Skip to content

පටුනට යන්න

යොවුන් පරපුර මුහුණ දෙන ගැටලු

යොවුන් පරපුර මුහුණ දෙන ගැටලු

යොවුන් පරපුර මුහුණ දෙන ගැටලු

නව යොවුන් වියේ පසු වන අයට හැම අතින්ම හිතකර වාතාවරණයක් තිබුණද එම කාලය කැලඹිලි සහිත විය හැකියි. මල්වර වන අවදියේදී නැවුම් හැඟීම් සහ චිත්තවේගයන් උත්සන්න වෙනවා. ඔවුන් ගුරුවරුන්ගෙන් සහ සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන යම් පීඩනවලට දිනපතා මුහුණ දෙනවා. ඒවගේම රූපවාහිනියේ, චිත්‍රපටිවල, සංගීත ක්ෂේත්‍රයේ සහ අන්තර් ජාලයේ බලපෑම්වලට විශාල ලෙස නිරාවරණය වෙනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවක නව යොවුන් විය හඳුන්වන්නේ “මානසික පීඩනය හා කාන්සාව අද්දකින වෙනස් වීමේ කාල පරිච්ඡේදයක්” ලෙසටයි.

යෞවනයන්ට අද්දැකීම් අඩු නිසා මානසික පීඩනයට හා කාන්සාවට සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම කනගාටුවට කාරණයක්. (හිතෝපදේශ 1:4) ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් නැති මෙම යෞවනයන්ට නිසි මඟ පෙන්වීම නොදෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතය විනාශය කරා මිසක සාර්ථකත්වය කරා නම් නොයන බව ස්ථිරයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන දේ උදාහරණයකට සලකා බලන්න. “මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න පටන්ගන්නේ නව යොවුන් වියේ සිටින විට හෝ එය පසු කරන විටයි.” සැහැසික ක්‍රියා සහ අසම්මත ලිංගික ක්‍රියා වැනි වෙනත් වැරදි හැසිරීම්වල නිරත වන්න පටන්ගන්නෙත් මෙම අවදියේදීමයි.

මෙවැනි දේවල් කරන්නේ තුන්වන පන්තියේ සිටින “දුප්පත්” අය විසින් කියා දෙමාපියන් සිතනවා නම් ඇත්තෙන්ම එය ලොකු වැරදීමක්. ඕනෑම පසුබිමක සිටින යෞවනයන් ගැටලුවලට මුහුණ දෙනවා. “‘බාල අපරාධ කරන්නේ’ රජයේ සහනාධාර යටතේ, නගරයේ ජීවත් වන දිලිඳු මවකගේ දාහත් හැවිරිදි පුතෙක් කියා ඔබ සිතනවා නම් ඉන් පෙනී යන්නේ ඔබ නියම දත්ත දන්නේ නැති බවයි. සුදු ජාතික ළමයෙක්, මධ්‍යම පංතියේ හෝ ධනවත් පංතියේ ළමයෙක්, අවුරුදු 16ට වඩා අඩු (ඊටත් වඩා හුඟාක් බාල) ළමයෙක්, එසේ නැතහොත් ගැහැනු ළමයෙක් පවා බාල අපරාධ කිරීමට ඉඩ කඩ තියෙනවා” කියා ලේඛකයෙක් වන ස්කොට් වෝල්ටර් වාර්තා කරනවා.

ඇයි මෙතරම් යෞවනයන් සංඛ්‍යාවක් නොමඟ ගොස් සිටින්නේ? පසුගිය පරම්පරාවල යෞවනයනුත් නොයෙක් අභියෝග හා පෙලඹීම්වලට මුහුණ දුන්නා නොවේද? නමුත් බයිබලයේ පැහැදිලි කරන ආකාරයට අප ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්වල.” (2 තිමෝති 3:1-5) ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා වර්තමානයේ යෞවනයන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඉන් කිහිපයක් සලකා බලමු.

