Skip to content

පටුනට යන්න

වැසි ජලය එක්රැස් කිරීම එදා සහ අද

වැසි ජලය එක්රැස් කිරීම එදා සහ අද

වැසි ජලය එක්රැස් කිරීම එදා සහ අද

ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්

සිය වස් ගණනාවක් පුරා ජලය නැවත භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය ස්වාභාවිකවම සිදු වෙයි. එම ක්‍රියාවලියේදී පොළොවේ සහ මුහුදේ ජලය වාෂ්ප වී වලාකුළු බවට පත් වෙයි. ඝනීභවනය වන එම ජලය යළිත් හිමපතනය සහ වර්ෂාපතනය ලෙසින් පොළොවට පතිත වෙයි. එමගින් කිසි වියදමකින් තොරව අප සැමට බහුල ලෙස ජලය ලැබෙයි. එසේනම් මුළු මිනිස් සංහතියම විශාල ජල හිඟයකට මුහුණ පා සිටින්නේ මන්ද? ඊට විසඳුමක් තිබේද? පිළිතුරක් ලබාගැනීම සඳහා අපි ඉන්දියාවේ තිබෙන ජල ප්‍රමාණය ගැන සලකා බලමු.

බිලියනයකට වඩා වැඩි ජනගහනයක් සිටින ඉන්දියාව උග්‍ර ජල හිඟයකට මුහුණ දී ඇත. ඉන්දියාවට ජලය ලැබෙන්නේ කොතැනින්ද? හිමාල කඳු මත මිදී ඇති හිම හා අයිස් තට්ටු දිය වී ඉන්දියාවේ උතුරුකරයේ ගංගා පිරී යයි. කෙසේවෙතත් ඉන්දියාවේ භූමි ප්‍රදේශයෙන් වැඩි කොටසකට ජලය ලැබෙන්නේ වාර්ෂික මෝසම් වැසි මගිනි. වියළි භූමිය තෙත් කරන්නෙත්, යෝධ ගංගා හා ඇළ දොළ පිරී ඉතිරී යන්නෙත් එවිටයි. මෝසම් වැසි ඇද හැළෙන්නේ කොයි මොහොතේදැයි කිව නොහැකි තත්වයක් එහි පවතියි. “චන්ද්‍රිකා මෙන්ම සුපිරි පරිගණක බිහි කරමින් නවීන තාක්ෂණය දියුණුවක් ලබා ඇතත් මොර සූරන වැසි හිටිහැටියේ ඇද හැළෙන්නේ කොයි මොහොතේද කියා කලින් කීම . . . , අසීරු කාර්යයක් විය හැකි” බවයි පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් මෝසම් වැසි පවතින්නේ පුරා මාස තුන හතරක කාලයකටයි. එම වැසි ඇති වන්නේද එක දිගටම නොවෙයි. කඩින් කඩ ඇද හැළෙන්නේ ධාරාණිපාත වැසි ලෙසිනි. එවිට පිරී ඉතිරී යන ජලාශවල ජලය මුදාහැරීමට පවා සිදු වෙයි. පිටාර ගලන ගංගා ජලයෙන් කෙත් වතු මෙන්ම ගෙවල් දොරවල්ද යට වී යයි. නවීන දින පවතින කාර්මිකකරණය හා නාගරීකරණය නිසා විශාල ලෙස කැලෑ එළි පෙහෙළි කර ඇත. එම නිසා වටිනා වැසි ජලය උරාගැනීමට ප්‍රමාණවත් ගස් කොළන් නැති වී ගොසිනි. එම වැසි ජලය නිසා භූමියේ මතුපිට පස සෝදා පාළුවට ලක් වෙයි. එවිට වැව් හා පොකුණුවල මඩ පිරී ජල ප්‍රමාණය අඩු වී යයි. අන්තිමේදී සිදු වන්නේ වටිනා වැසි ජලයෙන් විශාල ප්‍රමාණයක් අපතේ යෑමයි.

