් මෙසේ පවසනවා. “සභාවේ ඉන්න හුඟදෙනෙකුට මෙම කටයුතුවල නිරත වෙන්න කාලය හෝ හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දායකත්වය ලබා දීමෙන් ඔබ මුළු සභාවටම උපකාර කරනවා.” නේදන් කොන්ක්‍රීට් වැඩ ඉගෙනගත්තා. ඔහුට එම දැනුමෙන් දෙවිගේ සේවය තුළ වෙනත් පැවරුමක් ඉටු කරන්න හැකියාව ලැබුණා. ඔහු ඒ ගැන මතක් කරන්නේ මෙහෙමයි. “සිම්බාබ්වේ රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය ගොඩනැඟීමේ වැඩ කටයුතු සඳහා මගේ හැකියාවන් යොදවන්න මට හැකි වුණා. මාස තුනක් මම එම රටේ සේවය කළා. ඒක තමයි මගේ ජීවිතයේ ලබපු හොඳම අද්දැකීම.”

කය වෙහෙසා වැඩ කිරීමට කැමති වෙනත් යෞවනයන් තමන් ජීවත් වන රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයන් ලෙස සේවය කිරීමට අයදුම් කරන්න පෙලඹී තිබෙනවා.

යම් දෑතේ කර්මාන්තයක් ප්‍රගුණ කරගැනීමෙන් ඔබට යම් දුරකට ‘සෑහීමට පත් විය’ හැකියි. (1 තිමෝති 6:6) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයන් බොහෝමයක් පුරෝගාමීන් ලෙස හෝ පූර්ණ කාලීන දේවසේවකයන් ලෙස සේවය කරනවා. දෑතේ කර්මාන්තයක් ඉගෙනගැනීම නිසා සමහරෙකුට තමන්ගේ වියහියදම් පිරිමසා ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඔවුන්ට පාඨමාලා සඳහා විශාල මුදලක් සහ කාලයක් වැය කිරීමටද අවශ්‍ය වන්නේ නැහැ.

කොහොමද ඉගෙනගන්නේ?

ඔබ යම් දෑතේ කර්මාන්තයක් ඉගෙනගන්නේ යම් ව්‍යාපාර කටයුත්තක නියැලීම සඳහා හෝ ගෙදර දොරේ වැඩ පිළිවෙළකට කිරීමට වුවමනා නිසා හෝ වේවා එවන් කර්මාන්තයක් ඉගෙනීම ප්‍රයෝජනදායකයි. සමහරවිට ඔබේ පාසැලේ යම් දෑතේ කාර්මාන්ත සඳහා පාඨමාලා තිබෙනවා විය හැකියි. ඒවගේම ඔබේ නිවසේදීත් පුහුණුවක් ලබාගන්න ඔබට පුළුවන්. ඒ කොහොමද? ගෙදර දොරේ වැඩ කිරීමෙන්. ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආචාර්ය ප්‍රොවෙන්සානො මෙවන් දෙයක් ලියනවා. “යෞවන දරුවන් ගෙදර දොරේ වැඩ ඉගෙනගැනීම ඉතා වැදගත්. එහෙම ලැබෙන පුහුණුව ‘ඉදිරි ජීවිතය’ ගෙන යෑමට සහ තම දෙමාපියන්ගෙන් වෙන් වූ දිනයක සාර්ථක දිවියක් ගත කිරීමට ඔවුන්ට උපකාරයක් වෙයි.” එම නිසා නිවසේ කිරීමට තිබෙන වැඩ මොනවාද කියා සොයා බලන්න. වත්තේ තණකොළ වැවිලද? එහෙම නැත්නම් රාක්කයක් එහෙම හදන්න තියෙනවාද?

කය වෙහෙසා වැඩ කිරීම පහත් දෙයක් ලෙස සලකන්න එපා. එය ඔබට බොහෝ පැතිවලින් ප්‍රයෝජනදායක විය හැකියි. මහන්සි වෙලා වැඩක් පළක් කිරීමට තිබෙන විට ලිස්සලා යන්න එපා! එසේ නොකර වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ‘යහපත භුක්තිවිඳින්න.’ දේශනාකාරයා 3:13හි කියන්නේ එය “දෙවිගේ දීමනාවය” කියායි.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෑතේ කර්මාන්තයක් ඉගෙනගැනීම යෞවනයන් හුඟදෙනෙකුට දෙවිට වැඩි කාලයක් සේවය කිරීම සඳහා උපකාරයක් වී තිබෙනවා

[30වන පිටුවේ පින්තූර]

බොහෝවිට දෙමාපියන්ට පුළුවන් ඔබට මූලික පුහුණුව ලබා දෙන්න