පවුල තුළ සිදු වන වෙනස්කම්

පවුල් වාතාවරණය තුළ සිදු වන වෙනස්කම් කිහිපයක් සලකා බලමු. “අමෙරිකාවේ දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩිදෙනෙක් අවුරුදු 18 ලැබීමට පෙර තම දෙමාපියන් දික්කසාද වෙන ආකාරය අද්දකිනවා” කියා එක් සඟරාවක සඳහන් වෙනවා. (Journal of Instructional Psychology) වෙනත් බටහිර රටවලින්ද මේ හා සමාන සංඛ්‍යා ලේඛන සඳහන් කළ හැකියි. තම දෙමාපියන් දික්කසාද වන විට බාලයන්ට වේදනාකාරී හැඟීම් සමඟ ජීවත් වීමට සිදු වෙනවා. එම සඟරාවේ මෙසේද සඳහන් වෙනවා. “මෑතකදී තම දෙමාපියන් දික්කසාද වූ දරුවන්, යම් ස්ථාවරත්වයක් තිබෙන පවුල්වල හෝ තනි මාපිය නැතහොත් සුළු මාපියෙක් සිටින පවුල්වල දරුවන්ට වඩා ඉගෙනීමේදී හා මිනිසුන් සමඟ සබඳතා පැවැත්වීමේදී යම් දුෂ්කරතා අද්දකිනවා. . . . මීට අමතරව දෙමාපියන්ගේ දික්කසාදය දරුවෙකුගේ චිත්තවේගීය ස්ථාවරත්වයට සහ ආත්ම අභිමානයට බොහෝවිට බලපෑමක් සිදු කරනවා.”

දිනෙන් දින රැකියාවේ නිරත වන මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙනවා. එයත් පවුල තුළ යම් තත්වයන් වෙනස් වීමට බලපානවා. මව හෝ පියා හෝ රැකියාවක් නොකර ගෙදර සිටින පවුලක හැදෙන දරුවන්ට වඩා මව හා පියා යන දෙදෙනාම රැකියාවල නිරත වන පවුලක දරුවන්ව රැකබලා ගැනීම දුෂ්කර බව බාල අපරාධ පිළිබඳව ජපානයේ කළ සමීක්ෂණයකින් හෙළි වුණා.

පවුල් බොහොමයකට තම අවශ්‍යතා සපුරාගැනීමට ආදායම් මාර්ග දෙකක් අවශ්‍ය බව පිළිගත යුතුයි. එමෙන්ම ආදායම් දෙකක් ලැබෙන විට දරුවන්ට සැප පහසු ජීවිතයක්ද ගත කළ හැකියි. නමුත් එයින් සිදු වන අවාසිය නම් මිලියන ගණන් දරුවෝ පාසැල නිම වී නිවසට පැමිණෙන විට ඔවුන්ව බලා කියා ගැනීමට නිවසේ කිසිවෙකු නොසිටීමයි. දෙමාපියන් නිවසට එන විට ඔවුන් බොහෝවිට වෙහෙසට පත් වෙලා. නැත්නම් රැකියාවේදී ඇති වූ ගැටලු ගැන කල්පනා කරමින් සිටිනවා. මේ නිසා නව යොවුන් වියේ සිටින බොහෝ දරුවන්ට දෙමාපියන්ගේ අවධානය ලැබෙන්නේ නැහැ. “පවුලක් හැටියට අපි එකට කාලය ගත කරන්නේ නැහැයි” කියා එක් යෞවනයෙක් දුක්බර ලෙස කියා සිටියා.

දරුවන්ගේ අනාගතයට මෙය හිතකර දෙයක් නොවන බවයි බොහෝ නිරීක්ෂකයන්ගේ අදහස. “මට හිතන හැටියට පසුගිය වසර තිහ පුරා දෙමාපියන් දරුවන්ව හදා වඩා ගන්නා ක්‍රමය නිසා කිසි කෙනෙකුට ලැදියාවක් ආදරයක් නොදක්වන, අදහස් හුවමාරුවට අකමැති, ඉගෙනීමේ දුෂ්කරතා තිබෙන, නොහික්මුණු දරු පරපුරක් බිහි වෙලා. සැපසම්පත් හඹා යන ජීවන රටාවකට දෙමාපියන් හසු වී සිටින නිසා රැකියාවේ වැඩි පැය ගණනක් නිරත වෙමින් වැඩි මුදල් ප්‍රමාණයක් හරි හම්බ කරගැනීමට ඔවුන් වෙහෙසෙනවා. දරුවන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය දේවල් කිරීමට එයාලට කාලයක් නැහැ” කියා වෛද්‍ය රොබට් ෂෝ පවසනවා.

රැකියාවන්වල නියුතු දෙමාපියන්ගේ දරුවන් නොමඟ යන්න තවත් හේතුවක් තිබෙනවා. එම දරුවන්ට ඕනෑ තරම් නිදහස තියෙනවා. ඔවුන් කරන දේවල් සොයා බැලීමට කිසි කෙනෙක් නැහැ. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන්නේ නැති විට දරුවන් තමන්ගේ හිතේ හැටියට කටයුතු කරන නිසා ඔවුන් ප්‍රශ්නවලට මැදි වෙනවා.