මේ අතරතුරේ මෝසම් සමය අවසන් වෙයි. වසරේ ඉතිරි කාලයේ සෑම දිනකම දීප්තිමත් හිරු එළියක් පවතියි. එමෙන්ම මාස කීපයක් පුරා අධික උෂ්ණත්වයක්ද පවතියි. සැර අව්ව නිසා භූමිය ඉරි තැළී යයි. දෙගොඩ තලා ගිය මහා ජල කඳන් සිහින් දිය දහරා බවට පත්ව ගං පතුල පවා මතු වී ඇත. දිය ඇළි සිඳී ගොසිනි. භූගත ජලය ඉහළට ඇදගැනීම සඳහා නළ ළිං තව තවත් ගැඹුරට හෑරීමට සිදු වෙයි. පොළොව මතුපිට සිට පොළොව යට ස්ථිර ජල මට්ටම දක්වා ඇති භූගත ජල මට්ටම අඩු වී යයි. වැස්ස හිඟ වන විට ඉඩෝර කාලයද ඇරඹෙයි. පල භෝග විනාශ වෙයි. ගවයෝ මියැදෙති. ගම්මු ගම් බිම් අතහැර නගරය කරා ඇදෙති. මේ සියල්ල නිසා නගරබද ජල ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි.

එහෙත් මෙම තත්වය සැමදා මෙසේ පැවත නැත. පුරාණයේ මුළු ඉන්දියාවේම සිටි ජනයා ගංගා වැව් අමුණු මත පමණක් රඳා නොසිටිය යුතු බව තේරුම්ගෙන තිබිණ. මෝසම් වැසි නතර වූ විට ඒවා සිඳෙයි. එම නිසා වැසි ලැබෙන කාලයේදී වැසි ජලය එක්රැස් කිරීමට ඔවුහු පටන්ගත්හ. එදිනෙදා භාවිතයට මෙන්ම වැසි නතර වූ පසු භාවිතය සඳහා ගබඩා කරගැනීමටද ඔවුහු පුරුදු වූහ.

එදා මෙන් අදත් වැසි ජලය එක්රැස් කිරීමේ ප්‍රයෝජන

ඉන්දියාවේ බහුල ලෙස දක්නට තිබෙන නවීන තාක්ෂණය, විශාල ජලාශ ඉදි කිරීම, වැව් අමුණු තැනීම සහ ඇළ මාර්ග සෑදීම වැනි දෑ ක්‍රියාත්මක වෙමින් තිබෙන මෙවන් යුගයක ඉපැරණි ක්‍රම ගැන සලකා බැලීමෙන් පලක් වේද කියා කෙනෙක් සිතිය හැකියි. ජල නල මගින් තමන්ගේම නිවෙස්වල හෝ ගම්වල ජලය ලබාගැනීමේ පහසුකම් ඇති වූ විට ජලය එක්රැස් කිරීමේ ඉපැරණි ක්‍රම අතීතයේ යමක් බවට පත් වී ඇත. එහෙත් සැලකිලිමත් විය යුතු වීමට හොඳ හේතුවක් තිබේ. පසුගිය වසර 50 තුළ මහා පරිමාණයෙන් ජල පරිපාලනයක් සිදු කෙරුණත්, ශීඝ්‍රයෙන් වැඩි වන ජනගහනයේ ජල අවශ්‍යතාව හා මුළු කෘෂිකාර්මික සමාජයක් කාර්මික සමාජයක් බවට වේගයෙන් පරිවර්තනය වීමේදී ඇති වන ජල අවශ්‍යතාව පිරිමැසීමට නොහැකි වී තිබේ. තවද රටේ පවතින ජල ඉල්ලුමට සරිලන ජල ප්‍රමාණයක්ද සැපයීමට නොහැකි වී ඇත.

පරිසරවේදීන්ට මෙන්ම සැලකිලිමත් බලධාරීන්ට දැන් හැඟෙන්නේ ජල සංරක්ෂණය සඳහා පෞද්ගලිකව දායක වන්න කියා ජනයාට උනන්දු කිරීම අවශ්‍ය බවය. නිවෙස්වල, කර්මාන්ත ශාලාවල, පාසැල්වල මෙන්ම සුළු පරිමාණයෙන් ජලය රැස් කර තබාගත හැකි ඕනෑම තැනක වැසි ජලය එක්රැස් කර තබාගැනීමට දිරිගන්වනු ලැබේ. එපමණක්ද නොව බොහෝ නගරවල මෙන්ම ප්‍රාන්තවලද ඉදි කෙරෙන නව ගොඩනැඟිලිවල වැසි ජලය එක්රැස් කිරීම සඳහා ටැංකි සෑදීම අනිවාර්ය කර ඇත.

