Skip to content

පටුනට යන්න

යොවුන් පරපුර අනතුරේ

යොවුන් පරපුර අනතුරේ

යොවුන් පරපුර අනතුරේ

▪ එක්සත් ජනපදයේ 15වන වියේ පසුවන ශිෂ්‍යයෙක් තම පංතියේ මිතුරන්ට වෙඩි තබයි. දහතුන්දෙනෙකුට බරපතළ තුවාල. දෙදෙනෙක් මරුට.

▪ රුසියාවේ බීමත්ව සිටි යෞවනයන් පිරිසක් අවුරුදු නවයක දැරියක්ව කෲර ලෙස මරා ඇගේ පියාට සහ ඥාති සොහොයුරාටද පහර දෙයි.

▪ බ්‍රිතාන්‍යයේ 17ත් හැවිරිදි පිරිමි ළමයෙක් තවත් පිරිමි ළමයෙකුට පහර දී උල් ආයුධයකින් අනියි. “මට ඒ ළමයාව මරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒත් ලේ දැක්කාට පස්සේ නවත්වන්න හිතුණේ නැහැ” කියා ඔහු පොලිසියට කියයි.

හද සලිත කරවන එවන් අද්දැකීම් අසාමාන්‍ය සිද්ධීන් නොවෙයි. එනමුත් මෙවන් දේ කලාතුරකින් සිදු වන සිද්ධීන් කියා එතරම් තැකීමක් නොකර නම් ඉන්න බැහැ. “යෞවනයන් විසින් සිදු කරන සැහැසික ක්‍රියා අපේ සමාජයේ විශාල ගැටලුවක් වී තිබෙනවා” කියා එක් පුවත් වැකියක සඳහන් වෙනවා. (Professional School Counseling) සංඛ්‍යා ලේඛන මගින්ද මෙය සත්‍යයක් බව සනාථ කරනවා.

අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සංඛ්‍යා ලේඛන සකසන මධ්‍යස්ථානයේ ප්‍රකාශයක සඳහන් වන ආකාරයට, එක්සත් ජනපදයේ පාසැල් තුළ සිදු වන සැහැසික ක්‍රියාවල අඩුවක් තිබුණද “වසර 2001දී අවුරුදු 12-18 අතර පාසැල් ශිෂ්‍යයන් මාරාන්තික නොවන අපරාධ හෝ සොරකම් මිලියන 2කට පමණ ගොදුරු වුණා.” ඒවගේම පාසැල් තුළ සිදු වන හිරිහැර කිරීම් පිළිබඳ සිද්ධීන්වලද වර්ධනයක් තිබෙනවා.

එක්සත් ජනපදයේ යෞවනයන් සිදු කරන සෑම සැහැසික ක්‍රියාවකින්ම පීඩා විඳින්නේ පාසැල් සිසුන් පමණක් නොවෙයි. කලින් සඳහන් කළ මධ්‍යස්ථානයම තවදුරටත් කියා සිටින්නේ “1997 සිට 2001 දක්වා වූ වසර පහක කාලය පුරා පාසැල තුළ ගුරුවරුන් මාරාන්තික නොවන අපරාධ මිලියන 1.3ක් පමණ සංඛ්‍යාවකට මුහුණ දුන් අතර එයට සොරකම් 8,17,000ක් සහ ලිංගික දූෂණ සහ අපරාධ 4,73,000ක්ද ඇතුළත් වූ බවයි. පහළ පංතියේ සිට ඉහළ පංතියේ සිටින ගුරුවරුන්ගෙන් සියයට 9කට සිසුවෙකු විසින් තුවාල සිදු කරමින් ඔවුන්ට තර්ජනය කර තිබෙනවා. ඒවගේම ගුරුවරුන්ගෙන් සියයට 4ක් සිසුවෙකුගේ පහර දීමකටද ලක් වී තිබෙනවා.”

අනෙක් රටවල තත්වය ගැන පැවසිය හැක්කේ කුමක්ද? චීනයේ එක් ප්‍රවෘත්ති ආයතනයක ඉදිරිපත් කළ වාර්තාවක එම රටේ තත්වය ගැන මෙසේ සඳහන් කළා. “වර්ෂ 2003දී චීනයේ බාල අපරාධකරුවන් 69,780ක් අත් අඩංගුවට ගත්තා. එය 2002 වසරට වඩා සියයට 12.7ක වැඩිවීමක්.” එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ “මැර කල්ලි මගින් සිදු කරන අපරාධවලින් සියයට 70කටම වගකිව යුත්තේ බාල අපරාධකරුවන් බවයි.” වර්ෂ 2003දී ජපානයේ පළ වූ වාර්තාවක ඒ හා සමාන දෙයක් සඳහන් වෙනවා. එනම් මෑත වසර දහය තුළ සිදු වූ අපරාධවලින් අඩකට වගකිව යුත්තේ යෞවනයන් බවයි.

යෞවනයන්ට වින කරන මත්ද්‍රව්‍ය

එමෙන්ම යෞවනයන් තමන්ගේම ශරීරවලට හානි කරගැනීමත් ගැටලුවක් වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා. එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිළිබඳව සොයා බලන ආයතනයක් මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ එහි යෞවනයන්ගෙන් අඩක් පමණ උසස් පෙළ අවසන් කිරීමට පෙර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා. එම වාර්තාව තවදුරටත් මෙසේ පවසයි. “මත්පැන් පානය අද දින යෞවනයන් අතර බහුලව පවතින දෙයක්. උසස් පෙළ අවසන් කරන විට සෑම ශිෂ්‍යයන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙක් (77%) පමණ මත්පැන් (තොල කට ගානවාට වඩා) පානය කර තිබෙනවා. එයින් අඩක් (46%) පමණ එසේ කර තිබෙන්නේ අටේ පංතියේදීයි.