හික්මවන ආකාරය පිළිබඳ විවිධ අදහස්

දෙමාපියන් දරුවන්ව හික්මවන ආකාරය පිළිබඳ තිබෙන වෙනස් වෙනස් අදහස්ද අද යෞවනයන්ට යම් බලපෑමක් ඇති කරනවා. “දෙමාපියන් වැඩිදෙනෙක් තම වගකීම පැහැර හරිනවා” කියා වෛද්‍ය රොන් ටැෆල් කෙළින්ම කියා සිටිනවා. දෙමාපියන් මෙසේ තම වගකීම පැහැර හරින නිසා දරුවන්ව හසුරුවන්න කිසිම නීතියක් හෝ මඟ පෙන්වීමක් නැහැ. එවැන්නක් තිබුණත් එය ඉතා සුළු වශයෙන්.

සමහරවිට දෙමාපියන් තමන්ගේ බාල වියේ ලැබූ කටුක අද්දැකීම්ද දරුවන් හික්මවීමේදී බලපාන බව පෙනෙන්න තිබෙනවා. තම කුඩා කාලයේදී දෙමාපියන්ගෙන් ඔවුන්ට තදින් හික්මවීම ලැබුණා නම් ඔවුන්ට අවශ්‍ය තම දරුවන් සමඟ මිතුරන් සේ කටයුතු කිරීමට මිසක නිතර හික්මවීම දෙමින් රළු ලෙස ක්‍රියා කිරීමට නොවෙයි. ඒත් සමහරෙකු සීමාව ඉක්මවා යනවා. “මම මගේ දරුවන්ට හුඟාක් නිදහස දුන්නා. මගේ දෙමාපියන් මට හුඟාක් තදින් කටයුතු කළ නිසා මට ඕනේ වුණේ මගේ දරුවාත් එක්ක ඊට වෙනස් විදිහකට කටයුතු කරන්නයි. ඒත් මට වැරදුණා.” එක් මවක් එසේ පිළිගත්තා.

දෙමාපියන් දරුවන්ට නිදහස දිය යුත්තේ කොතරම් දුරකටද? මේ සම්බන්ධයෙන් වාර්තාවක සඳහන් වෙන්නේ මෙලෙසයි. “නිව් යෝර්ක්, ටෙක්සාස්, ෆ්ලොරිඩාව සහ කැලිෆෝනියාව යන නගරවල මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ යෞවනයන් 600දෙනෙක් යොදාගෙන මෑතකදී කළ සමීක්ෂණයකින් සොයාගත්තේ ඉන් සියයට 20ක් මත්පැන්වලට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන්නේ තම දෙමාපියන් සමඟ බවයි. සියයට 5දෙනෙකුට මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ මව හෝ පියා විසින්.” (USA Today) දෙමාපියෙකු එවන් වගකීමෙන් තොර ක්‍රියාවක් කිරීමට පෙලඹෙන්නේ මන්ද? එක් මවක් මෙසේ කියා සිටියා. “මම මගේ දුවට ගෙදරදී මත්ද්‍රව්‍ය ගන්න කියලා කිව්වා. මම එහෙම කිව්වේ ඇය මොනවාද කරන්නේ කියලා මට පේන නිසයි.” දරුවන් සමඟ එකතු වෙලා මත්ද්‍රව්‍ය ගැනීමෙන් දරුවෝ සමඟ “බැදීමක්” ඇති වෙන බවයි තවත් අයගේ අදහස.

ජනමාධ්‍යයෙන් වන හානිය

ජනමාධ්‍ය තුළින්ද විශාල බලපෑමක් සිදු වෙනවා. මරීටා මෝල් නමැති පර්යේෂිකාව සිදු කළ සමීක්ෂණයකට අනුව සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ යෞවනයෙක් දිනකට රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියෙහි පැය හතරයි විනාඩි 48ක් ගත කරනවා.

එයින් අහිතකර බලපෑමක් සිදු වෙනවාද? එයට පිළිතුර එක් සඟරාවක සඳහන් ලිපියකින් දැනගත හැකියි. අමෙරිකාවේ වෛද්‍ය සංගමය ඇතුළු “එක්සත් ජනපදයේ විද්වතුන් නියුතු සංගම් හයක්” එක හෙළා කියා සිටියේ මාධ්‍ය මගින් පෙන්වන සැහැසික ක්‍රියා “ඇතැම් දරුවන්ගේ කලහාකාරී හැසිරීමට” හේතු වී තිබෙන බවයි. “විද්වතුන්ගේ ඒකමතික ප්‍රකාශයට අමතරව” එම සඟරාව මෙවන් දෙයක්ද සඳහන් කළා. “මාධ්‍ය තුළින් පෙන්වන සැහැසික දසුන් සමාජයේ දරුණු ක්‍රියා වර්ධනය වීමට දායක වන බව මහජනයා තේරුම්ගෙන නැති බව පෙනෙන්න තිබෙනවා.”—Science.