ජලය රැස් කිරීමට ක්‍රියාමාර්ගයක් ගෙන නැති ස්ථානවල වැසි ජලය ලීටර් දස දහස්ගණනක් වාෂ්ප වීමෙන් හෝ මුහුදට ගලාගෙන යෑමෙන් අපතේ යයි. වැසි ජලය එක්රැස් කිරීම සිදු වන්නේ “අහසෙන් වැටෙන එක වැහි බිඳුවක්වත් අපතේ නොයවමු” යන සංකල්පය මතයි. එසේ නම් ජලය ඉතිරි කරගැනීමට සිදු වන්නේ එක් එක් පුද්ගලයාටය. වැසි ජලය ලැබෙන්නේ නොමිලේ නිසා කිසි ගෙවීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැත. නමුත් ජලාශවලින් හා ජල නල පද්ධතිවලින් ලැබෙන ජලය සඳහා ගෙවීමක් කිරීමට සිදු වේ. එය දිළිඳුන්ට දැරිය නොහැකි අධික මුදලකි.

පෙරමුණ ගනී

ඉන්දියාවේ සැලකිලිමත් බොහෝදෙනෙක් ජල සුරැකීමේ වැඩ පිළිවෙළට දායක වී සිටිති. සමහරුන්ට සම්මාන පවා පිරිනමමින් ජාත්‍යන්තරව පිළිගෙන තිබේ. ඉන් කෙනෙකි රාජේන්ද්‍ර සිං. ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඔහුට 2001දී මාග්සයිසයි සම්මානයද හිමි විය. ඔහු පෞද්ගලික සමාගමක් පිහිටුවා කාර්යබහුල වූ රාජාස්තාන් ප්‍රාන්තයේ අභාවයට යමින් තිබූ අරවරි ගංගාවට නව පණක් ලබා දීමට සැලසුම් යෙදුවේය. රටේ ජනගහනයෙන් සියයට 8ක් සිටින්නේ මෙම ප්‍රාන්තයේය. එහෙත් රටේ තිබෙන ජල සම්පත්වලින් සියයට 1ක් පමණයි මෙම ප්‍රාන්තය සතුව පවතින්නේ. වසර 15ක් පුරා සිං සමඟ සේවයේ නියැලුණ කණ්ඩායමක් රුක් රෝපණය කර, කුඩා ජලාශ 3,500ක් ඉදි කළහ. එම නිසා එහි වැසියෝ සමෘද්ධිමත් වූහ. වැඩිදෙනෙකුගේ නෙතට හසු නොවී වැසි ජලය ඉතිරි කරගන්නා අන් අය යම් දායකත්වයක් තමන්ගේ අතින්ද දෙනු ලබනවාය යන හැඟීම නිසා තෘප්තියක් ලබති.

ප්‍රධාන ජල සැපයුමෙන් ප්‍රයෝජන ලබනවාට අමතරව වැසි ජලය එක්රැස් කිරීමෙන් ප්‍රයෝජන ලබාගත හැකි බව කර්මාන්ත ශාලා අයිතිකරුවන්ට වැටහී ඇත. දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ පිටිසර පෙදෙසක තිබෙන කර්මාන්ත ශාලාවක වහලෙන් වැටෙන වැසි ජලය එක්රැස් කිරීමේ වැඩ පිළිවෙළක් යෙදවීය. මහා මාර්ගයට වැටී කලින් අපතේ ගිය වැසි ජලය දැන් ලීටර් 42,000ක ප්‍රමාණයක් අල්ලන ටැංකියකට යෑමට සලස්වා තිබේ. මෝසම් වැසි සමයේදී දිනකට රැස් කරගන්නා ලීටර් 6,000 පිරිසිදු කර කර්මාන්ත ශාලාවේ ආහාර පිසින භාජන මෙන්ම අවන්හල පිරිසිදු කිරීමට යොදාගැනේ. මේ සඳහා ප්‍රධාන ජල සැපයුමේ ජලය භාවිතයට නොගැනේ.