අසම්මත ලිංගික හැසිරීම

ඒඩ්ස් රෝගය පැතිර තිබෙන මෙවන් කාලයක අසම්මත ලිංගික හැසිරීම භයානකයි කියා අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ලිංගික හැසිරීමෙන් කිසි අනතුරක් සිදු වෙන්නේ නැහැ කියලායි බොහෝ යෞවනයන් හිතන්නේ. එක රැයකට පමණක් ලිංගික සහකාරියක් හෝ සහකරුවෙකු සමඟ සිටීම වරදක් නැති බවයි අමෙරිකාවේ සමහර යෞවනයන්ගේ අදහස. ඔවුන්ට අවශ්‍ය කරන්නේ බැඳීමක් නැතුව තම ලිංගික ආශාවන් ඉටු කරගැනීමට “මිතුරෙකුව හෝ මිතුරියක්ව” ඇසුරු කිරීමටයි.

තම දෙමාපියන් රැකියාවල නිරත වෙමින් සිටින විට ඇතැම් නාගරික යෞවනයන් නීච සාදයන් පවත්වනවා කියා ස්කොට් වෝල්ටර් නමැති ලේඛකයා පවසනවා. එවැනි සාදයකදී එක් ගැහැනු ළමයෙක් “සාදයට පැමිණි පිරිමි ළමුන් සියලුදෙනාම සමඟ ලිංගිකව හැසිරෙන්න යන බව ඇය පැවසුවා. . . . අවුරුදු 12ක් තරම් කුඩා ළමුන්ද එවැනි සාදයන්වලට සහභාගි වී තිබෙනවා.”

මෙවන් වාර්තා ගැන අදහන්නත් බැරි තරම්! නමුත් යෞවනයන්ගේ ලිංගික හැසිරීම ගැන අධ්‍යයනය කරන විද්වතුන්ට නම් එය පුදුමයක් නෙමෙයි. ඒ පිළිබඳව වෛද්‍ය ඇන්ඩ්‍රියා පෙනින්ටන් මෙසේ ලියනවා. “පසුගිය අවුරුදු 20 පුරා යෞවනයන් ලිංගික හැසිරීමේ නිරත වීම එන්න එන්නම අඩු වයසින් පටන්ගන්න ආකාරය අපට දැකගන්න පුළුවන්. අවුරුදු 12තරම් කුඩා අවදියේදීම ගැහැනු ළමයි සහ පිරිමි ළමයි ලිංගික හැසිරීමේ යෙදීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

තවත් සඟරාවක තිබෙන වාර්තාවද හද සලිත කරනවා. (USA Today) “අමෙරිකා එක්සත් ජනපදයේ නහඹර වියේ මුල් අවධියේ සිටින යෞවනයන් හුඟදෙනෙක් . . . මුඛ සංවාසයේ යෙදෙනවා. . . . ‘එය නියම ලිංගික හැසිරීමක්’ නෙමෙයි කියලා ළමයි තමන්ට ඒත්තුගන්වාගෙන තිබෙනවා.” ගැහැනු ළමුන් 10,000ක් යොදාගෙන කළ සමීක්ෂණයකට අනුව “එම ළමයින්ගෙන් සියයට 80ක් කියා සිටියේ ඔවුන් කන්‍යාවන් බවයි. නමුත් ඉන් සියයට 25ක් මුඛ සංවාසයේ යෙදී තිබුණා. සියයට 27ක් මුඛ සංවාසය විස්තර කළේ ‘තවත් පිරිමි ළමයෙක් සමඟ විනෝදයට කරන දෙයක් ලෙසයි.’

ලිංගික ක්‍රියා පිළිබඳ තිබෙන එවැනි අදහස් ආසියාතික රටවල් තුළත් දැකිය හැකියි. යුනෙස්කෝ මෙවන් දෙයක් වාර්තා කරනවා. “ආසියාවේ යෞවනයන් බාල අවදියේම හුඟදෙනෙක් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන නිසා දැන් HIV වයිරසය ආසාදනය වීමේ අවදානමක සිටිනවා. යෞවනයෝ තම දෙමාපියන්ගේ ‘යහපත් ගුණ ධර්ම’ පිළිපදින්නේ නැහැ. ඔවුන් බොහෝවිට ලිංගික සහකරුවන් කිහිපදෙනෙක් සමඟ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වනවා.’ ”

යෞවනයෝ ගැටලුවලට මැදි වී සිටින බවට තවත් හේතු තිබෙනවාද? “අවුරුදු 16ත් 19ත් අතර සිටින ගැහැනු ළමුන්ගෙන් සියයට 25ක් දරුණු ලෙස මානසික අවපීඩනය අද්දකිනවා.” එසේ වාර්තා කළේ කැනඩාවේ එක් පුවත්පතක. (Women’s Health Weekly) ඒත් මානසික අවපීඩනය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපෑ හැකි රෝගයක්. එක් පුවත් වාර්තාවකට අනුව සෑම වසරකම යෞවනයන් 5,000ක් පමණ පිරිසක් සිය දිවි නසාගන්නවා. නමුත් එම වාර්තාවේ පවසන්නේ කුමන හෝ හේතුවක් නිසා “ගැහැනු ළමුන්ට වඩා පිරිමි ළමුන් සිය දිවි නසාගැනීම හය ගුණයකින් වැඩි” බවයි.—U.S. News & World Report.

අද යොවුන් පරපුර විශාල අනතුරකට ලක් වී තිබෙනවා කියන එක පැහැදිලියි. මෙයට හේතුව කුමක්ද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

STR/AFP/Getty Images