Skip to content

පටුනට යන්න

යොවුන් පරපුරට යහමඟ පෙන්වමු

යොවුන් පරපුරට යහමඟ පෙන්වමු

යොවුන් පරපුරට යහමඟ පෙන්වමු

අද යෞවනයන් හැදී වැඩෙන්නේ භයානක ලෝකයක් තුළයි. සමහර යෞවනයන් තම දෙමාපියන් වෙන් වන විට හෝ දික්කසාද වන විට ඒ දෙස බලා සිටින්නේ අසරණවයි. තවත් යෞවනයන් තම පාසැල් මිතුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ආකාරය සහ අපරාධවල නියැලෙන ආකාරය දකිනවා. බොහෝදෙනෙක් ලිංගික ක්‍රියාවල නියැලීමට හසු වෙන්නේ යහළු යෙහෙළියන්ගෙන් එල්ල වන පීඩනය නිසයි. ඊට අමතරව සෑම යෞවනයෙක්ම යම් කාලවලදී වරදවා වටහාගැනීම, තනිකම සහ මානසික අවපීඩනය වැනි තත්වයන්ට මුහුණ දෙනවා.

යෞවනයන් මැදි වී සිටින ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය කරන්නේ කුමක්ද? වෛද්‍ය රොබට් ෂෝ මෙවන් දෙයක් ලියනවා. “දරුවන්ට යහපත් ගුණ ධර්ම කියා දීම අවශ්‍යයි. සුදුසු මිත්‍රයන් තෝරාගැනීම, හරි තීරණගැනීම, අන් අය දෙස සානුකම්පිතව බැලීම වැනි කාරණාවලදී නැණවත්ව ක්‍රියා කිරීමට අවශ්‍ය කරන යහපත් ගුණ ධර්ම දරුවන්ගේ හදවත්වලට කාවැද්දිය යුතුයි.” මේ සඳහා බයිබලය කදිම මෙවලමක්. එයින් යහපත් ගුණ ධර්ම ඉගෙනගත හැකියි. මන්දයත් එහි තිබෙන්නේ අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ අදහස්. අප ජීවත් වන අර්බුද සහිත කාලයේ තිබෙන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට අපට අවශ්‍ය කරන්නේ කුමක්ද කියා යෙහෝවා දෙවිට වඩා දන්නේ වෙන කවුද?

ජීවිතයට අදාළ කරගත හැකි උපදෙස්

බයිබලයේ තිබෙන්නේ ජීවිතයට අදාළ කරගත හැකි ප්‍රතිපත්තියි. සාර්ථක වැඩිහිටියෙකු වීම සඳහා යෞවනයෙකුට උපකාර කිරීමට උවමනා කරන දෙමාපියන්ට සහ අනෙකුත් වැඩිහිටියන්ට එහි ඇති උපදෙස් ඉතා අගෙයි.

මේ සඳහා නිදසුනක් පෙන්වනවා නම් බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ මෙසේයි. “ළදරුවෙකුගේ සිතේ අඥානකම බැඳී තිබේ.” වෙනත් පරිවර්තනයක එය මෙසේ සඳහන් වෙනවා. ‘දරුවන් සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ සිතා බලන්නේ නැතුවයි.’ (හිතෝපදේශ 22:15) සමහර යෞවනයන් ඔවුන්ගේ වයසට අනුව මේරූ ලෙස කටයුතු කරනවා වුණත් ඔවුන්ට එතරම් පළපුරද්දක් ලැබී නැහැ. ඒ නිසා ඔවුන් බයාදුකමක්, නොයෙකුත් ආශාවන් සහ කැළඹිලි සහිත හැඟීම් වැනි යොවුන් කාලයට ආවේණික දේවල් අද්දකිනවා. (2 තිමෝති 2:22) මෙවැනි යෞවනයන්ට උපකාර කරන්නේ කොහොමද?

දරුවන් සමඟ නොකඩවා අදහස් හුවමාරු කරගන්න කියා බයිබලයේ දෙමාපියන්ට දිරිගන්වා තිබෙනවා. එහි දෙමාපියන්ට උනන්දු කරන්නේ, “ඔබේ පුත්‍රයන්ට ඒවා [දෙවිගේ ප්‍රමිති] මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න” කියායි. (ද්විතීය කතාව 6:6, 7) එසේ අදහස් හුවමාරු කිරීමෙන් ප්‍රයෝජන දෙකක් ලබාගත හැකියි. පළමු එක නම් එයින් යෞවනයන්ට දෙවිගේ මාර්ග ගැන ඉගැන්වීමට හැකියාවක් ලැබෙනවා. (යෙසායා 48:17, 18) දෙවෙනි එක නම් දෙමාපියන්ට හා දරුවන්ට ඉන් එකිනෙකා සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. යෞවනයන්ට ලජ්ජාවක් හා තනිකමක් දැනෙන යොවුන් වියේදී ඔවුන් සමඟ කතා බහ කර ඔවුන්ගේ අදහස් දැනගැනීම ඉතාමත් වැදගත්.