‘අලියාගේ කටට මැස්සෙක් දැම්මා වගේ’ වැඩක්නේ කියා ඔබට සිතිය හැකියි. එසේනම් අපි උදාහරණයක් බලමු. වාර්ෂිකව මුදල් දමන බැංකු ගිණුමක් ඔබට තිබෙනවායයි සිතන්න. ඔබේ දෛනික අවශ්‍යතා සඳහා ඔබේ ගිණුමෙන් මුදල් ලබාගැනීමට ඔබට සිදු වේ. මෙසේ ඔබ තැන්පත් කර ඇති මුදල් ප්‍රමාණයට වඩා ටිකෙන් ටික මුදල් ගනියි. යම් දවසක ඔබ බැංකුවට ණයකාරයෙක් වනු ඇත. ඒ වෙනුවට ඔබ වසරේ මාස කීපයක් රැකියාවක නියැළී සෑහෙන මුදලක් උපයාගන්නේ නම් ඔබේ දෛනික අවශ්‍යතාවලට එම මුදල් වියදම් කළ හැකියි. බැංකුවේ තැන්පත් කළ මුදල ඉතිරි වනවා පමණක් නොව ඊට පොළියක්ද එකතු වී තිබෙනු ඇත. දැන් මේ ප්‍රතිපත්තිය ජල සංරක්ෂණය සඳහාද අදාළ කරගන්න. ඔබ ඉතිරි කරන සුළු මුදල හා සමාන වැසි ජලය මිලියන ගණනකින් ප්‍රගුණ වුවහොත් ඔබට ලැබී තිබෙන්නේ කුමක්ද? සිඳී නොයන ස්වාභාවික ජල සම්පතක්, ඉහළ නඟින ජල මට්ටමක්, පොළොව මතුපිට සිට පොළොව යට ස්ථිර ජල මට්ටම දක්වා ඇති භූගත ජල මට්ටමේ වැඩිවීමක් යනාදියයි. එමෙන්ම රැකියාවෙන් ලැබෙන “වේතනය” මෙන් වූ එක්රැස් කරගත් වැසි ජලය අවසන් වන දාකට භාවිතයට ගත හැකි ප්‍රධාන ජල සැපයුමද ඔබට ඉතිරි වී තිබේ. එයින්ද දැනට තිබෙන්නේ සීමිත ජල ප්‍රමාණයක් බවත්, ජලය සිඳී ගියහොත් ණයටවත් ගැනීමට තැනක් නැති බවත් මතක තබාගන්න.

ස්ථිර විසඳුමක්

අපේ මිහිතලය එහි වැසියන්ගේ අවශ්‍යතා නොපිරිහෙළා සපුරාලයි. එනමුත් ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා මිනිසාගේ ගිජුකම හා දුර දක්නා ඥානය නොමැතිකම නිසා මිහිතලයේ වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට දායාද කර තිබෙන්නේ දුක්ඛිත තත්වයකි. අවංක අය කොතෙකුත් වෑයම් දරා ඇතත් පාරිසරික ගැටලුවලට සම්පූර්ණ විසඳුමක් ලබා දීමට මිනිසාට බලයක් නැති බව පැහැදිලි වී හමාරයි. එහෙත් ජල චක්‍රය යළි නඟා සිටුවන බව පෙන්වන සතුට දනවන පොරොන්දුවක් මිහිතලයේ මැවුම්කරු දී ඇත. ඔහු පවසන්නේ “පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමට” හා “වනයේ ජලයද කාන්තාරයේ දොළ පාරවල්ද බිඳ” ඒමට සලස්වන බවය. ඇත්තවශයෙන්ම “මිරිඟු වැල්ල පොකුණක්ද පිපාසිත බිම දිය උල්පත්ද වන්නේය.” මෙය මොන තරම් නැවුම්බවක් ගෙන දෙන වැසි ජලය එක්රැස් කිරීමක් වනු ඇද්ද!—එළිදරව් 11:18; යෙසායා 35:6, 7.