උදාහරණයකට පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම ගැන මොහොතකට සලකා බලමු. සමහර වීඩියෝ පටවල ලිංගික ක්‍රියා ඇතුළත් දර්ශන පැහැදිලිව පෙන්වන ආකාරය දැක දෙමාපියන් කම්පනයට පත්වෙනවා. යෞවනයන් හැසිරෙන ආකාරයට මේවායින් යම් බලපෑමක් ඇති විය හැකිද? “සැහැසියාව උලුප්පා දක්වන ගී පද නිසා කලහාකාරී සිතුවිලි සහ හැඟීම් වර්ධනය වන බව” පාසැල් ශිෂ්‍යයන් 500දෙනෙක් යොදාගෙන කළ අධ්‍යයනයකින් පෙනී ගියා. මෑතකදී කළ තවත් අධ්‍යයනයකට අනුව ‘ලිංගිකත්වය හුවා දක්වන පසුබිම් දර්ශන ඇතුළත් රැප් සංගීත කණ්ඩායම්වල ගීත නැරඹීමට වැඩි කාලයක් කැප කරන යෞවනයන් තමන්ගේ සැබෑ ජීවිතයේදී ඒවා අත්හදා බැලීමට තිබෙන ඉඩකඩ වැඩියි.’ මෙම වීඩියෝ පට නැරඹීමට වැඩි කාලයක් වැය කරන යෞවනයන් ගුරුවරයෙකුට පහර දීමට, හිරේ යෑමට හා ලිංගික සහකරුවන් කිහිපදෙනෙකුව ඇසුරු කිරීමට පෙලඹෙන්න පුළුවන් බව මෙම අධ්‍යයනයේදී ගැහැනු ළමුන් 500දෙනෙක් ප්‍රකාශ කළා.

පරිගණක නිසා නහඹරයන්ට සිදු වන හානිය

මෑතක සිට පරිගණකයත් යෞවනයන්ගේ මනස විකෘති කිරීමට විශාල ලෙස හේතු වී තිබෙනවා. එක් සඟරාවක මෙසේ සඳහන්ව තිබුණා. “නිවෙස් තුළ එක් එක් සාමාජිකයා පෞද්ගලිකව පරිගණකයක් භාවිත කිරීම මෑත දශක තුළ වර්ධනය වී තිබෙනවා. [එක්සත් ජනපදය පුරා] පාසැල් යන (6-17 වයසේ) දරුවන්ගෙන් තුනෙන් දෙකකට ඔවුන්ගේ නිවෙස්වල පෞද්ගලික පරිගණකයක් තිබුණා. . . . එක්සත් ජනපදයේ අවුරුදු 3 සිට අවුරුදු 17 දක්වා වයසේ සිටින දරුවන්ගේ නිවෙස්වල 1998දී තිබුණ පරිගණක ප්‍රමාණය සියයට 55යි. එය 2000 වන විට සියයට 65ක් දක්වා වැඩි වී තිබෙනවා.” (Pediatrics) වෙනත් බොහෝ රටවල් තුළත් පරිගණක භාවිතය වැඩි වී තිබෙනවා.

පරිගණකයක් භාවිත කිරීමට යෞවනයෙකුට තමන්ටම කියා පරිගණකයක් තිබිය යුතුම නැහැ. එක් පර්යේෂකයෙක් කියා සිටියේ “වයස 5ත් 17ත් අතර සිටින යෞවනයන්ගෙන් සියයට 90ක් පමණ පරිගණක භාවිත කරන අතර ඉන් සියයට 59ක් අන්තර්ජාලයද භාවිත කරන” බවයි. මෙමගින් පෙරට වඩා තොරතුරු ලබාගැනීමට යෞවනයන්ට හැකියාවක් ලැබෙනවා. වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ නැණවත් ලෙස පරිගණකය භාවිත කිරීමෙන් ප්‍රයෝජන ලබාගත හැකියි. ඒත් බොහෝ දෙමාපියන් මෙම මාධ්‍ය භාවිත කිරීමේදී යෞවනයන්ට පූර්ණ නිදහසක් ලබා දීම කනගාටුවට කාරණයක්.