හුඟාක් යෞවනයන් යම් කාලයකට තනිකමෙන් පෙළෙනවා. නමුත් සමහරෙකුට මෙම තනිකම දීර්ඝ කාලයකට තදින්ම දැනෙන්න පුළුවන්. “මෙසේ තනිකමක් දැනෙන යෞවනයන් කියන්නේ තමන්ට අනික් ළමයි අකමැතියි. ඒනිසා පාසැලේදී මිතුරන් ඇති කරගැනීම අමාරුයි. කතා කරන්න කෙනෙක් නැති නිසා තනිකමක් දැනෙනවා කියලයි. ඔවුන් සිතන්නේ උපකාරයක් අවශ්‍ය වේලාවක එය ලබා දිය හැකි කෙනෙක් ඔවුන්ට නැහැ කියලයි.” යෞවන කාලය පිළිබඳව එක් ග්‍රන්ථයක සඳහන් වුණේ එලෙසයි. *

දෙමාපියන්ට සහ සැලකිල්ලක් දක්වන වැඩිහිටියන්ට හැකියි යෞවනයන්ට තමන්ගේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට අවශ්‍ය උපකාර පිරිනමන්න. ඔවුන්ට උපකාර කරන්නේ කොහොමද කියා එක් යොවුන් සඟරාවක ප්‍රධාන කර්තෘවරියක් ලියූ දෙයින් අවබෝධයක් ලබාගත හැකියි. “යෞවනයන්ගේ ප්‍රශ්න ඇසීමෙන් තමයි ඔවුන්ගේ මනසේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න පුළුවන් එකම ක්‍රමය.” යෞවනයන්ගේ සිතේ තිබෙන දේ දැනගැනීමට කාලය හා ඉවසීම අවශ්‍යයි. නමුත් ඉන් ලැබෙන ප්‍රයෝජන බොහොමයි.—හිතෝපදේශ 20:5.

සීමාවන් පැනවීමේදී සාධාරණ වීම අවශ්‍යයි

යෞවනයන් සමඟ අදහස් හුවමාරු කිරීමට අමතරව දෙමාපියන් විසින් සාධාරණ නීති පැනවීම දරුවන්ට අවශ්‍යයි. දරුවන් නොදන්නවා වුවත් දරුවන් තුළ එම අවශ්‍යතාව තිබෙනවා. “තමාගේ කැමැත්තට ඇරිය දරුවෙක් මවට ලජ්ජා උපදවයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 29:15) දරුවන්ට පැහැදිලිව සීමා නොදැමීම නිසා බාල අපරාධ සිදු විය හැකි බවයි විද්වතුන්ගේ අදහස. “දරුවෙකුට ඕනෑ තරම් නිදහස දෙනවා නම් ‘එපා’ කියා නොපවසනවා නම් හෝ යම් සීමාවක් නොදමනවා නම් එම දරුවා කවමදාකවත් අනිත් මිනිසුන්ටත් ජීවිතයක්, හැඟීම් සහ ඕනෑ එපාකම් තිබෙනවා කියා ඉගෙනගන්නේ නැහැ. අන් අයගේ හැඟීම් තේරුම් ගන්නේ නැත්නම් ඒ දරුවාට තව කෙනෙකුට ආදරය කරන්න බැහැ.” එසේ පැවසුවේ කලින් සඳහන් කළ වෛද්‍ය ෂෝ.

නොමඟ ගිය යෞවනයන්ට වසර ගණනාවක් පුරා උපකාර කර ඇති ආචාර්යය ස්ටැන්ටන් සැමනෝද එවැනිම අදහසක් ඉදිරිපත් කරනවා. “සමහර දෙමාපියන් හිතන්නේ දරුවන්ට තමන්ට කමැති දේ කරන්න නිදහස දෙන්න ඕනේ කියලා. යම් වගකීම් හෝ සීමාවන් දැමීම තම දරුවන් මත බර පැටවීමක් වගේම ළමා කාලය උදුරාගැනීමක් ලෙසට සමහර දෙමාපියන් හිතනවා. නමුත් දරුවන්ට සීමා නොදැමීමෙන් විනාශයක් සිදු වෙන්න පුළුවන්. පිරිමි ළමයෙකුට හෝ ගැහැනු ළමයෙකුට නිසි හික්මවීමක් නොදෙන විට ඔවුන්ට තමන්වම හික්මවා ගැනීම දුෂ්කර බව මෙම දෙමාපියන් තේරුම් ගන්නේ නැහැ.”

දෙමාපියන් ඕනෑවට වඩා තදින් කටයුතු කළ යුතු බව මෙයින් අදහස් කරන්නේ නැහැ. දරුවන්ව හදා වඩාගැනීමේදී යම් සීමාවන් පැනවීම දෙමාපියන්ගේ එක් වගකීමක්. නමුත් සීමා පැනවීමේදී අන්තයටම යෑමෙන් නිවස තුළ අප්‍රසන්න වතාවරණයක් ඇති විය හැකියි. බයිබලයේ සඳහන් වන්නේ “පියවරුනි, ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න” කියායි.—කොලොස්සි 3:21; එෆීස 6:4.