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

වැසි ජලය එක්රැස් කිරීමේ ඉපැරණි ක්‍රම යළි කලඑළි බසී

වහලෙන් වැටෙන ජලය: පහසුයි, වියදමකින් තොරයි. සුළු ඇලයක් ඇතුව සාදා ඇති වහලෙන් පීල්ලට වතුර වැටේ. එම වතුර පයිප්ප දිගේ පහළට ගොස් විශේෂයෙන් සකස් කර ඇති බැරල්වලට වැටේ. කම්බි දැල, වැලි, බොරලු සහ අඟුරු සහිත ප්‍රේරණවලින් පෙරී එම වතුර පිරිසිදු වේ. ඉන්පසු පොළොවෙන් යට ජලාශවලට හෝ පොළොවෙන් උඩ ටැංකිවලට යෑමට සලස්වා තිබේ. වාතයෙන්, හිරු එළියෙන් හා අපද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීමට එම ටැංකි හොඳින් වසා තැබේ. සීනක්කාරම් දැමීමෙන් මඩ ගතිය අඩු වී යයි. බ්ලීචිං කුඩුවලින් ක්ෂුද්‍රජීවීන් මරා දැමේ. මෙම ජලය පැළවලට, වැසිකිළිවලට සහ ඇඳුම් සේදීමට භාවිත කළ හැකියි. ඊටත් වඩා පිරිසිදු කළ විට බීමට පවා ගත හැකියි. අතිරේක ජලය ළිංවලට හෝ භූගත ජල මට්ටම ඉහළ නැංවීම සඳහා පොළොව යටටද යෑමට සැලස්විය හැකියි. මෙය නගරබද ජනප්‍රිය ක්‍රමයකි.

ගල් වැටි: දොළ පාර හරහා බාධක ලෙස මේවා තනා තිබෙන්නේ දොළ පාරේ වතුර එක් තැන් කරගැනීමටයි. එමගින් සෑදෙන කුඩා පොකුණුවල ජලය වාෂ්ප වීම වැළැක්වීම සඳහා දෙපසෙහි සෙවණ දෙන ගස් සිටුවා ඇත. ජලය පිරිසිදු වීම සඳහා මෙම පුංචි ජලාශවලට බෙහෙත් පැළෑටිද යොදාගැනේ.

පොළොව හාරා තනන පොකුණු: මෙම පොකුණු සෑදීමට වැලි හෝ තද පස් සහිත ස්ථානවල වලවල් හාරනු ලැබේ. එම පොකුණුවලට වැසි ජලය එකතු කරනු ලැබේ. ඉන් යම් ජල ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ඉතිරි ජලය පොළොව යටට කාන්දු වේ. මෙම ජලය භූගත ජල සැපයුමට එකතු වන අතර යළි ළිංවලින් ලබාගත හැකියි.

පොළොව යට ටැංකි: මේවා තනා තිබෙන්නේ දිය උල්පත්වලින් එන ජලය එකතු කරගැනීමටයි. ඉන්පසු ඒවා ගබඩා ටැංකිවලට යෑමට සලස්වා තිබෙන්නේ නගරයේ භාවිතය සඳහාය.

කඳු මත ළිං: කඳු මත තැනින් තැන ළිං කපා එක කාණුවකට සම්බන්ධ කර තිබේ. එම කාණුව දිගේ ගලන ජලය බොහෝ දුරින් සකසා තිබෙන ජලාශයකට යැවේ. එය පහසුවෙන්ම නොනැවතී ගලා යන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසයි.

ඒකාබද්ධ ටැංකි: පීලි දිගේ වැසි ජලය ටැංකිවලට පිරීමටත්, එම ටැංකි පිරී ඉතිරී යන විට ඊට පහළින් තනා ඇති ටැංකිවලට එම ජලය පිරෙන්නටත් සලස්වා තිබේ.

[හිමිකම් විස්තර]

Courtesy: S. Vishwanath, Rainwater Club, Bangalore, India

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN/DPI Photo by Evan Schneider

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN/DPI Photo by Evan Schneider