එය පැහැදිලි කරමින් මරීටා මෝල් නමැති පර්යේෂිකාව අධ්‍යාපනික සඟරාවක මෙවන් දෙයක් සඳහන් කළා. එනම් අන්තර්ජාලය භාවිත කරන අය පිළිබඳව 2001දී කළ සමීක්ෂණයකදී හෙළි වුයේ මෙයයි. “දෙමාපියන්ගෙන් සියයට 71ක් සිතුවේ දරුවන් අන්තර්ජාලය භාවිත කරන අකාරය පිළිබඳව තමන් ‘සම්පූර්ණයෙන්ම හෝ යම් ප්‍රමාණයකට දන්නා’ බවයි. නමුත් දරුවන්ගෙන් ඒ ගැන ඇසූ විට සියයට 70ක් කියා සිටියේ අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව තමන්ගේ දෙමාපියන් ‘කිසිවක් නොදන්නා බවයි. දන්නවා නම් එය ඉතා සුළු වශයෙන්’යනුවෙනි.” මෙම සමීක්ෂණයට අනුව “අවුරුදු 9ත් 10ත් අතර වයසේ සිටින දරුවන්ගෙන් සියයට 30ක් පුද්ගලික සහ වැඩිහිටියන්ට පමණක් තිබෙන කතා කුටිවලින් සංවාද පැවැත්වුව බව කියා සිටියා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 11ත් 12ත් අතර සිටින ළමුන්ගෙන් සියයට 58ක්ද, අවුරුදු 13ත් 14ත් අතර සිටින ළමුන්ගෙන් සියයට 70ක්ද අවුරුදු 15ත් 17ත් අතර සිටින ළමුන්ගෙන් සියයට 72ක්ද එසේ කර තිබෙනවා. . . . නිවසේදී අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකදී දෙමාපියන් හත්දෙනෙකුගෙන් එක් අයෙක් තමන්ගේ දරුවන් අන්තර්ජාලයෙන් නරඹන දේ ගැන කිසිවක් නොදන්න බව කියා සිටියා.”—Phi Delta Kappan.

අන්තර්ජාලය භාවිත කරන විට ඒ ගැන කිසිවෙක් සොයා බලන්නේ නැති නම් යෞවනයන් කාමුක දර්ශන නැරඹීමට ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් අනතුරුත් තිබෙනවා. පෙර සඳහන් කළ වෛද්‍ය ටැෆල් කනගාටුවෙන් යුතුව මෙසේ ප්‍රකාශ කරනවා. “අපේ දරුවෝ පාසැල වගේම පරිගණකය තුළින්ද මිතුරන් ඇති කර ගන්නවා. මේ නිසා අපට මුණගැසෙන්නේ නැති දරුවන් සමඟ අපේ දරුවෝ පැය ගණන් කාලය ගත කරනවා.”

පසුගිය පරම්පාරාවේ සිටි යෞවනයන් අත් නොදැක්ක ගැටලු අද කාලයේ යෞවනයන් මුහුණ දෙන බව පැහැදිලියි. අද යෞවනයන් බොහෝදෙනෙක් මෙලෙස හැසිරීම පුදුමයක් නෙමෙයි! ඔවුන් වෙනුවෙන් අපට යමක් කළ හැකිද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට හිතන හැටියට පසුගිය වසර තිහ පුරා දෙමාපියන් දරුවන්ව හදා වඩා ගන්නා ක්‍රමය නිසා කිසි කෙනෙකුට ලැදියාවක් ආදරයක් නොදක්වන, අදහස් හුවමාරුවට අකමැති, ඉගෙනීමේ දුෂ්කරතා තිබෙන, නොහික්මුණු දරු පරපුරක් බිහි වෙලා.”—වෛද්‍ය රොබට් ෂෝ

[6, 7වන පිටුවේ පින්තූරය]

කාන්තාවන් වැඩිදෙනෙක් රැකියාවන්වල නිරත වීම පවුලේ වතාවරණය වෙනස් වීමට හේතු වී තිබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැති විට යෞවනයන් පහසුවෙන්ම වරදට වැටෙන්න පුළුවන්

[8වන පිටුවේ පින්තූරය]

සැහැසියාව නිරූපණය කරන වීඩියෝ දර්ශන සහ සැහැසික ක්‍රියාවන් අතර සම්බන්ධයක් තිබෙන බව පර්යේෂකයන් පවසනවා

[9වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන් අන්තර් ජාලයෙන් නරඹන්නේ මොනවාද කියා ඔබ දන්නවාද?