මේ හේතුව නිසා දෙමාපියන් කලින් කලට තමන්ගේ උපදෙස් දීමේ හා හික්මවීමේ ක්‍රම ගැන නැවත සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම මෙය කළ යුත්තේ තම දරුවන් ටිකෙන් ටික වැඩිවියට පා තබනවිට සහ ඔවුන් මේරූ ලෙස කටයුතු කිරීමට අරඹන විටයි. වගකීමෙන් ක්‍රියා කිරීමට ඔවුන්ට තිබෙන හැකියාව අනුව යම් නීති හෝ සීමා අඩු කිරීමට හෝ වෙනස් කිරීමට සිදු විය හැකියි.—ෆිලිප්පි 4:5.

හොඳ සබඳතාවක් ගොඩනැඟීම

කලින් ලිපියේ සඳහන් කළ ලෙස දෙවි පොළොව මත තිබෙන දුෂ්ටකම තුරන් කිරීමට පියවර ගැනීමට පෙර “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලයකට” ලෝකයේ සිටින සියලුදෙනාම මුහුණ දීමට යන බව බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා. සාක්ෂි මගින් පෙන්වන්නේ අපි එම කාල පරිච්ඡේදය වන මෙම අභක්තික සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” ජීවත් වන බවයි. “තමුන්ටම ප්‍රේම කරන, . . . ජන්ම ස්නේහය නැති, . . . ආත්ම දමනය නැති” මිනිසුන්ගෙන් පිරි මෙම ලෝකයේ වැඩිහිටියන් වගේම යෞවනයන්ද ජීවිතය ගෙන යෑමට පොරබැදිය යුතුයි.—2 තිමෝති 3:1-5. *

තමන්ගේ තරුණ දුව හෝ පුතා සමඟ තිබෙන සම්බන්ධය නැති වී තිබෙනවා කියා දෙමාපියන්ට සිතෙනවා නම් ටිකෙන් ටික අදහස් හුවමාරු කරගැනීමෙන් එම සබඳතාව නැවත ගොඩනඟාගත හැකියි. බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ ජීවිතය යහමඟ යැවීමටත් ඔවුන්ගේ ජීවිතයට එබිකම් කර බැලීමටත් විශාල වෙහෙසක් ගනිමින් සිටිනවා. ඇත්තෙන්ම එය පැසසුමට ලක් කළ යුතුයි.

මේ කටයුත්ත කිරීම සඳහා බයිබලයෙන් විශාල උපකාරයක් ලැබෙනවා. එහි උපදෙස් දෙමාපියන්ට තම වගකීම් හරි හැටි ඉටු කරන්නත් යෞවනයන්ව නොමඟ යෑමෙන් වළක්වාගන්නත් උපකාරවත් වී තිබෙනවා. (ද්විතීය කතාව 6:6-9; ගීතාවලිය 119:9) බයිබලය ලැබී තිබෙන්නේ අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගෙන් නිසා අද සිටින යෞවනයන්ට හොඳම උපදෙස් එයින් ලැබෙන බවට නිසැක වෙන්න අපට පුළුවන්. *

[පාදසටහන්වල]

^ 8 ඡේ. එම ග්‍රන්ථයේම සඳහන් වන්නේ යම් කෙටි කාලයකට තනිකම දැනෙන යෞවනයන් මෙන් නොව තදින්ම තනිකම දැනෙන යෞවනයන්ට දීර්ඝ කාලයකට එය දැනෙනවා. එවැනි යෞවනියක් හෝ යෞවනයෙක් සිතන්නේ “තමන්ගේ යම් අඩු පාඩුවක් නිසා තමන්ට කවමදාකවත් මිතුරන් ඇති කරගන්න බැහැ.” ඒ වගේම එම තත්වය “වෙනස් කරන්නත් බැහැ වෙනස් වෙන්නෙත් නැහැ කියලා.”

^ 16 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබලය මත පදනම් ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොත මහඟු උපකාරයකි. එහි තිබෙන පරිච්ඡේද 39ම සිතේ අදහස් විමසන ප්‍රශ්න ලෙසට සකසා තිබෙනවා. ඉන් සමහරක් නම් “සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?” “තුල්‍යය පීඩන සමඟ කටයුතු කිරීමට මට හැක්කේ කෙසේද?” “මට මගේ තනිකම පළවාහැරිය හැක්කේ කෙසේද?” “මා හුදකලා ඇසුරට සූදානම්ද?” “මත්ද්‍රව්‍ය එපායැයි පැවසිය යුත්තේ මන්ද?” “පූර්ව විවාහ ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?”

[10වන පිටුවේ පින්තූරය]

ඔබේ හිතට වද දෙන දේවල් සම්බන්ධයෙන් ඔබ ගැන සැලකිලිමත් වන වැඩිහිටියෙකු සමඟ කතා කරන්න